» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/02/2020 - ඉරිදා ලංකාදීප
අනුන්ගේ ප‍්‍රශ්න වලින් තම කුටුම්බය ව්‍යාකූලකරගත් සමාජයක්

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට නිවේදිකාවක වූ කැරොලිනා පසුගියදා සියදිවි නසාගැනීම ආන්දෝලනයක් ඇති කර තිබේ. ඇය ලන්ඩන් නගරයේ සිට විකාශන කටයුතු කරන අයි.ටීවී නාලිකාවේ ජනප‍්‍රිය රියැලිටි වැඩසටහනක් ඉදිරිපත් කරන ලද අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචලිත කරමින් බලවත් වෙළ`ද පොලක් සම්බන්ධකර ගෙන තිබුණි. කැරොලිනා ෆ්ලැක් හා ඇයගේ පෙම්වතා අතර සිදුවූ සිද්ධියකට පොලිසිය මැදිහත් වී ඇති අතර එය සිදුවූයේ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ අවසාන භාගයේ දී ය. ඕපාදුප පතුරුවන සමාජ මාධ්‍ය එකී සිද්ධියෙහි අහුමුළු අවුස්සන්නට පටන්ගෙන තිබුණ අතර ඇතැම් පුවත් පත් පවා එයට සම්බන්ධවී ඇත. තම නිවේදිකාව ගේ පුද්ගලික ජීවිතයේ සිද්ධිය සමාජ මාධ්‍ය වලින් ඇවිලෙන විට කැරොලිනා ෆ්ලැක් වැඩසටහනින් ඉවත් වූවාය. මාධ්‍ය මගින් එල්ල කරන ලද පීඩනය තම ජීවිතයට බලවත්ව බලපෑ අතර එය තමන් බෙහෙවින් ප්‍රිය කළ ටෙලිවිෂන් වැඩසටහනින් ඉවත්වීමට හේතු වූ බව දක්වන්නීය. සමාජ මාධ්‍ය ජනප‍්‍රියත්වය මත පවත්වාගෙන ගිය ප‍්‍රබල ජීවිත සුළු සිද්ධියකින් පසු කඩා හැලෙන විට පීඩනය ඉවසා ගත නොහැකිවන අතර කැරොලිනා දිවි නසා ගත්තාය.

බි‍්‍රතාන්‍යයේ සමාජ ක‍්‍රියාකාරිකයෝ නූතන මාධ්‍ය භාවිතාව ගැන දොස් තබන්නට පටන්ගෙන තිබේ. කැරොලිනා සිය පෙම්වතාට යමකින් පහර දී ඇති අතර එය පොලිසියට වාර්තා වූ බව කියැවේ. දෙදෙනාගේ පුද්ගලික සිද්ධිය ෆේස්බුක්, ටිවිටර් ඉන්ටග‍්‍රෑම් හා අනෙක් සමාජ මාධ්‍යවල ලැව්ගින්නක් සේ පැතිරෙන අතර මාස ගණනාවකට පසු පවා ඒවායෙන් එල්ල වූ බලපෑම අවසානයක් වූයේ නැත. වාර්තා දක්වන පරිදි කැරොලිනා ගේ පෙම්වතා වූ ලෙවිස් අතර ගැටුම දුර දිග ගියේ නැති නමුත් සමාජ මාධ්‍ය එය රස කර බෙදාහරින සිද්ධියක් බවට පත්වී ඇත. කැරොලිනා ගේ දිවි නසා ගැනීමෙන් පසු සියළු දෙනා අවදි වී දෝෂාරෝපණ කරන අතර සමාජ මාධ්‍ය වල වගකීමක් නැති කි‍්‍රයාකලාපය විවේචනය කරමින් සිටී. අලූතින් අණ පණත් පනවා සමාජ මාධ්‍ය පාලනය කළ යුතු බවට දැවැන්ත මතයක් මතු කර ඇත. දේශපාලන අංශ පවා එයට එකතුවීම විශේෂත්වයකි. වගකීමක් නැති පුද්ගල තොරතුරු බෙදාහැරීම සමාජ පිලිලයක් බව දොස් තබන්නෝ කියා සිටිති.

සිද්ධියෙන් කම්පනයට පත්ව ඇති පිරිස අතරින් බහුතරයක් කැරොලිනාගේ රසික රසිකාවියෝය. ඇය ගේ වැඩසටහන අනුව ගොඩනගාගෙන තිබුණ සමාජ මාධය සම්බන්ධතා බලවත් සේ ශෝකයට පත්ව ඇත. සමාජ මාධ්‍යවලට ප‍්‍රතිපත්ති හැදිය යුතු බව වැඩි දෙනෙකු අවධාරණය කරති. බි‍්‍රතාන්‍ය ආණ්ඩුව වහා පියවරගත යුතු බව පෙන්වා දී තිබේ. පුද්ගල ජනප‍්‍රියතාව අනුව දිනෙන් දින කැපී පෙනෙන තැනක් දක්වා ඉහලින් ඉහළටම නැගෙන චරිත ක්ෂණයකින් මුහුණ දෙන සිද්ධිවල දී ආපසු වැටීම බලවත් ප‍්‍රශ්නයක් කරගනී. ජීවිතයේ අවසානය බව කල්පනා කරන අතර එය බලවත් වරදකි. මතු කරන ප‍්‍රතිරූප බි`ද වැටෙන විට පැවැත්ම අවසාන බව කල්පනා කරන්නට ජනප‍්‍රිය තාරකා නැඹුරු වී තිබේ. සමාජ මාධ්‍ය පැතිරීම හා ඒවායෙන් ඇති කරන අර්බුද අද පරම්පරාවට බලවත් ගැටළුවක් පමණක් නොව මෙවැනි කාරණා ඔස්සේ පුද්ගල ආත්ම ශක්තිය සම්බන්ධ බරපතල හිස්තැන් අනාවරණයවීම කණගාටුවට කරුණකි.

දේශපාලන සමාජ හා ආර්ථික කාරණා වලට සමාජ මාධය අතපොවන ආකරය ගැන සෑහෙන විවේචන තිබේ. ඇමරිකාවේ ජනාධිපතිවරණයට කරනලද බලපෑම ගැන අදහස් මතු වී ඇත. යුරෝපා හවුලෙන් ඉවත්වන තීරණය ස`දහා බ්‍රිතාන්‍යයේ පවත්වන ලද මැතිවරණයේ දී තෝරා ගත් පුරවැසියන් ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය මෙහෙයවන ලද ප‍්‍රචාරක ව්‍යාපාරය ගැන හෙළිදරව් වී තිබේ. චීනයේ වසංගත තත්ත්වයට පත්ව ඇති කෝවිඞ් -19 රෝගී තත්ත්වය ගැන ලෝකය පුරා ඇති කරන ලද අර්බුදය තීව්ර කරන්නට සමාජ මාධ්‍ය විශාල බලපෑමක් වී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති. පසුගිය දිනයක ගම්පහ ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ෆේස් බුක් මගින් පළ වූ අදහසක් අනුව කිසියම් කොළ වර්ගයක යුෂ පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ බව අනාවරණය විය. සමාජ මාධ්‍ය වල පැතිරෙන තොරතුරු හෙයින් මෙරට ජන සමාජය අවුල් වියැවුල් වලට මුහුණ පා ඇති අවස්ථා ගැන මෑත උදාහරණ අතරින් එකකි. ඇතැම් සිද්ධි වල වග විභාගයක් නැති සමාජ මාධ්‍ය වාර්තා කිරීම් හෙයින් විපතට පත් පුද්ගලයන් හා ජන කොට්ඨාශ ගැන තොරතුරු එමටය. දිගින් දිගටම එක පැත්තක් ගැන කරන විවේචන අවසානයේ දී විශාල හානියක් කරන අවස්ථා මෑත කාලය තුළ දැකගත හැකි විය.

ගෝලීය ඩිජිටල් වාර්තාව අලූතින්ම අනාවරණය කරන පරිදි අන්තර් ජාලය භාවිතා කරන පිරිස බිලියන 4.54 තෙක් සියයට හතකින් වැඩි වී ඇති අතර සමාජ මාධ්‍ය භාවිතය බිලියන 3.80 තෙක් කලින් වසරට වඩා සියයට නමයකින් ඉහළ ගොස් තිබේ. සාමාන්‍යයෙන් එක පුද්ගලයෙකු දවසකට පැය හයකුත් විනාඩි හතලිස් තුනක් අන්තර් ජාලය භාවිතා කරන බව ඩිජිටල් 2020 වාර්තාව කියයි. එයින් පෙන්වන පරිදි පැය අටක නින්දක් ලබන ඕනෑම අයෙකු දිනකට ගත කරන කාලයෙන් සියයට හතලිහකින් අන්තර් ජාලයට වෙන් කරයි. අන්තර් ජාලය භාවිතාකරන සාමාන්‍ය කාලය ඒවාට නැඹුරු වී ඇති ජනගහනයෙන් ගුණ කරන විට 2020 වසරේ දී පමණක් වසර බිලියන 1.25 ක කාලසීමාවක් අන්තර්ජාලය වෙනුවෙන් වැය කර ඇති බව ගණන් බලා තිබේ. පිලිපීනය වැඩිම කාලසීමාවක් අන්තර් ජාලය භාවිතා කරන බව දැක්වෙයි. එය පැය 9.45 ක කාලයකි. ජපානය වැසියෙකු පැය 4.22 ක කාලයක් වැය කරති.

අන්තර් ජාලය භාවිතා කරන කාලයෙන් පැය තුනකුත් විනාඩි හතලිහක් සමාජ මාධ්‍ය පරිහරණය කරන බව මෙම වාර්තාව වැඩිදුරටත් අනාවරණය කර තිබේ. 2020 ජනවාරි වන විට ෆේස්බුක් සකී‍්‍රය ගිණුම් ප‍්‍රමාණය බිලියන 2.5 කි. යු ටියුබ් සාමාජික සංඛ්‍යාව බිලියන දෙක ඉක්මවා තිබේ. වට්ස් ඇප් සාමාජිකයෝ බිලියන 1.6 කි. වාර්තා තහවුරු කරන අන්දමට ෆේස් බුක් පරිහරය කරන පිරිස වයස අවුරුදු 18-34 වයසේ ලෝක ජනගහනයෙන් හරි අඩකි. තරුණ සහ බුද්ධිමත්ම ජන කොටස සමාජ මාධ්‍යවල ගැලී ඒවායේ සැරිසරමින් සිටින ස්වභාවය ගැන වෙනත් උදාහාරණ අවශ්‍ය නැත. ඕනෑම රටක වටිනාම ශ‍්‍රම බලකාය වන අතර වැඩ කළ හැකි කාලයෙන් කොපමණ ප‍්‍රමාණයක් සමාජ මාධ්‍ය වලට වෙන්කරන තැනට පත්ව තිබේදැයි තමන්ම කල්පනා කිරීම සුදුසුය.

ශ‍්‍රී ලංකාවේ සෑම ජන කොටසක්ම වේගයෙන් අන්තර් ජාලයට නැඹුරු වෙමින් තිබේ. අන්තර් ජාලයෙන් වැඩිපුරම සමාජ මාධ්‍යයට ප‍්‍රවේශ වන බව පෙනේ. දිනපතා උදේ තමන්ගේ දුරකතනයට සුළු මුදලක් හෝ ඬේටා රී ලෝඞ් කිරීම අඩු ආදායමක් ලබන ශ‍්‍රමිකයන්ගේ ඇබ්බැහියක් වී ඇත. එකිනෙකාගේ පුද්ගලික ඔපා දූප හැරෙන්නට අනෙකක් මේවායෙන් බෙදා ගන්නේ නැත. අන්තර් ජාලය දැනුම හා අවබෝධය ඇති කරන අතර අලූත් අවස්ථා සම්පාදනය කරන බව ප‍්‍රකාශ කරන නමුත් බහුතරයක් දෙනා එහි සැරි සරන්නේ මමත්වය වෙනුවෙන්ය. තමන් හා තමන් දන්නා හ`දුනන අයවලූන් ගේ සිද්ධි දැනගැනීමටය. මෙකී තොරතුරු දැනගත් පමණින් ජන සමාජය පරාර්ථකාමී තැනට පත්ව තිබේද මෙරට විද්‍යාර්ථීහු මෙම අංශය ගැන පර්යේෂණ කළ යුතුය. සමාජය බේධ බින්න වී ඇති අතර පැහැදිලිවම හුදෙකලා වූ ආකෘති නිර්මාණය කරගෙන තිබේ. තමන්ගේ මිතුරු සමාජය තුළ සිදුවන දේ හැර ලෝකයේ පැවැත්ම ගැන කල්පනාවක් නැති පිරිසක් බිහි වී තිබේ. ආණ්ඩුවලට දොස් තබා ක‍්‍රමය පාලනය කරන සේ බල කිරීම විහිළුවකි. තමන්ටම අවබෝධයක් ඇති කරගත යුතුය. ස්වයං විනය වැදගත්ය.

බ්‍රිතාන්‍යයේ නිවේදිකාවක වූ කැරොලිනා ගේ සිද්ධිය අපට පාඩමකි. මෙයට වඩා සිද්ධි ලෝකයේ නොයෙක් තැනින් වාර්තා වී තිබේ. ශ‍්‍රී ලංකාවේ ද සමාජ මාධ්‍ය භාවිතය හෙයින් ඇති වූ උපද්‍රව දීර්ඝ ලේඛනයකට සකස් කළ හැකිය. මේවායේ අසුබ පැති පෙන්වා අනතුරු ඇ`ගවීම හෝ බය කිරීම අවශ්‍ය නැත. එහෙත් සෑම අවකාශයක්ම තමන්ට ගැලපෙන හා දරාගත හැකි මට්ටමකට කරගෙන යන පියවර ගැනීම සුදුසුය. සමාජ මාධ්‍යවලට තොරතුරු එකතුකරන සෑම පුද්ගලයෙකුම තම වගකීම අමතක කළ යුතු නැත. සිදුවන හානි හා අනෙකෙකුට වන බලපෑම කල්පනා කළ යුතුය. පුද්ගලයෙකුගේ සමාජ මාධ්‍ය ගිණුමක් ගැන පරීක්ෂාකාරීව සිටින සේ ආණ්ඩුවලට බල කිරීමට වඩා තමන් ගේ හැසිරීම පාලනය කරගැනීම වැදගත්ය.