» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/06/2017 - ඉරිදා ලංකාදීප
වගා කරන ලද මුහුදු මාලූ වෙළඳ පොලට එන දවස

ධීවර කර්මාන්තය පසුගිය දශකය තුළ තාක්ෂණික මුහුණුවරක් ගත්තේය. මසුන් අල්ලන ක‍්‍රම සහ මසුන් බහුලව සිටින ස්ථාන සොයා ගැනීම සඳහා චන්ද්‍රිකා තොරතුරු තාක්ෂණය භාවිතා කළේය. එය හුදෙක් පැවැති සම්ප‍්‍රදායික ක‍්‍රමයෙන් වෙනස් වී විද්‍යාත්මක ව්‍යුහයක් දක්වා පරිවර්තනයකි. මසුන් ඇල්ලීම කළමණාකරණය වූ අතර මහ මුහුදේ ජීවත්වන මසුන් වෙන්කර හොඳීන් වැඩුණ මසුන් පමණක් අල්ලාගත හැකි හා බෝවීමට බාධාවක් නොවෙන්නට මසුන් ඇල්ලීම කරන තරමට එහි විධි විධාන පුළුල් වී ඇති බව පෙනේ. එසේ තිබිය දී මෑත කාලය තුළ තවත් වැඩි අවධානයක් යොමු වී ඇති අංශයක් තිබේ. ආහාර වෙනුවෙන් මුහුදු ජීවීන් වගා කිරීමයි. 2019 වන විට ලෝකයේ වාර්ෂික සාමාන්‍ය මුහුදු ආහාර අස්වැන්න නෙලා ගැනීම අභිබවා වගා කිරීමෙන් ලබන නිෂ්පාදනය ඉහළට එනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය නිවේදනය කර තිබේ. එය අවධානයට ගත යුතු වැදගත් කාරණයකි.

සාමාන්‍යයෙන් වගාකරන මුහුදු ජීවී නිපැයුම අවුරුද්දකට සියයට හතරක් පහක් අතර ප‍්‍රමාණයකින් ඉහළට යන බව දැක්වෙයි. වසර 2010 වන විට එය සියයට හැටකට මදක් අඩු ප‍්‍රතිශතයක විය. ක‍්‍රමයෙන් වර්ධනය වූ එම නිපැයුම තවත් වසර දෙකක් ඇතුලත මුහුදෙන් අල්ලා ගන්නා මාලූ හෝ ජලජ ආහාර වලට වඩා වැඩි ප‍්‍රමාණයක් ජනතාව විසින් ව්‍යාපාරයක් වශයෙන් වගාකර නිපදවනු ඇති බව සැලකේ. එය මෙවැනි ප‍්‍රගතියක් දක්වන්නේ ඇයි? ලෝකයේ ජනගහනය වැඩිවීම හා සමානව ආහාර සම්බන්ධ ප‍්‍රශ්න මතු වී තිබේ. සාගර කලාපය ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය වෙනුවෙන් භාවිතා කළ හැකි විශාල ප‍්‍රදේශයක් බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ. නමුත් දිගින් දිගටම මාලූ අල්ලා ගැනීමේ දී ක්ෂය වන වේගය ඉහළ ගොස් තිබේ. විකල්පයක් වශයෙන් තෝරා ගැනෙන්නේ නියමිත කලාප වල කිසියම් විද්‍යාත්මක ක‍්‍රමයකට මුහුදු ජීවීන් වගා කිරීමයි.

තමන්ගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් ජලජ ජීවීන් වගා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙන කරුණකි. කි‍්‍රස්තු පූර්ව 6,000 ගණන්වල ඔස්ටේ‍්‍රලියාවේ ඇබෝජින් ආදිවාසීහු ජලාශ කොටුකර ඒවායේ රැුස්වන මාලූ තමන්ට වසර පුරා අස්වැන්න ගෙන දෙන සේ තබාගෙන ඇත. එයින් පසු කාලයක චීනයේ ගංගාධාර ප‍්‍රදේශවල ජීවත්වූවෝ වැසි වැටී ගංගා පිටාර ගලන කාලයේ ඒවායෙන් ඇදී එන ජලජ ජීවීන් කොටු කරගෙන තිබේ. පසුව ජපානය ඇතුළු ආසියානු රටවල් විශාල ප‍්‍රමාණයක් මෙකී කාර්යය වෙනුවෙන් නැඹුරු වී ඇත. ආහාර අවශ්‍යතා වැඩිවන හා හොඳ පෝෂ්‍යදායී ආහාරයක් වශයෙන් මුහුදු මාලූ හා ජීවීන් කෙරෙහි ඉල්ලූම ඉහළයන විට නිෂ්පාදනය නංවන්නට සිදුවෙයි. එය ඉතිහාසයේ පැවැති සම්ප‍්‍රදාය අනුව යමින් නවීන ගොවිපොල ක‍්‍රමයකට අනුගත වෙන්නේ ඒ අනුවය. කෘතීම පද්ධතිවල ඇතිකරන මාලූ, ජලජ ජීවින් සහ ජලජ ශාඛ විශාල වෙළඳ පොලක් නිර්මාණය කරන අතර 2012 වසරේ දී එය ධනෝත්පාදනය කරන විශාල ව්‍යවසායයක් බවට පත්ව ඇත. ජල ජීවී වගාව පැතිරෙන නමුත් මෑත වසර වල සැමන් සහ කූනිස්සන් වගාවට අහිතකර රෝග පැතිරෙන්නට පටන්ගෙන තිබේ. අනෙක් මත්ස්‍ය නිෂ්පාදන වලට වඩා සැමන් සහ කූනිස්සන් නිෂ්පාදන මිල ඉහළ යන්නට එය බලපා ඇතැයි වෙළඳ පොල වාර්තා දක්වයි.

චීනය මාලූ වගා කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටී. අවුරුද්දකට මෙටි‍්‍රක් ටොන් හැත්තෑවක් පමණ නිපදවන බව දැක්වෙයි, සමහර ප‍්‍රාන්ත වල එකදිගට කුඩා ඉස්සන් කොටු විශාල ප‍්‍රමාණයක් දැකගත හැක. ඇමරිකාව ද මාලූ වගා කිරීමෙහි නිරතය. ඉන්දුනීසියාව මෙටි‍්‍රක් ටොන් පහලොව ඉක්මවා වසරකට මාලූ වගාකර නිපදවන අතර ඉන්දියාව, වියට්නාමය, පිලිපීනය, බංගලාදේශය හා දකුණු කොරියාව වැනි රටවල් මාලූ නිපදවීම අතින් ඉදිරියෙන් සිටින බව අනාවරණය වෙයි. පැසිපික් මුහුද ස්වභාවිකව මාලූ බහුල සහ මහා පරිමාන ධීවර කාර්මිකයන් සේවයේ නිරත කලාපය වශයෙන් සැලකෙන අතර ආසියානු කලාපය මසුන් හා ජලජීවී වගාව කෙරෙහි නැඹුරු වෙම්න් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. මෙම සියවස ආසියානු යුගය වශයෙන් සැලකේ. ආසියානු කලාපයේ රටවල ආර්ථිකය වේගයෙන් දියුණු වෙන බව තක්සේරුවයි. ආර්ථික හා සමාජයීය වශයෙන් දියුණු වන ආසියාවේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් ජලජ ආහාර නිෂ්පාදනය නැංවීම ඉතා වැදගත් පියවරක් සේ සැලකේ.

ලෝකයේ නොයෙක් තැන ධීවර කර්මාන්තය වර්ධනය වන ව්‍යවසායයක් වන අතර බහුල වශයෙන් වගාකරන්නට ද පෙළඹෙන බව සඳහන් කළ හැකිය. ශ‍්‍රී ලංකාව මෙම ස්වභාවය ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? ශ‍්‍රී ලංකාවට විශාල සාගර කලාපයක් තිබේ. මෑතක දී සාගර සීමා නීර්ණය කිරීමේ අන්තර් ජාතික කටයුතු වල දී තවත් පුලූල් ගැඹුරු මුහුදක් අයිති වෙන තැනට කාර්යය සිදුවිය. රට තුළ අභ්‍යන්තර ජලාශ පද්ධතිය සෑහෙන ව්‍යාප්ත එකකි. ලක්ෂ සංඛ්‍යාත වැව් ඒ අතර ප‍්‍රධාන තැනෙක ලා සැලකිය හැකිය. නමුත් මාලූ සහ ජලජ ජීවී කර්මාන්තය එපමණ වර්ධනය නොවූ ක්ෂේත‍්‍රයකි. නොකෙරෙන්නේ යැයි සඳහන් කළ නොහැක. සුළු වශයෙන් සිදුවෙයි. නමුත් එය වඩා පැතිරවිය හැකි අංශයකි.

මාලූ වගා කිරීම බෞද්ධ රටකට නුසුදුසු සංකල්පයක් යැයි ජනතාව විශ්වාස කිරීම මෙහි ව්‍යාප්තියට බාධාවක් බව පෙනේ. නමුත් බෞද්ධ රටක් වශයෙන් තායිලන්තයේ ධීවර කර්මාන්තය තාක්ෂණිකව විශාල දියුණුවක් අත්පත් කරගෙන ඇත. එය අවධානයට ගත යුතු කරුණකි. අනෙක් අතට මෙරට වෙළඳ පොලේ මාලූ මිල ගණන් ගැන වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු කාරණයකි. සාමාන්‍ය ජනතාව ගේ මාලූ පරිභෝජනය ඉතාම අඩු වෙන තරමට මිල ඉහළය. අඩුම මිලකට අලෙවි වෙන කටු සහිත කුඩා මාලූ කිලෝවක් පවා රුපියල් දෙසීය ඉක්මවයි. එයින් මාලූ ග‍්‍රෑම් දෙසිය පණහක් මිල දී ගෙන නිවසට යන ඇතැමෙක් හිතින් දොස් කියන්නේ මාලූ මුදලාලි මේවා විකුණන්නේ වගා කරලා වගේ යැයි මුමුණමින්ය. නමුත් වගා කරනවා නම් මෙම මිලට වඩා අඩුවට මාලූ මිල දී ගන්නට පාරිභෝගිකයන්ට අවස්ථාවක් ලැබේ. මාලූ වල අධික මිල හෙයින් කුකුළු මස් සහ සැමන් ටින් පරිභෝජනය ඉතාම වැඩි වී ඇති බව වෙළඳ පොල වාර්තා දක්වයි. සැමන් ටින් කිරීම සුළු වශයෙන් රට තුළ සිදුවන නමුත් ඒ වෙනුවෙන් ද මාළු පිටරටින් ආනයනය කෙරේ. ටින් කරන ලද සැමන් අති විශාල ප‍්‍රමාණයක් චීනය, තායිලන්තය හා තායිවානයෙන් ගෙන්වන අතර හාල්මැස්සන් ඇතුළු කරවල ද ආනයනය කරන්නේ විශාල විනිමය ප‍්‍රමාණයක් වියදම් කරමින්ය. මෙසේ ආනයනය කරන මාලූ හෝ කරවල වලින් සෑහෙන කොටසක් ශ‍්‍රී ලංකාව අවට මුහුදින් අල්ලාගත් ඒවා විම එහි නොපෙනෙන පැත්ත බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ශ‍්‍රී ලංකාව අවට සැරිසරන ධීවර නැව් මගින් අල්ලා ගන්නා මසුන් වලින් කොටසක් මෙරටට එවන අතර තවත් තෝරාගත් කොටසක් යුරෝපා රටවලට යැවෙන්නේ ශ‍්‍රී ලංකාවේ ලියා පදිංචිය යටතේය. නොබෝදා රටට යුරෝපා ප‍්‍රජාවගෙන් විශාල අවස්ථාවක් ලැබිණ. එකක් නැවත මාලූ අපනයනයට ඉඩ ලැබීමය. අනෙක ජී.එස්.පී. ප්ලස් සහනයයි. මෙම බදු සහනය යටතේ ඇඟළුම් පමණක් නොව එකිනෙකට වෙනස් අපනයන ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් අපනයනය කළ හැකිය. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ධීවර කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කළහොත් දැන් ඇඟළුම් අපනයනය කර උපයන විනිමය ප‍්‍රමාණයට වඩා විශාල විදේශ විනිමට ප‍්‍රමානයක් මත්ස්‍ය අපනයනයෙන් රටට උපයා ගත හැකි බවය. රට තුළ ඇති බොදුනු සංස්කෘතිය මාලූ වගා කිරීම හෝ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු ව්‍යාප්තියට බාධාවක් නම් ඒ වෙනුවෙන් විකල්ප කෙරෙහි අවධානය යොමු කිරීම වටී. දේශීය ව්‍යවසායකයන්ට විදේශීය පිරිස සමග එකතු වී මත්ස්‍ය වගාව හා ධීවර කටයුතු ඇරඹිය හැකිය. එය ලෝක ප‍්‍රවනතා අනුව අලූතින් නැගී එන ක්ෂේත‍්‍රයකි. මුහුදු ජීවීන් වගා කිරීම රැකියා අවස්ථා ඇතිකරන සහ එහි ආදායමෙන් රට සංවර්ධනය කරන්නට යෙදවිය හැකි බව සඳහන් කළ යුතුය.