» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/09/2018 - ඉරිදා ලංකාදීප
පොත් ප‍්‍රදර්ශනය, අළෙවිය සහ පුස්තකාල පරිශීලනය

සිංගප්පූරුවේ ජාතික පුස්තකාලය ලෝකයේ නවීනතම පහසුකම්වලින් සමන්විත පුස්තකාල අතරින් එකකි. එරට පුරවැසියන්ට එහි සාමාජිකත්වය ලබාගත හැකි අතර විදේශිකයන්ට ද පුස්තකාලය පරිහරණයට අවස්ථාව විවෘතය. ලෝකයේ නන් දෙසින් සම්බන්ධවී දැනුම අවබෝධය වෙනුවෙන් පොතපත පරිශීලනය කරන සෑම පුද්ගලයෙකුටම ජාතික පුස්තකාල සේවාවෙන් සහාය ලබාදීම එහි අරමුණයි. සිංගප්පූරුවේ ජාතික පුස්තකාලය එරට සන්නිවේදනය හා තොරතුරු අමාත්‍යංශය යටතේ පාලනය කෙරේ. එහෙත් එහි දේශපාලනයක් නැත. විද්‍යාර්ථීහු කණ්ඩායමක් එහි පාලක මණ්ඩලයේ සිටී. ස්වාධීනව පාලනය වන අතර මෑතක් වන තුරු එරට හිටපු ප‍්‍රවීන රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියෙකු සභාපති ධුරය හෙබැවීය.

සිංගප්පූරුවේ ජාතික පුස්තකාලය මහල් 16 කින් සමන්විත නවීන ගොඩනැගිල්ලක ස්ථාපිත කරන්නේ 2005 වසරේ දීය. පොත පත පමණක් නොව නවීන තොරතුරු තාක්ෂණ මෙවලම් වලින් ද සමන්විතය. සෑම කෘතියකම තොරතුරු සහ විශේෂයෙන් ඉතා පැරණි ලේඛණ පහසුවෙන් කියැවිය හැකි සේ ආරක්ෂිතව ගබඩා කරන ක‍්‍රමවේදයකින් යුක්තය. භාෂා හතරකින් එහි කටයුතු සිදුවෙයි. ලෝකයේ විවිධ භාෂා වලින් ලියුවුණ කෘති අති විශාල ප‍්‍රමාණයක් නිසි සේ සුචි ගත කර තිබේ. එතැනට එන පමණක් නොව අන්තර්ජාලයෙන් සේවය ලබාගන්නා පාඨකයෙකුට පවා ඉක්මන් සේවයක් සම්පාදනය කරයි. පුස්තකාල කාර්ය මණ්ඩලයේ සෑහෙන පිරිසක් සිංගප්පූරුවේ ජ්‍යෙශ්ඨ පුරවැසියෝය. තරුණ පෙල එරට ශ‍්‍රම බලකායට එකතු වී ඇති අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ විශ‍්‍රාම ලැබීමෙන් පසු පුස්තකාල වැනි සේවා අංශ වල වැඩ කරන්නට කැමැත්තෙන් එකතු වී තිබේ. දැනුම සොයා එන පාඨකයන්ට යුහුසුළුව ඉතා ඉවසිලිවන්තව සවන් දෙන්නට මෙම වියපත් පිරිස සූදානම්ය. පුස්තකාලයේ නවීන සැලැස්ම, එහි පරිපාලනයට යොදවා ඇති දක්ෂ කණ්ඩායම, දේශපාලනඥයන්ගේ අවම මැදිහත්වීම සහ විශේෂයෙන් වැඩිහිටි පිරිස සේවයට බඳවාගෙන එම කණ්ඩයමෙන් සේවයක් ගැනීම අපට ද ආදර්ශයට ගත හැකි පැති බව සඳහන් කළ යුතුය. ඉතාම වැදගත් කාරණය එය නොවේ. දිනපතා සිංගප්පූරුවේ තරුණ තරුණන් අති විශාල ප‍්‍රමාණයක් එහි පැමිණ පොත පත පරිහරණය කිරීමයි. බැහැර දෙන අංශය අවිවේකී අතර අධ්‍යයන කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති කොටසට පැමිණ නොයෙක් මාතෘකා යටතේ පෙල සකස්කර ඇති ග‍්‍රන්ථ ලබා ගෙන පරිහරණය කරන පිරිස විශාලය. සිංගප්පූරුවේ ජාතික පුස්තකාලය වටිනා වස්තුවකි.

ශ‍්‍රී ලංකාවේ පුස්තකාල සෑහෙන ප‍්‍රමාණයක් තිබේ. ජාතික පුස්තකාලයක් ඇත. වෙනත් පුස්තකාලයක සාමාජික වී ඇති සාමාජිකයෙකුට ජාතික පුස්තකාලයට පැමිණ එහි ආරක්ෂා කර ඇති වටිනා කෘති පරිශීලනය කළ හැකිය. මෙරට පුස්තකාල වල ඇති වටිනා විශේෂිත එකතු සෑහෙන ප‍්‍රමාණයක් තිබේ. රටට වටිනා සේවයක් කර ජීවිතයෙන් සමුගත් වියතුන් පරිහරණය කළ පොත් පත් ජාතික පුස්තකාලයේ හා විශ්ව විද්‍යාල පුස්තකාලවල එකතු කර තිබේ. මේවා ගැඹුරින් පරිහරණය කරන්නට මෙරට ශිෂ්‍ය ප‍්‍රජාව උනන්දුවක් දක්වයිද? අඩුම තරමින් විශ්ව විද්‍යාලයේ පහසුකම් හා එහි අධ්‍යයන පහසුකම් නිසි සේ භාවිතා කරන බවක් නිරීක්ෂණය කළ හැකිද? නොබෝදා ඉන්දියානු රජය නැගෙනහිර විශ්ව විද්‍යාල දෙකකට හා රුහුණු විශ්ව විද්‍යාලයට අති නවීන සම්මන්ත‍්‍රණ ශාලා පරිත්‍යාග කළේය. මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් වරයා ඒවා විවෘත කිරීමට අවශ්‍ය විධිවිධාන යොදවා තිබේ. නමුත් රුහුණු විශ්ව විද්‍යාලයේ ශීෂ්‍ය ප‍්‍රජාව සිය සම්මන්ත‍්‍රණ ශාලාව විවෘත කිරීමට දේශපාලනඥයන් පැමිණීමට විරෝධය දක්වා තිබේ. ශිෂ්‍යයෝ ප‍්‍රතිපත්ති කාරණා ගැන සංවිධානාත්මක ගැටුම පැත්තක තබා ලැබෙන සම්පත් වලින් ප‍්‍රයෝජන ගත යුතුය. ඉගෙනීමට ඇති උනන්දුව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු අතර ඉගෙන ගෙන හොඳ තනතුරුවලට පත්වී රට වෙනස් කරන අරගලය කළ යුතුය. තනතුරකට පත් වූ පසු ජනතාවගේ දුක වේදනාව ගැන අරගලයක් වෙනුවෙන් උන්නදුවක් නැති ශිෂ්‍ය ප‍්‍රජාව දේශපාලන කාරණා ගැන බලවත් උන්නදුවක් දක්වන්නේ ඇයි? එයට හේතුව කියවීම අඩුකමයි. ලෝකයේ වෙනත් රටවල සිදුවන දේ ගැන ඇති අනවධානයයි. ජාත්‍යන්තරය තුළ වේගයෙන් අලූත් දැනුම එකතු වෙමින් තිබේ. තරගකාරීව ඥාණ ගවේශනය සිදුවෙයි. මෙරට තරුණන් සිය අධ්‍යයන වලට අවශ්‍ය පොත පත පමණක් හදාරන අතර අලූත් දැනුම හා අවබෝධය වෙනුවෙන් පොත පත කියවන්නේ නැත. ලෝකයේ සිදුවනදේ ගැන සොයා බලන්නේ නැත. අන්තර් ජාලය පරිහරණය කර නව දැනුම සොයා වෙහෙසෙන්නේ නැත. පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනයට එකතු වන තරුණ පෙල වෙතින් එය පොදුවේ නිරීක්ෂණය කළ හැකි කාරණයකි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් රට තුළ අලූත් ආකල්ප අලූත් අදහස් බිහිවෙන අවකාශය පාලනය වී තිබේ. පොත පත හදාරන්නේ නැති අනෙක් රටවල සිදුවන අලූත් මත ගැන කරුණු හදාරන්නේ නැති තරුණ පරපුරකින් අනාගතයට ලැබෙන අවස්ථාව කුමක්ද?

ආර්ථික සහ සමාජයීය වශයෙන් ඉතා දියුණු මට්ටමක සිටින සිංගප්පූරුවේ ජාතික පුස්තකාලය එහි කටයුතු හා සපයන සේවා ගැන අවධානය යොමු කරන අතරවාරයේ මෙරට පොත පත පරිහරණය ගැන සඳහන් කරන්නට තීරණය කළේ ඇයි? වසරක් පාසා මෙරට පවත්වන පොත් ප‍්‍රදර්ශනය හා අලෙවි සල්පිල මෙම දිනවල පැවැත්වෙන හෙයිනි. සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසයයි. සාහිත්‍ය ගැන උණුසුම් වාද විවාද පැවැත්වෙයි. රජය කරගෙන යන සාහිත්‍ය සේවාව ගැන විශාල විවේචන පවතින බව පෙනේ. ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කරයි. පොත පත කියවන්නට, දැනුම් සොයායන්නට පවතින උනන්දුවක තරම මෙයට සහභාගී වන වාර්තා ගත ජනකායෙන් පෙන්නුම් කරන බව සඳහන් කළ යුතුය.

පොත් නිකුත් කිරීම. කවි පවුර, ස්වර්ණ පුස්තක සහ ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තුව සමග ඇති කරන ලද ශිෂ්‍යත්ව ක‍්‍රමය ඇතුළු එය වටා එකතු වූ සාහිත්‍ය සහ සංස්කෘතික අංග පෙන්වන්නේ ප‍්‍රදර්ශනය විහිදී ව්‍යාප්ත වූ ස්වභාවයයි. පොත් ප‍්‍රදර්ශනය නමුත් එහි දී ඉලක්ක කරන්නේ අළෙවියයි. කොළඹ අවට පමණක් නොව දුර බැහැර සිට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පොත පත මිල දී ගැනීමට මෙහි දී යුහුසුළු වෙති. පැමිණෙන ජනකාය දෙස විමර්ශනය කරන විට එහි එන දූදරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ගේ අරමුණ පවතින අධ්‍යාපන ක‍්‍රමය තුළ තව දුරටත් ආකෘති ගත වීම බව පෙනේ. ඔවුහු මිල දී ගන්නේ විභාග ප‍්‍රශ්න පත‍්‍රය ඉලක්ක කරගත් පොත්ය. වැඩිම ඉල්ලූමක් ඇති පමණක් නොව වැඩිම ආකර්ශනයක් ඇති පොත් අළෙවි කුටි බවට පත්ව ඇත්තේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වෙනුවෙන් දැනුම සම්පාදනය කරන තැන්ය. තරුණ තරුණියන් පොත් ප‍්‍රදර්ශනයට එන්නේ විනෝදයටය. එහි සැරි සරා එක පොතක් නැත්නම් දෙකක් මිල දී ගෙන පිටත්ව යන බව නිරීක්ෂණය කළ හැකිය.

පසුගිය අවුරුදු විස්ස තුළ දැනුම උත්පාදනය වන ආකාරය වෙනස් විය. පහුගිය පරම්පරාවට පොත පත පරිශීලනය සහ එය ඇසුරෙන් අධ්‍යයනය ඉතාම වැදගත් විය. අද වන විට දැනුම ගබඩාකර ඇත්තේ අන්තර් ජාලයේය. අන්තර් ජාල කියැවීම සහ එහි අධ්‍යයනය ඥාණ ගවේශනයට පහසු මගක් බවට පත්ව තිබේ. විද්‍යාර්ථීහු තමන්ගේ පර්යේෂණ නිබන්ධන වෙබ් අඩවි වලට මුදා හරිති. පොත පත පළකිරීම සීමා වී තිබේ. එය වෙනුවට පර්යේෂණ සහ එහි දත්ත ගබඩා කරන ශාස්තී‍්‍රය අන්තර් ජාල අඩවි තුළ සංවාද පැවැත්වෙයි. සිංගප්පූරුවේ ජාතික පුස්තකාලය මෙකී නවීන අවශ්‍යතා හදුනාගෙන නවීකරණය කර ඇත. එහි පාලනය විධිමත්ය. පොත පත පරිශීලනය දියුණු බව නිරීක්ෂණය කළ හැකිය. අන්තර් ජාලයෙන් පොත් කියැවීම අද සුලබ දෙයකි. අන්තර් ජාල පරිහරණයට ඉඩ දෙන තමන් අත ඇති ස්මාට් දුරකථනය කියැවීමට පමණක් නොව ගවේශනයට ද ඉඩ දෙන විට රාමුව වෙනස් වී ඇති බව තේරුම් ගත යුතුය. සිංගප්පූරුවේ ජාතික පුස්තකාලයේ එයට ද පහසුකම් ඇත.

පුස්කොලයක ලියා කළු මැද කියැවූ දවස තවමත් මතක ඇති සමාජයක ජීවත්වන දරුවන් පොත් ගැන හිතන්නේ විෂයානුබද්ධ කාරණාවක් සේ පමණකි. ලෝකයේ ඕනෑම විශ්ව විද්‍යාලයක දේශන වලට අන්තර් ජාලයෙන් සහභාගී විය හැකි තරමට තාක්ෂණය දියුණුය. අප ජීවත්වන්නේ ලෝකයේ නම් දරා ඇති විශ්ව විද්‍යාලයක උපාධියකට ලියාපදිංචි වී ගෙදර සිටම හැදෑරිය හැකි යුගයක එළිපත්තේය. ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන, පුස්තකාල සේවය පමණක්ක නොව මේවායේ ඡාන ගවේශනය ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ප‍්‍රජාව නවීන පැති ගැන සොයා බැලීම සුදුසුය.