ලෝකය පුරා ජලය සම්බන්ධ ප‍්‍රශ්න පැන නැගී තිබේ. නොබෝදා නේපාලයේ කත්මන්දු නගරයේ ජලය බෙදාහැරීම සම්බන්ධයෙන් සිදුවී ඇති පසුබිම දීර්ඝ අනාවරණයකට ලක්විය. එහි සදහන් කරන පරිදි නාගරික නල ජලය බෙදාහැරීම අඩපණ වී ඇති අතර විකල්පයක් වශයෙන් ජල බවුසර් මගින් ගෘහ ඒකක වලට බෙදාහැරීම ඇරඹී ඇත. එය පුද්ගලික ව්‍යවසායකයන්ගේ වෙළදාමක් බවට පත්ව ඇත. ජල බවුසර තුනක් හිමි ප‍්‍රදීප් ටමාසාන් නමැති පුද්ගලයා නිව්යෝක් ටයිම්ස් පුවත් පතට ප‍්‍රකාශ කර ඇති අන්දමට ඔහුගේ දුරකතනය නාද නොවන වෙලාවක් නැත. සියළුම ඇමැතුම් වලින් ඉක්මනින් ජලය සපයන සේ ආයාචනා කෙරෙති. සාමාන්‍ය නගරවැසියන් පමණක් නොව සමහර තානාපති කාර්යාල පවා ඔහුට ඉතාම ලෙන්ගතුය. කරුණාවන්තය. නගරයේ කෙළවරක පිහිටි ඇතැම් ආහාර පාන නිෂ්පාදනායතන ජලය හිගකම නිසා නිෂ්පාදනය පාලනය කර ඇති අතර ඔවුහු නිතරම ජලය සපයන සේ ඇවිටිලි කරති. ප‍්‍රදීප් ටමාසාන් ප‍්‍රකාශ කරන පරිදි වතුර කියන්නේ ‘‘රත්තරන් දියරයකි.’’
බවුසර වලින් ගෙන එන පිරිසිදු ජලය ගැන ජනතාව මහත් බලාපෙරොත්තු සහිතව සිටිති. නමුත් අවාසනාවකට මෙන් මේවායේ පිරිසිදුකම ගැන කිසිම විශ්වාසයක් නැත. කත්මන්දු නගරයේ පමණක් මෙහෙයැවෙන ජල බවුසර හාරසියයක් ඇති ව්‍යාපාරිකයෙකු වැඩි ලාභ අපේක්ෂාවෙන් කොතැනකින් හෝ වහාම ජලය ප‍්‍රවාහනය කරන පියවර හෙයින් මතු වී ඇති බරපතල ගැටළු ගැන ද අවධානය යොමු කර තිබේ. නිවසට ලැබෙන ජලයට මුදල් ගෙවනවා පමණක් නොව ඒවා අපිරිසිදුය. කාර්මික කැලිකසල වලින් දූෂණය වී තිබේ. ඒවා නැවත පිරිසිදු කරන්නට පහසුකම් නැති දුගී ජනතාව බලවත් ගැටළු වලට මුහුණ දෙති. ලෝකයේ සෑම රටකම පාහේ කාලගුණ වෙනස්කම් පවතින අතර අධික වැසි අවසන් වන වහා දීර්ඝ නියගයක් පවතී. ජල මුලාශ‍්‍ර අධික ජනගහනයට ප‍්‍රමාණවත් නැත. නොයෙක් අපද්‍රව්‍ය මිශ‍්‍රවීම ජල සැපයුමක තත්ත්වය අර්බුදයකට ලක් කර තිබේ.
එක්සත් ජාතීන් ගේ සංවිධානය ලෝකයේ සියළුම ජනී ජනයාට පිරිසිදු වතුර සපයන ඉලක්කයක් සකස් කර තිබේ. එය විශාල වියදමක් දරන්නට සිදුවී ඇති සෑහෙන පරිශ‍්‍රමයක නිරත විය යුතු කාර්යයක් වී ඇත. එහි වාර්තා පෙන්වා දෙන පරිදි ලෝක ජනගහනයෙන් බිලියන 2.2 කට පිරිසිදු ජලය නිසි කළමණාකරණයක් සහිතව ලැබෙන්නේ නැත. බිලියන 4.2 ක ජන කොටසකට ප‍්‍රමිතියක් සහිත සනීපාරක්ෂක පහසුකම් නැති බව අනාවරණය වෙයි. මේවා 2019 වසරේ අනාවරණය වී ඇති කරුණුය. සෑම වසරකම අවුරුදු පහට අඩු දරුවන් 295,000 ක් අපිරිසිදු ජලය හා නිසි සනීපාරක්ෂාව රහිත තත්ත්ව හෙයින් ජීවිතක්ෂයට පත් වෙති. එසේ තිබිය දී ලෝකයේ සිදුවන විපත් වලින් සියයට අනූවක් අධික වැසි හා ගංවතුර හේතුවෙන් බව සදහන් කරන්නට ද අවශ්‍යය. එම ජල ප‍්‍රමාණය ජීවිත හා දේපොල විනාශ කරන්නට සමත්ව තිබේ. අනෙක් අවධානය යොමු කළ යුතු කරුණක් ද ඇත. ජනී ජනයා පරිහරණය කරන අපවිත‍්‍ර ජලය ප‍්‍රමාණයෙන් සියයට අසූවක් කිසිම පිරිපහදුවකින් තොරව පරිසරයට මුදාහරිමින් සිටිති. මෙම තොරතුරු පෙන්වන තත්ත්වය ඉතා කණගාටුදායකය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව පවුලේ වියදමෙන් සියයට තුනකට වඩා පිරිසිදු ජල අවශ්‍යතා වෙනුවෙන් වැය කළ යුතු නැත. එය සම්මතයක් සේ සලකයි. නමුත් ජල සැපයුම දුෂ්කර රටවල වැසියෝ සිය ආදායමෙන් සෑහෙන කොටසක් ජල අවශ්‍යතා වෙනුවෙන් වැය කරමින් සිටිති.
පසුගිය වසරේ දී නේපාලයේ කත්මන්දු නගරයේ තත්ත්වය හා සමාන ස්වභාවයක් ඉන්දියාවේ චෙන්නයි ප‍්‍රාන්තයේ ද ඇති විය. මිලියන සංඛ්‍යාත ජනකායක් අවම වශයෙන් පානීය ජලය හෝ ප‍්‍රමාණවත්ව නැති අර්බුදයකට මුහුණ පෑවේය. ජල බවුසර් වලින් ගෙනැවිත් බෙදා දෙන තුරු ජනතාව දිග පෝලිම් වල සිටින දර්ශන අන්තර් ජාතික මාධ්‍ය පළ කළ අතර ඉන්දියාවට ලැබෙන මෝසම් වැසි සියයට 43 කින් අඩු වී ඇති බව එරට කාලගුණ බලධාරීහු වාර්තා කර තිබුණි.
කත්මන්දු හා චෙන්නයි නගර ශ‍්‍රී ලංකාවට වැඩි ඈතක පිහිටි ප‍්‍රදේශ නොවේ. සති ගණනකට කලින් අධික වැසි වැටී ගංවතුර විපත් ඇති කරන ලද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන නගර අද වන විට වියලි ස්වභාවයක් ගෙන ඇත. අධික උණුසුම ජන ජීවිත පීඩාවට පත් කර තිබේ. ප‍්‍රධාන ජලාශ ආශ‍්‍රිතව ජල මට්ටම පහත වැටී ඇති අතර ජල විදුලිය සීමා විය හැකි බව දැනටමත් ප‍්‍රකාශ වී ඇති කරුණකි. මෙම කරුණු සලකා බලනවිට ලෝකයේ අනෙක් රටවල පවතින ජල අර්බුදය අපට නොදැනෙන්නට හේතුවක් නැත. නල ජල පහසුකම ප‍්‍රධාන කලාප වලට බෙදාහරින අතර ඒවායේ නඩත්තු කටයුතු හෙයින් නිතර විසන්ධි කරන බව පෙනේ. නල ජලය ඉල්ලා ඇයැදුම් පත‍්‍ර භාර දී ඇති පිරිස සැලකිය යුතු පිරිසක් විය හැකිය. නමුත් සැපයුම සම්පූර්ණ කළ නොහැකි බව අනාවරනය වෙයි. ජලය සැපයුම සදහා දරන පිරිවැය රජයට කළමනාකරණය කරගත නොහැකි අතර ගාස්තු නංවන බවට ද යෝජනා වී තිබේ. මෙම අවධානය පානීය ජලය ගැන පමණකි. එහෙත් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ද විශාල ජල ප‍්‍රමාණයක් භාවිතා කරමින් සිටී. වාරි ජලය වෙනුවෙන් මිලක් අය කරන්නේ නැත. සමහර ගොවි සමිති නඩත්තු කටයුතු වෙනුවෙන් සුළු මුදලක් අය කරයි. ගොවියන්ට ලැබෙන වාරි ජලය සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් සැපයෙන් අතර එය සමස්ථ ජනතාව ගෙවන බදු වලින් ආවරණය වන බව ද පෙන්වා දිය යුතුව ඇත. මෙරට පානීය හා කෘෂි ජල සම්පාදනය ගැන අලූත් අවධානයක් යොමු කළ යුතු කාලය එළැඹ තිබේ. ජල පහසුව ස්වභාවිකව පවතින සහ නිසි කලට වැසි ලැබ ප‍්‍රශ්න නිරකරණය කරනු ඇති බවට පවතින ආකල්ප සම්බන්ධයෙන් අලූතින් අවධානය යොමු කිරීම වැදගත් බව පෙනේ.
බස්නාහිර පලාතට ජලය සපයන ප‍්‍රධාන ගංගාවක් වන කැළණි ගඟ අපවිත‍්‍ර බව මෙරට බලධාරීහු නොයෙක්වර පෙන්වා දී ඇත. අපවිත‍්‍ර ජලය කෙලින්ම ගඟට යොමු කෙරේ. නීති රීති පවතින නමුත් ඒවා බලපවත්වන්නේ නැත. රට පුරා ජලාශ වල විෂ රසායනික හා පොලිතීන් ගහන බව වාර්තා දක්වයි. දරුණු ගැටළුවක් වී ඇති වකුගඩු ආබාධ වලට හේතුව ද විෂ මිශ‍්‍ර ජලය බව අනාවරණය වී ඇත. පානීය ජලය සහ කෘෂි අවශ්‍යතා වෙනුවෙන් ජලය කළමණාකරනය කරන ජල පෝෂක කලාප ගැන අලූත් අවධානයක් යොමු කරන අවශ්‍යතාවයක් පැන නැගී තිබේ. චෙන්නායි හෝ කත්මන්දු වැනි නගර අන්දමට බලවත් දුෂ්කරතා වලට පත්ව අන්තිමේ දී ජල බවුසර් වලින් ජලය මිල දී ගැනීම උග‍්‍ර තත්ත්වයකට පත්වීමට කලින් එය අවශ්‍යතාවයකි.
ලෝකයේ බොහෝ රටවල් දැනටමත් සිය ප‍්‍රශ්න හමුවේ මුහුදු ජලය පිරිසිදු කර බෙදාහැරීමේ ව්‍යාපෘති ආරම්භ කර තිබේ. එය විශාල වියදමක් දරන්නට සිදුවන ව්‍යාපෘති බව සඳහන් කළ යුතුය. මැද පෙරදිග රටවල බහුලව සිදුවේ. මුහුදු ජලය පිරිසිදු කරන ව්‍යාපෘති වලින් නිපදවන ජලයෙන් සියයට හැටක් මැද පෙරදිග කලාපය භාවිතා කරන අතර සියයට දොලහක පමණ ප‍්‍රතිශතයක් ඇමරිකාව උපයෝගී කරගන්නා බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. තෙල් සම්පතින් පොහොසත් රටවල් පවා රන් දියරය ගැන සෑහෙන වියදමක් කරමින් සිටී. ලෝක ගෝලයේ වැඩිම භූමි ප‍්‍රමාණයක් ජලයෙන් වැසී ඇති නමුත් පානීය ජලය වශයෙන් භාවිතා කළ හැකි ප‍්‍රමාණය ඉතාම සුළු බව අනාවරණය වන වැදගත් කරුණකි. ජල හිඟය උග‍්‍ර වන විට තවත් විකල්ප බලන්නට පර්යේෂකයෝ සූදානම්ය. එමිරේට්ස් රාජ්‍යයෙන් අනාවරණය වන තොරතුරකට අනුව ඇන්ටාක්ටිකාවෙන් අයිස් ග්ලැසියර ඇදගෙන එන අදහසක් ඉදිරිපත්ව තිබේ. එමිරේට්ස් හි ඩුබායි නගරයේ ඉංජිනේරුවන් මෙම වසරේ මැද භාගය වන විට අයිස් ග්ලැසියර ඇදගෙන එන අරමුණ ඇතිව නිල වෙබ් අඩවියක් ද ප‍්‍රකාශයට පත් කර ඇත. පළමු පියවර වශයෙන් අඩි හත්දාහක් දක්වා දිග මෙටි‍්‍රක් ටොන් මිලියන සියයක් පමණ බර දැවැන්ත අයිස් කන්දක් ඇදගෙන එන්නට සූදානමින් සිටී. මෙම අදහස වෙනුවෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 50-60 අතර පිරිවැයක් දරන්ට සිදුවනු ඇති බව ගණන් බලා ඇත. ජලය පිරිපහදු කළ හැකි නමුත් එයට දරන්නට සිදුවන පිරිවැය ඕනෑම රටක ආර්ථිකයට ප‍්‍රශ්නයක් වන හෙයින් ස්වභාවික වැසි සහ භූගත ජලය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍යය.
අනාගතයේ දී පිරිසිදු ජලය බහුලව පැවැතිය හැකි කලාප ලෝකයේ සලකුණු කරන විද්‍යාඥයෝ එම ප‍්‍රදේශ ඉතා අවධානයකින් සංරක්ෂණය කළ යුතු බව අවධාරණය කරති. එම කලාපයට ශ‍්‍රී ලංකාව ද අයත්ය. මෙරට ඇතැම් ප‍්‍රදේශ වල ජල ප‍්‍රශ්න ඇති නමුත් සමස්ථයක් වශයෙන් ස්වාභාවික ජල සම්පත බහුලය. ගංගා දිය ඇලි මගින් රට පුරා ජල පෝෂණ තත්ත්වය ඇති කර තිබේ. සංවර්ධනය හා මිනිස් ක‍්‍රියාකාරකම් හෙයින් ස්වභාවික ජල පද්ධති දුෂණය වෙමින් පවතී. කළමනාකරණයක් නැති භාවිතාව අනාගතයේ දී අර්බුද ඇති කරන හේතුවක් විය හැකිය. දැනටමත් ජලයට මිලක් නියම වී තිබේ. අතීතයේ දී බෝතල් කළ පානීය ජලය මිල දී ගත්තේ නැත. මගතොට පැන් තාලියක් තිබුණ රටක් වතුර බෝතල විකුණමින් සිටී. එය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් ව ඇත. ජල හිඟයක් ඇතිවුවහොත් මෙම වාතාවරණය වෙනස් මුහුණුවරක් ගනු ඇති අතර එයට මුහුණ දීම වෙනුවෙන් නිසි පියවර ගැනීම අවශ්‍යය. සමහරවිට කෘෂි අංශ හා වාරි ජල සම්පාදනය ගැන පුලූල් අවධානයක් යොමු කිරීම අවශ්‍යය. ඒවායේ ජලය ගබඩා කිරීම, අවශ්‍යතා පරිදි මුදා හැරීම හා එයට වැය වන මුදල ගැන සමාජය තීන්දු කළ යුතුව තිබේ.
|