» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/12/2019 - ඉරිදා ලංකාදීප
පැවැත්ම සීමා වන තැනකට යොමු වන හිරු නොබසින අධිරාජ්‍යය

බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයේ ප‍්‍රතිඵලය අනුව අගමැති බොරිස් ජොන්සන්ගේ නායකත්වයෙන් යුතු කොන්සවර්ටිව් පක්ෂය ජය අත්කරගෙන තිබේ. 1987 වසරට පසු හොදම ප‍්‍රතිඵල ලැබී ඇති අතර ආසන 650 කින් 326 ක් දිනාගෙන ඇත. ප‍්‍රතිවාදී කම්කරු පක්ෂය පසුගිය දස වසර තුළ නරකම පරාජය අත් විද ඇති බව විචාරකයෝ පෙන්වා දෙති. යුරෝපා හවුලෙන් වෙන්වන ප‍්‍රයත්නය මැත කාලය තුළ බි‍්‍රතාන්‍ය ආණ්ඩුව මුහුණ දුන් ගැටළුවකි. බි‍්‍රතාන්‍ය තුළ යුරෝපා හවුලට එකතුවීම ගැන බරපතල විවේචනයක් පවතින අතර එය ගැන ජනමත විචාරණයක් පවත්වන්නට ගිය හිටපු අගමැති ඬේවිඞ් කැමරන් ජනමත විමසුමෙන් පරාජය වීම සමග ධුරයෙන් ඉල්ලා අස්විය. ඉනික්බිතිව කෙටි කාලයකට පත් වූ තෙරේසා මේ අගමැතිනිය ද යුරෝපා සංගමයෙන් ඉවත්වන යෝජනාව හමුවේ අසාර්ථක විය. අගමැති බොරිස් ජොන්සන් සිය පත්වීම තුළ යුරෝපා කොමිසමෙන් ඉවත්වන යෝජනාව කෙරෙහි විවිධ උපාය අනුගමනය කළ අතර මැතිවරණයේ දී කියා සිටියේ 2020 ජනවාරි 31 වන විට එය ක‍්‍රියාවට නගන බවය.

හිරු නොබසින අධිරාජ්‍ය වශයෙන් අනගිභවනීය තැනක සිටි බි‍්‍රතාන්‍ය, යුග පෙරැළිය සමග ලෝකයේ වඩාත් තනි වූ රාජ්‍යයක තැනට තල්ලූ වෙමින් තිබේ. එය අන්තවාදයේ ප‍්‍රතිඵලයකි. බලවත් රටවල් යටත් කරගෙන තම බලය තහවුරු කරගැනීමේ දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පිලිවෙතක සිටියේය. යුරෝපා හවුල සමග එකතුවී පොදු අරමුණකින් ක‍්‍රියා කිරීමේ දී ගිලිහුණ ආර්ථික බලය නැවත වෙනත් ආකාරයකින් ගොඩනගා ගැනීමට අරමුණු කරන ලද බව පෙනේ. යුරෝපා සංගමය ජනගහනය අතින් චීනය හා ඉන්දියාව සේ විශාල වූ අතර ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකක් තරම් විශාලත්වයක විය. යුරෝපා සංගමයට අයත් රටවල් විසි අටක මානව සම්පත හා පරිභෝජනය එක ව්‍යුහයකට ගැනීම සෑහෙන භාරධුර කර්තව්‍යයකි. ක‍්‍රමයෙන් මුදුන් පත් වූ එම අරමුණ අන්තවාදී දේශපාලනයට ගොදුරු වී තිබේ. අන්තවාදී අදහස් සහිත දේශපාලන කණ්ඩායම් පුලූල් දැක්මක් සහිත යුරෝපා සංගමයේ සංකල්පය හුදෙක් බි‍්‍රතාන්‍යයට අවාසි සහගත ගිවිසුමක් සේ හුවා දක්වමින් සිටී. මැදහත් විචාරකයන් එහි යතාර්ථය පෙන්වා දෙන උත්සාහයක නිරත නමුත් එය සාර්ථක නැත. නොබෝදා පැවැති බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයේ ප‍්‍රතිඵලය එය මැනැවින් විග‍්‍රහ කර දක්වයි.

යුරෝපා සංගමයට බැදී ක‍්‍රියා කිරීමෙන් සාමාන්‍ය ජනතාවට සෙතක් අත්පත් නොවන බව බි‍්‍රතාන්‍යයේ අන්තවාදී දේශපාලනඥයෝ පෙන්වා දෙන කරුණකි. බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් අය කරගන්නා බදු විශාල වශයෙන් යුරෝපා සංගමයේ පැවැත්මට වැය කරන අතර එය ජනතාව පෙලන හේතුවක් බව ද ඔවුහු පෙන්වා දී තිබේ. බි‍්‍රතාන්‍යයේ ඉහළ පැලැන්තියට වාසි අත්පත් කරදෙන යුරෝපා හවුලේ සාමාජිකත්වය සාමාන්‍ය ජනතාවට කිසිසේත් නොවැදගත් එකක් යැයි තහවුරු කරමින් සිටී. යුරෝපා සංගමයෙන් ඉවත් වී රටක් වශයෙන් තනිව ක‍්‍රියා කළ යුතුය යන අදහස පතුරවන්නට මෙම කාරණා ඉවහල් වී තිබේ.

මැදහත්ව කටයුතු කරන බුද්ධිමත් දේශපාලනඥයෝ සම්මුතියක වැදගත්කම පෙන්වා දී ඇත. ආර්ථික හා ප‍්‍රතිපත්ති විශ්ලේෂකයෝ යතාර්ථය මැනැවින් අනාවරණය කර තිබේ. එහෙත් පටු අදහස් අනුව බෙදුනු සමාජයක් ආපසු හැරවීම පහසු නැත. මැතිවරණයේ දී පවා ස්කොට්ලන්තය වැනි ප‍්‍රදේශ විරුද්ධව ඡන්දය දී ඇති අතර එම පිරිස යුරෝපා සංගමය සමග තව දුරටත් පවතින්නට ඇති කැමැත්ත දක්වා ඇති බව පෙනේ.

අන්තවාදය හා පටු අදහස් වලට තැනක් ලැබීම අද වන විට ජාත්‍යන්තරය කළඹන හේතුවක් වී තිබේ. ඇමරිකාව, ඉන්දියාව, බි‍්‍රතාන්‍ය ඇතුළු සෑම රටකම පාහේ අභ්‍යන්තර ප‍්‍රශ්න මත තද මතවාද නැගී ඇත. එය විශාල අභියෝගයකි. විසදුමක් සොයා ගත නොහැකි අවුල් ඇති කිරීමකි. යුරෝපා කොමිසමෙන් ඉවත් විය යුතුය යන තර්කය ගොඩනගන නමුත් එය කොපමණ අසීරු සහ එම ඉවත්වීමට බි‍්‍රතාන්‍ය තනි රටක් වශයෙන් හුදෙකලාවන ස්වභාවය නොසලකා හැරීම පුදුම සහගතය. යුරෝපා රටවල් වලින් අහිමිවන ආර්ථිකය ඇමරිකාව හෝ වෙනත් රටවල් සමග අලූත් ගිවිසුම් අත්සන් කිරීමෙන් සාර්ථක කරගත හැකි වෙතැයි ජයග‍්‍රාහකයෝ කල්පනා කරති. නමුත් එය කිසිසේත් පහසු කර්තව්‍යයයක් නොවේ. මුළු ලෝකයම තාක්ෂණික වශයෙන් එකට එකතු වෙමින් පවතින අතර වෙන්ව තීන්දු ගැනීමට ඉඩක් නැති ව්‍යුහයක් බිහිවෙමින් තිබේ. එවැනි පසුබිමක් තුළ බි‍්‍රතාන්‍යයේ පවතින ස්වභාවය ඉතාම සංකීර්ණ තත්ත්වයකි.

සමාජ ගෝලීයකරණය අනුව යමින් ලෝකයේ පැවැත්ම උදෙසා ගන්නා සාමූහික තීන්දු වල පසුබිම සමහර රටවල ජනී ජනයා දන්නේ නැත. නායකයෝ ඉහළපෙලේ සමුළු වල දී එක අදහසකට එකතු වන නමුත් ජනතාවට තේරුම් කරදෙන්නේ කෙසේදැයි කල්පනා කරන්නේ නැත. විරුද්ධ දේශපාලනඥයන් මතු කරන තර්ක බැහැර කරන්නට නොහැකි පසුබිමක් නිර්මාණය වන තෙක් තත්ත්වය ගැන අවධානය යොමු නොකරයි. ජනතාව හා පාලකයන් අතර සන්නිවේදන දුරස්ථභාවය මෙකී ස්වභාවයට බලපාන ප‍්‍රධාන කරුණකි.

ශ‍්‍රී ලංකාවේ සමාජ, දේශපාලන හා ආර්ථික අවකාශය තුළ පවා මෙවැනි පරස්පරතා දැකගත හැකිය. එය නූතන සමාජ සන්නිවේදනයේ අවාසියක් වශයෙන් ද සදහන් කිරීමට හැකියාවක් තිබේ. සෑම පුද්ගලයෙකුම සැකයෙන් හා වෙනත් කෝණයකින් මත ඉදිරිපත් කරන අතර තොරතුරු විකෘති කිරීමක නිතර වෙති. එය අසාමාන්‍ය ප‍්‍රතිඵල අත්පත් කරයි. අලූත් ආණ්ඩුව මෙම පසුබිම වටහා ගත යුතුය. අන්තවාදය කොතනැත් තිබේ. සත්‍ය වෙනුවට වෙනත් මත මතු කරනු නිසැකය.

යුරෝපා හවුල වැදගත් නැති බව බි‍්‍රතාන්‍ය තක්සේරු කරනු හා සමානව ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික පැවැත්ම ඉදිරියේ නොයෙක් තක්සේරු, නිර්වචන හා මතවාද ඇතිකරනු ඇත. පැවැති ආණ්ඩුවට පමණක් නොව ජනාධිපතිවරණය අවස්ථාවේ දී ද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආධාර ගැන නොයෙක් තර්ක පැන නැගිණ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනා දී සංවිධාන ගැන ප‍්‍රතිවිරෝධතා ඇත. එක්සත් ජාතීන්, සාම සාධක හමුදා, මානව හිමිකම් හෝ මාධ්‍ය නිදහස ගැන තර්ක ගොඩනැගේ. ඉන්දියාව හෝ චීනයේ මැදිහත්වීම ගැන ආන්දෝලනාත්මක කරුණු ඉදිරිපත් කෙරේ. මේවායෙන් මතු කරන තර්ක සම්පූර්ණයෙන්ම නිවැරදි නොවන අතර සම්පූර්ණයෙන්ම වැරදි යයි දක්වන්නට පුලූවන්කමක් නැත. සියළු දේ තුළ සාපේක්ෂ භාවයක් තිබේ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන තුළ ආධාර පමණක් නොව යටි අරමුණක් ද තිබිය හැකිය. මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන කොන්දේසි රහිත ආධාර වැඩසටහන් ක‍්‍රියාවට නංවන්නේ නැත. ඇමරිකාව, චීනය හෝ ඉන්දියාව බලවත් රටවල් වශයෙන් ක‍්‍රියා කරන ආකාරයක් තිබේ. මේවා හදුනාගෙන නිවැරදි තීන්දු ගැනීම හැර සම්පූර්ණයෙන් නිදහස්ව සම්බන්ධතා අත්හැර දැමීම ඥාණාන්විත නොවේ. දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ලෝකයේ න්‍යායක්, යෝජනාවක් හෝ අදහසක් කෙරෙහි යම් ආකාරයක සාකච්ඡාවක සිටිය යුතුය. එකී සංවාදයෙන් සම්පූර්ණයෙන් ඈත්විය නොහැකිය.

අර්බුදයකින් තවත් අර්බුදයකට තල්ලූවීම ගැන ජගත් ප‍්‍රජාව තුළ උදාහරණ ඇත. අවස්ථා තිබිය දී අත්හැරීම තුළින් සිදුවූ අවාසි ගැන සාක්ෂි තිබේ. ශ‍්‍රී ලංකාව අන්ධකාරයෙන් ආලෝකය කරා ගමන් කළ යුතුය. තමන්ගේ ශක්තිය පමණක් නොව අන්‍ය පාර්ශවයක බලය ගැලපෙන ආකාරයට උපයෝගී කරගන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමු කළ යුතුය. බි‍්‍රතාන්‍යයේ මැතිවරණය එයට පාදක වූ යුරෝපා සංගමයෙන් ඉවත්වන යෝජනාව මෙම පැති මැනැවින් විදහා දක්වයි. විචාරකයන් දක්වන පරිදි ජයග‍්‍රාහී කොන්සවටිව් පක්ෂයට යුරෝපා හවුලෙන් ඉවත්වීම ගැන අධයයනය කරන්නට තවත් වසරක් කල් ඉල්ලන්නට අවස්ථාව තිබේ. පොදු ජනතාව දකින, ඔවුන්ට එල්ලවන පැතිවලට වඩා හාත්පසින්ම වෙනස් පැති ආණ්ඩුවකට මුහුණ දීමට ඇත.