» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/10/2017 - ඉරිදා ලංකාදීප
තාරකා පිටුපස ඇති කතාන්දර හෙළිදරව් වෙමින් තිබේ

රිදී තිරයේ මැවෙන කතාන්දර වලට මිනිසුන් කැමැතිය. ඒවායේ රඟපාන තාරකා සිත් ප‍්‍රබෝධවත් කරන අතර සිනමා හා ටෙලිවිෂන් නළු නිලියන් කෙරෙහි බලවත් ආකස්මිත බවක් රසික ජනතාව තුළ ඇත. ජනප‍්‍රියත්වය, එයින් ඉපැයෙන ධනය සහ කීර්තිය කෙසේ වෙතත් ලෝකයේ නොයෙක් තැනින් මෙකල වාර්තාවන සිද්ධි මෙම ක්ෂේත‍්‍ර කිසියම් ආන්දෝලනයකට ලක් කර තිබේ. සිනමාව හෝ රූපවාහිනිය හැරුණ කල සෙසු ආර්ථික දේශපාලන හෝ සමාජ ක්ෂේත‍්‍රවල ජීවත්වන ජනී ජනයා අතර අසුබ සිද්ධි නැතැයි ප‍්‍රකාශ කළ නොහැකිය. නමුත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත හා නිව්යෝකර් සඟරාව පසුගිය දිනවල කරන ලද හෙළිදරව් ඇතැම් නිර්මාණශීලී පුද්ගල චරිතවල අභ්‍යන්තර ජීවිත ගැන පුදුමාකාර පැති හුවා දක්වා තිබේ.

හර්වේ වෙනිස්ටන් ඇමරිකානු ප‍්‍රකට චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. ඔහු අත තබන නිර්මාණ අතිශය සාර්ථක වන බව ප‍්‍රසිද්ධ කරුණකි. එහෙයින් ඔහුගේ නිර්මාණ වලට සම්බන්ධ වන්නට ලොව පුරා නොයෙක් රටවල නළු නිළියන් ඉතාමත් කැමැත්තක් දක්වයි. මෙම කැමැත්ත උපයෝගී කරගෙන ඔහුගේ හැසිරීම මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ. එයට මුල් වූයේ නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ විමර්ෂණයයි. නිලියන් සමග පවත්වන ලද සමූහ ලිංගික සබඳතා අද ලෝකය පුරා පතල වී තිබේ. නිළියන්ට අශෝබන බලපෑම් කර තිබේ. බලහත්කාරකම් හා දුෂණය කිරීම් වාර්තාවෙයි. මෙම ලිංගික අඩන්තේට්ටම් කරන්නට වාසියක් කරගෙන ඇත්තේ ඔහුගේ සිනමා බලපුලූවන්කාරකම බව ප‍්‍රකාශ කරන නිව්යෝකර් සඟරාව අනාවරණය කරයි. හෙතෙම ඇකඩමික් සම්මාන දිනූ චිත‍්‍රපට නිෂ්පාදකයෙකු වන අතර ඔහුගේ සහෝදරයා සමග චිත‍්‍රපට නිපදවන ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගියේය. නමුත් චිත‍්‍රපට නිෂ්පාදනයෙන් උපයාගත් කීර්තිය සහ ජනතා ප‍්‍රසාදය අද වන විට නොවටිනා තැනකට පත්ව තිබේ. අභ්‍යන්තර තොරතුරු හෙළිදරව් වන විට හර්වේ ගේ ඔස්කාර් සම්මාන ආපසු ලබාගෙන ඇති අතර ඔහු මෙම සිද්ධි ගැන සමාව ඉල්ලා ඇත. මේ අතරවාරයේ දී ඔහුගේ බිරිඳ ඔහු හැර ගොස් ඇති අතර ඉතාම වැදගත් කාරණාව නිව්යෝක් ටයිම්ස් හා නිව්යෝකර් සඟරාවේ අනාවරණය සමග මතුවූ අලූත් පැති බව සදහන් කළ යුතුය. ලෝකයේ ඉතාම ප‍්‍රකට නිළියන් ද මාධ්‍ය ඉදිරියට පැමිණ තමන් ද මෙම පුද්ගලයාට ගොදුරු වූ බව නොවලහා ප‍්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත. ඇතැම් අය එවැනි බලපෑම්වලට ගොදුරුවූවා යැයි හිතන්නටත් අපහසු බව දැක්වේ. එය බලය ඇති පුද්ගලයන්ගේ හැසිරීම ගැන ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති කාරණයක් බවට පත්ව තිබේ.

ඇමරිකානු ජාතික රූපවාහිනි නිෂ්පාදකයෙකු හා මාධ්‍ය උපදේශකයෙකු වූ රොජර් එයුජින් ද මෑතක දී මෙවැනි චෝදනාවකට ලක්විය. ෆොක්ස් නිවුස් සහ ෆොක්ස් ටෙලිවිෂන් ව්‍යාපාරය නිර්මාතෘ සහ සභාපති ද වූ ඔහුට එම සියල්ල අත්හැර දමා පැත්තකට වෙන්නට බලපෑවේ ද කාන්තාවන්ට කරන ලද ලිංගික බලපෑම් ගැන අනාවරණය කිරීම් බව සඳහන් කළ යුතුය. රිචර්ඞ් නික්සන්, රොනල්ඞ් රේගන්, ජෝර්ජ් එච්.ඩබ්. බුෂ් වැනි හිටපු ජනාධිපතිවරුන්ගේ පමණක් නොව වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ මැතිවරණ ව්‍යාපාරයේ ද උපදේශකවරයෙකු වූ හෙතෙම අති විශාල මාධ්‍ය බලයක් අයිති කරගෙන සිටි අතර එම බලය උපයෝගී කරගෙන කාන්තාවන් සිය ලිංගික වහලියන් බවට පත් කරගෙන ඇති බව හෙළිදරව් වන විට ඔහු ද මුහුණ දුන්නේ අසරණ තත්ත්වයකටය. මෙම සිද්ධි සම්බන්ධයෙන් කෘතියක් 2014 වසරේ පළවූ අතර ඒවා පදනමක් නැති බව ෆොක්ස් නිවුස් ආයතනය කියා සිටිය ද ජනතාව කිසිසේත් එම ප‍්‍රකාශය විශ්වාස කළේ නැත.

විලියම් හෙන්රි කොස්බි ද මෙවැනිම චෝදනාවකට ලක්වූවෙකි. ප‍්‍රකට ඇමරිකන් හාස්යෝත්පාදක ශිල්පියෙකු නළුවෙකු සහ ගත් කතුවරයෙකු වන අතර ඉතාම ජනප‍්‍රිය ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු විය. ආචාර්ය උපාධිය දක්වා හොඳට ඉගෙනගත් ඔහු ගේ කොස්බි ෂෝ 1980 ගණන් වල දී ටෙලිවිෂන් තිරයේ ඉමහත් ප‍්‍රසිද්ධියක් ඉසිලූ අතර ශ්‍රේණිගත කිරීම් වල දී අඛණ්ඩව පස් වසරක් පළමු තැන දිනාගෙන තිබිණි.

මෙයින් වසර තුනකට පමණ කලින් කොස්බි ගේ ඉතිහාසය දිග හැරෙන්නට වූ අතර ලිංගික බලපෑම් ගැන තොරතුරු අනාවරණය වන විට කාන්තාවෝ පැමිණිලි කරන්නට පටන් ගත්තේය. තමන්ට කරනලද අතවර හා බලහත්කාරකම් ගැන නිළියන් ඇතුළු ක්ෂේත‍්‍රයට සම්බන්ධ හැට දෙනෙකුට වඩා වැඩි ප‍්‍රමාණයක් ඔහුට එරෙහිව කි‍්‍රයාමාර්ග ගෙන ඇති බව අද වන විට වාර්තාවෙයි.

මෙම සිද්ධි තුන එක රටක ඉතාම ජනපි‍්‍රය චිත‍්‍රපට හා ටෙලිවිෂන් නළුවන් හා අධ්‍යක්ෂකවරුන් සම්බන්ධයෙන් පමණකි. බලය ඇති චරිත තමන්ට රිසි පරිදි තමන් අභිමුවෙහි ඇති පාර්ශවයන් හසුරුවන නරක අන්දම ගැන මේවා නිදර්ශන සේ දැක්විය හැකිය. නමුත් මේවායෙන් කරන අනාවරණයවලින් පමණක් පැවැත්ම අවසානයක් දකින්නේ නැත. සදාචාරාත්මක රාමු හා නීති රීති කොපමණවත් ඇති නමුත් හොඳ අධ්‍යාපනයක් ද සහිත මෙම පුද්ගලයන් ගේ හැසිරීම විමතියකි. අත්දැකීම් සපිරි වටපිටාවක් ද ඇති විශේෂිත චරිත තමන්ගේ චර්යාව ගැන පිලිවෙලක් රහිත අවස්ථාවක සමස්ථ සමාජය නැඹුරු වන ස්වභාවය ගැන අවධානය යොමු කළ යුතුය. සිනමාව හා රූපවාහිනිය ඉතාම ජනප‍්‍රියත්වයක් අත් පත් කරදෙන අතර ශිල්පීන් ගේ හැකියාව එය ට හොඳ අත්වැලකි. නමුත් ක්ෂේත‍්‍රයෙහි නිරත පටු පරමාර්ථ සහිත මෙවැනි පුද්ගලයෝ කාන්තාවන්, දැරියන් පමණක් නොව දරුවන් ද බිලි ගනිමින් සිටින බව අනාවරණය වෙන්නේ සමස්ථ ලෝක ප‍්‍රජාවම තැති ගැන්මකට ලක් කරමින්ය. රසිකයන් ලබැදි සහ ඉතා ගරු කරන කිසියම් චරිතයක අභ්‍යන්තරය මෙබදු අපරාධ චර්යා සහිත නම් එයින් අත් පත් කරදෙන පණිවුඩය කුමක්ද? මෙවැනි උසස් තැනකට පත්වීමෙන් පසු අත්පත්කරගන්නා බලය සමාජ යහපත වෙනුවට පුද්ගල අභිමථාර්තයන් වෙනුවෙන් වෙන් කරගැනීම කොපමණ දුෂිත තත්ත්වයක්ද?

ලෝකයේ නොයෙක් තැන මෙවැනි සිද්ධි වාර්තා වෙන බව රහසක් නොවේ. ඇමරිකාවේ සිනමා කර්මාන්තය ඇමරිකානු ඩොලර් බිලියන 500 ඉක්මවූ එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එතරක පමණ ප‍්‍රතිශතයක් අත්පත් කරගෙන ඇති ව්‍යවසායයක් බව දැක්වෙයි. ලක්ෂ සංඛ්‍යාත ශිල්පී පිරිසක් එයට එකිනෙකට වෙනස් කාර්ය පරාසය ඔස්සේ සම්බන්ධ වන අතර අනාවරණය කරන ලිංගික සිද්ධි මෙම කර්මාන්තය තුළ පවතින දුශ්චරිත ස්වභාවය මැනවින් පෙන්නුම් කරයි.

ශී‍්‍ර ලංකාව ද මෙකී පසුබිම ගැන අවධානය යොමු කළ යුතුය. කලාව සිනමාව හා රූපවාහිනිය පමණක් නොව ව්‍යාපාරික, දේශපාලන හා කාර්යාල පරිපාලන වැනි අනෙක් අංශවල පවා ඇතැම් ප‍්‍රබලයන් ගේ හැසිරීම අධිපතිවාදී බව පැහැදිලි වන අවස්ථා තිබේ. වානිජ පසුබිමක වේගවත් ධාවනකාරී සමාජයක ගුණාංග වෙනුවට මතුවන මෙවැනි පැති ගැන අවබෝධයක් ඇති කර ගත යුතුය. මෙවැනි සිද්ධි මතු නොවෙන තැනට සමාජය සන්නද්ධ කිරීම අවශ්‍යය. බලය ඇති පාර්ශව වලට අවනත වීම වෙනුවට එවැනි සිද්ධි පරාජය කරන මානසිකත්වයක් රට තුළ ඇති කරන්නට මහන්සි දැරීම සුදුසුය. නූතන වකවානුවේ දී සමාජ මාධ්‍ය ජාලා වල භාවිතාව ද අතිශය දියුණු වී තිබේ. මෙම බහුවිධ මාධ්‍ය තුළ රසිකත්වය ඉදිරියට පැමිණ ඇති අතර සිනමාව එකී ප‍්‍රවණතා අනුව සිනමා හෝ රූපවාහිනි ක්ෂේත‍්‍රයට පමණක් නොව වෙනත් ඕනෑම ක්ෂේත‍්‍රයකට එකතු වෙන්නට කැමැති සෑහෙන පිරිසක් යුහුසුළු වෙමින් සිටී. එය අතීතයේ සිට අද දක්වාම පවතින ස්වභාවයකි. මෙකී ක්ෂේත‍්‍රයේ අවස්ථා සම්පාදනය කරන බව දක්වමින් කාන්තාවන්, දියණියන් පමණක් නොව දරුවන් ද ගොදුරු කරගන්නා තැන් ගැන අවධානයක් සමාජයට තිබිය යුතුය.

ඇමරිකානු සංස්කෘතිය තුළ බලය ඇති ශිල්පීන්ගේ හැසිරීම හා ඒවා අනාවරණය වූ පසු ඉදිරියට එන පිරිස නොවලහා තමන්ගේ ඉරණම පාඩමක් වශයෙන් සමාජයට කියන තත්ත්වයක් තිබේ. ශිල්පීහු තමන් කරන ලද වැරදි ගැන සමාව ඉල්ලීම හෝ ඒ වෙනුවෙන් පාපෝච්චාරණය කරන අවස්ථා ඇත. එවැනි ව්‍යුහයක් ශ‍්‍රී ලංකාවේ නැත. ගොදුරු වූ පුද්ගලයා තවත් පීඩාවට පත් කරනු හැර අනෙකක් සිදු නොවේ. දුර්වලයා වශයෙන් පීඩාවට පත් වූ තැනැත්තා හෝ තැනැත්තිය සියළු අපහාස උපහාස විඳීන අතර එය නිවැරදි කරගැනීමට කරන උත්සාහයක දී පවා සමාජයෙන් ලැබෙන්ගේ ගැරහුම්ය. එය අප ඉගෙන ගත යුතු පාඩමකි.