» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/11/2019 - ඉරිදා ලංකාදීප
ප‍්‍රතිසංස්කරණ වලට එරෙහිව නැගෙන ජන බලය

අලූත් පාලනයක් ඉල්ලන ජනතාව වෙනසක් ප‍්‍රාර්ථනා කරති. එහෙත් ප‍්‍රතිසංස්කරණ වලට කැමැති නැත. ලෝකය පුරා ජනී ජනයා ආණ්ඩු වල තීරණ තීන්දු වලට නැගී සිටින වකවානුවකි. ඉකුත් සතියේ පැරිස් නගරයට එකතු වූ දස දහස් සංඛ්‍යාත පිරිසක් වීදි බැස විරෝධතා වල නිරත වූහ. ප‍්‍රංශ ජනධිපති එම්මානුවෙල් මැක්රොන් ආර්ථිකය නගා සිටුවනු සදහා ප‍්‍රතිංසස්කරණ මාලාවක් හදුන්වා දුන් අතර ජනතාව එයට කැමැති නැත. ව්‍යාපාර වලට හිතකර ප‍්‍රතිසංස්කරණ වශයෙන් ආණ්ඩුව එය ගැන කියා තිබේ. විරෝධතාකරුවන්ට අනුව ඉන්ධන මිල වැඩි කර ඇති අතර ජීවන වියදම ඉහළ යන ප‍්‍රතිසංස්කරණ වලින් බලවත් පිඩනයකය. ජීවත්වීමට අවශ්‍ය මූලික පහසුකම් දෙන සේ ඉල්ලන ජනී ජනයා ප‍්‍රතිසංස්කරණ හකුලා ගන්නා සේ බලකරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති මැක්රොන් වසර දෙකකට පමණ කලින් බලයට පත් වූයේ විශාල ජනප‍්‍රසාදයක් සහිතවය. රට තුළ පවතින තත්ත්වය ආර්ථිකය නගාසිටුවනු සදහා ප‍්‍රතිසංස්කරණය කරනු සඳහා ප‍්‍රතිංස්සකරණ මාලාවක් ඉදිරිපත් කළේය. ගත් පියවරට විරෝධය පළ වෙමින් තිබේ. මාස ගණනාවක් ඇදෙන විරෝධතා වල කෙළවරක් පෙනෙන්නේ නැත. දස දහස් ගනන් ජනයා කහ කමීස ඇඳ ගෙන වීදි බසින අතර පොදු දේපොලවලට හානි කරති. හදුනා ගත නොහැකි සේ එකවර නොසිතන අවස්ථාවක විරෝධය පැන නගින අතර පසුගිය සතියේ දෙසිය පනහකට අධික පිරිසක් අත් අඩංගුවට ගත්තේය. විරෝධතාකරුවන් පාලනය කරන්නට ගිය ආරක්ෂක අංශ විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙනසක් ඉල්ලන ජනතාව වෙනස වෙනුවෙන් බලයට පත් කළ පාලකයාට එරෙහිව පාරට බැසීම තරම් නරක දෙයක් පාලකයෙකුට නැත. විරෝධය හමුවේ සියළු ප‍්‍රතිසංස්කරණ හකුලා ගත් මැකරොන් පසුව පසුගිය ජනවාරියේ ජනතාවට ලිපියක් ඉදිරිපත් කළේය. එය කරුණු තිස් පහකින් සමන්විත ප‍්‍රශ්න පත‍්‍රයකි. ප‍්‍රංශය ලෝකයේ වෙන් රටවල් සේ නොවන බව පෙන්වා දෙන හෙතෙම ශක්තිමත්ව නැගෙන්නට අවශ්‍ය බව කියා සිටී. ජනාධිපතිවරයා රට පුරා යමින් ඒ ගැන ජනතාවගේ ප‍්‍රතිචාර විමසන පියවරක් ද අනුගමනය කළේය. ප‍්‍රධාන කාරණා හතරක් මෙ සංවාදයේ දී ජනතාවගේ අවධානයට යොමු කළ අතර ආර්ථිකය හා රාජ්‍ය වියදම්, ආණ්ඩුවේ කාර්ය භාරය, කාලගුණ විපර්යාස හා පරිසරය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා පුරවැසිභාවය යන කරුණු හතර එය අතර වෙති. ලිපියට අනුව බදු යනු ජාතිය පනගන්වන ආර්ථික ක‍්‍රමයක හදවත බව පෙන්වා දී තිබේ. එය රාජ්‍ය සේවා යාන්ත‍්‍රණයට මුදල් සපයන බව කියා ඇත. එසේ නමුත් මැක්රොන් ගේ ආණ්ඩුව අතර සමාගම්වලට පනවා තිබුණ ඉසුරුමත් බද්ද ඉවත්කර ප‍්‍රාග්ධන බද්ධ සමාන කිරීම කහ කමීස ව්‍යාපාරයේ තදබල විරෝධයට හේතු වී තිබේ. අධික බර ජනතාවට පනවන අතර දුප්පතුන්ට ජීවත් විය නොහැකි බව විරෝධතාකරුවෝ එක හඬින් කියා සිටිති.

කහ ඇදුම් විරෝධතාකරුවන්ගේ හඩ වසරකට වැඩි කාලයක් තිස්සේ ඇදී යන අතර නායකත්වයක් හදුනාගත නොහැකි අරගලකරුවන් ගේ සිද්ධි ප‍්‍රංශ ජන ජීවිතය අඩාල කරන ඇති බව එරට ආරක්ෂක අංශ දක්වා තිබේ.

පවතින ක‍්‍රමය වෙනස් කර අලූත් යුගයක් ඇති කරන සේ බල කරන ජනී ජනයා අත්‍යවශ්‍ය ප‍්‍රතිසංස්කරණ හදුන්වා දෙන අවස්ථාවේ දී එයට එරෙහිවෙන්නේ ඇයි? ප‍්‍රංශයේ පමණක් නොව ලෝකයේ නොයෙක් රටවල ජන කොටස් සමාජ හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලට විරුද්ධය. ලෙබනන්, චිලී, බොලිවියා, ඉක්වදෝර්, ඊජිප්තුව, හොංකොං ඇතුළු ලෝකයේ හැමතැනකම විරෝධතා පවතී. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය සිය යුරෝපයේ සෑහෙන රටවල් ප‍්‍රමාණයක පාලකයෝ සහ ජනතාව අතර ගැටුම් තිබේ. පරිසර ප‍්‍රශ්න, ජීවන වියදම, ප‍්‍රතිසංස්කරණ, දූෂණ විරෝධය හා රැකී රක්ෂා හිගය ඇතුළු නොයෙකුත් අර්බුද ඒවායේ ඇතුලත්ය. ප‍්‍රශ්න විසදනු සදහා අලූත් පාලනයක් ඉල්ලන ජනතාව එම පාලකයන් කරන යෝජනා වලට ද නිසි එකගතාවයක නැත. පැන නැගී ඇති අලූත්ම ස්වභාවය එයයි. විශාල ජනප‍්‍රසාදයකින්, සෑහෙන බලාපොරොත්තු ඇතිව බලයට පත්වන ආණ්ඩු කෙටි කාලයකින් අප‍්‍රසාදයට පත්වෙයි. ප‍්‍රංශයේ ස්වභාවය එට හො`ද උදාහරණයකි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගැටළු සහගතය. අධ්‍යාපනය, ප‍්‍රවාහනය, සෞඛය, රාජ්‍ය ආයතන පමණක් නොව අධිකරණ අංශයේ පවා වෙනස්කම් කළ යුතුව තිබේ. ජනතාව වෙනසක් ඉල්ලා සිටිති. ආණ්ඩු වෙනස් කරන්නේ අලූත් මුහුණුවරක් අපේක්ෂාවෙන්ය. පාලකයෝ වෙනස් කරන තීරණයක් ගන්නේ වෙනස වෙනුවෙන්ය. කළ යුතු වෙනස්කම් ගැන ජනතාවට අවබෝධයක් පවතින බව නිසැකය. වෙනස්කම් කරනු ස`දහා තීරණගත යුතු බව ද සමාජය නොදන්නවා නොවේ. නමුත් මෙම පැරණි රාමුව තුළ යැපෙන, එයින් අභිවෘද්ධිය සකස් කරගෙන සිටින කණ්ඩායම වෙනස්කමකට කැමැති නැත. ප‍්‍රතිසංස්කරණ යෝජනා කරන විට ඒවා භයානක බවට අර්ථ කතන සපයයි. තමන් පත් කළ තමන්ට සමීප ජනතා නියෝජිතයා සමග සංවාදයකට සූදානම් නැති ජන කොටස් විරෝධතාකරුවන් නගන තර්ක වලට ගොදුරුවෙති. ජන පදනමක් රහිත පක්ෂ නගන සිතිවිලි වලින් මුලාවට පත් වන අතර එය ඉතා භයානක ඉරණමක් බව ස`දහන් කළ යුතුව තිබේ.

ශ‍්‍රී ලංකවේ ආර්ථිකයේ තරම ගැන ජනතාවට අවබෝධයක් ඇති බව සැකයක් නැත. ආදායමට වඩා වියදම් කරන්නට සිදුවී තිබේ. ආදායම නංවා ගනු සදහා අයෝජනය හා අපනයන හැර අනෙක් මගක් නැත. ණය ගැනීමෙන් තාවකාලික තෘප්තියක් ඇතිකළ හැකි නමුත් එම ණය එදිනෙදා පරිභෝජනය හා සහන වෙනුවෙන් වෙන් කළහොත් ආපසු ගෙවිය යුතු පොලියක් ද සහිතවය. යමක් නිපදවන්නේ නැති සමාජයකට ණය ගෙවීම පහසු නැත. අලූත් අයෝජන හෝ අලූත් නිෂ්පාදනය නොකළහොත් ණය ගෙවනු සදහා ජනතාවගෙන් තව තවත් බදු පනවනු හැර විකල්පයක් නැත.

අලූත් කර්මාන්ත, ව්‍යාපාර හා සේවා අංශ ඇති කරනු සදහා වටපිටාව සූදානම් කිරීම වැදගත්ය. ප‍්‍රංශ ආණ්ඩුව ව්‍යාපාර වලට සහන දෙන විට ජනතාව එරෙහි වී තිබේ. ව්‍යාපාර අලූතින් ඇරඹීමට සහන අවශ්‍ය නැත. එහෙත් ඕනෑම ව්‍යාපාරයක් තරගකාරීව මෙහෙයැවීම සදහා අවශ්‍ය කරන පසුබිම සකස්කළ යුතුය. ආයෝජකයන්ට ලෝකයේ ඕනෑම තැනක ධනය යෙදවිය හැකිය. වඩා පහසුතැන් කරා පැමිණීම ස්වභාවිකය. නිසි යටිතල පහසුකම් සහිත, අවශ්‍ය කරන නිරවුල් නීති රීති ඇති, පුහුණු ශ‍්‍රම බලකායක් සහ වනිවිද පෙනෙන බදු ප‍්‍රතිපත්ති සහිත රටවලට ආයා්ජකයෝ ආකර්ශනය වෙති. ව්‍යාපාරයක් කරගෙන යන අවස්ථාව පහසු විය යුතු මහා පරිමාන ආයෝජකයන්ට පමණක් නොවේ. සුළුවෙන් ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ආරම්භ කරන්නට උත්සාහ කරන කෙනෙකුට මුහුණ දෙන්නට සිදුවන කටුක හිරිහැර ගැන අප සියළු දෙනාටම අවබෝධයක් ඇත. අවසර ගැනීම, ලියා පදිංචිය, ණයක් ගැනීම, නිෂ්පාදන හෝ සේවා වලට දරන්නට සිදුවන පිරිවැය ගැටළු සහගතය. වැඩි මිලක් ගෙවා විදුලිය ගෙන නිපදවන දෙයක් විකුණන්නට පුලූවන්කමක් නැත. නිපදවන දේ වෙළ`ද පොලට ප‍්‍රවාහනය කරනු සදහා පැය ගණන් නාස්ති කරන අති විශාල මිලක් වැය කරන විට දෙයක් නිපදවන පුද්ගලයෙකුට ලැබෙන ආදායමක් නැත. මෙම සියලූ පැති දරාගෙන ව්‍යවසායයක් කරගෙන යන උත්සාහවන්ත පුද්ගලයෙකුට පලාත් පාලන ආයතන වල සිට මහ ආණ්ඩුව දක්වා අවස්ථා ගණනාවක දී බදු හා නිලධාරී ගැහැට වි`දින්නට සිදුවෙයි.

ව්‍යවසායකත්වයට ඉඩදීම වැදගත්ය. සුළු හෝ මහා පරිමාන ව්‍යවසාය මගින් රැකී රක්ෂා බිහි කරයි. ආර්ථිකය සකී‍්‍රය කරන අතර පවතින රාමුව වෙනස් කරන තත්ත්වයකි. පුද්ගලික අංශයට අවස්ථාව ලබා දීම වැදගත්ය. රජයේ ආයතන සමග තරගකාරීව ව්‍යාපාර කරගෙන යන්නට පසුබිම සකස් කළ යුතු අතර ඒකාධිකාරය අවසන් කිරීම අවශ්‍යය. මෙම තීරණ ගැනීම සදහා නිසි ප‍්‍රතිසංස්කරණ යෝජනා කිරීම ආණ්ඩුවක වගකීමකි. ජනතාව ආණ්ඩු පත් කරන්නේ විශාල බලාපොරොත්තු සහිතව බව පෙන්වා දිය යුතුව තිබේ. ක‍්‍රමය වෙනස් කර අලූත් අවස්ථා ඇති කිරීම හැර වෙනත් මාවතක් නැත. ජනතා විශ්වාසය දිනාගත් පළමු අවස්ථාවේ දී ම ඉක්මන් තීරණ ගෙන අභිලාශ සාක්ෂාත් කරන පියවර අනුගමනය කිරීමට පාලකයන් තීරණය කළ යුතුය. සමාජය අපේක්ෂා කරන දේ හා ආණ්ඩුවකට කළ හැකි දේ ගැන සංවාදයක් තිබීම අවශ්‍යය.

බලයට පත්වන ආණ්ඩු ජනතාවට තාවකාලිකව සහන දෙන අතර ඒවා නිකුත් කරන්නේ තවත් වටයකින් ඉදිරියට එන ඡුන්ද ගැන අවධානය යොමු කරමින් බව පෙනේ. සහන අවශ්‍යම කරන ජන කොටස තෝරා සහන දෙන අතරවාරයේ නිසි ආර්ථික ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් වේගවත් තීරණ ගැනීමෙන් පවතින ක‍්‍රමයට උත්තරයක් දිය හැකිය. ලෝකයේ සිදුවන නොසන්සුන් තත්ත්ව හා ඒවායේ ඇතුලාන්තය තේරුම් ගැනීම අවශ්‍යය. මෙම මෙහොතේ කළ යුතු අවශ්‍යම කරන ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාද කිරීම අර්බුද වලට අතවැනීමක් වනු ඇත.