» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/02/2019 - ඉරිදා ලංකාදීප
විදුලි බල ක්ෂේත‍්‍රය ගැන සිරිල් රමපෝසා ගේ අත්දැකීම්

දකුණු අප‍්‍රිකාවේ අති දක්ෂ ව්‍යවසායකයෙකු වන වර්තමාන ජනාධිපති සිරිල් රමපෝසා සමග හොඳ සම්බන්ධතාවයක් අප රටට තිබේ. සංහිදියාව ඇති කරන වැඩ පිිලිවෙලට උපදෙස් දෙන්නට ජනාධිපති රමපෝසා සූදානම්ය. දකුණු අප‍්‍රිකාවේ ක‍්‍රියාත්මක වූ සත්‍ය කොමිසම ඇතුළු කාරණා ගැන අදහස් හුවමාරු කරගැනීමට ඔහු මෙරටට පැමිණියේය. දකුණු අප‍්‍රිකානු ජනාධිපති රමපෝසා විදුලිය බල ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් යෝජනා කරන අලූත් සැලසුම් එරට තුළ විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. විදුලිය බල අංශය පුද්ගලීකරණය නොකරන බව නොබෝදා හෙතෙම ප‍්‍රතිඥාවක් දුන් අතර කෙසේ වෙතත් විශාල වෙනස්කමකින් තොරව දකුණු අප‍්‍රිකාවේ විදුලිය බල ශක්ති අංශය සාර්ථකව පවත්වාගෙන යා නොහැකි බව පෙන්වා දුන්නේය.

සිරිල් රමපෝසා දකුණු අප‍්‍රිකාවේ නිදහස් සටනේ සටන්කාමියෙකි. නෙල්සන් මැන්ඩෙලා සමග රට වෙනුවෙන් පෙනී සිටියේය. පළමු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වූ හෙතෙම දකුණු අප‍්‍රිකාවට ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ක‍්‍රියාවලියට විශේෂ දායකත්වයක් දැක්වීය. පසුව දේශපාලනයට එපමණ අවතීර්ණ නොවූ රමපෝසා ව්‍යාපාර වලට නැඹුරු විය. දක්ෂ ව්‍යවසායකයෙකු වූ හෙතෙම දකුණු අප‍්‍රිකාවේ පොහොසත් පුද්ගලයන් අතරින් කෙනෙකි. ජනාධිපතිධුරය සඳහා නෙල්සන් මැන්ඩෙලා ගේ තෝරාගැනීම රමපෝසා වූ නමුත් ඔහු එය අතට ගැනීමට සූදානම් වූයේ නැත. හතර වැනි ජනාධිපති ජැකොබ් සුමෝ ගෙනගිය දූෂිත වැඩ පිලිවෙල අනුමත නොකළ රමපෝසා දූෂණ වලට විරුද්ධ මහා ව්‍යාපාරයක් ආරම්භ කළේය. ධනවත් ව්‍යවසායකයෙකු වූ මත්මෙලා සිරිල් රමපෝසා හරියටම මෙයින් වසරකට කලින් දකුණු අප‍්‍රිකාවේ ජනාධිපතිවරයා වශයෙන් ජනතා ඡන්දයෙන් බලයට පත් විය.

නිදහස් සටන, ව්‍යවසායකත්වය හා දේශපාලනය ගැන අත්දැකීම් සහිත සිරිල් රමපෝසා ජනාධිපතිවරයා දකුණු අප‍්‍රිකාවේ විදුලිය බල සැපයුම සම්බන්ධයෙන් පවතින අර්බුද විසඳා ගැනීමෙන් තොරව අනාගතය පැහැදිලි නැති බව විශ්වාස කළේය. එරට විදුලිය ක්ෂේත‍්‍රය රජයේ ඒකාධිකාරයක් වන අතර එහි පැවැති අක‍්‍රමිකතා හෙයින් ඇමරිකානු ඩොලර් බිලියන තිහකට වැඩි පාඩුවක් වාර්තා කර තිබේ. නැවත නැවතත් ණය ගනිමින් අතිරේක පොලියක් විදුලිය වෙනුවෙන් ගෙවන අතර එය එරට කර්මාන්ත අංශය විශාල අර්බුදයක පත් කරන තත්ත්වයක විය. විදුලිය නිෂ්පාදනය, පද්ධති බෙදාහැරීම හා පාරිභෝගිකයන්ට සැපයීම යන අංශ කොටස් තුනකට වෙන් කර කාර්යක්ෂම කිරීමට රමපෝසා යෝජනා කළේය.

සම්ප‍්‍රදායික ව්‍යුහයෙන් පැවැතීම හැර අනෙක් අලූත් පැවැත්මක් ගැන විශ්වාසයක් නැති කොටස් මෙම වෙනස්කම් වලට එරෙහි වෙමින් සිටී. දක්ෂ ව්‍යවසායකයෙකු හා දූෂණ විරෝධී නායකයෙකු සේ දකුණු අප‍්‍රිකාවේ නායකත්වය භාරගත් රමපෝසා ගේ යෝජනාව අභියෝගයට ලක්ව ඇත. නමුත් හෙතෙම පියවරක් පිටුපසට ගෙන නැවත ඉදිරියට ගමන් කිරීමට සූදානම්ය. පුද්ගලීකරණය නොකරන පොරොන්දුව දෙන ඔහු ප‍්‍රතිසංස්කරණ අත්හැර දැමීමට කිසිසේත් සූදානම් නැත. ඒකාධිකාරය අත්හැර කොටස් වලට බෙදා විදුලිය සැපයුම කාර්යක්ෂම කරනු සඳහා දකුණු අප‍්‍රිකානු නායකයා කරන යෝජනා සාර්ථක කරගැනීමට හැකිවනු ඇති බව ජාත්‍යන්තර විචාරක මතයයි.

විදුලිය බලය සම්බන්ධයෙන් විශාල වෙනස්කම් ලෝකයේ සිදුවෙමින් තිබේ. විදුලිය නිපදවීම තරගකාරී ව්‍යාපාරයක් බවට පත්ව ඇත. රාජ්‍ය අංශය නිෂ්පාදනයෙන් ඉවත්වන අතර දක්ෂ නියාමනය ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය ඇති කරන ප‍්‍රධාන සාධකය බවට පත්ව තිබේ. ජලය, දැවි තෙල් සහ ගල් අඟුරු වැනි සම්ප‍්‍රදායික විදුලිය උත්පාදන අංශ වෙනුවට පරිසර සාධක සලකා අලූත් ජනන උපක‍්‍රම බිහි වී ඇත. ඒවායෙන් ආර්ථික වාසි අත්පත් කරදෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පරමානු බලය, ද්‍රව ගෑස්, සූර්ය බලය, සුළඟ සහ මුහුදු රළ යනාදී අංශ අලූත් තෝරා ගැනීම් වී තිබේ. ඒවායෙන් අඩු පිරිවැයකින් වැඩිම බලයක් නිෂ්පාදනය කළ හැකි අතර ගැටළුවක් බවට පත්ව ඇත්තේ අලූත් තාක්ෂණය හා විශාල ආයෝජනය පමණකි. ආයෝජන ශක්තිය ඇති රටවල් විදුලිය බල අංශයෙහි කරන වෙනස්කම් වලින් කර්මාන්ත, සේවා අංශ වල පිරිවැය පාලනය කරන්නට සමත්ව ඇත. එය පාරිභෝගිකයන්ට වාසි අත්පත් කර දී තිබේ. විදුලිය වෙනුවෙන් ගෙවන මිල අඩු වන විට අඩු මිලට භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි අතර එය ජනතාවට ලැබෙන වාසියකි. නිවාස ආලෝකවත් කිරීම ඇතුළු ගෘහස්ත පරිභෝජනයේ දී ගෙවන ගාස්තු පහත වැටීම සාමාන්‍ය ජනතාව ගේ පැවැත්ම පහසු කර ඇති බව සඳහන් කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ විදුලිය බල ක්ෂේත‍්‍රය ගැන ද අලූතින් හිතන්නට අවශ්‍යය. සිරිල් රමපෝසා වැනි නායකයන් දකුණු අප‍්‍රිකාවේ පැවැත්ම වෙනස් කිරීමට දරන ප‍්‍රයත්නය අවධානයට ගත යුතුය. ලෝකයේ ඕනෑම රටක විදුලිය බලය නිෂ්පාදනය හෝ බෙදාහැරීම සම්බන්ධයෙන් වෙනස්කම් යෝජනා කිරීම පහසු නැත. ජනතාවට අත්‍යවශ්‍ය හෙයින් අවදානමක් ගැනීමට සූදානම් නැත. කවර මිලක් හෝ ගෙවන යල් පැන ගිය ක‍්‍රම තවදුරටත් පවත්වාගෙන යෑම හැර අනෙක් ව්‍යුහයක් ගැන හිතන්නට කැමැති නැත.

ශ‍්‍රී ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය ප‍්‍රමාණවත් නැත. ගල් අඟරු බලාගාර ඉදිකිරීම ප‍්‍රමාද වී තිබේ. ද‍්‍රව ගෑස් බලාගාර ඉදිකිරීම සැලසුම් පරිදි සිදුවූයේ නැත. තීන්දු ගැනීමේ ප‍්‍රමාදය ඉතිහාසයේ සිට පැවැති දුබලතාවයකි. ක්ෂේත‍්‍රයේ වෙනස්කම් වෙනුවෙන් ඉතා හොඳ සැලසුම් යෝජනා කර ඇත. නමුත් අලූත් පරිවර්තන කරන්නට රටට හැකියාව ලැබී නැත. විදුලිබල මණ්ඩලයේ පවතින අක‍්‍රමවත් පැති ගැන ආණ්ඩුව, විපක්ෂ දේශපාලනඥයන් සහ ක්ෂේත‍්‍රයේ විද්වත්හු එකහෙලා පිලිගනිති. පාරිභෝගික ජනතාව විදුලිය වෙනුවෙන් ගෙවන බිල් දරා ගත නොහැකි බවට මැසිවිලි කියන්නට පටන්ගෙන තිබේ. දේශීය කර්මාන්තකරුවෝ මෙවැනි වියදම් වැඩි ගාස්තු ක‍්‍රමයකින් විදුලිය මිල දී ගෙන නිපදවන දේ අපනයනය කරන්නට පුලූවන්කමක් නැති බව කියා සිටී. වෙනස්කමක් අවශ්‍ය බව සියළුම දෙනා පිලිගන්නා නමුත් වෙනස ඇතිකරන ක‍්‍රියා පටිපාටියට අවතීර්ණවීමට සූදානමක් නැත. තීරණ ගැනීමට උවමනා කරන ධෛර්යය සම්පන්න බව අරභයා ප‍්‍රශ්නයක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. මෙවැනි පැති වල දී ජාත්‍යන්තරයෙන් පාඩම් ඉගෙනගන්නට පුලූවන්කමක් තිබේ. සිරිල් රමපෝසා අනුගමනය කරන ප‍්‍රතිපත්ති අධ්‍යයනය කළ හැකිය.

මෑත කාලය තුළ විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙන් රජයට තිබුණ සම්පූර්ණ ඒකාධිකාරය අවසන් කරන්නට ශ‍්‍රී ලංකාවට හැකිවිය. පුද්ගලික අංශයේ ආයතන ගණනාවක් විදුලිය නිපදවා විදුලිය බල මණ්ඩලයට සපයයි. නමුත් සුළු වශයෙනි. මණ්ඩලයේ ආකාර්යක්ෂම පැවැත්මක් තිබිය දී ජනන ක‍්‍රමය ද සෑහෙන අකාර්යක්ෂම වූ අතර එය විදුලිය බිල අඩු කරන්නට හේතු වූයේ නැත. දේශීය හෝ විදේශීය මහා පරිමාන ව්‍යවසායකයෝ විදුලිය නිෂ්පාදනයට ආයෝජනය කළ යුතුය. දැනට සුළු වශයෙන් ක‍්‍රියාත්මක වන පුද්ගලික විදුලිය නිෂ්පාදනය දැනෙන සුළු දෙයක් නොවේ. අවශ්‍යනම් අය වැයෙන් කෙලින්ම විදුලියට සහන දෙන කාර්යක්ෂම යෝජනා ඇති කළ හැකිය. රජයේ ප‍්‍රතිපත්ති හා පුද්ගලික අංශයේ අරමුණු මැනැවින් විමර්ෂණය කර ප‍්‍රමිති අනුව උසස් සේවාවක් පවත්වාගෙන යනු අරමුණු කරගෙන නියාමනය බලවත් කළ යුතුය. පාරිභෝගිකයාගේ පැත්තෙන් හිතන නියාමන වැඩ පිලිවෙලකට රට විදුලිය බල අංශය විශාල පරිවර්තනයකට ලක් කළ හැකිය. ආර්ථිකයේ වර්ධනයක් උදෙසා බලශක්ති කළමනාකරණය වැදගත් අංශයකි. එහි ප‍්‍රගතිය උදෙසා අලූතින් කළ හැක්කේ මොනවාදැයි සොයා බැලීම අවශ්‍යය.