» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/02/2017 - ඉරිදා ලංකාදීප
තැපැල් කන්තෝරුව තරු හෝටලයක් බවට පත් කිරීම

මහ පොලවට වැටෙන සෑම දිය බිදුවක්ම ප‍්‍රයෝජනයට නොගෙන මහ මුහුදට යන්නට නොදෙන සංකල්පය තුළ විශාල දර්ශනයක් තිබේ. මෙරට පාලනය කරන ලද මහා පරාක‍්‍රමබාහු රජතුමා එකී දැක්ම වෙනුවෙන් පෙනී සිටියේය. ජනගහනය වැඩිවන පසුබිම තුළ ඉඩම සම්බන්ධයෙන් ද අලූත් දැක්මක් අවශ්‍යව තිබේ. ඉඩ කඩ ඇති සෑම තැනක්ම හොදට සැලසුම් කර උපරිම ප‍්‍රයෝජන ගැනීම සුදුසුය. කලින් යුගයේ දී විශාල මෙහෙවරක් කරන ලද කාර්යාල අද කාලයේ දී ප‍්‍රයෝජනයක් නැති තැන් බවට පත්ව තිබේ. ජාත්‍යන්තරය මෙම පැති අධ්‍යයනය කර ඇත. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරයේ සිදුවන අලූත් වෙනස්කම් ගැන අවධානයෙන් ක‍්‍රියා කළ යුතය. කුඩා දූපතක පවතින ඉඩම් හා ගොඩනැගිලි වලින් අති විශාල ව්‍යවසායකත්වයක් ගොඩනගා ගැනීම ඉතාම වැදගත් කර්තව්‍යයයි. එකී ව්‍යවසායකත්ව පරිවර්තනය වෙනුවෙන් අලූත් දර්ශනයක් ඇතිව ක‍්‍රියාත්මක වෙන්නට අවශ්‍යය.

ඇමරිකාවේ සහ සිංගප්පූරුවේ පැරණි තැපැල් කන්තෝරු ගොඩනැගිලි හෝටල් සහ සංචාරක කර්මාන්තය හමුවේ නව පියවරකට ප‍්‍රවේශ වී තිබේ. පැරණි තැපැල් කන්තෝරු ගොඩනැගිල්ල හෝටලයක් බවය පත් කර එය විශාල සංචාරක ආකර්ශනයක් ඇති තැනක් බවට පත්කර ගැනීම අලූත් අදහසකි. එයට කලින් හිර ගෙවල්, ප‍්‍රදීපාගාර, ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැගිලි සංචාරක හෝටල බවට පත්කරගත් අවස්ථා තිබේ. තැපැල් කාර්යාල ගොඩනැගිලි මේ අතරට අලූතින්ම එකතු වී ඇති බව සඳහන් කළ හැකිය. තැපැල් සේවාව ජනතාවට විශාල සේවාවක් කරන ලද බව ඉතිහාසයට එකතු වී ඇති කරුණකි. ලියුමක් තැපැල් කර වැදගත් දේ දැනුම්දීම අද තාක්ෂණික යුගයේ වැදගත් එකක් වී නැත. ඉක්මනින් ලිපි යැවීම හෝ මුදල් හුවමාරු කරගැනීමට ඊ මේල්, හෝ අන්තර්ජාල ගනුදෙනු හඳුන්වා දෙන විට මුද්දරයක් අලවා ලියුමක් තැපැල් කිරීම හෝ මුදල් ඇනවුමක් යැවීම යල් පැන ගිය අදහසක් බවට පත්වෙයි. ලෝකයේ නොයෙක් රටවල තැපැල් සේවාව සංකේත බවට පත්ව ඇති අතර ජනතාව ලියුමක් තැපැල් කරන්නේ කලාතුරකින්ය. තැපැල් සේවාවේ වැදගත් කාලයේ දී තැනූ විශාල ගොඩනැගිලි සංකීර්ණ සහිත ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිලි වලට කරන්නේ කුමක්ද යන්න අවධානය කලක සිට සාකච්ඡා වෙමින් තිබුණි. කඩා බිඳ විනාශ කරනු වෙනුවට ඒවා උපයෝගී කරගෙන සංචාරක කර්මාන්තය නැංවිය හැකි බව නිර්මාණශීලී පුද්ගලයෙකු විශ්වාස කළේය. සිංගප්පූරුවේ සහ ඇමරිකාවේ සිදුවෙන්නේ එයයි.

වොෂින්ටන් නගරයේ තිබුණ ප‍්‍රධාන තැපැල් කාර්යාලය හා ඔරලෝසු කණුව සහිත ප‍්‍රදේශය 1899 දී පමණ ඉදිකරන ලද එකකි. පසු කාලයක තැපැල් කාර්යාලය අන් තැනකට ගෙන යන අතර එය වෙනත් සේවා පවත්වාගෙන කාර්යාලයක් බවට පත් කළේය. පසුව මෙම ගොඩනැගිල්ල වසර හැටකට බදු දී තිබේ. එය බද්දට ගත් ට‍්‍රම්ස් සමාගම තැපැල් කාර්යාලය කාමර 263 කින් සමන්විත හෝටලයක් බවට පත්කර ඇති අතර එයට ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. දහ නම වැනි සියවසේ මුල් භාගයේ තිබුණ ගෘහ නිර්මාණ ශිල්පය නොනැසෙන සේ නැවත හෝටලයක් සේ පර්වර්තනය වූ මෙහි නතර වෙන්නට සංචාරකයෝ බලවත් රුචියක් දක්වන බව අනාවරණය වෙයි.

සිංගප්පූරුවේ ෆුලිට්‍රොන් ගොඩනැගිල්ල ද පැරණි තැපැල් කාර්යාලය ඇතුළු එරට වෙනත් සේවා පවත්වාගෙන ගිය තැනකි. 1928 අවුරුද්දේ සිට භාවිතා කරන මෙම ගොඩනැගිල්ල පසුව අවධානයට නොගැනෙන තැනක් බවට පත් විය. එය තරු හෝටලයක් බවට පත්කරන්නේ පුද්ගලික අංශයයි. සිනෝ ලෑන්ඞ් නමැති සමාගමක් එහි පෞරාණික බව නොනැසෙන සේ අලූත් කර 2001 වසරේ දී සංචාරකයන්ට විවෘත කරන ලද අතර කාමර හාර සියයකින් සමන්විත හෝටලය වෙත විශාල සංචාරක ආකර්ශනයක් තිබේ. නෙදර්ලන්තයේ කෝපර්හේගන් නගර මධ්‍යයේ පිහිටි වසර සියයකට වඩා පැරණි තැපැල් කන්තෝරු ගොඩනැගිල්ල වෙත ද ව්‍යාපාරිකයන්ගේ අවධානය යොමු වී ඇත. එය සාර්ථක වී තිබේ. ඇමරිකානු ඩොලර් බිලියන 190 ක් වියදම් කර සුවිශේෂී සංචාරක තෝතැන්නක් එහි පිහිටුවන්නට යයි. එහි කාමර 400 ක්, නවාතැන් හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු දේ නිර්මාණය කරනු ඇති අතර වසර 2020 වන විට එය විවෘත කරන්නට යෝජනා වී ඇති බව අනාවරණය වෙයි. රටවල් තුනක තැපැල් කාර්යාල තුනක නව ප‍්‍රවනතාවයක් සේ අධ්‍යයනය කළ හැකිය. තැපැල් කන්තෝරුව සංචාරක ව්‍යාපාරයෙහි කොටසක් බවට පත්වෙයි.

ශ‍්‍රී ලංකාව ද මෙම ප‍්‍රවනතා දෙස අවධානය යොමු කළ යුතුය. දීර්ඝ ඉතිහාසයක් රටට තිබේ. ඓතිහාසික වැදගත්කමකින් යුතු ගොඩනැගිලි රාශියක් රට පුරා ඇත. අවුරුදු සිය ගණනක් පැරණි මෙම ගොඩනැගිලි ආකර්ශණීය ව්‍යාපාරික ක්ෂේත‍්‍ර වෙත නැඹුරු කරන්නේ කෙසේද යන්න කෙරෙහි ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවීම වැදගත්ය. පසුගිය කාලයේ දී එවැනි ආයෝජන ගණනාවක් කොළඹ සහ ගාල්ල යන නගරවල සිදුවිය. පවතින දේ වෙනස්කර අලූත් දේ ගොඩනගන කාර්යයක් සිදුවන විට විරුද්ධවීම වෙනුවට එය සාර්ථකව කරන්නේ කෙසේද යන සාකච්ඡුාව රට තුළ තිබිය යුතුය.

අවධානය යොමු කරන විට ලෝකයේ අලූත් දේ වෙනුවෙන් අවධානය යොමු කරන්නේ නොසිතන පැතිවලින්ය. පැරණි බන්ධනාගාර කඩා ඉවත්කරන්නට දෙන්නේ නැති ආයෝජකයෝ ඒවායෙහි තරු හෝටල ඉදි කරති. සැප පහසු ජීවිත ගත කරන විනෝදකාමීහු අලූත් අත්දැකීම් සොයා රටින් රට යන අතරවාරයේ නොසිතන දේ වලින් තමන්ගේ සිතැඟි සාක්ෂාත් කර ගනිති. පැරණි බන්ධනාගාරයක කුටි හෝටල කාමර බවට පත් කරන ව්‍යාපාරිකයෝ හිරගෙදරක අත්දැකීම් දෙනු සඳහා එහි නවාතැන් ගන්නා අයට අන්දවන්නේ සිරකරුවන්ගේ ඇදුම්ය. මාංචු දමා හිරකරන අතර යකඩ දැල් අතරින් ආහාර සපයයි. හුදෙක් විනෝදයට පමණක් නොව මෙම අතවර මගින් මානසිකව හිරගතවීමේ අන් අය ගේ ස්වභාවය තේරුම් ගැනීම ද ඉලක්ක කෙරේ. ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් තිබේ. සාමය උදාවීමෙන් පසු ගත වූ කාලය තුළ ලක්ෂ ගණනින් රටට අමුත්තන් එන බව වාර්තා වෙයි. රට තුළ අලූත් දේ දකින්නට, අලූත් අත්දැකීම් අත් විඳීන්නට පසුබිම සකස් කළහොත් එහි වාසි අත්පත් කරගත හැකි වෙයි.

ලෝකයේ වෙනත් රටවල් සිය පැරණි ගොඩනැගිලි සංරක්ෂණය කර ඒවා පරිහරණය කරන්නේ ආගන්තුක සත්කාර සේවාව ආර්ථික වාසි බවට පත්කර ගනිමින්ය. ශ‍්‍රී ලංකාව සිය ආර්ථික ගැටළු හමුවේ පවතින දෙයින් වාසි අත්කරගන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුය. තැපැල් දෙපාර්මේන්තුවට අයත් පැරණි ගොඩනැගිල්ල පමණක් නොව යටත් විජිත කාලයේ දී රටේ ඉදිවූ නොයෙක් අනන්‍ය වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් හෙබි ගොඩනැගිලි ජාත්‍යන්තර අවධානයට ලක් කරන්නට හැකි සුවිශේෂී ලක්ෂණ සේ පෙනේ. මෙරට ව්‍යවසායකයන්ට හෝ විදෙස් ඒකාබද්ධ ව්‍යාපාර ලෙස මෙකී තැන් ප‍්‍රයෝජනයට ගතහොත් එහි වාසිය ලැබෙන්නේ රටට බව සඳහන් කළ යුතුය.