» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/08/2019 - ඉරිදා ලංකාදීප
සතුටින් ජීවත් වන සමාජයක් ගොඩනගා ගැනීමේ වෑයම

මුළු මහත් ජන සමාජයම අපේක්ෂා කරනන එකදෙයක් තිබේ. සතුටින් ජීවත් වීමය. උදේ සවස මහත් ආයාසයකින් බස් රථයක හෝ දුම්රියේ පාපුවරුවේ එල්ලී ගමන් කරන පුරවැසියෝ සෑහෙන ප‍්‍රමාණයක් සිටිති. අවදානම ගැන නොදන්නවා නොවේ. මහන්සිය ප‍්‍රශ්නයක් බව නිසැකය. ඔවුහු අවසානයේ අපේක්ෂා කරන දෙයක් ඇත. ඒ සතුට හා සැනසුමයි. උපයන දෙයින් මිලයට ගත හැකි තරමට හිත සහ කුස පිරෙන්නට ආහාර ලබා ගැනීම ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන අතර නිවසක්, ඇදුම් පැළදුම්, බෙහෙත් හේත් සහ දරුවන්ට අනාගතයක් මූලික වශයෙන් අරමුණු කරති.

සතුට අතින් ස්පර්ශ කර මැන බලන්නට පුලූවන්කමක් නැත. නමුත් සතුට මනින මිණුම් දණ්ඩක් නිර්මාණය කරන්නට ජාත්‍යන්තරයට හැකියාව ලැබී තිබේ. ත‍්‍රස්තවාදය විවිධ වේශයෙන් එන බව ආරක්ෂක අංශ තහවුරු කර තිබේ. එය ලෝක සතුටු දර්ශකය සේ දක්වයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් තිරසාර සංවර්ධන ජාලය ලෝක සතුටු වාර්තාව ප‍්‍රකාශයට පත් කරයි. 2011 වසරේ දී පළමු වරට මෙම අදහස සම්බන්ධයෙන් යෝජනාවක් සාකච්ඡා වී තිබේ. අනතුරුව 2012 වසරේ අප‍්‍රියෙල් මාසයේ දී පළමුවෙන් ප‍්‍රකාශයට පත් කර ඇත. 2019 වසරේ සතුටු දර්ශකය අනුව ලෝකයේ සතුටින්ම ජීවත්වන රටවල් උතුරු යුරෝපීය කලාපයේ බව නිරීක්ෂණය කළ හැකිය. පින්ලන්තය, ඩෙන්මාර්ක්, නෝර්වේ, අයිස්ලන්තය, නෙදර්ලන්තය, ස්විට්සරලන්තය හා නවසීලන්තය ඒ අතර ඉහළින්ම පසු වෙති.

ලෝකයේ රටවල් අතර විශාලම භූමියක් සහිත ඒවා තිබේ. ස්වභාවික සම්පත් බහුල රටවල් ඇත. දක්ෂ මානව සම්පත සහිත රටවල් සෑහෙන ප‍්‍රමාණයක් තිබේ. නමුත් උතුරු යුරෝපය සතුටින්ම ජීවත්වන රටවල් ගනයට අයත්වන්නේ ඇයි? එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුට මැන බලන විශේෂ දර්ශකයට අයත් ලක්ෂණ ගණනාවකි. රට තුළ ජනතාවගේ ආර්ථික හා සමාජ තත්ත්වය මැන බලන අතර තෝරාගත් නියැදියක් ගැඹුරින් විශ්ලේෂණය කරයි. එයට අනුව ධනය හෝ බලය සතුට ඇති කරන්නේ නැත. සතුට ඇති රටවල් ගැන සලකා බලන විට එම රටවල ජනතාව කැපවීමෙන් වැඩ කරන අතර වැඩ කරන ජනතාව බලා ගැනීමට පාලන යාන්ත‍්‍රණය තුළ මැනැවින් විධි විධාන යොදා තිබේ. කැපවීමෙන් වැඩකරන හෙයින් මෙම රටවල නිෂ්පාදනය ඉහළ මටට්මක ඇත. එහෙයින් ධනය නිපදවයි. මෙම ධනය සමාජය තුළ සාධාරණ අන්දමට බෙදී යමින් තිබේ. මහන්සි වී වැඩ කරන ජනතාවට තමන්ගේ ජීවිතය පැත්තෙන් යම් පසුබෑමක් සිදුවුවහොත් රැකබලා ගන්නට ආණ්ඩු ඉදිරිපත්වන බවට විශ්වාසයක් ඇත. එම විශ්වාසය ජනිත වන්නේ ක‍්‍රමය අනුවය. රටක ක‍්‍රියාත්මක වන පාලන ක‍්‍රමය අනුව සාධාරණ අවස්ථා, යුක්තිගරුක භාවය හා නිර්දේශපාලනිකත්වය ඉතාම වැදගත්ය. ආණ්ඩු බලයට පත් කරනු සඳහා පක්ෂ යාන්ත‍්‍රණයක් පවතින නමුත් ඡන්දයෙන් පසු පාක්ෂිකත්වය අත්හැර සියළු රටවැසියන්ට සමාන අවස්ථා තහවුරු කළ යුතුව තිබේ. රට තුළ ඇති පාලන ක‍්‍රමය මගින් ජනතාව ආරක්ෂා කරන ඔවුන්ට ගරුත්වය ඇති කරන බවට විශ්වාසයක් පවතී නම් සතුට ඇතිකරන වෙනත් කාරණා අවශ්‍ය නැත.

දළ දේශීය නිෂ්පාදනයේ නැගීම රටක සංවර්ධනයේ දර්ශකයක් ලෙසින් පෙන්නුම් කිරීම සාමාන්‍ය තත්ත්වයයි. සතුටු දර්ශකය පමණක් නොව ජනතාවගේ සතුට යනු රටේ සංවර්ධන දර්ශකය ලෙස සලකන රාජ්‍යයක් ද දකුණු ආසියාවේ තිබේ. එම රට භූතානයයි. බොද්ධ ජනතාව සියයට හැත්තෑවක් වෙසෙන භූතානය 1907 දී බි‍්‍රතාන්‍යය සමග ඇති කරගත් එකඟතාවයක් අනුව රජ පෙළපතක් සහිත මධ්‍යගත පාලනයකට ඇතුලත් විය. බි‍්‍රතාන්‍යයට යටත් කර ගැනීමේ උවමනාවක් නොතිබුණ භූතානය පසුව ලෝක වාසීන්ගේ අවධානය දිනා ගන්නේ සතුටු දර්ශකය හෙයින්ය. භූතානයේ ජනතාව පී‍්‍රතිමත් ජීවිත ගත කරන්නේද යන්න ගැන සැලකිලිමත් වන එරට පාලනය රටේ පාලනය, මූලික කරුණු සතරක් නිර්නායක සේ භාවිතා කරයි. සමාජ ආර්ථීක සමානාත්මතාවය, පරිසර සංරක්ෂණය, සංස්කෘතික දායාදයන් රැුක ගැනීම හා යුක්ති ගරුක නීති රීති යන්න ඒ කරුණූ සතර බව සඳහන්ය. බෞද්ධ ආගමික දර්ශනය අනුව සැකසුන මෙම ප‍්‍රතිපත්ති උල්ලංඝනය කරන්නට එරට ඉඩක් නැත.

අද වන විට සිංගප්පූරුව සතුට ඇති කරන ව්‍යුහය ගැන අවධානය යොමු කිරීම අරඹා තිබේ. සමාජ තත්ත්වය, සෞඛ්‍ය පහසුකම් හා පුරවැසියන් රැකබලා ගැනීම ඉදිරියේ විශේෂ වැඩ සටහන් සකස් කර ඇත.

ශ‍්‍රී ලංකාව යටත් වන විට පැවතියේ රාජාණ්ඩු ක‍්‍රමයකි. මේ ක‍්‍රමය පවත්වාගෙන ගිය ආකාරය ගැන ප‍්‍රශ්න තිබිය හැකිය. නමුත් නිදහසින් පසු ගතවු කාලය තුළ අධීරාජ්‍යවාදීන් විසින් සකස්කර දුන් රාමුවෙන් බැහැරව අනන්‍ය ක‍්‍රමයක් ගැන අවධානය යොමු නොකිරීම නිසා අද රටට උදා වී ඇති ඉරණම පැහැදිලිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ආඩම්බරයෙන් කතාකරන අපට අපේ මහජනතාව හෝ සමාජය සතුටින් පසුවිම ගැන ආඩම්බර විය හැකිද? අලූත්ම සතුටු දර්ශකය අනුව ශ‍්‍රී ලංකාවේ ස්ථානය 130 බව සඳහන්ය. රටවල් 156 ක් අතරින් එකසිය තිස් වැනි ස්ථානය සැනසිය හැකි දෙයක් නොවේ. මෙම ලේඛණයේ අවසානයට පසුවන්නේ දකුණු සුඩානයයි. ලෝක බලවතා වශයෙන් සැලනෙ ඇමරිකාව පවා 19 වැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් දෙවසර තුළ 14 වැනි ස්ථානයේ සිට පසුබෑමකට ලක්ව ඇත. ලෝකයේ රටවල් අතර සතුට ගැන සඳහන් වන තැනක සිට ශ‍්‍රී ලංකාව ඉලක්ක කරන්නේ කුමක්ද?

ශ‍්‍රී ලංකාවේ ආදායම හා වියදම අතර ප‍්‍රශ්නයක් තිබේ. රුපියල් සියයක් උපයන ශ‍්‍රී ලංකාවට රු.දෙසීයක වියදමක් කරන්නට සිදුවී ඇත. මෙරට ආර්ථිකයේ සරල උදාහරණය එයයි. මෙයින් පෙනෙන්නේ මෙරට ගමන් මග අනපේක්ෂිතව විනාශ කර ගෙන ඇති බවයි. නිදහසින් පසු දශක හතකට වැඩි කාලය තුළ ආණ්ඩු ගනණාවක් දේශපාලන නායකයන්ගේ දැක්ම අනුව සංවර්ධන වැඩ සටහන් රැසක් හඳුන්වා දෙනු ලැබීය. මේ වෙනුවෙන් වැය කළ මුදල අති විශාලය. මෙකී සංවර්ධන සඳහා දේශිය හා විදේශීය වශයෙන් ණය වී ඇති ප‍්‍රමාණය අති මහත්ය. නමුත් ප‍්‍රතිපල අපේක්ෂිත තරම් නැත. එයට හේතුව කුමක්ද? අද පවතින ගෝත‍්‍රික දේශපාලනය වගකිව යුතුය. පක්ෂ බලා ගන්නේ තමන්ගේ පාක්ෂිකයන් පමණකි. එය විශාල ගැටළු ඇති කර තිබේ. ජනතාව වෙනුවෙන් බෙදා දෙන සහනාධාර ප‍්‍රමාණය ලෝකයේ සංවර්ධිත රටකට නොදෙවෙනිය. රාජ්‍ය ධනය අති විශාල වශයෙන් වශයෙන් බෙදා දෙමින් තිබේ. ඒවායෙන් ජනතාව සතුටු වී තිබේද?

සංස්කෘතික හා සමාජයීය වශයෙන් ලෝකයේ වෙසෙන විවිධ ජන කොටස් විවිධය. ඔවුන්ගේ සිතුම් පැතුම් හා අපේක්ෂා නොයෙක් ස්වරූපයෙන් විය හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යහපත් පාලන ක‍්‍රමයක් බව ජගත් ප‍්‍රජාවගේ පිළිගැනීම වුවත් මුහුණ දෙන අන්දම අනුව නම් ජනතාව අත්විඳින අවකාශය එකිනෙකට වෙනස්ය. ශ‍්‍රී ලංකාව මේ වෙනස්කම් හා ලංකාවාසීන් අත්විඳින අන්දම පිළිබඳව විවෘත කතාබහකට යා යුතු මොහොත උදා වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය එහි ගුණාංග මහජනතාවගේ උවමනා එපාකම්, බටහිර දර්ශක සහ අවසානයේදී මහජනතාවගේ සැනසිල්ල යන කාරණා නායකයින්ගේ තීරණ සමග තුලනය කිරීම අවශ්‍යතාවයකි. පවතින රාමුව වෙනස් කරන්නට අවශ්‍යය. ක‍්‍රමය තුළ ඵලදායීතාව හා කාර්යක්ෂමතාව නැංවීම අවශ්‍යය. එතැනින් නිපදවන ධනය සමාජයට පටු බේධ ඉවත ලා සාධාරණව ලැබෙන්නට සලස්සවන ක‍්‍රමයක් අවශ්‍යය. පක්ෂ දේශපාලනය මගින් තම තමන් ගේ කන්ඩායම් නඩත්තු කරන කඳවුරු ක‍්‍රමය රටට ගැලපෙන එකක් ද යන්න ප‍්‍රශ්න කළ යුතුය. දේශපාලන නායකයන් රට සංවර්ධනය කරන බව ප‍්‍රකාශ කරමින් සිටී. ඉදිරියේ දී පවත්වන මැතිවරණ සමයේ වේදිකාවල දී නැගෙන විශාල හ`ඩක් බවට පත් වනු ඇත. නමුත් ජනතාව සතුටින් තබන්නට පිලිගත හැකි ක‍්‍රමයක් අනුගමනය කරන්නට සූදානම්ද? ජනතා විශ්වාසය දිනා ගත හැකි යුක්තිගරුක පාලනයක් ඇති කරන්නට දේශපාලන නායකයෝ නැඹුරු විය යුතුය.