ස්වභාවික සම්පත් අනිසි භාවිතාවට එරෙහිව ලෝකයේ සෑම තැනකම හඩක් නැගෙමින් තිබේ. පරිසරය විනාශ කරන ඉවක් බවක් නැති විනාශකාරී තත්ත්ව ගැන ඇති මතවාදී අරගලය ප‍්‍රබල එකකි. ලෝකයේ නොයෙක් රටවල් ස්වභාවික සම්පත් ආරක්ෂා කරනු සඳහා තද නීති පනවා ඇත. ජාත්‍යන්තර සම්මුති වලට අත්සන් තබා තිබේ. නමුත් ස්වභාවික සම්පත් වලට සිදුවන හානිය බරපතලය. ඉන්දියාවේ වැලි ජාවාරම ඒ අතර ඇති එක්තරා බරපතල තත්ත්වයක් බව ජාත්‍යන්තර මාධ්‍ය ලෝකය ඉදිරියේ කියා තිබේ. ජාත්‍යන්තරයේ සිදුවන හානිකර ස්වභාවය ගැන එක උදාහරණයක් සේ ඉන්දියාවේ තත්ත්වය හුවා දක්වන නොබෝදා නිකුත් වූ ඉකොනොමිස්ට් සඟරාවේ වාර්තාවක් එමගින් සිදුවන අනතුර හුවා දක්වන අතර බරපතල ඇඟවීමක් ජනතාව වෙත සන්නිවේදනය කරයි.
අවුරුද්දකට ඉන්දියාවේ නීති විරෝධී වැලි ගොඩදැමීම හා එමගින් නිර්මාණය කර ඇති වාර්ෂික වෙළඳාම ඉන්දීය රුපියල් බිලියන 150 ක් නොඑසේනම් ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත දක්වයි. තමිල්නාඩුවේ පමණක් දවසකට ලොරි ලෝඞ් පනස් දහසක් ඉක්මවා ජාවාරම් කරන බව එහි කෙලින්ම සඳහන් කර තිබේ. ඉන්දියාවේ ගංගා වල අනවසර වැලි ගොඩදැමීම පාලනය කරන්නට නොයෙක් නීති පනවා ඇති නමුත් එයින් එතරම් ප‍්‍රයෝජනයක් අත් වී නැත. වේගයෙන් ඉදිකරන ගොඩනැගිලි වෙනුවෙන් ඇති වැලි අවශ්‍යතාව සම්පූර්ණ කරන්නට නෛතික ක‍්‍රම අසමත්වන අතර නීති පැත්තකට කර වැලි මාෆියාව ක‍්‍රියා කරන බව දැක්වේ. නීති මගින් හැම දෙයක්ම කරන්නට හැකියාවක් නැත. මුම්බායි හි ජනතා සංවිධානයක් පෙන්වා දෙන්නේ එම ප‍්‍රදේශයේ ආයුධ සන්නද්ධ කල්ලි වලට පවා වැලි කැනීමේ බලපත‍්‍ර ඇති බවය. නෛතික සීමාව ඉක්මවා කරන වැලි ගොඩදැමීම නතර කරන්නට ආරක්ෂක අංශ අසමත්ව ඇති අතර හඩක් මතු කරන ජනතා සංවිධාන වලට කළ හැකි දේ ඉතාම සුළු එකක් වී තිබේ.
එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ 2014 වසරේ වාර්තා අනුව ලෝක අවශ්‍යතා අතරින් සියයට අසූ පහක්ම මහ පොලව කැන මතු කරගනිමින් සිටී. පසුගිය අවුරුද්දේ දී ලෝකයේ වැලි ටොන් බිලියන 13.7 ක් භාවිතා කර ඇති අතර එයින් සියයට 70 ක් උපයෝගී කරගෙන ඇත්තේ ආසියානු කලාපයේ රටවල්ය. හරි අඩක් චීනය එරට අලූතින් කරන ඉදිකිරීම් වලට උපයෝගී කරගෙන ඇති බව දැක්වෙයි. ඒ අනුව ඉන්දියාව තුළ සිදුවන වැලි ගොඩදැමීමේ මාෆියාව හා සමානව ආසියාවේ සෙසු රටවල ද එයම වෙනත් ආකාරයකට සිදුවන්න බව පැහැදිලිය.
සිංගප්පූරුව 1965 අවුරුද්දේ නිදහස ලබන විට තිබුණ භූමි ප‍්‍රමාණයට වඩා සියයට විස්සකින් රට පුළුල් වී ඇත. මහ මුහුද ගොඩකර භූමිය මතු කරගෙන තිබේ. චීනය, ජපානය හා මාලදිවයින ද මුහුද ගොඩකරගෙන භූමිය සකස් කරගෙන යයි. මහ මුහුදෙන් අලූත් ගොඩබිමක් තැනෙන විට එය සාගර ජල මට්ටම වැඩි කරන්නට බලපා තිබේ. එයට සමාන්තරව මහ මුහුදින් හා ගංගා වලින් වැලි කැන අලූත් ගොඩනැගිලි ඉදිවන විට එය විශාල පාරිසරික ගැටළු ඇතිකරන්නට පටන්ගෙන ඇත. වැලි ආනයනය තවත් අර්බුදයක් ඇති කර තිබේ. සිංගප්පූරුව හා ක්වාටර් රාජ්‍යය ලෝකයේ විශාලතම වැලි ආනයනය කරන්නන් බවට පත්ව ඇත. ඩුබායි හි ප‍්‍රකට මහල් ගොඩනැගිල්ලක් ඉදිකරන්නට සම්පූර්ණයෙන්ම භාවිතා කර ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවෙන් ආනයනය කරන ලද වැලි බව සඳහන්ය. වැලි අපනයනය විශාල ආදායමක් උපයා දෙන නමුත් එයින් ඇතිකරන තත්ත්ව සලකා බලා ඉන්දුනීසියාව හා මැලේසියාව වැලි අපනයනය තහනම් කර තිබේ. කාම්බෝජය හා වියට්නාමය පාලන රෙගුලාසි පනවා ඇත. මියන්මාරය සමහර වෙරළ ප‍්‍රදේශවල වැලි කැණීම් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. අධික ජනාකීර්ණ හා ගොඩනැගිලි සහිත ප‍්‍රදේශ වල වැලි කැනීම නතර කරන්නට ඇමරිකාව පියවර ගෙන ඇති බව දැක්වෙයි. නමුත් මෙම නීති රීති හා පාලන විධි විධාන අභිබවා රටවල් තුළ වැලි වෙනුවෙන් ඉඩක් සම්පාදනය වන අතර එය මාෆියාවක් සේ වර්ධනය වන අන්දමට ඉන්දියාව හොඳ උදාහරණයක් බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.
සංවර්ධනය වන විට ඉදිකිරීම් උවමනාවන් වැඩිවෙයි. ගොඩනැගිලි තැනෙන විට වැලි අවශ්‍යතා ඉහළටම යන බව පෙනේ. ගංගා වලින් එකතු කරගන්නා වැලි ප‍්‍රමාණවත් නොවන විට මුහුදු වැලි සෝදා ප‍්‍රයෝජනයට ගන්නා පැත්තට ඉදිකිරීම් ක්ෂේත‍්‍රය නැඹුරු විය. වැඩි භාවිතාව පරිසර ප‍්‍රශ්න උද්ගත කරන විට එය පාලනය කරන්නනට නීති ගෙන එන විට මතු වූයේ අවනීතියයි. ඉන්දියාවේ තත්ත්වය ලෝකයේ වැලි ජාවාරම් වල එකපැත්තක් පමණකි. ගොඩදමන වැලි හා ප‍්‍රවාහනය කල හැකි තරම ගැන නිතර අවධානයෙන් ඉන්නට බලධාරීන්ට හැකියාවක් නැත. දූෂිත තත්ත්ව එය පරාජය කරන ව්‍යුහ ගොඩනගා තිබේ. නීතියෙන් තහනම් වන විට වැලි මිල වේගයෙන් වැඩිවන අතර එය අවස්ථාවක් කරගන්නා ජාවාරම්කරුවෝ වැලි මාෆියාවක් දක්වා තත්ත්වය වර්ධනය කරගනිති. පස් කදු කපන, ගංගං හාරා වැලි ගොඩදමන සහ ඒවා නීති විරෝධීව මහා පරිමානයෙන් ප‍්‍රවාහනය කිරීම රටවල් වල ප‍්‍රශ්න ඇතිකර තිබේ.
ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ද ඉතාමත් නරක තැනකය. වැලි බලපත‍්‍රයක් ලබාගැනීම විශාල දේශපාලන අවකාශයක් විවෘත කරන එකක් බවට පත්ව තිබේ. එක බලපත‍්‍රයකින් ගංගාවක් විනාශ කරන අන්දම ගැන මෙරට ජනතාවට රහසක් නොවේ. දේශපාලන අනුදැනුම ඇතිව සහ නීතිය තමන්ගේ පැත්තට හරවාගෙන කරන වැලි ජාවාරම බලපුලූවන්කාර පුද්ගලයන්ගේ ඒකාධිකාරයක් බවට පත් කරගෙන ඇත. ඒවා තැනින් තැනට ප‍්‍රවාහනය කිරීම ඉතාම අනතුරුදායක තත්ත්වයක් ඇති කර තිබේ. ධනය වියදම් කර වැලි සම්පත අයිතිකරගන්නා පුලූවන්කාරයෝ ඒවායෙන් අති විශාල වාසි උපයාගන්නා අතර මෙම සම්පත විනාශ කිරීම ඔස්සේ අනාවරණය කරගත නොහැකි තරමේ කලූ ආර්ථිකයක් ද බිහිවී ඇති බව නොරහසකි. මෙය පාලනය කරන්නේ කෙසේ ද යන්න රටට ප‍්‍රමාණවත් වැටහීමක් නැත. එය ඉතාම බරපතල ප‍්‍රශ්නයකි.
ශ‍්‍රී ලංකාව ස්වභාවික සම්පත අතින් අනූන රටකි. ගංගා, ඇල දොල සහ වන තුරු පද්ධති වානිජ අරමුණු මුදුන්පත් කරගැනීමේ ප‍්‍රයත්නය හමුවේ වේගයෙන් විනාශ වෙමින් තිබේ. ආණ්ඩු කරන්නේ අණ පණත් පනවා පාලනය කරන්නට උත්සාහ කිරීමය. නමුත් එයට යටින් වැඩ කරන දේශපාලනඥයෝ ජාවාරම්කරුවන් සමග එකතු වී සිටී. ජනමාධ්‍ය කරන හෙළිදරව් කිරීම් වලින් පලක් නැති තරමට එය දරුණු තත්ත්වයක් ඇති කර තිබේ. නීති තද කරන හෙයින් වැලි ගොඩදැමීම පාලනය වන තරමට වඩා වේගයෙන් වැලි මිල සීග‍්‍රයෙන් ඉහළගොස් තිබේ. එය ජාවාරම්කරුවන්ගේ වාසියට හේතුවකි. සාමාන්‍ය ජනතාවට සිය නිවාස ඉදිකිරීම් වෙනුවෙන් ඉතාම ඉහළ මිලකට වැලි මිල දී ගන්නට සිදුවී තිබේ. දිනපතා වැඩිවන මිල පෙන්වන්නේ ගෙයක් දොරක් හදාගන්නට සාමාන්‍ය ජනතාවට නොහැකිවන තැනට පත්වන බවය. වැලි මිල ගණන් වැඩිවීම ආර්ථික ගැටළුවක් වන අතර කර්මාන්ත හෝ ව්‍යාපාර වෙනුවෙන් කරන ඉදිකිරීම්වලට එය බලපාන අතර අවසානයේ දී නිෂ්පාදන පිරිවැය පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්වෙයි.
පරිසරය ආරක්ෂා කරගත යුතුය. වැලි සම්පත පාලනයකින් තොරව ගොඩදැමීම රට විනාශ කරයි. ඉදිකිරීම් අවශ්‍යතා සලකා මහ මුහුදෙන් වැලි ගැනීමට මෑත කාලය තුළ නැඹුරුවක් තිබේ. ජාත්‍යන්තරය වැලි වෙනුවට උපයෝගී කරගත හැකි විකල්ප ගැන අවධානය යොමු කරමින් සිටී. ගොඩනැගිලි සුන් බුන් නැවත ප‍්‍රයෝජනයට ගැනීම එයින් එකකි. වැලි හා සිමෙන්ති භාවිතා කරනු වෙනුවට යකඩ හෝ ඇළුමීනියම් උපාංග භාවිතා කරන්නට පෙළැඹී තිබේ. බි‍්‍රතාන්‍ය පසුගිය වසරේ දී එරට ඉදිකිරීම් වල දී සියයට 28 ක් ප‍්‍රතිචක‍්‍රීකරණය කරනලද සම්පත් උපයෝගී කරගෙන ඇත. යුරෝපා රටවල් වීදුරු ප‍්‍රතිචක‍්‍රීකරණය සියයට හැත්තෑ පහ දක්වා නංවා ඇත. සමහර තාක්ෂණික විද්‍යාඥයෝ වැලි වෙනුවට මඩ සහ සිමෙන්ති මිශ‍්‍ර කර නිපදවා ගන්නා දෙයකින් ගොඩනැගිලි ඉදි කරන්නට හැකිදැයි සොයා බලන්නට පටන්ගෙන තිබේ. මෙරට පැරණි ගොඩනැගිලි ඉදි කරන ලද්දේ මැටි භාවිතා කර බව සඳහන් කළ යුතුය. ජනතාව අතරට නොයෙක් විකල්ප යොමු කරන විට වැලි ගැන ඇති අවධානය පහත වැටේ. එය ක්ෂේත‍්‍රය විවිධාංගීකරණය කිරීමෙන් පරිසරය ආරක්ෂා කරගැනීමේ මගකි. ප‍්‍රතිපත්ති සම්පාදකයන් වැලි භාවිතාව අඩු කරන නොයෙක් උපාය මාර්ග ගැන අවධානය යොමු කළ යුතු අතර වැලි තහනම් කිරීමට වඩා වැදගත් වෙන්නේ එයයි.
|