» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/12/2016 - ඉරිදා ලංකාදීප
පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පවත්වන අන්දම

පිලිපීනයේ නව ජනාධිපතිවරයා වශයෙන් රොඞ්‍රිගෝ ඩුටේර්ටේ බලයට පත්වෙන්නේ මෙයින් මාස පහකට පමණ කලින්ය. හෙතෙම ආන්දෝලනාත්මක චරිතයකි. විශාල ජනප‍්‍රසාදයක් සහිතව බලයට පත් විය. ජාත්‍යන්තරය අද ඔහු දෙස අවධානයෙන් බලා සිටී. හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධව කරන සටනයි. බලයට පත් හෙතෙම මත්ද‍්‍රව්‍ය වලට ගොදුරුවූවන්ට හා ජාවාරම් කරුවන්ට වහාම බාර වෙන ලෙස නියම කළේය. එම නිවේදනයට පසු හැට දහසක වැඩි පිරිසක් ආරක්ෂක අංශ වලට බාර වූ බව ප‍්‍රකාශ වෙයි. නීතියට අවනත නොවී තවමත් හැසිරෙන කල්ලි වලට ඔහුගෙන් සමාවක් නැත. අනුකම්පා විරහිත නායකයෙකු යැයි මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහසයි. මේ වන විට මත් ද්‍රව්‍ය සම්බන්ධ පුද්ගලයන් හය දහසකට වැඩි පිරිසක් මහ මග මරා දමා තිබේ. මෙම අය මත් ජාවාරම් කරුවන් බව කියැවේ. නැත්නම් එයට ගොදුරු වූවෝය. මත් ද්‍රව්‍ය මාෆියාවට උත්තරය ඝාතනය ද? ලෝක නායකයෝ බලපෑම් කරන්නට පටන්ගෙන ඇත. නමුත් පිලිපීන නායකයා ඒ බව තකන්නේ නැත. ‘‘ මම අපායට ගියත් කමක් නැහැ මගේ සේවය ලබන ජනතාව දිව්‍ය ලෝකයට යනවා නම්’’ යනුවෙන් ඔහු වරක් සඳහන් කළේය. මත් ද්‍රව්‍ය වසංගතයට හෙතෙම නායකත්වය දෙන ස්වරය එයයි.

නීතිඥයෙකු සහ පක්ෂ නායකයෙකු වන හෙතෙම දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් ඇති අයෙකි. මුලින් පිලිපීනයේ මින්දනාවෝ දුපතෙහි අධික ජනගහනයක් ඇති දවාවෝ නගරයේ නගරාධිපති ධුරයට පත්විය. අවුරුදු විසි දෙකක් නගරය පාලනය කළේය. එය අඛණ්ඩව, දීර්ඝ කාලයක් නගරාධිපති තනතුරක සේවය කළ පළමු අවස්ථාව වශයෙන් එරට ඉතිහාසයට එකතු වී තිබේ. අපරාධකරුවන්ට ඉඩ දෙන්නට හෙතෙම සූදානම් නැත. ‘අච්චුකරන්නා’ යන අන්වර්ථ නම ඔහුට හැදෙන්නේ ඒ අනුවය. දවාවෝ නගරය කලින් කියැවෙන්නේ ‘ඝාතකයන්ගේ නගරය’ වශයෙනි. පසුව ගිණිකොන ආසියාවේ සාමකාමී නගරයක් දක්වා පරිවර්තනය කරන්නට ඔහුගේ කාලයේ දී සමත් වූ බව ජාත්‍යන්තර වාර්තා අනාවරණය කරයි. මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිම බුරුලක් දෙන්නට ඔහු සූදානම් නැත.

පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සමුළුවක් ඇමැතූ හෙතෙම අන්තිම මත් ජාවාරම්කාරයා, අන්තිම මත් ද්‍රව්‍ය තොගය අහවර කරන තෙක් සටන නතර නොකරන බව කියා සිටි අතර ජාත්‍යන්තර ප‍්‍රජාවට අනතුරු ඇඟවූයේ ඔබේ නියෝජිතයන් ඉන්නවා නම් ඉවත් කරගන්න කියමින්ය.

සාමකාමී ලෝක ප‍්‍රජාවට මත් ද්‍රව්‍ය විශාල හිරිහැරයකි. දුප්පත් රටවල, දුගී ජනතාව හෙරොයින්, කොකේන් නිපදවන පොපි, කෝකා වගා කරන්නේ ජීවත් වෙන්නටය. ඒවා නෙලා මත් ද්‍රව්‍ය නිපදවා ලොව පුරා බෙදාහරියි. ලෝකයේ කිසිම රටක් මත් ද්‍රව්‍ය නිපදවන්නට, බෙදාහරින්නට හෝ විකුණන්නට අවසර දෙන්නේ නැත. අඩු තරමින් පරිහරණය ද නීති විරෝධීය. නමුත් එය අතිවිශාල බලවත් වෙළඳාමකි. එයින් හුමවාරු වෙන කලූ සල්ලි ලෝකය පුරා විසිරී තිබේ. සන්නද්ධ පිරිස් නැව්, ගුවන් යානා භාවිතා කරමින් නොයෙක් උපක‍්‍රම ඔස්සේ ලොව පුරා මත් ද්‍රව්‍ය හසුරවති.

ශ‍්‍රී ලංකාව ඇතුළු නොයෙක් රටවල මත් ද්‍රව්‍ය ජාවාරම මරණ දඞුවම හිමිවන වරදකි. අධිකරණයේ නඩු පවරන අතර වරදකරු වුවහොත් සමාවක් නැත. නමුත් පිලිපීනයේ ජනාධිපතිවරයාගේ ක‍්‍රමය නඩු විභාග කරන කල්ගතවන එකක් නොවේ. දැනටත් ඔහු නගරාධිපති වශයෙන් සිටිය දී ඔහු විසින් ම කරන ලද ඝාතන ගැන හෙළිදරව් වී ඇති අතර එය පිළිගෙන ඇති හෙතෙම යතුරු පැදියකින් ගමන් කරමින් මත් ජාවාරම් මැඩ පවත්වන්නට පුද්ගලිකවම මෙහෙයුම් වල නිරත වූ අන්දම දක්වන්නේ ජාත්‍යන්තරය විස්මයට පත් කරමින්ය.

මෑත වකවානුවේ දී ශ‍්‍රී ලංකාව මත් ද්‍රව්‍ය හුවමාරු වන තැනක් බව හෙළිදරව් විය. රට හරහා රැගෙන යන බහාලූම් පරීක්ෂා කිරීමේදී විශාල කොකේන් තොග අල්ලා ගන්නට හැකි වී ඇත. කිලෝ ගණන් තොග රටට එන ඒවා නොවන බව විශ්වාස කළ හැකි නමුත් රට ඇතුලට එන මත් ද්‍රව්‍ය ප‍්‍රමාණයක් ද ඇති බව නොරහසකි. මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සූක්ෂම හා උපායශීලී වැඩ පිලිවෙල පරාජයට පත්කරන්නට නීතිය යුහුසුළු වෙමින් තිබේ. වරාය හරහා කරන මත් ද්‍රව්‍ය ප‍්‍රවාහනය නතර කරන්නට කරන වැටලීම් ගැන නිරීක්ෂණය කරන විට එහි ඇතුලාන්තය, හුවමාරුවන ආකාරය ඉතාම සූක්ෂම බව පෙනේ. මෑතක දී රජයේ ජේ්‍යශ්ඨ ඇමැතිවරයෙකු සඳහන් කරන ලද ආකාරයට අත් අඩංගුවට ගන්නා විශාල තොග වලින් අධිකරණයට ඉදිරිපත් වන ප‍්‍රමාණ ගැන ද සැක මතු වී තිබේ. කොටසක් අපහරණය වන බව එයින් අදහසක් මතුවෙයි. දේශපාලනය, නීතිය, ධනය හා බලය එකතු වන විට මත් ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම පහසු එකක් නොවේ. ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටකට සංවිධානාත්මක ව්‍යාපාර ජාලයක් හමුවේ සටන් කිරීම පහසු නැත. වැටලීම, අත්අඩංගුවට ගැනීම සහ අධිකරණ ක‍්‍රියාමාර්ග අතර දී සිදුවන අක‍්‍රමිකතා ගැන කියැවෙන්නේ එහෙයින්ය.

ලෝකයේ විවිධ සමාජ මත් ද්‍රව්‍ය ජවාරම සහ ඇබ්බැහිවීම තුරන් කරන්නට නොයෙක් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටී. පිලිපීන ජනාධිපතිවරයා අනුගමනය කරන ක‍්‍රමය ගැන විවේචන තිබේ. නමුත් එරටට විකල්පයක් නැත. ශ‍්‍රී ලංකාවේ මත් ජාවාරම හා ඇබිබැහිවීම බරපතල යැයි කියන්නට ඉක්මන් විය යුතු නැත. නමුත් ධනවත් සමාජය ඉතාම ඉහළ මිල ගණන් වලට ද, දුප්පත් සමාජය සුළු මිලට ද එයට ගොදුරු වී තිබේ. නාගරික ප‍්‍රදේශ වල තරුණන් ගෙන් කොටසක් මත් ද්‍රව්‍ය වලට බිලි වී ඇත. ගොදුරු වූ පවුල් කඩා වැටී තිබේ. සමාජ විනාශ වී ඇත. අධික වෙහෙසෙන පිරිස මත්පැන් වලට වඩා නොයෙක් අභිරහස් මත් ද්‍රව්‍ය ගන්නා බව ප‍්‍රකටය. ඡන්ද කාලයේ දී පෝස්ටර් අලවන්න පමණක් නොව පෝස්ටර් ගලවන්නට ද බහුලව යොදා ගන්නේ කුඩු වලට ඇබ්බැහි වූවන් බවට ඇති ප‍්‍රචාර නොසලකා හරින්නට නොහැකිය. පොලිසිය, මත්ද්‍රව්‍ය නාශක අංශ හා පුනරුත්තාපනය අලූත් අභියෝගයක් සේ පවතින තත්ත්වය දෙස බලන්ට අවශ්‍යය.

ශ‍්‍රී ලංකාව මත් ද්‍රව්‍ය බෙදා හරින මධ්‍යස්ථානයක් වෙමින් පවතින්නේ නම් එය නැග එන බරපතල අනතුරකි. අවමානයකි. දේශපාලන බේධයෙක් තොරව මෙයට එරෙහිව විශාල මතයක් සූදානම් කළ යුතුය. මත් උවදුර පතුරවන බලවේග වලට විරුද්ධව ජනතාව සිය බලය පාවිච්චි කරන්නට අවශ්‍යය. බිම් මටට්මේ සිට සූදානමක් අවශ්‍යය. පාසල, ආගමික සිද්ධස්ථානය, සමාජ නායකයන් සහ දේශපාලන නායකයන් එකතු වී රටේ අනාගතය ගැන හිතන්නට අවශ්‍යය. මත් ද්‍රව්‍ය, මත් ජාවාරම යළි හැරවිය නොහැකි සේ රට විනාශ කරන්නට ඉඩ තිබේ. සම්ප‍්‍රදාය අනතුරකට පත් කළ හැකිය. මැදි ආදායම් රටක අලූත් ප‍්‍රබෝධය මෙවැනි උපාය වෙනුවෙන් ලෙහෙසියෙන් ගොදුරු වෙයි. එය ජාත්‍යන්තරය පෙන්වන අත්දැකීමකි. එයට ඉඩ නොදෙන ව්‍යායාමයක් වෙනුවෙන් ස්වේච්ඡා සංවිධාන සහ සමාජ බලවේග පෙරට එන්නට අවශ්‍යය. මත් ද්‍රව්‍ය රට තුළ බෙදාහැරීම වලක්වන්නට පියවර ගත යුතුය. ඇබිබැහියට ඉඩ දිය යුතු නැත. පවුල, අසල්වැසියන් සූක්ෂම වුවහොත් එයට පහසු බව තේරුම් ගැනීම වටී. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් ද මෙම විපතේ කොටස් කරුවන්ය. මත් ලෝලීන් පුනරුත්තාපනය ද ක‍්‍රමවත් නැත. ආණ්ඩුවට පමණක් එය කළ හැකි එකක් නොවේ. විවිධ ක‍්‍රම, ආගමික සංවිධාන සිය මෙහෙයැවීම මත සමාජය ගැන අවධානයෙන් සිටීම වැදගත්ය. පිලිපීනය අද පවතින තත්ත්වයට පත්වූයේ හදිසියේ නොවේ. සාමාන්‍ය සමාජයක සිට එහි පැවැත්ම වෙනස් වූයේ ඉතාමත් ඉක්මනින්ය. ජාත්‍යන්තරය පෙන්වා දෙන්නේ එයයි. ව්‍යසනය එළිපත්තට පැමිණි විට රාජ්‍ය නායකයාට සිදුවූයේ එය පාලනය කිරීම තමන්ගේ අතට ගන්නටය. පිලිපීනයේ ජනාධිපතිවරයා ඝාතකයෙකු සේ ආවේගයෙන් හැසිරෙන විට එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුනාංග වලට එල්ල කරන අභියෝග ගැන ද තේරුම් ගත යුතුය. අද සැලසුමක් මගින් පාලනය කරන්නට හැකියාව ඇති මෙම ව්‍යසනයට මුහුණ දීම අද සමාජයේ සෑම දෙනෙකුගේම වගකීම හා යුතුකම විය යුතුය.