» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/02/2018 - ඉරිදා ලංකාදීප
දේශපාලනයෙහි නිරත අය මිතුරන් යැයි ජනතාව නොසලකන්නේ ඇයි?

මැතිව් හැන්කොක් බි‍්‍රතාන්‍ය දේශපාලනඥයෙකි. ඇමැතිවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටී. ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය හා ක‍්‍රීඩා යන විෂයයන් ඔහුගේ අමාතයංශයට අයත්ය. නොබෝදා ඔහු තමන්ගේම ඇප් එකක් එළිදැක්වීය. පරිගණක තාක්ෂණය අනුව හැසිරෙන අලූත් පරම්පරාවට ඇප් ගැන අවබෝධයක් ඇත. නිති පතා දහස් ගණනින් නවතම ඇප් විශේෂ ලෝකය පුරා නිකුත්වෙයි. මැතිව් අමාත්‍යවරයා ‘‘මෙට් හැන්කොන් එම්.පී.’’ (Matt Hancock.MP)යනුවෙන් නම් කර ඇති ඇප් එක ඒ අතරින් වෙනස් එකකි. ඔහුගේ දේශාපාලන ජීවිතය ගැන තොරතුරු සහ අලූත් අදහස් එයින් එළිදක්වන බව සඳහන් කළ යුතුය.

‘‘ද ගාඩියන්’’ පුවත් පත දක්වන අන්දමට වෙනත් සමාජ මාධ්‍ය ජාලා වලට වෙනස් අවකාශයක් මෙම ඇප් එක මගින් නිර්මාණය කර ඇති අතර තමන්ගේ ජංගම දුරකථනයේ ඇප් එක ස්ථානගත කරන ලද කොටස ස්පර්ශ කළ සැනෙන් මැතිව් හැක්කොක් අමාත්‍යවරයාගේ එදිනෙදා විත්ති, සජීවී දර්ශන සහ අවශ්‍යනම් ඇමතිවරයා සමග අදහස් හුවමාරු කරගැනීමට ද ඉඩ දී තිබේ.

බි‍්‍රතාන්‍යයේ බටහිර සෆ්ලෝක් මැතිවරණ කොට්ඨාශයේ මහජන නියෝජිතයා වන හෙතෙම 2010 මහ මැතිවරණයෙන් ජය අත් කරගැනීමෙන් අනතුරුව පවත්වන ලද මැතිවරණවල දී සෑම අවස්ථාවකම ඡන්ද පදනම වැඩි දියුණු කරගන්නට සමත්ව ඇත. තම ඡන්ද දායකයා සමග නිතිපතා පවත්වන සම්බන්ධතා සහ පුරවැසි වගකීම නිසි අයුරින් ඉටු කරන්නට සමත්වීම මෙම ජනතා ආකර්ශනය දිනා ගැනීමට හේතු වී ඇති බව නිසැකය. මැතිව් හැන්කොක් සිය ඇප් එක මගින් එය තවත් පියවරකට ගෙන ගොස් තිබේ. ජනතාව දැනගත යුතු දේ හැකි සෑම අවස්ථාවකම විකාශය කරන්නට නොපසුබට වන අතර පුරවැසියන්ට අනවශ්‍ය නම් ඒවා නොසලකා හරින්නට ද ඉඩ දී ඇත.

‘‘මාධ්‍ය මගින් අසත්‍ය දේ ප‍්‍රචාරය කරමින් සිටී. විශේෂයෙන් සමාජ මාධ්‍ය වලින් එදිනෙදා හුවමාරු වන දේ වලින් සෑහෙන ප‍්‍රමාණයක් වගකීමෙන් තොර’’ බව මැතිව් හැන්කොක් ඇමැතිවරයා කියා තිබේ. ‘‘දේශපාලනය පහසු වෘත්තියක් නොවන අතර සෑම අවස්ථාවකම ආකර්ශනයකට ලක් වන’’ බව ද ඔහුගේ මතයයි. ‘‘වාසනාවකට මෙන් බි‍්‍රතාන්‍යයේ විකාශන පණත තොරතුරු පැතිරවීමේ දී කිසියම් පාලනයක් ඇතිකර ඇති අතර ජනතාව වෙත යොමුවන ප‍්‍රවෘත්ති වලින් සෑහෙන ප‍්‍රමාණයක් විශ්වාස කළ හැකි දේ බව’’ ද මැතිව් හැන්කොක් ඇමතිවරයාගේ අදහසයි. ‘‘ජනතාවගේ නියෝජිතයෙකු වශයෙන් පොදු කාරණා වල දී ක‍්‍රියා කරන අන්දම මැනවින් පෙන්වා දීම අරමුණු කරගෙන ඇප් එකක් හදුන්වා දුන් අතර එය තමන්ගේ ඡන්ද දායකයන් අතර සෑහෙන ජනප‍්‍රිය වෙම්න් පවතින බව’’ ද මැතිව් හැන්කොක් ඇමතිවරයා මාධ්‍ය වලට කරුණු දක්වමින් පෙන්වා දී තිබේ.

ලෝකයේ ප‍්‍රකට පුද්ගලයෝ තොරතුරු තාක්ෂණයේ වාසි අවාසි වලින් ප‍්‍රයෝජන ගනිමින් සිටිති. තමන්ගේ ෆේස් බුක්, ටිවිටර්, ඉන්ස්ටග‍්‍රෑම් හෝ බ්ලොග් අඩවි වලින් නොයෙක් ආකාරයෙන් තොරතුරු පතුරවමින් සිටී. මෑත කාලය තුළ සමාජ මාධ්‍ය භාවිතාව වේගයෙන් වර්ධනය වී තිබේ. තොරතුරු දක්වන අන්දමට බිලියන තුනක් නැතිනම් ලෝක ජනගහනයෙන් සියයට හතලිහක් සමාජ මාධ්‍ය මගින් එකිනෙකා සමග සම්බන්ධ වී ඇත. අඩුම තරමින් එක අයෙකු පැය දෙකක් පමණ සමාජ මාධ්‍ය සමග ගත කරන අතර සෑම මිනිත්තුවකටම ටිවීට් හෝ පින්තූර මිලියන භාගයක් පමණ ජාලගතත වනු ඇතැයි සැලකේ.

එවැනි සංකීර්ණ ව්‍යුහයක් තුළ මැතිව් හැන්කොක් ගේ අභිප‍්‍රාය වෙත ලැබී ඇති අවධානය සැලකිය යුතු තරම් බව සඳහන් කරන්නට අවශ්‍යය. බි‍්‍රතාන්‍ය ඇමැතිවරයා එය භාවිතා කරන අන්දම හා ඔහුගේ කෙටි පණිවුඩ වලින් ජනතාව ආමන්ත‍්‍රණය කරන ආකාරය සිත්ගන්නා සුළු බව දැක්විය යුතුය. ඇප් එක නිදහස් කළ ඉක්මනින් දහ දහසක් දෙනා එයට සම්බන්ධ වී ඇති බව ද දැක්වෙයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරවත් කරනු සඳහා අලූත් දේ හදුන්වා දෙන මහජන නියෝජිතයන්ගේ යහපත් පැති හදුනාගැනීම වැදගත්ය. බි‍්‍රතාන්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ශ‍්‍රී ලංකාව සමග සැසඳීම සුදුසු නැති බව පිලිගන්නා නමුත් මහජන නියෝජිතයන් තමන්ගේ ඡන්ද දායකයන් සමග සම්බන්ධය පවත්වාගෙන යන්නට දක්වන උනන්දුව ගැන අවධානය යොමු කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ බලයේ ඉන්නා ඇමැතිවරයෙකු හෝ මහජන නියෝජිතයෙකු තමන්ගේ ඇප් එකක් ජනතාවට හදුන්වා දීමට සූදානම් වුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද? දේශපාලනඥයාගේ ඇප් එක තමන්ගේ ජංගම දුරකථනයේ බාගත කරගැනීමට සෑහෙන පිරිසක් කිසියම් මැලිකමක් දක්වනු ඇත. එයට හේතුව කුමක්ද? යම් යම් කාරණා මත බහුතරයක් දේශපාලනඥයන් ගේ ගෞරවය පිරිහීමයි.

ඇමැතිවරයෙකු හෝ මන්ත‍්‍රීවරයෙකු තම සමාජ මාධ්‍ය ජාලයේ ඇතුලත් කරගන්නට සමාජයේ වැඩි දෙනෙකු කැමැති නැත. එයට හේතුව කුමක්ද? ප‍්‍රකට දේශපාලනඥයන් කෙරෙහි සමාජ වටිනාකම ගිලිහීයාමයි. දේශපාලනඥයන් පිරිහී ඇති අතර හැසිරෙන අන්දම ජනතාවගේ ගෞරවය දිනා ගන්නට හේතු වී නැත. ලාභ සත්කාර මත යැපෙන සහ ප‍්‍රතිපත්ති මත පිහිටා නොසිටින අය ගැන ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් ව තිබේ. පැරණි වගකිව යුතු දේශපාලනඥවන්ගේ කැපවීම අගය කරන මෙරට වැසියන් පටු ආත්මාර්ථකාමී දේශපාලනට ප‍්‍රතික්ෂේප කරන තැනට පත්ව තිබේ.

කරුණු එසේ හෙයින් මෙරට දේශපාලනඥයෙකුගේ සමාජ මාධ්‍ය ගිණුමක හිත මිතුරුකම් තද පාක්ෂිකයන්ට පමණක් සීමා වී ඇත. තමන් ලැදි දේශපාලනඥයාට තද පාක්ෂිකයන් කොහොමත් කැමැති අතර ඔහු හෝ ඇය කියන කරන සියළුම දේ සම්පූර්ණයෙන් අනුමත කරයි. එවැනි ඡන්ද දායක හිතවතුන්ගෙන් ලැබෙන ‘‘ලයික් වලින්’’ දේශපාලනඥයන්ට වැඩි ප‍්‍රයෝජනයක් නැත. මධ්‍යස්ථ මතධාරී පිරිස ඉතා වැදගත්ය. යම් තීරණයක් ගැන සාවධාන වී තාර්කිකව කරුණු පැහැදිලි කරගන්නට සමත්වන මිතුරන් සෑහෙන ප‍්‍රමාණයක් තමන්ගේ සමාජ මාධ්‍ය ජාලයකට එකතු කරගත හැකි නම් එය විශාල අවස්ථාවකි.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ දී සමාජ මාධ්‍ය භාවිතාව ගැන අලූතෙන් හිතන්නට අවශ්‍යය. සමහර දේශපාලනඥයෝ තම සමාජ මාධ්‍ය ගිණුම් වල ලක්ෂ ගණන් සාමාජිකයෝ ඉන්නා බව දක්වති. සාමාජිකයන් ගේ ප‍්‍රමාණය නංවාගැනීමට මුදල් ගෙවා කටයුතු කරන බව නොරහසකි. අන්තිමේ දී එවැනි සමාජ මාධ්‍ය භාවිතාවකින් සතුටට පත්වන්නේ දෙශපාලනඥයන් පමණකි. බි‍්‍රතාන්‍යයේ වගකිවයුතු ඇමැතිකම් ගණනාවක් උසුලන මැතිව් හැන්කොක් ගේ කාර්යය ජාත්‍යන්තර අවධානයට ලක් වන්නේ එයට එපිටින් ගිය කාර්යයක් බව ඒත්තු ගැනීමෙන් බව පැහැදිලිය.