» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/11/2018 - ඉරිදා ලංකාදීප
භාරකාර ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණයක්

බංගලාදේශ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනය ඉතා වැදගත් එකකි. සාධාරණ මැතිවරණයකට කදිම ආදර්ශයක් සපයයි. මහ මැතිවණයක දී නිර්පාක්ෂික භාරකාර ආණ්ඩුවක් යටතේ ඡන්දය පැවැත්විය යුතු බව එම සංශෝධනයෙන් ප‍්‍රකාශවෙයි. ආණ්ඩුව හා විපක්ෂ දේශපාලන පක්ෂ අතර බරපතල නොගැලපීමක් විශාල අර්බුදයක් පවතින වකවානුවක දේශපාලන පක්ෂ වලට ආණ්ඩු බලය රහිත පසුබිමක් තුළ ස්වාධීන ඡන්දයකට එයින් මනා පිටිවහලක් ලැබේ.

නොබෝදා වන විට ශ‍්‍රී ලංකාවේ උද්ගත ව තිබුණ ශී‍්‍ර ලංකාවේ දේශපාලන කැළඹීම පිලිබඳව ගැඹුරින් සලකා බලන විට කිසිම දේශපාලන පක්ෂයකට අනවශ්‍ය වාසි නොලැබෙන ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම සුදුසුය. දේශපාලන අභිලාශයන්ගෙන් තොර ස්වාධීන පාලනයක් යටතේ ඡන්දයක් පවත්වා අලූත් ජනවරමක් ලබා ගැනීම ඉතාමත් වටිනා බව සඳහන් කළ යුතුය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීම පදනම් කරගෙන පැවැති ආණ්ඩුවට බහුතර බලය අහිමි වූ බවට මතයක් ඇති විය. පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්ත ඇති පක්ෂ නායකයා අගමැති වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කරනලද බව ප‍්‍රකාශ වෙයි. දිවුරුම් දීමෙන් අනතුරුව ගැසට් පත‍්‍රය නිකුත් කරන ලද අතර අලූත් කැබ්නට් මණ්ඩලයක් ද පත් කර තිබේ. පැවැති ආණ්ඩුවේ හිටපු අගමැතිවරයා එය පිලිගත නොහැකි තත්ත්වයක් බව දක්වන අතරවාරයේ දී පාර්ලිමේන්තුව අලූත් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත කරගෙන තිබේ. එය සම්මත කරන ලද ආකාරය ගැන විශාල ආන්දෝලනයකි. එකී විරෝධතා අතරතුර ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කළේය. එම තීන්දුවට එරෙහිව අධිකරණයට ගොස් ඇත. එකින් එක පැටලී එක හා සමාන තර්ක විතර්ක වලින් ජන සමාජය තුළ විශාල ඝෝෂාවක් පැන නැගී තිබේ. පාර්ලිමේන්තුව තුළ ගැටළුව විසඳා ගැනීමට දරන ලද උත්සාහ ව්‍යවර්ථ වී ඇත. ආණ්ඩුව හා විපක්ෂය කිසිම එකඟතාවයකට සූදානම් නැති අතර විධායක ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා අතර ද බිඳින්නට හැකියාවක් නැති තර්ක ගොඩ නැගී තිබේ. අලූත් ජනවරමකින් හැර සෑම පාර්ශවයකටම පිලිගත හැකි විසªමක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. මැතිවරණ කොමිසම මහ මැතිවරණයකට සූදානම්ය. මුලින් සඳහන් කළ ව්‍යාකූල තත්ත්ව යටතේ මැතිවරණ පැවැත්වීම උගහටය. දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥන් ගෙන් භාරකාර ආණ්ඩුවක් බලගැන්විය හැකිද? එම ආණ්ඩුව යටතේ මහ මැතිවරණයකට සූදානම් කරන්නට දේශපාලන පක්ෂ එකඟ කරගත හැකිද? මෙම ප‍්‍රශ්න වලට එක එල්ලේ උත්තරයක් නැත. බංගලාදේශය ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක් සාධාරණව මහ මැතිවරණ වලට මුහුණ දෙන භාරකාර ආණ්ඩු ක‍්‍රමය මෙහි දී ඉවහල් කරගත හැකිය.

බංගලාදේශය සිය ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මහ මැතිවරණ පැවැත්වීම නිර්පාක්ෂික භාරකාර ආණ්ඩුවක් යටතේ සිදු කිරීමට ප‍්‍රතිපාදන සකස් කළේය. 1996 වසරේ දී එම සංශෝධනය කරන ලදී. එම වසරේ දී හා එයින් පසු 2001 හා 2008 වසර වල මහ මැතිවරණ පවත්වන විට සංශෝධිත නීතිය අනුගමනය කර ඇත. ආණ්ඩුව හෝ විපක්ෂය යන දේශපාලන පාර්ශවයන්ට අයත් නැති ස්වාධින කණ්ඩායමක් මැතිවරණ වකවානුවේ රට පාලනය කළේය.

බංගලාදේශයේ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය තෙක් පැමිණීම දක්වා දීර්ඝ අතීතයක් තිබේ. 1990 වසරේ සිට බලයේ සිටින දේශපාලන පක්ෂ ඡුන්දයට සහභාගීවීමේ දී මතුවන අසමානතා ගැන සාකච්ඡා කර ඇත. පසුව ප‍්‍රධාන දේශපාලන පක්ෂ තුන මූලික රාමුවකට කැමැති වී ඇති අතර දේශපාලනයෙන් තොර ස්වාධීන කණ්ඩායමකට භාරකාර ආණ්ඩුව පවරන්නට එකඟ වී තිබේ. පළමු මැතිවරණයේ දී අග විනිසුරුවරයා ඒ සඳහා තෝරා ගෙන ඇති බව දැක්වෙයි. අගමැති යන හැඳීන්වීම වෙනුවට ප‍්‍රධාන උපදේශක යන නාමට අන්වර්ථ කරනලද අතර නිර්පාක්ෂික පුද්ගලයන්ගෙන් තෝරාගත් ඇමැති මණ්ඩලය උපදේශකවරු වශයෙන් හදුන්වා තිබේ. ප‍්‍රධාන උපදේශකවරයාට අගමැතිට හිමි සියළු බලතල ඇති නමුත් ආරක්ෂක අමාත්‍යංශය නැත. මැතිවරණ පැවැත්වීමේ දී සෑම පැත්තක් කෙරෙහි සාධාරණව කටයුතු කර අලූතින් ජන වරම දිනා ගන්නා දේශපාන පක්ෂයට ආණ්ඩුව භාර දීම භාරකාර රජයේ වගකීම බව බංගලාදේශ ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනය දක්වයි.

බංගලාදේශයේ 2008 මහ මැතිවරණයේ දී අලූත් හැªනුම් පතක් පවා නිකුත් කරන්නට නැඹුරු වූ අතර ස්වාධීනව සෑම පක්ෂයකටම යුක්තිය ඉටුවන ආකාරයට භාරකාර ආණ්ඩුව ක‍්‍රියා කිරීම ගැන ජනතාව සතුටට පත් වූ බව එරට තොරතුරු වාර්තා දක්වයි. දේශපාලන පක්ෂ වල හැසිරීම සම්පූර්ණයෙන්ම පාලනය නොවූ නමුත් එයින් ඉතා සුදුසු වාතාවරණයක් බිහිකර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග ශක්තිමත් කරන්නට සමත් වූ බව මැදහත් විචාරකයන්ගේ අදහසයි.

ශ‍්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය ගැන අති විශාල විවේචන තිබේ. මැතිවණ වල දී කරන ප‍්‍රචාරය, අකටයුතුකම් හා බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ගැන සෑහෙන චෝදනා ඇත. මනාප සඳහා එකම පක්ෂයේ පවා අපේක්ෂකයන් අතර ගැටුම් රටට කර ඇති හානිය බරපතලය. මැතිවණයට කරන වියදම, මැර බලය හා නීති උල්ලංඝනය කර පවත්වන ප‍්‍රචාරය වැලැක්වීමට හැකියාවක් ලැබී නැත. බලය ඇති හා නැති පාර්ශව අතර අසමානතා නොයෙක් ගැටළු ඇති කර තිබේ. රාජ්‍ය දේපොල මැතිවරණ වල දී භාවිතා කරන ආකාරය ඉතා අවිනීත බව අවිවාදිතය. සෑම අවිධිමත් ක‍්‍රියාවක්ම හා අවභාවිතාවක්ම වලක්වන්නට ඇති තරම් නීති වගන්ති තිබේ. නමත් නීති පනවන්නට හෝ රට පාලනය කරන්නට බලය ඉල්ලන පක්ෂ හා දේශපාලනඥයෝ සාහසික සේ නීති උල්ලංඝනය කරන අවස්ථා ඉතාම බහුලය. ශ‍්‍රී ලංකාවේ වැතිවරණ විශාල ධන නාස්තියක් හා බලය අයුතු සේ භාවිතා කිරීමක් බව පැහැදිලිව සඳහන් කළ හැකිය. එවැනි ඉතිහාසයක් ඇති රටක අද පවතින නොසන්සුන් වාතාවරණය පාලනය කරන්නේ කෙසේද? පාර්ලිමේන්තුවේ සම්ප‍්‍රදාය, නීති රීති හා එකිනෙකා කෙරෙහි පැවැතිය යුතු ගරුත්වය නොසලකා දඩබ්බරව හැසිරුන ආකාරය අනුව ඉදිරි මැතිවරණයක ස්වභාවය කෙබඳු මුහුණුවරක් ගනු ඇත්දැයි යුක්තිගරුක වටපිටාවක් අපේක්ෂා කරන සෑම පුරවැසියෙකුටම ගැටළුවකි.

පවතින වාතාවරණය තේරුම් ගෙන එයට සාපේක්ෂව යම් සාධනීය ප‍්‍රතිසංස්කරණ හදුන්වා දිය යුතුව තිබේ. සමාජ සාධාරණත්වය වැදගත්ය. යුක්තිගරුක පසුබිමක් යටතේතම සමජන නියෝජිතයා පත් කර ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ. එම නියෝජිතයන් වැඩිම පිරිස අයිති පක්ෂයට රටේ පාලනය භාරදිය යුතුව ඇත. එය ඉතාමත් පිරිසිදුව කරන්නට බංගලා දේශයේ අත්දැකීම රටට වටිනා එකකි. දේශපාලන පක්ෂ හෝ සමාජ සංවිධාන වලට එකතු වී අලූත් යමක් ගැන තීරණයක් ගත හැකිය. ජනතාව අලූත් මතයක් ඇති කළ යුතුය. බලය ජනතාව අත තිබේ. දේශපාලනඥයන්ට බල කර පැවැත්ම වෙනස් කරන්නට අවශ්‍යය. යහපත් ලක්ෂණ මතු කරගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය උසස් තත්ත්වයට කැඳවිය නොහැකි වුවහොත් ශ‍්‍රී ලංකාවේ අනාගතය අන්ධකාරය වෙත තල්ලූවනු නිසැකය.

සර්ව සාධාරණ තත්ත්ව යටතේ අලූත් ආණ්ඩුවක් පත් කරගත යුතුය යන අදහස බැහැර කළ නොහැකි එකකි. පවතින විශාල අර්බුදය හමුවේ ආණ්ඩුව කවර පාර්ශවය ද යන්න තෝරා ගැනීමට තර්ක කිරීම නිෂ්ඵලය. අලූත් අවස්ථාවක් වශයෙන් නිර්දේශපාලනික භාවිතාවකට යා යුතුව තිබේ. කිසිම දේශපාලනයකට නැති, භාරකාර ආණ්ඩුවේ නියෝජිතයෙකු වුවහොත් එයින් අනාගත අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට ප‍්‍රයත්න නොදරන සුළු කණ්ඩායමක් යටතේ භාරකාර ආණ්ඩුවක් හදා මහ මැතිවරණයක් පැවැත්වීම සුදුසුය. රට කෙරෙහි මතු වී ඇති බරපතල අපකීර්තිය අවම කරගන්නට එයින් ලැබෙන පිටිවහල ද සුළු පටු නොවේ.