» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/05/2019 - ඉරිදා ලංකාදීප
ආරක්ෂක අංශ මෙහෙයුම් වගකීමෙන් ආරක්ෂා කරගැනීම

බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය සිය ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් පහ කළේය. අලූත් ඇමැතිනියක පත් කළාය. පෙනී මෝර්ඩුන්ට් නව ඇමැතිනිය වශයෙන් පත් වීමෙන් පසු කරන ලද ඉඟියක් බි‍්‍රතාන්‍ය තුළ යම් ආකාරයක ආන්දෝලනයක් ඇති කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරිය වන පෙනී සඳහන් කරන අන්දමට ආරක්ෂක අංශ වල නිරතවූවන් රාජකාරි කටයුතු අතරතුර කරන ලද වැරදි බව කියමින් ඔවුුන්ට නඩු පැවැරීම සුදුසු නැත. ඇයගේ එම ප‍්‍රකාශය බොහෝ දුරට නුදුරු කාලයේ දී බි‍්‍රතාන්‍ය නැවතත් වගකීමෙන් ආරක්ෂා කිරීමේ නොඑසේනම්, ඉමියුනිටි පණත ^Immunity Act) ගෙන එන ප‍්‍රයත්නයක ආරම්භක ඉඟියක් විය හැකි යැයි අන්තර් ජාතික මාධ්‍ය මත පළ කරති. මෙම පණත මගින් ආරක්ෂක හේතු මත කරන මෙහෙයුම් වල දී සෙබලූන් ආරක්ෂාව සැලසෙයි. කිසියම් මෙහෙයුමක් අතරතුර සිදුවන අයිතිවාසිකම් කඩවීමක් හෝ නඩු පැවරීමක් අභිමුවෙහි ආරක්ෂක අංශ වෙත රැකවරණය සැපයෙයි.

ආරක්ෂක අංශය ක‍්‍රියාකරන ආකාරය ගැන සෑම රටකටම ප‍්‍රශ්න තිබේ. ජාතියේ මුර දේවතාවුන් බව සැබෑය. සතුරු උණ්ඩයට පළමුවෙන් ලය දෙන්නේ ආරක්ෂක නිලධාරීහුය. රට තුළින් පැන නැගෙන කැරළි කෝලාහල වල දී ඒවා මැඩ පවත්වන්නට ආණ්ඩුව අණ කරයි. බාහිර රටක් සමග පවත්වන ගැටුමක දී පවා පොලිසිය හෝ හමුදා බල ඇනි වලට සිය පාලකයන් නියම කරන අණ පිලිපදින්නට සිදුවෙයි. නමුත් ලෝක ඉතිහාසය තුළ විවිධ ගැටළු පැන නැගී තිබේ. සාමය තහවුරු වූ පසු ආරක්ෂක අංශ වලට චෝදනා එල්ල වෙයි. ගැටුමක දී ඉතා වැදගත් වන ආරක්ෂක අංශ සාමය අත්පත් කරගත් පසු අනාරක්ෂිත වෙයි. බි‍්‍රතාන්‍යයේ අලූත් ආරක්ෂක ඇමැතිනිය පෙන්වා දෙන වැදගත් කාරණය එය බව සඳහන් කිරීම අවශ්‍යය. බි‍්‍රතාන්‍යයේ පනවා ඇති 1978 වගකීමෙන් ආරක්ෂා කිරීමේ රාජ්‍ය පණත එම වසරේ නොවැම්බර් 22 දා බලගැන්වීය. පසුගිය කාලයේ එරට ආරක්ෂක අංශ වෙත එල්ල කරන ලද චෝදනා සලකා බලන ලද බි‍්‍රතාන්‍ය ආණ්ඩුව සිද්ධි දස වසරකට වඩා පැරණි අවස්ථාවක නීත්‍යානුකූල පියවර ගත නොහැකි වන සේ නීතියක් ගෙන එන්නට උත්සාහ කලේය. නව ඇමැතිනියට අනුව නීතිය ඉදිරියේ කිසිවෙකුට විශේෂ අවස්ථා හිමි විය යුතු නැත. වරදක් කරන අවස්ථාවක නිසි සේ පවත්වන විභාගයකට පසු දඩුවම් නියම කිරිම වරදක් නොවේ. නමුත් සාධාරණ හේතු මත සිදුවන ආරක්ෂක අංශ කටයුතු වල දී කල් ගත වූ පසු සිද්ධි මැඩ පවත්වන අවස්ථාවක සිදුවීම් අරභයා නඩු පවරා ආරක්ෂක අංශ වල මානසිකත්වය පලූදු කිරීම සුදුසු නොවේ. ආරක්ෂක අංශ අතර නඩු විමසන ක‍්‍රම තිබේ. ඒවායේ දඩුවම් ක‍්‍රම ඇත. විනය කඩකරන සොල්දාදුවෙකුට සේනාංකය තුළ විනය ක‍්‍රියාමාර්ග ගැනේ. ඒවාට බාධා නොකළ යුතු අතර වගකීමෙන් නිදහස් කිරීම යනු ආරක්ෂක අංශයේ අයවලූන්ට ඕනෑම වරදකට සමාව දෙන පණතක් නොවන බව බි‍්‍රතාන්‍යයේ නව ආරක්ෂක ඇමැතිනි පෙනී මෝර්ඩුන්ට් නොබෝදා ප‍්‍රකාශ කර ඇත. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවා ආරක්ෂක සේවා භටයින් වෙත පනවන දඩුවම් වලින් මුදවා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙරට තිස් වසරක් තිස්සේ පැවැති දරුණු ත‍්‍රස්තවාදය පරාජය කර සාමය උදා කිරීමේ රණ විරු සැමරුම පසුගිය ඉරිදා රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණ. එය දස වැනි සැමරුම බව සඳහන් කරන්නට අවශ්‍යය. වසර දහයකට පසු පවා ත‍්‍රස්තවාදය පරාජය කරන සටනේ දී සිදුවූ අතපසුවීම් පෙන්වා ආරක්ෂක අංශ වලට දඩුවම් දිය යුතු බවට බලකිරීමක් තිබේ. එය රට තුළින්පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද පැන නැගී ඇති තත්ත්වයකි. ලක්ෂ ගණනක් එක සටන් බිමක මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයක් හමුවේ නොබියව සටන් කරන අවස්ථාවක සිදුවිය නොහැකි දේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක පැවැත්මට තර්ජනයක් මතු වූ අවස්ථාවේ දී නීත්‍යානුකූල රජයක නියෝග අනුව පොලිසිය හා හමුදා සේනාංක ක‍්‍රියා කරන ලද බව අමතක කළ යුතු නැත. කිසි අවස්ථාවක ඉතා ඕනෑකමින් නිරායුධ අහිංසක ජනතාව බිහිසුණු ඉරණමකට පත් කළ බවක් අනාවරණය නොවේ. සාමය තහවුරු කරගැනීමෙන් පසු යම් යම් පාර්ශව නගන චෝදනා කෙරෙහි ඉතා සූක්ෂම ආකාරයකට ක‍්‍රියා කිරීමේ වගකීමක් රටට තිබේ.

රණ විරුවන් බෙලහීන කර ඔවුන්ට වරද පටවා තිබුණි නම් ඉකුත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය හා සෙබලූන් ක‍්‍රියා කරන ආකාරය මෙයට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. කිසි සේත් ආරක්ෂා නොකළ තත්ත්වයක් යටතේ මරාගෙන මැරෙන අන්තවාදී කල්ලියක් මර්දනය කර තත්ත්වය පාලනය කරන්නට ආරක්ෂක අංශ පියවර ගැනීමෙන් පසු එම මෙහෙයුම් වල දී උද්ගත වූ කාරණා ගැන පසු කාලයක නඩු පවරා දඩුවම් කිරීම යුක්ති සහගතදැයි කල්පනා කිරීම අවශ්‍යය. මෙවැනි මෙහෙයුම් ආරක්ෂක අංශ වලට පවරන වගකීම පමණක් නොව නියම නීත්‍යානුකූල හමුදාවක් පවත්වාගෙන යැම ද ආණ්ඩුවක වගකීමකි. පොලිසියට හෝ ආරක්ෂක අංශ වලට සාධාරණ චෝදනා ඇති අවස්ථාවක ආරක්ෂක අංශ වල නියමයන්ට යටත්ව විභාග කිරීම අවශ්‍යය. අවි බලය ගෙන මැරකම් හෝ අයුතු ප‍්‍රයෝජන ගෙන ඇත්නම් ඒවා විශේෂ තත්ත්ව යටතේ පරීක්ෂා කළ යුතුය. නමුත් ගැටුමක දී රණවිරුවන් වන කණ්ඩායම ගැටුම අවසන් වූ පසු හිරගත කළ යුතු නැත. එය ඉතා කල්පනාකාරීව එළැඹිය යුතු පියවරකි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු සමාජය තුළ ආරක්ෂක අංශ කෙරෙහි නැවත වතාවක් ගෞරවයක් ඇති වූ බව නොරහසකි. විශේෂයෙන් බුද්ධි අංශ අඩපණ කිරීම හා එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සිදුවූ වරද ගැන විශාල විවාදයක් ඇති විය. දේශපාලන අංශ රජය දෝෂ දර්ශණයට ලක් කළ අතර රණ විරුවන්ට චෝදනා එල්ල කර සිරගත කර තිබීම ගැන පශ්චාත්තාපයෙන් කතා කළහ. විශේෂයෙන් ත්‍රෙනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා, අනෙකුත් ආගමික නායකයන් සහ සමාජ නායකයන් ආරක්ෂක අංශ වලට චෝදනා එල්ල කර සැකකරුවන් සේ රඳවා තබා ගැනීම, විශේෂ ඒකක වලට කැඳවා ප‍්‍රශ්න කිරීම හා මානසික වශයෙන් පීඩාවට පත් කිරීම හෙලා දැක තිබේ. එය අවධානයට ගත යුතු වැදගත් කාරණයකි.

1977 වසරේ උද්ගත වූ තත්ත්ව හමුවේ 1982 වසරේ දී පනවන ලද පනතකින් හා නැවත වතාවක් 1988 වසරේ දී ශ‍්‍රී ලංකාව ආරක්ෂක අංශ කරන ලද යුක්ති සහගත මෙහෙයුම් අවසානයේ දී වගකීමෙන් ආරක්ෂා කර තිබේ. වගකීමෙන් ආරක්ෂා කිරීමේ සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ඇත. සිද්ධි වල දී සාධාරණ තත්ත්ව යටතේ පොලිසියට හා ආරක්ෂක අංශ වලට එමගින් ලබා දී ඇති නීත්‍යානුකූල රැකවරණය ඉතා වැදගත්ය.

නමුත් ආණ්ඩුව නියම කරන කැරළි මර්දනය පසුව ආරක්ෂක අංශ වලට අධිකරණයේ දී දඩුවම් නියම කරන්නට හේතු වන අවස්ථා තිබේ. මේවා ගැන යුක්ති සහගත විනිශ්චයක් අවශ්‍යය. ආරක්ෂක අංශ වලට බලය දෙන අතර වාරයේ එම බලය නිසි විනයක් ඇතිව භාවිතා කරන උසස් පුහුණුවක් ඇති සේනාංක බිහි කිරීමට ආණ්ඩුව සමත් විය යුතුය. එම විනය ඇති සෙබලූන්ගෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනතුරක් වන සෑම අවස්ථාවකදීම රැකවරණයක් අපේක්ෂා කළ යුතු අතර එම ප‍්‍රයත්නය වෙනුවෙන් නිරීභීතව පෙරට එන ආරක්ෂක අංශ, වගකීමෙන් ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය. ශ‍්‍රී ලංකාව තුළ අභ්‍යන්තර කැරළි ගණනාවක් ඇති වූ අතර එය උතුරේ හා දකුණේ වශයෙන් වෙන් කර දැක්විය හැකිය. නොබෝදා සිදුවූයේ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී කණ්ඩායමක ප‍්‍රහාරයකට මුහුණ දීමටය. ආණඩුව හා විපක්ෂය එකතු වී ආරක්ෂක අංශ වෙත වගකීම පවරන හා සාධාරණ අවස්ථාවල දී සාධාරණ හේතු මත වගකීමෙන් ආරක්ෂා කරන පණත් මගින් රැකවරණය සැපයීම ගැන අවධානය යොමු කළ යුතුය. ආරක්ෂාව පටු දේශපාලන කෝණ වලින් තක්සේරු කර විවිධ චෝදනා එල්ල කිරීම නුසුදුසුය. අපට ඉතිහාසයෙන් පාඩම් තිබේ. නූතනයේ සිදුවීම් අමතක කළ යුතු නැත. ලෝකයේ රටවල් හැසිරෙන්නේ කෙසේදැයි තක්සේරුවකට යා යුතුය.