» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/07/2017 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රම වෙළදපොල අලූත්වන අන්දම

ආර්ථිකය ගැන කතාකරන විට අලූත් වචනයක් එකතු වී තිබේ. ගිගි ආර්ථිකය යනුවෙන් එය හැඳීන්වෙයි. පසුගිය ‘Finical Times’ පුවත්පත ‘gig economy’ යනුවෙන් හදුන්වන ආර්ථික ස්වභාවය ගැන විස්තරාත්මක ලිපියක් පළ කළේය. ලෝකයේ නොයෙක් තැන් හි වැඩ කරන ජනතාව අතරින් කෙනෙකු ස්වාධීනව තම කාර්යය ඉටු කරන්නට කැමැතිය. ස්ථිර සේවයට එක් නොවන ඔවුහු ගිවිසගත් කාලයක් තුළ කාර්යය ඉටු කරන අතර සේවය වෙනුවෙන් දීමනාවක් සැපයේ. කම්කරු නීති රීති හෝ වෙනත් බලපෑම් මෙම වැඩ කරන ජනතාව වෙනුවෙන් මේ දක්වා අදාල වූයේ නැත. ඇමරිකා සහ යුරෝපා රටවල ගිගි ආර්ථිකයෙහි නියුක්ත පිරිස සමස්ථයෙන් සියයට 20-30 ක් පමණ විය හැකි අතර එය මෙතෙක් කල් උපකල්පනය කරමින් සිටි පිරිසට වඩා බෙහෙවින් වැඩි ප‍්‍රතිශතයක් බව දැක්වෙයි. වැඩ කරන ජනතාව ආයතනික බැඳීම් වලින් තොරව වැඩ කරන්නට කැමැත්තක් දක්වන්නේ ඇයි? නිතිපතා වැඩට පැමිණ ආයතනයෙන් පනවන එකිනෙකට වෙනස් කාර්යය සතුටුදායක සේ කරනවාට වඩා මෙම ගිගි ක‍්‍රමය තෘප්තිමත් බව ඔවුන්ගෙන් පළවෙයි.

මුල් කාලයේ දී ගිගි ආර්ථික කාර්යයට ජනතාව කැමැති වූයේ ස්ථිර රැකියාවක් සොයා ගැනීමට ඇති අපහසුව හෙයින්ය. ලැබෙන මොනවා හෝ දේ වලින් එදිනෙදා ආදායමක් උපයා ගන්නට ඔවුහු පෙළඹුනහ. නමුත් අද වන විට එය වෙනත් පැත්තකට පරිවර්තනය වී තිබේ. ආයතන වලට අනුබද්ධව වැඩ කරන පිරිසගෙන් සෑහෙන ප‍්‍රතිශතයක් නිදහසේ වැඩ කරන්නට කැමැතිය. ආර්ථිකයක සිදුවන දේ හªනාගැනීමට අපහසුවීම මෙම ගිගි ආර්ථිකයෙහි ලක්ෂණයකි. ඇමරිකා හා යුරෝපා රටවල විරැකියාව සියයට 4.5 ක් හෝ 5 ක් බව නිල දත්ත වල දැක්වෙයි. නමුත් එම ප‍්‍රතිශතය තුළ ඉතාම වැඩියෙන් උපයන අය පමණක් නොව අඩුම ආදායමක් සහිත වැඩ කරන ජන කොටසක් ද ඉන්නට හැකි බව පෙනී ගොස් ඇත. ආයතනික සංඛ්‍යා ලේඛන අනුව ස්ථිර සේවක ප‍්‍රමාණය අනාවරණය කරන නමුත් එයට වඩා හාත්පසින්ම වෙනස් පිරිසක් එදිනෙදා කාර්ය වල දී හවුල් වන බව පැහැදිලිව අනාවරණය කරගත හැකිව ඇත.

මැකෙන්සි ග්ලෝබල් ඉන්ස්ටිටියුට් ආයතනයෙන් කරන ලද පර්යේෂණයක් පෙන්වන්නේ හොඳට පුහුණු වී හො`ද අධ්‍යාපන පසුබිමක් ඇති පිරිස පමණක් නොව අලූත් පරම්පරාවේ තරුණ අය ද මෙකී ගිගි ආර්ථිකයේ දී වැඩ කළ හැකි උපරිම පැය ගණන සේවය කරමින් ඇතැම් විට එකවර රැකියා පහක් හෝ නමයක් අතර ගණනක නිරත වන බව දක්වයි. මෙම පර්යේෂණයේ දී අංශ හතරක් දක්වා ඇත. සියයට තිහක් පමණ නිදහස් ඒජන්තවරුය. සියයට හතලිහක් අනියම් සේවකයන් වන අතර තමන්ගේ කැමැත්ත අනුව ආදායම් සොයා ගන්නට නැඹුරු පිරිසකි. තවත් සියයට දහ හතරක් නිදහස්ව වැඩ කරන අතරවාරයේ ස්ථිරත්වය අපේක්ෂා කරන අතර සියයට දහසයක සෙසු පිරිස මුල්‍ය වශයෙන් ශක්තිමත් උවමනාවටත් වඩා උපයාගන්නට සමත් කොටසක් බව අනාවරණය කර තිබේ. මෙකී පර්යේෂණය පෙන්වන තවත් පැත්තක් තිබේ. එනම් ඇමරිකාවේ හා යුරෝපා රටවල වැඩ කරන ජනතාව අතරින් මිලියන පනහක පමණ පිරිසකට ස්වාධීන එනම් ගිගි ආර්ථිකයක පසුවෙන්නට උවමනාව නැතත් එසේ ජීවත්වෙති.

නමුත් මිලියන විස්සකට වැඩි පිරිසක් නියත වශයෙන්ම ස්වාධීන ආදායම් උපයමින් එය ඔවුන්ගේ මූලික ආදායම වශයෙන් සලකා නිරත වන බව දැක්වෙයි. බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය නොබෝදා මෙම ගිගි ආර්ථිකයෙහි නිරත සේවක සේවිකාවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන සොයා බලන සේ නියම කළාය. ස්ථිර සේවකයන්ට වැඩ කරන ස්ථානයේ යම් යම් අයිතිවාසිකම් තිබේ. ගිගි වෘර්තිකයන්ට ඒවා නැත. නමුත් ලෝකය වෙනස් වන ආකාරය අනුව තමන්ට ද තීරණ ගන්නට සිදුවන බව ඇය අනාවරණය කළාය. ඌබර් සහ ඩිලිවෙරෝ යනුවෙන් දැක්වෙන අංශ වල නිතර සේවකයන්ට පවා ස්වයං රැකියා කරන ආකාරයේ යම් අයිතිවාසිකම් තිබිය යුතු බව ඇය දක්වන්නීය. එය මෙතෙක් පැවැති තත්ත්වයක් නොවීම විශේෂත්වයකි.

මේ අතරවාරයේ නොබෝදා එළි දක්වන ලද එක්සත් රාජධානියේ නිල වාර්තාවකට අනුව එරට ගිගි ආර්ථිකයෝ කොටස්කරුවෝ සිය වෘර්තීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් විප්ලවීය පෙරළියක කොටස්කරුවෝ බවට පත්ව සිටිති. එනම් සාධාරණ අයිතිවාසිකම් හිමිවිය යුතු තත්ත්වයකි. අසනීප නිවාඩු හෝ නිවාඩු දිනවලට ද ගෙවීම් ලබා ගැනීමට අයිතියක් හිමි වනු ඇත. මෙකී කාරණා සනාථ වෙන්නේ ගිගි ආර්ථිකය ගැන වාර්තාවක් සම්පාදනය කරන හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ගේ උපදේශකවරයාගේ නිර්දේශ අනුවය. ඔහු කියන්නේ ගිගි ආර්ථිකය අනුව නිදහසේ සිය ශ‍්‍රමය සපයන කාර්ය මණ්ඩලය හුදෙක් ආයතනයක් යැපෙන පිරිසක් වශයෙන් සැලකීම අවශ්‍ය බවය. ආයතනය යැපෙන සහ නිසි කොන්ත‍්‍රාත් වලට යටත්ව ඇති පිරිසට සාමාන්‍ය කොන්ත‍්‍රාත්කරුවන්ට වඩා වෙනස් එනම් ස්ථිර සේවකයන්ට සලකන අන්දමට අයිතිවාසිකම් දිය යුතු බව කියා තිබේ. එය මෙතෙක් නොතිබුණ විශාල පරිවර්තනයකි. බි‍්‍රතාන්‍යයේ ස්ථිර සේවකයෙකු උපයනවාට වඩා සියයට විස්සකින් පමණ වැඩි ආදායමක් ද උපයාගන්නා අතර හොඳ සේවාවක් ද දෙන හෙයින් ගිගි ආර්ථිකයේ කොටස්කරුවන් ගැන උනන්දුවක් දැක්වීම වරදක් නොවන බව පෙන්වා දී තිබේ.

හිටපු අගමැතිවරයාගේ උපදේශක මැතිව් මහතා සම්පාදනය කළ මෙම වාර්තාවට පැති දෙකකින් වෙනත් අදහස් පැන නැගී තිබේ. එකක් වෘත්තීය සමිති මටට්මින්ය. වෘත්තීය සමිති වලට අනුව මෙම තීරණය වෘත්තීය සුරක්ෂිතතාවයක් රහිත සේවකයන් පිරිස වැඩි කරන්නට හේතුවන තීරණයකි. ඔවුන් නොකියන කාරණය නම් වෘත්තීය අයිතිවාසිකම් යන්න තව දුරටත් පවතින්නට ඉඩ නැති ව්‍යුහයක් බැවින් තමන් අසරණ වන බවය. තවත් කණ්ඩායමක් සඳහන් කරන ප‍්‍රධාන කාරණයක් තිබේ. එනම් අඩු පහසුකම් යටතේ වෘත්තීය සුරක්ෂිතතාවයක් රහිතව වැඩ කරන ජනතාව ගැන මෙයින් එතරම් හොඳීන් සලකා බලා නැති බවය.

ලෝකයේ බටහිර කොටසින් ආරම්භ වී ආයතන වල වැඩකරන සහ වැඩගන්නා ආකාරය වෙනස් වෙමින් තිබේ. රාජ්‍ය නායකයන්, විද්වතුන් හා වෘත්තීය අංශ මෙකී විප්ලවීය වෙනස ගැන සාකච්ඡා කරයි. වාද විවාද වල නිරතව සිටී. ශ‍්‍රී ලංකාවේ ද නිදහස් ශ‍්‍රම වෙළඳ පොලක් තිබේ. එය වර්ධනය වනු නිසැකය. දක්ෂතා ඇති පිරිස එක තැනක ස්ථිර සේවයට කැමැති නැත. සේවය අවශ්‍ය ඕනෑම තැනකට වැඩ කරන්නට සූදානම්ය. වැඩ කරන පැය ගණන තීරණය නොවේ. අවශ්‍යතාවය සපුරන ප‍්‍රමාණය හා එහිලා දක්වන නිපුණතාව අනුව ගෙවීම් කරන්නට ආයතන සූදානම්ව සිටී. සේවක අයිතිවාසිකම් හා වෘත්තීය අරගල යන අංශ නුදුරු අනාගතයේ දී පත්විය හැකි ස්වභාවය කෙබදු ද යන්න ගැන අවධානය යොමු කිරීම සුදුසුය. වැටුප් වැඩි කිරීම, වැඩි පහසුකම් හෝ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් නිතර අරගල කරන වෘත්තීය සමිති තමන්ගේ අනාගත අර්බුදය කෙබදු එකක් විය හැකි දැයි කල්පනා කිරීම වටී. නිදහසේ ශ‍්‍රමය සපයන්නට නැඹුරුවන වැඩ කරන ජනතාව වෘත්තීය සමිති වලට බැඳෙන්නේ නැත.

වෘත්තීය අරගල වල කොටස් කරුවන් නොවෙන්නට ඉඩ තිබේ. සටන් කාමීන්ට අනුව මෙම පිරිස පාවා දෙන්නන් හෝ හොරිකඩයන් සේ හදුන්වන්නට බැරි නැත. නමුත් ඇත්ත එයයි. තමන්ගේ දැනුම හා ශක්තිය අනුව වැඩ කරන්නට අවස්ථාව තිබෙන පරිසරයක් ඇති වෙයි නම් ශ‍්‍රම වෙළඳ පොල වෙනස් වනු නිසැකය. ආණ්ඩුව හා ප‍්‍රතිපත්ති සම්පාදන අංශ මෙම අලූත් පැති කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසුය. ශ‍්‍රී ලංකාව ආර්ථික සහ සමාජ පැතිවලින් ඉතාමත් තීරණාත්මක තැනක පසුවෙයි. තරගකාරීත්වය සම්බන්ධයෙන් අවශ්‍ය වෙනස්කම් ගැනීමට පසුබට නොවිය යුතු තැනක සිටින බව සඳහන් කළ යුතුය. මෙරට ශ‍්‍රම වෙළඳ පොල වෙනස් කළ යුතු බවට පසුගිය දශකය තුළ නොයෙක් විවාද තිබුණ නමුත් එය නිසි සේ සිදු නොවුන ස්වභාවය තුළ මෙවැනි විප්ලවීය පරිවර්තනයකට අනුකූල විය හැක්කේ කෙසේදැයි අවධානය යොමු කිරීම වටී.