» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/06/2019 - ඉරිදා ලංකාදීප
මහජන මුදල් අවභාවිතාව ගැන ඊශ‍්‍රායලයේ නීති ක‍්‍රියාමාර්ග

බෙන්ජමින් නෙතන්යාහු යන නම මෙරට පාඨකයන්ට අලූත් එකක් නොවේ. හතරවතාවක් ඊශ‍්‍රායලයේ අගමැතිධුරයට පත් හෙතෙම දැනටත් සිය ධුරයෙහි කටයුතු කරමින් සිටී. පස්වැනි වතාවටත් ජනතාව හමුවට ගොස් මහ මැතිවරණයෙන් ජය අත්කර ගැනීම ඔහුගේ අපේක්ෂාව වී තිබේ. එකී අරමුණ හෙතෙම නොබෝදා ප‍්‍රකාශයට පත් කළේය. ඔහුගේ පාලනය ඉදිරියේ දූෂණ හෝ වංචා ගැන චෝදනා පවතින අතර එයින් සමහරක් 2017 වසරේ සිට විභාග වෙමින් තිබේ. අගමැතිවරයාගේ බිරිඳ රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම හා වරද පිලිගෙන රජයේ දඩ හා රජයේ මුදල් ආපසු ගෙවීමට එකඟවීම සෑහෙන ආන්දෝලනයකට ලක්ව ඇති කාරණයකි.

අගමැති බිරිඳ සාරා නෙතන්යාහු ඊශ‍්‍රායෙල් රජයේ මුදල් වැය කර සුඛෝපභෝගි අවන්හල් වලින් ආහාර ඇනවුම්කර තිබේ. විශේෂ අවස්ථා වල දී කරන ලද මෙකී රසවත් ආහාර ගෙන්වා ගැනීම වරදක් බව එරට අධිකරණයේ පනවා ඇති නඩු වාර්තාව දක්වයි. අගමැති නිල නිවසට නිල කෝකියෙකු පත් කර තිබේ. එසේ තිබිය දී 2010-13 කාලයේ දී මෙම ආහාර ගෙන්වා ගෙන ඇත. ඇයගේ නීතිඥයා පෙන්වා දී ඇති අන්දමට මෙය බරපතල අපරාධයක් සේ ගැනෙන නමුත් එය අගමැති නිවස පරිපාලනයේ දී සිදුවී ඇති අතපසුවීමක් හැර හිතා මතා කරන ලද වරදක් නොවේ. අධිකරණයේ දී එය පෙන්වා දීමෙන් පසු ඇමරිකානු ඩොලර් 15,000 ක දඩයක් හා රජයට වැය වූ මුදල ගෙවන්නට එකඟ වී ඇත. එයට අමතරව මෙම වරද පෙන්වා දෙන්නට අසමත් වූ බව කියන අගමැති නිවස භාරකරුට ද අධිකරණයෙන් දඩ නියම කර තිබේ. වසර හතරක් තිස්සේ අධිකරණයේ විභාගයට ගැණුන නඩුව එක්තරා අවසානයක් කරා පැමිණ ඇති අතර එරට නීතිපතිවරයා පෙන්වා දෙන ආකාරයට අගමැතිවරයාට එරෙහිව ද අධිකරණ ක‍්‍රියාමාර්ග පවතී. ඒවා ද ඉදිරියට ගෙන යනු ඇත. එක්තරා ටෙලිකොම් සමාගමකට උදව්කර එමගින් සිය වෙබ් අඩවිය නඩත්තු කරන්නට සහාය ලබාගත් බව ඉතාම බරපතල චෝදනාව සේ සැලකෙයි.

ඊශ‍්‍රායලයේ අගමැතිවරයා හා බිරිඳ බලයේ සිටියදී මුහුණ පා සිටින නඩු ගැන සාකච්ඡා කරන විට නීතිය බලපැවැත්වීම සුදුසු බව පෙනේ. අනෙක් අතට නොයෙක් රටවල පාලකයන් ක‍්‍රියා කරන ආකාරය අනුව මෙවැනි වැරදි වලටත් නඩු පැනවුවහොත් සෑම රටකම ප‍්‍රධාන පාලකයෝ සෑම දෙනෙක්ම පාහේ වරදකරුවෝ වනවා හැර කිසිසේත් නිර්දෝෂී පුද්ගලයෝ නොවෙති.

පස් වැනි වතාවට අගමැති ධුරය වෙනුවෙන් තරග කරන්නට සූදානම්වන බෙන්ජමින් නෙතන්යාහු තුන්වතාවක් විවාහ වූ අයෙකි. කලින් විවාහ වලින් වෙන්ව පසුව සාරා නෙතන්යාහූ සමග නීත්‍යානුකූලව විවාහ විය. අගමැති නෙතන්යාහු පළමුවරට බලයට පත් වූ පසු බැංකු හා මුල්‍ය අංශයෙහි විශාල ප‍්‍රතිසංස්කරණයක් කළේය. ආයෝජකයන්ට අවස්ථා සම්පාදනය කරන තීරණ ගත්තේය. 2003-05 කාලයේ දී එරට මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ දී ලත් අත්දැකීම් අනුව මෙම පියවර ගන්නට ඇති බව විචාරක මතයයි. රට ආර්ථික අතින් ඉදිරියට ගෙන යන්නට මෙම තීරණ හේතු විය. අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු නෙතන්යාහු ඊශ‍්‍රායල ආරක්ෂක හමුදාවට බැදුන අතර පස් වසරක් එහි විශේෂ ඒකකයේ භටයෙකු සේ මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වී ඇත. ආරක්ෂක සේවයේ නිරත පසුබිම අනුව හෙතෙම ත‍්‍රස්තවාදයට එරෙහිය. ත‍්‍රස්තවාදය ගැන පොත් තුනක් ලියා තිබේ. බලයේ සිටින අතරවාරයේ අධිකරණයේ නඩු විභාග වන පළමු ඊශ‍්‍රායල අගමැතිවරයා වශයෙන් නෙතන්යාහු ඉතිහාසයට එකතු වී සිටී. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා සමීපව කටයුතු කරන නෙතන්යාහු ගේ නඩු චෝදනා ගැන මෙම නායකයෝ එපමණ විශ්වාසයක් පෙන්වා නැති අතර එය විශේෂත්වයකි. කෙසේ නමුත් සාරා හා බෙන්ජමින් නෙතන්යාහු ගැන කරුණු දක්වන ඇතැමි පිරිස් මෙම නඩු ඉදිරියේ දී එන මැතිවරණයට විරුද්ධව බව දක්වන අතර බෙන්ජමින් අගමැතිවරයාට එරෙහිව පවතින නඩු තුන අවාසිදායක තීන්දුවකට ගියහොත් වසර තුනක සිරදඩුවමක් නියම වනු ඇතැයි දක්වා තිබේ.

පාලකයන්ගේ හා පවුල්වල උදවියගේ වියදම් ගැන මෙරට ජනතාවට අදහසක් තිබේ. එය එදා මෙදා යනුවෙන් වෙනසක් නැත. ජනතාව අති විශාල බදු බරකට යටත් අතර මෙම බදු ආදායම තමන්ගේ වාසියට හරවා ගෙන ඇති පාලකයෝ ඒවා අයුතු ලෙස ප‍්‍රයෝජනයට ගනිති. සෑම ආන්ඩුවක්ම කලින් කරන ලද වැරදි කියා ඒවායේ වරදකරුවෝ දැඩි දඩුවම් වලට යටත් කරන බව දේශපාලන වේදිකාවේ දී දිවුරා පොරොන්දු දෙන නමුත් එකිනෙකා තමන්ගේ වැරදි සමාකර ගැනීම ප‍්‍රසිද්ධ රහසක් වී තිබේ. බලයට පත්වන නායකයෝ රාජ්‍ය මුදල් පරෙස්සමෙන් භාවිතා කරන අතර පරණ ආණ්ඩුවේ නීති විරෝධී වියදම් සෑම සතයක්ම ආපහු අය කරගන්නා බව ප‍්‍රකාශ කරන නමුත් ඒවා විහිළු බව මෙරට පුරවැසියෝ හොඳීන් දනිති. අඩුම තරමින් ඊශ‍්‍රායලයේ නීති බලධාරීහු අගමැතිවරයා බලයේ සිටිය දී චෝදනා පත‍්‍ර භාර දී නඩු පවරන්නට තරම් ශක්තිමත් ස්වාධීන බවක් පෙන්වා තිබේ. මෙරට නීති කටයුතු වල දී මෙවැනි ස්වාධීන භාවයක් අපේක්ෂා කළ හැකිද? නඩුවක් පවරන්නට තරම් නිර්භීත භාවයක් තිබේද? මේවා ප‍්‍රශ්න කළ යුතුය.

සෑම අමාත්‍යංශයකම වියදම් ගැන මාධ්‍ය වාර්තා කරන කරුණු ඉතා නරකය. මහජන මුදල් තමන්ගේ හිත සුව පිණිස භාවිතා කරන අන්දම පාර්ලිමේන්තුවේ දී අනාවරණය වී තිබේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය අනුව යමින් මාධ්‍ය, ජනතාව හා සංවිධාන මැති ඇමැතිවරුන්ගේ වියදම් ගැන ප‍්‍රශ්න කර තිබේ. සාද පවත්වන්නේ අත දිගහැර බව දක්වා ඇත. නිසි මිල දී ගැනීමේ විධිවිධාන නොසලකා ආහාර පාන ඇනවුම් කරන අවස්ථා කෙළවරක් නැත. ඇමැතිවරුන්ගේ බලය ගෙන නිලධාරීන් හා ඇමැතිවරුන් ගේ සමීපතමයන් ක‍්‍රියා කරන ආකාරය ගැන නඩු පැවරුවහොත් එකී නඩු විභාග කිරීම ස`දහා පමණක් වෙනම අධිකරණයක් අවශ්‍ය වන තරමට තත්ත්වය බැරැම් බව නොදන්නෝ නොවෙති.

දේශපාලන නායකයෝ බලය ඉල්ලන්නේ පිරිසිදු චේතනාවෙන්ය. රට නිවැරදි කරන්නට ඔවුන්ට උවමනා කර තිබේ. සෑහෙන කැක්කුමකින්, කැපවීමකින් රට පත්ව ඇති තැනින් මුදවා ගෙන නැවත සකස් කරන්නට අවධානය යොමු කරන බව සැකයක් නැත. නමුත් විපක්ෂයේ සිටින විට නායකයෝ දක්වන පිරිසිදු භාවය බලය ලබාගත් පසු නැත. කාර්යාලයට, නිල නිවාසයට හෝ පුද්ගලික නිවසට කරන වියදම අනියම් ආකාරයෙන් උපයන මාර්ග විශාල පරිහානියකට පත්ව ඇති බව පෙන්වයි. ඇතැම් දේශපාලන පක්ෂ හෝ දේශපාලනඥයන් සිය පාක්ෂිකයන්ට බෙදන ධනය හම්බ කරන්නේ කොතැනින් දැයි අපට ඇති ප‍්‍රශ්නයකි. ඉතාම හොඳ පුද්ගලයන් පවා අන්තිම නරක තැනට හරවන දේශපාලන ක‍්‍රමයක් අපට ලැබී තිබේ. ඉතාම පටු ආකාරයකට බලය හා බලතල ප‍්‍රයෝජනයට ගැනීමට නීති වගන්ති ලියවාගෙන ඇත. බලය ඇති දේශපාලනඥයෝ මහජන මුදල් පරිහරණය කරන ආකාරය අශෝභනය. නමුත් මේවා වෙනස් කළ හැක්කේ කෙසේද?

ඊශ‍්‍රායලයේ නෙතන්යාහු පාලනයට විරුද්ධව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා ආකාරයට රටක නීති හසුරුවන්නේ කෙසේද? සාමාන්‍ය ජනතාව ගේ කුඩා වරදකට උපරිම දඩුවම් නියම කරන ඇප රහිතව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරන නමුත් දේශපාලනඥයන්ට සම්පූර්ණ රැකවරණය ලැබී ඇත්තේ කෙසේද? විධායක බලය, රටේ ව්‍යවස්ථාව ගැන විශාල විවාද කරන ජනතා සංවිධාන බලය අයුතු සේ භාවිතා කර මහජන මුදල් නාස්ති කරන අවස්ථා ගැන හෙළිදරව් කළ යුතුය. ජනතා ධනයෙන් නඩත්තුවන ක‍්‍රම වෙනස් කරන්නට යෝජනා ඉදිරිපත් කළ යුතුය. ඉදිරි කාලය තුළ මෙරට ප‍්‍රධාන මැතිවරණ ගණනාවක් පැවැත්වෙනු ඇත. පක්ෂ නායකයෝ තමන්ගේ ප‍්‍රතිපත්ති හෙළිදරව් කළ යුතු අතර ජනතා මුදල් පරෙස්සමෙන් පරිහරණය කරන ආකාරය ගැන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල විශේෂයෙන් කරුණු ඇතුලත් කළ යුතු බව මෙහිදී සඳහන් කිරීම අවශ්‍යය.