» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/12/2018 - ඉරිදා ලංකාදීප
පුරවැසියන්ට ප‍්‍රවාහනය නොමිලේ සපයන ලක්සම්බර්ග්

ලක්සම්බර්ග් රාජ්‍ය ලෝකයේ ඉසුරුමත් රටවල් අතරින් එකකි. යුරෝපයේ ස්වාධීන කුඩාම රාජ්‍යයක් සේ සැලකේ. නොබෝදා ලක්සම්බර්ග් පාලකයෝ විශේෂ නිවේදනයක් කළහ. ඒ අනුව එළැඹෙන ග‍්‍රීස්ම සෘතුවේ සිට එරට පොදු ප‍්‍රවාහන සේවා නොමිලේ සැපයෙනු ඇත. පොදු ජනතාවට නොමිලේ ප‍්‍රවාහන සේවා සපයන ලෝකයේ පළමු රට වශයෙන් ජාත්‍යන්තර මාධ්‍ය එම තීරණය හදුන්වා තිබේ. මෑතක් වන තුරු එරට බස් රථ දුම්රිය හා පොදු ප‍්‍රවාහන සේවා ඉතාම අඩු ගාස්තු ක‍්‍රමයක් අය කළේය. ඇතැම් මාර්ග වල මිල දී ගන්නා ටිකට් පතකින් පැය ගණනක් ගමන් කළ හැකි වූ අතර තවත් මාර්ගවල අවුරුදු විස්සට අඩු පුරවැසියන්ට ගාස්තු අය කළේ නැත. අලූත් යෝජනාව තවත් පියවරක් ඉදිරියට තැබීමකි.

ලක්සම්බර්ග් රාජ්‍ය ඵලදායීතාවයෙන් ඉහළය. ආසන්නයේ පිහිටි බෙල්ජියම ප‍්‍රංශය හා ජර්මනිය යන රටවල් වලින් දිනපතා ශ‍්‍රමිකයෝ පැමිණෙති. රට වැසියන් සමග දිනකට ලක්ෂ පහක පමණ පිරිසක් ප‍්‍රධාන නගරවල එහා මෙහා ගමන් කරති. ලක්සම්බර්ග් රාජ්‍යයේ ඵලදායීතාව කොපමණ ද යත් පැයකට කරන නිපැයුම ඇමරිකානු ඩොලර් 73.22 ක් වශයෙන් සැලකෙන අතර එය ලෝකයේ දෙවැනි ඉහළම නිෂ්පාදනයයි. අධික වාහන තදබදය ඵලදායීතාවයට බාධා කරන බව එරට අධ්‍යයන වාර්තා අනුව නිරීක්ෂණය කර තිබේ. 2016 වසර වන විට එය ඉතාම හිරිහැරදායක විය. අසාමාන්‍ය වාහන තදබදයට හේතුව අධික වාහන භාවිතාව බව සැලකේ. පැය ගණන් මහා මාර්ගයේ ගත කිරීම වෙනුවට පුද්ගලික වාහන භාවිතය අඩු කිරීම යම් ප‍්‍රතිඵලයක් සපයනු ඇතැයි අලූතින් පත් වූ සන්ධාන රජය අදහස් කර තිබේ. ලබන වසරේ දී මෙතෙක් අනුගමනය කරන ලද රාමුව වෙනස් කරන්නට තීරණය කරන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

එරට සමාජය ධනවත් හෙයින් පුද්ගලික වාහන භාවිතය ඉහළ ප‍්‍රතිශතයක පවතී. සාමාන්‍යයෙන් සියයට 83 ක් පුද්ගලික වාහන භාවිතා කරන අතර එය තදබදය තියුණු කරන බව දැක්වෙයි. අලූත් යෝජනාව අනුව එය සියයට 75 දක්වා අඩු වී පොදු ප‍්‍රවාහනය සමස්ථ ප‍්‍රවාහන සේවා වලින් සියයට 25 ක් දක්වා නංවා ගත හැකි වනු ඇතැයි සැලකේ. එය රට තුළ කාර්යක්ෂමතාව නවනු ඇති අතර නිෂ්පාදනය තවත් වැඩි කරන්නට හේතුවක් විය හැකියැයි ගණන් බලා තිබේ. සාමාන්‍යයෙන් රට තුළ පොදු ප‍්‍රවාහනය නොමිලේ සැපයීමේ වියදම යුරෝ බිලියනයක් පමණ වනු ඇති අතර එවැනි විශාල මුදලක් වැය කරන තීරණයක් තුළ අපේක්ෂා කරන වාසිය එයට වඩා සෑහෙන එකක් විය හැකිය.

ලෝකයේ නොයෙක් රටවල් ප‍්‍රවාහන ගැටළු වලට මුහුණ පා තිබේ. සෑම රටක්ම අනන්‍ය ආකාරයට තමන්ගේ පොදු ප‍්‍රවාහනය කාර්යක්ෂම කරන පියවර ගෙන ඇත. පුද්ගලික වාහන භාවිතය අධෛර්යවත් කරන අතරවාරයේ පොදු ප‍්‍රවාහනය කාර්යක්ෂම කරන අතර මහා මාර්ගය ගැන පමණක් අවධානය යොමු කරන්නේ නැත. පොලව යටින් හා පොලව මතු පිටින් වශයෙන් අලූත් ප‍්‍රවාහන පද්ධති භාවිතයට ගන්නට නැඹුරු වී ඇත. අධිවේගී දුම්රිය සේවා හදුන්වා දී ඇත. පොදු ප‍්‍රවාහන සේවා සුරක්ෂිත සුඛෝපභෝගි තත්ත්වයට හරවා තිබේ. ප‍්‍රධාන නගර අතර පොලව යට කරන දුම්රිය ධාවනයට අමතර වේගවත් සිලින්ඩර් මගින් කරන මගී ප‍්‍රවාහනය ගැන අලූතින්ම අත්හදා බලමින් සිටී. භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා ඩ්‍රොන තාක්ෂණය භාවිතා කරන්නට සැරසෙයි. නගර අතර ප‍්‍රවාහනයට බෝට්ටු හා කුඩා අභ්‍යන්තර ගුවන් යානා භාවිතයට එකතු කර ඇත.

රටක් දියුණු වන විට පුද්ගලික වාහන භාවිතාව වර්ධනය වෙයි. එය වැලැක්විය නොහැකිය. සෑම පුරවැසියෙකුම තමන්ගේ වාහනයක් අයිති කරගැනීමේ කැමැත්තකින් සිටී. එය අධෛර්යවත් කළ යුතු නැත. නමුත් දිනපතා භාවිතය අඩු කරන්නට පියවර ගැනීම සුදුසුය. එය අධික තදබදය අඩු කරන පියවරකි. සමස්ථ ඉන්ධන වියදම පාලනය වන අතර පරිසරය ආරක්ෂා කරන්නට හේතු වෙයි. අලූත් ප‍්‍රවනතා ඇති කරන්නේ කොහොමද? පර්යේෂකයන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් එකතු වී තීන්දු ගැනීම වැදගත්ය.

ශ‍්‍රී ලංකාවේ පොදු ප‍්‍රවාහනය විශාල වෙනස්කම් කළ යුතු බව අවිවාදිතය. පසුගිය දශක හත තුළ මගී ප‍්‍රවාහනය කාර්යක්ෂම කරනු සඳහා පැවැති සෑම ආණ්ඩුවක්ම නොයෙක් පියවර ගෙන තිබේ. නමුත් පොදු ජනතාව එදා මෙන්ම අදත් ඉතා දුෂ්කරතා මධ්‍යයේ එදිනෙදා ගමන් පහසුව සලසා ගනී. උදේ සවස වැඩට යන එන ජනතාව ඉතා අනාරක්ෂිතව ගමන් කරන බව පෙනේ. එසේ අනාරක්ෂිත ගමනක් තෝරා ගන්නේ ඇයි? නියමිත බස් එක මග හැරුණොත් විශාල අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. කාර්යාල දුම්රියට ගොඩවීම සඳහා උදේ සහ සවස ඉතා කලබලයෙන් ගමන් කරන මගී ජනතාව දැක ඇති බව නිසැකය. දිනපතාම විනාඩියක දෙකක ප‍්‍රමාදයක් සිදුවුවහොත් දවසේ මහන්සිය අපතේ යන බව එම පිරිස දනී. සෙනග පුරවා ගෙන යන එන බස් හා දුම්රිය පෙන්වන්නේ මගී ප‍්‍රවාහනය අකාර්යක්ෂම බවය. ජීවිත කාලයම මෙවැනි කර්කෂ අත්දැකීමක් සහිතව විශ‍්‍රාම ගත් ජන කොටස් මෙරට සිටී. අනාගතයේ දී හෝ කිසියම් වෙනසක් සිදුවනු ඇතැයි ඔවුහු කල්පනා කරනු ඇත. නමුත් අවශ්‍ය තීන්දු ගැනීමට රට අසමත් වී තිබේ.

පොදු ප‍්‍රවාහනය දුර්වල හා අසංවිධානාත්මක තැනක පවතින අවස්ථාවක සිදුවන්නේ කුමක්ද? කාර්යාල සේවා වෙනුවෙන් වෙනම ප‍්‍රවාහන සේවා ක‍්‍රමයක් ඇරඹෙයි. පාසල් සේවා වෙනුවෙන් අනෙකකි. කවර හෝ පිරිවැයක් දරා තමන්ගේම වාහනයක් මිල දී ගෙන දිනපතා වැඩට එන්නට හැකි අය එසේ කරති. එය අනවශ්‍ය තදබදයක් ඇති කර තිබේ. මෙරට ප‍්‍රධාන නගර වල කාර්ය බහුල අවස්ථාවල ධාවන වේගය පැයට කිලෝ මීටර් දහය දක්වා අඩුවන බව පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇත. එය විශාල අකාර්යක්ෂමතාවයකි. කිලෝ මීටර් දහයක විස්සක දුරක් ගමන් කරන්නට පැයක් දෙකක් ගත කරන විට රටේ දියුණුව ගැන කල්පනා කළ හැකිද? ලක්සම්බර්ග් රාජ්‍ය ඵලදායීතාවය අතින් ඉතා ඉහළය. කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය ගැන රටට ඇති දැක්ම කුමක්ද? මෙරට පොදු ප‍්‍රවාහන සේවා වල ගමන් කරන මගී ජනතාවට කාර්යක්ෂමව වැඩ කරන සේ යෝජනා කරන්නට හැකියාවක් තිබේද? ඉතාම අපහසුවෙන් පැය ගණනක් මහ පාරට වැය කර වැඩට එන කාර්යාල සේවක සේවිකාවන් වෙතින් ඉතාම හොඳ සේවාවක් බලාපොරොත්තු විය නොහැකිය.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නට කලින් පොදු ප‍්‍රවාහනය ගැන අවධානය යොමු කළ යුතුය. සේවක සේවිකාවන් වැඩට එන්නේ කෙසේදැයි සොයා බලන්නට රාජ්‍ය පාලකයන්ට වගකීමක් තිබේ. පොදු ප‍්‍රවාහනය අකාර්යක්ෂම වන විට ජනතාව ප‍්‍රයෝජනයට ගන්නා තමන්ගේම විකල්ප ප‍්‍රවාහන ක‍්‍රම හෙයින් විශාල මාර්ග තදබදයක් ඇති වී තිබෙන බව පිලිගත යුතුය. එය අතිශය වියදම් සහගත හා පරිසර විනාශයක් සිදුවන ක‍්‍රියාදාමයක් බව පෙනේ.

ලෝකයේ අනෙක් රටවල් හිතන අන්දමට අලූත් ව්‍යුහයකින් පොදු ප‍්‍රවාහනය ගැන හිතන්නට රටට කාලය එළැඹ ඇත. පර්යේෂණ අංශ නොයෙක් වාර්තා නිකුත් කර තිබේ. ප‍්‍රතිපත්ති සම්පාදකයෝ කළ යුතු දේ නොදන්නවා නොවේ. නමුත් තීරණයක් ගැනෙන්නේ නැත. ගැටළුව එයයි.