» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/03/2019 - ඉරිදා ලංකාදීප
දෙමව්පියන්ගේ හැකියාව අනුව දරුවන්ට ලැබෙන අවස්ථා

දරුවන්ට හොඳම තැනක් නිර්මාණය කරන්නට සෑම දෙමාපියෙකුගේ ම සිහිනයකි. ජීවිත කාලය තුළ තමන්ට ළඟා කරගන්නට නොහැකි වූ අවස්ථා සිය දරුවන්ට හිමි කරදෙන්නට නොකරන දෙයක් නැති තැනට පසුබිම සකස් වී තිබේ. අයථා ක‍්‍රම මගින් උසස් අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් මග පාදා ගන්නට ඇමරිකානු ධනවත් සමාජයේ යම් පිරිසක් සමත් වී ඇත. මෑතක දී එය මාධ්‍ය මගින් අනාවරණය කළේය. එරට විශාල ආන්දෝලනයකට හේතුවක් වී ඇත. ජනී ජනයා අතර බරපතල විරෝධතාවයක් පැන නැගී තිබේ.

ඇමරිකාවේ පැන නැගී ඇති තත්ත්වය අනුව ප‍්‍රසිද්ධ විශ්ව විද්‍යාල වලට ඇතුලත්වීම සඳහා ක‍්‍රම හදන වංචනිකයෝ බිහි වී ඇත. මූලික සුදුසුකම් ඇති එහෙත් විශිෂ්ඨතම විශ්ව විද්‍යාල වලට ඇතුලත් විය නොහැකි අයට ක‍්‍රමය හදන්නට සමත්ව තිබේ. එය කූඨ උපක‍්‍රමයක් සේ භාවිතා කර ඇත. උසස් විශ්ව විද්‍යාලයේ තරග විභාගය සඳහා සූදානම් කරන අතර අවශ්‍යනම් විභාග මධ්‍යස්ථානය හෝ ඒවා පවත්වන ශාලාධිපතිවරුන්ට අල්ලස් ගෙවන්නට පවා නැඹුරු වී ඇතැයි අනාවරණය වේ. එවැනි පියවර වෙනුවෙන් විශාල ධනයක් වියදම් කරන්නට සමහර දෙමාපියන් එකඟ වී ඇත. විභාග වලින් අවශ්‍ය මූළික පසුබිම හදා ගත් පසු දරුවන්ගේ අතිරේක දක්ෂතා වලට ද ප‍්‍රසාද ලකුණු උපයා ගැනීමේ ක‍්‍රම අනුගමනය කර තිබේ. නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කරන ලද තොරතුරක් අනුව එක්තරා නිළියක ගේ දරුවන් අතිරේක ලකුණු සඳහා ඔරු පැදීමේ තරඟ වල දක්ෂතා දක්වන ලද බව කඩදාසි වලින් ඔප්පු කර තිබේ. එම දරුවන්ට ඔරු පැදීම ගැන කිසිම අත්දැකීමක් නැත. පින්තූර හදා තිබේ. තරඟ වලට ඉදිරිපත් වූ බවට සාක්ෂි හදා ඇත. පුහුණුකරුවන්ගේ සේවය අයථා අන්දමට ගෙන ඇති අතර දරුවන් පුහුණු කර නැති ඔවුහු ඒ වෙනුවෙන් සහතික නිකුත් කර ඇති බව අනාවරණය වෙයි. දරුවන්ගේ කුසලතා අභිබවා දෙමව්පියන්ගේ සල්ලි උපයෝගී කරගැනීම බලවත් විරෝධයක් ඇති කරන්නට සමත්ව ඇත.

සාමාන්‍ය ඇමරිකානුවන්ගේ වෛරයට හේතු වූ මෙම අයථා ක‍්‍රම වංචනික සේ සකස්කරන ලද පුද්ගලයෙකු ගැන තොරතුරු සොයා ගෙන ඇත. හෙතෙම අති විශාල මුදල් මෙම කාර්ය වෙනුවෙන් අය කර තිබේ. නළු නිළියන්, ව්‍යාපාරිකයන්, නීතිඥයන් හා විවිධ ක‍්‍රම වලින් ධනවත් වූ පිරිස් ඔහුගේ සේවය ලබා ගෙන ඇත. දේශපාලනඥයන්ගේ දරුවන් ගේ නම් මේ අතර සඳහන් නොවේ. විශ්ව විද්‍යාලයේ ප‍්‍රවේශය වෙනුවෙන් ඉදිරිපත් කරන සාක්ෂි පිලිගැනීම හැර ඒවා ප‍්‍රශ්න කරන ක‍්‍රමයක් භාවිතා කර නැත. එම හේතුව වාසියක් කරගෙන තිබේ. අයථා ක‍්‍රම වලින් ඇතුළු වූ පසු සමකාලීන සිසු සිදුවියන් අතර ආන්දෝලනය පළමුවෙන් පැතිර ගිය අතර පසුව ඒවා මාධ්‍ය හරහා ලෝකය පුරා විසුරුවා හැර තිබේ. මෙම අකටයුතුකම් නතර කර වැරදි කරන ලද අය වහා නීතියේ රැුහැනට හසුකරගන්නා සේ ඇමරිකානු සමාජය බලකරමින් සිටී.

එක්තරා නාලිකාවකට පැමිණි සාමාන්‍ය කාන්තාවක් වේදනාවෙන් කªළු සලමින් කතා කළ ආකාරය ජනතාව සසල කර තිබේ. ඇයට අනුව විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා සිය දරුවාගේ ලිපිනය වරදක් නිසා එයට දඞුවමක් වශයෙන් වසර තුනක් සිර ගත කර ඇත. සුළු වරදකට එපමණ දඞුවමක් නියම කරන ලද නමුත් ඉතා නරක ක‍්‍රම මගින් ධනවත් පිරිස ලෝක ප‍්‍රකට විශ්ව විද්‍යාල වලට දරුවන් ඇතුළු කිරීම වරදක් නොවන්නේ කෙසේදැයි ඇය මහත් විමතියකින් ප‍්‍රශ්න කළාය. එය අතිශය සංවේදී අවස්ථාවක් විය. ඇමරිකාවේ ධනය ඇති පිරිස් සියළු ක‍්‍රම උපයෝගී කරගනිමින් අවස්ථා තමන් අතට පත් කරගන්නා අතර සාමාන්‍ය ජනතාව ඉතා ගැටළු සහගත ඉරණමක බව මෙහි දී අවධාරණය වී ඇති කරුණකි. එක පැත්තකින් වංචා සිදුවන අතර අනෙක් පැත්තෙන් පොහොසත් පිරිස, අධ්‍යාපන අංශ වලට විශාල ධන පරිත්‍යාග කර ඒවා මගින් දරුවන්ට ඉගෙන ගැනීමේ අවස්ථා පාදා ගනිමින් සිටී. එය අසාධාරණ තත්ත්වයක් බව ඇමරිකානුවෝ හ`ඩ නගති.

අලූත් සමාජ ව්‍යුහයක් ගොඩනගා අසාධාරණකම් තුරන් කරනු සඳහා ඇමරිකාව විශාල ප‍්‍රයත්නයක නිරත විය. විනිවිද පෙනෙන පාලනයක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නව ප‍්‍රමිතීන් ඇති කළේය. ඒවායේ සමහරක් අංශ වර්තමානයේ දී අභියෝගයකට ලක් ව තිබේ. ලෝකයේ බලවත් රටක උසස් අධ්‍යාපනයේ අර්බුදය විවේචනයක පවතින අවස්ථාවක මැදි ආදායම් රටක් වශයෙන් ශී‍්‍ර ලංකාවේ මුහුණුවර ගැන අධ්‍යයනයක නිරතවීම ඉතාම අවශ්‍යය. අප රටේ සෑම මවක් ම පාහේ සිය දරුවා බාල වියේ සිට පාසලට ගෙන ගොස් පාසලේ දොරටුව අසල අපේක්ෂා සහිතව බලා සිටින්නේ හොඳ අනාගතයක් වෙනුවෙනි. දරුවන්ගේ ඉගෙන ගැනීමේ අවශ්‍යතා සඳහා දෙමව්පියන් කරන කැපවීම ඉතාම විශාල බව සඳහන් කළ යුතුව ඇත. ජාතික පාසලකට දරුවා ඇතුළත්කර ගන්නට නොවිඳීනා දුක් විඳීන දෙමාපියෝ ඉන් පසු සෑම විෂයයක් සඳහාම අතිරේක පන්ති වලට යොමු කරති. දරුවන්ගේ විවේකයක්, විනෝදාංශයක් අහිමි වන තරමට අධ්‍යාපන කටයුතු වලින් පුරවති. එකම අරමුණ තමන්ට වඩා ඉහළ තැනක තමන්ගේ දරුවා වඩා හිªවීමට බව තේරුම් ගැනීම අවශ්‍යය.

ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ සාධාරණ, යුක්ති සහගත ව්‍යුහයක් පවතින බවක් එක හෙළා විශ්වාස කළ හැකිද? සංකීර්ණ සමාජ ක‍්‍රමය තුළ නොයෙක් අකටයුතුකම් සිදුවෙයි. දරුවන් ගේ පාසල තෝරාගැනීමේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අතිශය කර්කශ අවස්ථා ඇති බව නොරහසකි. ධනය හා බලය ඇති පිරිස කොපමණ වාසි අත්පත් කරගන්නවා දැයි සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නැත. එය බතාව ඛේදණීය තත්ත්වයකි. සමාන අවස්ථා ඇති කළ යුතු බව ප‍්‍රතිපත්ති වශයෙන් පිලිගන්නා නමුත් භාවිතාවේ දී සිදුවන අසාධාරණකම් සමාජයේ නැති බැරි අහිංසක කොටස් ගොදුරු කරගන්නා බව නොරහසකි. මේවාට විසªමක් තිබේද?

මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉතා තරගකාරීය. උසස් පෙළ සමත්වන පිරිසගෙන් සෑහෙන පිරිසකට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වෙති. ඉඩකඩ නැත. දශම ගණනකින් අවශ්‍ය ලකුණු ලබා ගැනීමට අසමත්වන දරුවෝ ජීවිත කාලය පුරා වේදනාවට පත්වන අතර එය දෙමාලියන්ගේ හදවතට දරාගත හැකි තත්ත්වයක් දැයි ප‍්‍රශ්න කිරීම අවශ්‍යය. ලෝකයේ නොයෙක් තැන වාර්තාවන කටුක සිද්ධි වලින් කම්පාවීම පමණක් නොව ඒවා පාඩමක් කරගෙන ඉතාම හොඳ පසුබිමක් නිර්මාණය කරගැනීම රටක අභිමානයට හේතුවකි. අනාගතය සාක්ෂාත් කරගැනීමේ දී අධ්‍යාපනය ඉතා වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ දරුදැරියන්ට, දෙමාපියන්ට යුක්ති සහගත ඉගෙන ගැනීමේ ක‍්‍රම වේදයක් සහතික කළ යුතුව තිබේ. මෙය අප සියළු දෙනාගේ අවධානයට ලක් විය යුතු කරුණකි.