» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/12/2017 - ඉරිදා ලංකාදීප
අවස්ථා අහිමි කරන සාධක සොයා බලන සමාජ ව්‍යුහයක අවශ්‍යතාව

බාධා අතරින් පැනගෙන තමන්ගේ අවස්ථාව දිනා ගන්නට වෙහෙසෙන මිනිසුන් ලෝකය වෙනස් කර තිබේ. ඉතාම දුෂ්කර අවස්ථා අතරින් දුක දිනාගෙන ජීවිතය ජයගත් පිරිස බෙහෙවින් ඇගයීමට ලක්වෙති. සමාජ ක‍්‍රමය තුළ ඉදිරියට එන්නට අවස්ථාව අහිමි පිරිස සොයා එසේ වූයේ මන්දැයි විමසා බලන ක‍්‍රම තිබේ. එවැනි විමර්ෂණයකට පසු සමාජයේ පවතින අවහිරතා තුරන් කරයි. අවස්ථාව අහිමි පිරිසට ඉදිරියට එන්නට මග පාදයි. බි‍්‍රතාන්‍යයේ එවැනි ක‍්‍රමයක් ඇත. අවස්ථාව අහිමි ජන කොටසට ඉදිරියට එන්නට ඇති බාධා සොයා ඒවා නිරාකරණය සඳහා බි‍්‍රතාන්‍ය රජයට උපදෙස් දෙන කොමිසමක් තිබේ. සමාජ සජීවිකරණය උදෙසා වූ මෙම කොමිසම පිහිටුවන්නේ 2010 වසරේ බල ගන්වන පණතක් අනුවය. එම කොමිසමේ සාමාජිකයන් ගණනාවක් පසුගියදා ඉල්ලා අස්වූ බව ස්කයි නිවුස් වාර්තාවක් අනාවරණය කර ඇත. එයට හේතුව සමාජයේ කිසියම් ස්ථරයකට සිදුවන අවාසි තෝරා ඒවා නිවැරදි කරන්නට කළ නිර්දේශ බි‍්‍රතාන්‍ය ආණ්ඩුව එපමණ නොතැකීමය. එනම් කොමිසම පවත්වාගෙන යන අරමුණ සාක්ෂාත් නොවීම බව ප‍්‍රකාශ වෙයි.

කොමිසමේ ප‍්‍රධානී ඇලන් මිල්බෑන් බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය වෙත දීර්ඝ ලිපියක් ලියා තිබේ. වසර පහක කාලයක් තුළ කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කරන්නට අසමත් වූ බව හෙතෙම පිලිගෙන ඇත. ධුරය භාරගත්තේ මහත් බලාපොරොත්තු ඇතිව යැයි එහි දක්වයි. සාමාජිකයන් සමග එකතු වී කරන ලද පර්යේෂණ හා උපදේශන මගින් වඩා සාධාරණ සමාජයක් බි‍්‍රතාන්‍යයේ ඇති කරන්නට උත්සුක වූ නමුත් එය අසාර්ථක වී ඇති බව කියා තිබේ. එහෙයින් නව ප‍්‍රධානියෙකුට වගකීම් පවරනු සඳහා ඉල්ලා අස්වෙන්නට තීරණය කරන ලද බව හෙතෙම කියා ඇත. සෑම දේශපාලන පක්ෂයක්ම සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින නමුත් එය සාර්ථක නොවීම ගැන එහි දී කනස්සල්ල දක්වා තිබේ. බි‍්‍රතාන්‍ය දේශපාලනයේ පවතින ඉතාම නරක පැත්ත නම් ජනතාව තුළ බලාපොරාත්තු ඇති කර කිසිවක් නොකර සිටීම බව කොමිසමේ ප‍්‍රධානියා අගමැතිනියට ලියා ඇති අතර බලාපොරොත්තු ඇති නොකර සිටීම කිසිම දෙයක් නොකර සිටීමට වඩා හොඳ බව හෙතෙම වැඩිදුරටත් කියා තිබේ.

උසස් අධ්‍යාපනයෙන් පසු සමාජයට ප‍්‍රවේශ වන තරුණ පිරිසට අනේක විධ බාධා තිබේ. ඒවා සමාජ ආකෘතියකින් ක‍්‍රියාත්මක විය හැකිය. නොඑසේනම් ආර්ථික හෝ දේශපාලන ඒවා වෙන්නට ඉඩ තිබේ. සමාජ සජීවිකරණය සදහා වූ කොමිසම මෙම බාධා බල පවත්වන අන්දම ගැන සාකච්ඡා කරයි. බි‍්‍රතාන්‍ය ජාතික තරුණ පිරිසට එයින් සිදුවන අවහිරය ගැන අධ්‍යයනය කෙරේ. කරුණු නිවැරදි කරන්නට අවශ්‍ය නිර්දේශ ආණ්ඩුවට ඉදිරිපත් කරන අතර සාධාරණ යුක්ති සහගත සමාජයක් හදන්නට එයින් පියවර ගැනෙනු ඇති බව විශ්වාස කරන බව සඳහන් කළ යුතුය. සමාජය ද මෙම කොමිසම මැදිහත් වී කිසියම් පරිවර්තනයකට මග පාදනු ඇති යැයි බලාපොරොත්තුවෙන් සිටී.

අවහිර මැඩගෙන ඉදිරියට යන්නට ධෛර්යය හා ආත්ම ශක්තිය ඇතිකරගැනීම ගැන ද අදහසක් පවතින බව සඳහන් කළ යුතුය. සාධාරණව හැම දෙනාහටම ඉඩ තිබේ නම් බාධක පරාජය කර නැගී සිටින්නට ආත්ම ශක්තියක් ඇති නොවේ. කෙනෙකුට සිදුවන අවහිර හා බලපෑම් පසු කාලයක අභිමානයෙන් නැගී සිටින්නට හේතු වන බව ද මෙහි දී සදහන් කරන්නට අවශ්‍යය. එයින් අදහස් කරන්නේ ඕනෑම සමාජයක සාර්ථකත්වයට බාධා හා අවහිර තිබිය යුතු බව නොවේ. ක‍්‍රමය තුළ අවහිර නැති දක්ෂයන්ට ඉඩ දෙන ව්‍යුහක් ඇති රටක ජනතාව තෘප්තිමත්ය. අවධානයට ගත යුතු පැත්ත එයයි.

බි‍්‍රතාන්‍ය පමණක් නොව ලෝකයේ ඕනෑම රටක් තම රටවැසියන්ගේ සාධාරණ අවස්ථා ගැන විශාල අවධානයකින් සිටී. සමාජ ආගමික ක‍්‍රියාකාරකයින් එවැනි අවස්ථා ඇති කිරීමට විශාල පෙළඹවීමක් කරයි. යුක්ති සහගත පරිසරයක් රටක ඇතිවනු දැකීම අභිලාශයයි. අවස්ථා ආවරණය කරගෙන තමන්ගේ පාර්ශව වලට පමණක් හිමිවන සේ පවත්වා ගැනීම සමාජ විරෝධී බව පෙන්වා දෙයි. කාන්තාවන් හා තරුණන් සඳහා හිමි විය යුතු අවස්ථා මගහැරීම වලක්වන්නට පියවර ගත් අවස්ථා මෙරට මෑත ඉතිහාසය තුළ තිබේ. බි‍්‍රතාන්‍යයේ අත්දැකීම ආශ‍්‍රයෙන් වඩා නිවැරදි රාමුවක් සකස් කිරීමට පියවර ගැනීම සමාජ අභිවෘද්ධියට හේතුවෙයි.

අධ්‍යාපනය, රැකියා ඇතුළු ක්ෂේත‍්‍ර සඳහා රට තුළ සමාන අවස්ථා පවතින බවට පිලිගැනීමක් නැත. අඩුම තරමින් රෝහලක ප‍්‍රතිකාර වෙනුවෙන් පවා දැන හැදුනුම් කම වැදගත් වෙයි. මේවා වෙනස් කරන්නේ කෙසේද? පාසලට දරුවෙකු ඇතුළු කරගන්නට දේශපාලන මැදිහත්වීම්, දැනහැදුනුම්කම් හා අත යටින් කරන ගනුදෙනු වැදගත් වන බව නොරහසකි. රැකියාවක් සඳහා ද මෙවැනිම බලපෑම් අවශ්‍යය. ආණ්ඩුව පමණක් නොව පුද්ගලික අංශයේ ද තත්ත්වය එයට නොවෙනස්ය. යුක්ති සහගත සාධාරණ සමාජයක් වෙනුවෙන් මෙකී අංශ නිසි සේ තේරුම් ගැනීම අවශ්‍යය. සාධාරණ සමාජයක් බිහි කරන්නට අවහිර වන පැති තෝරා බේරාගෙන කිසියම් සාධනීය රාමුවක් සකස් කිරීම සුදුසුය. බි‍්‍රතාන්‍යයේ අර්බුදයකට ලක්ව ඇති සජීවීකරණ කොමිසම පෙන්වන්නේ කිසියම් උත්සාහයක් ගෙන ඇති බවය. ජනතා අත්දැකීම් විමර්ෂණය කර එය ඇසුරෙන් යම් පරිවර්තනයක් කළ හැකි බව තහවුරු කිරීමටය.

ශ‍්‍රී ලංකාව අලූත් පැති ගැන අවධානය යොමු කළ යුතුය. ඉදිරි කාලය අලූත් අවබෝධතා, අලූත් හැඟීම් හා අලූත් ප‍්‍රවනතා කෙරෙහි නැඹුරු වන වකවානුවකි. නත්තල් කාලය ඉන්පසු එළැඹෙන තෛපොන්ගල් සමය හා විශේෂයෙන් බක් හා වෙසක් මාස වල සමාජ සාධාරණත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන වකවානුවකි. වසරේ මුල් කාර්තුව සියළු දෙනා කෙරෙහිම පුලූල් අවධානය යොමු කරන කාර්තුවකි. එනම් බේධ නොතකන සමාජ සමානාත්මතාවය ඇති කරන්නට උන්නදුවන කාලයකි. අසමානතා දුරු කර සියළු දෙනාට සාධාරණ අවස්ථා ඇති කරන්නට පියවර ගත යුතුය. එම පියවර උදෙසා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට අවබෝධයක් ලබාදෙන විද්වතුන්ගෙන් සමන්විත කොමිසමක් පත් කිරීම යෝජනා කෙරේ. බි‍්‍රතාත්‍ය කොමිසම ලැබූ අත්දැකීම් අනුව එයට වෙනස් හා අනන්‍ය ව්‍යුහයක් සකස් කිරීම සුදුසුය.