» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/09/2019 - ඉරිදා ලංකාදීප
ලෝකයේ පිරිසිදුම රටවල් අතරට එකතු වූ රුවන්ඩා ජනරජය

නිදහස ලබා අවුරුදු පනස් හතක් ගත වී ඇති රුවන්ඩා ජනරජය අලූත් ප‍්‍රතිරූපයකින් අවදි වී සිටී. දරිද්‍රතාවයෙන් පෙළුණ වැසියන් සහ වර්ගවාදී සටන් වල අවසානයක් නොතිබුණ රටක් අද ලෝකයේ පිරිසිදුම රටක් වශයෙන් ඉදිරියට ගමන් කරමින් සිටී. බෙල්ජියමට යත්ව තිබුණ රුවන්ඩාව නිදහස ලැබීමෙන් පසු 1994 අප‍්‍රියෙල් 06 වැනි දා විශාල ජන සංහාරයකට ලක් විය. එරට එවකට පාලනය කළ ජනාධිපති ජුවහල් ඇතුළු ජ්‍යෙශ්ඨ නියෝජිතයෝ සංචාරයකට පසු කනෝම්බේ ගුවන් තොටුපොලට ළඟා වෙමින් සිටිය දී මිසයිල් ප‍්‍රහාරයකට ලක් විය. එවකටත් ගෝත‍්‍රික ගැටුම් වලින් ගහණව තිබුණ තත්ත්වය නැවත වටයකින් අවුලවන්නට හේතු විය. ලක්ෂ අටහමාරකට අධික පිරිසක් සිද්ධි වලින් ඝාතනය වූ බව දැක්වෙයි. ලක්ෂ දොලහකට වැඩි පිරිසක් අනාථ ක`දවුරු වලට කොටු වූ අතර සමහර පිරිස් අසල්වැසි රටවලට පවා පලාගොස් තිබුණි. රුවන්ඩාවේ ගෝත‍්‍රික සටන් මෑත සියවසේ විශාලතම සිවිල් යුද්ධ අතරින් එකක් වශයෙන් ඉතිහාසයට එකතු වී තිබේ.

මෙම ගැටුම් අවසානයේ දී තෝරා ගත් එක ගෝත‍්‍රයක් සමුල ඝාතනය කරන අරමුණ ඇතිව තිබුණි දැයි අන්තර් ජාතික ප‍්‍රජාව තුළ සැකයක් හටගෙන තිබුණි. රුවන්ඩාවේ සිදුවූ ගෝත‍්‍රික සටන් වලට විරුද්ධව එවකට ලෝකය පුරා විශාල ජනමතයක් නැගුණි. රුවන්ඩානු ජනාධිපති පාවුල් කගාමේ ජාතීන් එකතු කිරීමේ ප‍්‍රයත්නයක් වශයෙන් රට තුළ ජාතිවාදය තහනම් කළේය. ග්‍රෝතික වශයෙන් සැලකිම අවසන් කළ අතර මෙයින් ඉදිරියට හුටු හෝ ත්ට්සිස් යන වචන පවා භාවිතය තහනම් කර තිබේ. එතැනින් නතර නොවූ හෙතෙම එම වදන් ශබ්ධ කෝෂයෙන් ඉවත් කළේය. රජයේ ලේඛන හා පොත පත වලින් එම වචන මකා දමා තිබේ. ජාතීන් අතර බෙදීමක් පෙන්වන ගෝත‍්‍රික අදහස් මතු කළහොත් අපරාධ නීතිය දඩුවම් දෙන වගන්ති පනවා ඇත. අලූත් සම්මුතිය අනුව රුවන්ඩාවේ වැසියෝ ‘‘ අපි රුවන්ඩානුවන්’ යනුවෙන් ආමන්ත‍්‍රණය කරන්නට හුරු වෙමින් සිටිති. රුවන්ඩානුවන් අපිරිසිදුම තැන සිට පිරිසිදුම තැන දක්වා විශාල පරිවර්තනයක් කර තිබේ. පරිසරය ගැන දක්වන ආකල්ප එහිලා පළමු තැනට පත්ව ඇත.

රුවන්ඩා ජනාධිපති පාවුල් කගාමේ හමුදා නායකයෙකි. එවකට සිදුවූ ගෝත‍්‍රික සමූලඝාතන ගැන විශාල විරෝධතා තිබිය දී බලයට පත්විය. හෙතෙම ඇමරිකා හා ප‍්‍රංශ සබදතා තරකරගත්තේය. මානව හිමිකම් සංවිධාන හා මාධ්‍ය ව්‍යාපාර ගෙන යන වැඩ පිලිවෙල ඉදිරියේ උපායශීලීව කටයුතු කළේය. ලෝකයේ නොයෙක් තැන රුවන්ඩාව ගැන නරක තොරතුරු කියැවෙන නමුත් රට තුළ හෙතෙම නරක පුද්ගලයෙකු වූයේ නැත. ප‍්‍රතිසංස්කරණ මගින් ආර්ථිකය නව මගකට ගෙන ආවේය. වසර 2020 දර්ශනයක් හදුන්වා දුන් අතර 2010 සිට 17 දක්වා අඛණ්ඩව සියයට අටක ආර්ථික වර්ධනයක් ඇති කරන්නට පියවර ගත්තේය. 2003 වසරේ දී ව්‍යවස්ථාව වෙනස් කළ මැතිවරණයකට ගිය අතර එම වසරේ දී සහ පිලිවෙලින් 2010 හා 2017 එක දිගට ජය අත්කරගන්නට හෙතෙම සමත් ව තිබේ.

රුවන්ඩාව තුළ ගෙන ගිය දැක්ම රට ඉහළට ඔසවා තබන්නට හේතු විය. ලෝක ආර්ථික සංසදයේ දී රුවන්ඩාව පිරිසිදු රටක් කරන ලද කරුණු පහක් ගැන මහ ඉහළින් කතා කරයි. එකක් ඔහු ප්ලාස්ටික් බෑග් තහනම් කිරීමය. ගෝත‍්‍රික නම් තහනම් කරන ලද ආකාරයටම ප්ලාස්ටික් තහනම අකුරටම ක‍්‍රියාවේ නැංවීය. 2008 වසරේ දී පොලිතීන් තහනම් කරනු හා සමානව රට තුළ විකල්ප ඇසුරුම් වෙනුවෙන් සෑහෙන ඉල්ලූමක් නිර්මාණය විය. රෙදි, කඩදාසි, කෙසෙල් කොල වලින් ඇසුරුම් සකස් කළේය. එය ග‍්‍රාමීය ජනතාවගේ දුප්පත්කම තුරන් කරන හේතුවක් වූ බව සදහන් කළ යුතුය. එම වසරේ දී ම රුවන්ඩා අගනුවර කිගාලි අප‍්‍රිකාවේ පිරිසිදුම නගරය බවට එක්සත් ජාතීන් නම් කරන ලදී. වනාන්තරය ආරක්ෂා කරගැනීම හා නැවත වන වගාව රුවන්ඩාව ඉලක්ක කළේය. ලෝක ප‍්‍රජාව පරිසරය ගැන හිතන විට එයට අත්වැල් බැදගත් අතර වන ගහනය සියයට තිහක ප‍්‍රතිශතයක පවත්වා ගන්නා අතර නැවත වන වගාව හා වනාන්තර ගැන දැනුම දෙන පුහුණු වැඩසටහන් රට පුරා සංවිධානය කරන්නට පාලකයෝ පියවර ගත්හ. වනාන්තර ආරක්ෂාව, ජාතික රක්ෂිත ප‍්‍රකාශයට පත් කිරීම හා මල් වගා කිරීම මගින් සංචාරක ආකර්ශනයක් ඇති කරන ලද අතර විශාල වශයෙන් විදේශ විනිමය උපයා දෙන මාර්ග බවට ඒවා පත් කෙරිණ. හරිත අරමුදල තවත් පරිසර සංරක්ෂණයට ඉඩ දෙන ක‍්‍රියාමාර්ගයක් වශයෙන් හ`දුන්වා දුන්නේය. පරිසරය ආරක්ෂාවට හා වායු ගෝලයේ උණුසුම පාලනය කරන්නට ඉඩ දෙන ප‍්‍රතිපත්ති ගණනාවක් ආණ්ඩුව කි‍්‍රයාවට නංවන ලද අතර එකී නීති වලින් ගොඩනැගිලි ඉදිකිරීමේ සිට අලූත් තාක්ෂණය හා උචිත බව වෙනුවෙන් පෙනී සිටියේය. ඒවා හුදෙක් නීති වගන්ති වලට සීමා නොවුන අතර ප‍්‍රායෝගිකව පවත්වාගෙන ගියේය.

මාසයේ අවසාන සතියේ එළැඹෙන සෙනසුරාදා රුවන්ඩා වැසියෝ ස්වේච්ඡාවෙන් පාරට පැමිණ තමන් ජීවත්වන ප‍්‍රදේශය පමණක් නොව නගරය පවා පිරිසිදු කරන සැලැස්මක් ආරම්භ කළහ. එය රජයේ තීරණයකි. මුලින් සුහදව කාර්යය ඇරඹුන අතර පසුව අඛණ්ඩව පවත්වාගෙන යෑම අරමුණු කරගෙන පොලිසිය යොදවා එය නිරීක්ෂණය කළේය. සහභාගී නොවන පිරිස තෝරා දිනකට ඇමරිකානු ඩොලර් හයක දඩයකට යටත් කරන ලද අතර උස් පහත් බේධයකින් තොරව වැඩට බසින රුවන්ඩා ජාතිකයෝ රටට හො`ද නමක් ඉතිරි කර තිබේ. එය ඉතාම වැදගත් කාරණයයි.

තවත් වැදගත් දෙයක් තිබේ. හිරු එළිය බලශක්තියක් වශයෙන් ප‍්‍රයෝජනයට ගැනේ. සෑම නිවසකටම සූර්ය කෝෂ දිරිගන්වා ඇත. ප‍්‍රධාන නගරවල සෑම හෝටලයකම බලශක්තිය වශයෙන් පාවිච්චි කරන්නේ සූර්ය කෝෂ බව සදහන්ය. කාන්තාවෝ ව්‍යවසායකත්වයෙන් ඉදිරියට පැමිණ ඇති අතර පාර්ලිමේන්තුවට පත්වන ප‍්‍රතිශතය ද වේගයෙන් වර්ධනය වී තිබේ. නොයෙක් රටවලින් එන ප්ලාස්ටික් නිෂ්පාදන රහිත හෙයින් අවශ්‍ය හැම දෙයක් වෙනුවෙන්ම රට තුළ යමක් නිපදවන්නට සිදුවී තිබේ. ඒවා විශාල අවස්ථා වශයෙන් රටට ආශීර්වාදයක් වී ඇත.

ආපසු හැරී බලන්නට ශ‍්‍රී ලංකාවට අවස්ථාවක් ඇත. නිදහස ලැබී වසර හැත්තෑවකට වැඩිය. රට තුළ දකුණේ හා උතුරේ දැවැන්ත අරගල දෙකක් පැන නැගිණ. දකුණේ ගැටුම් වරින් වර අවස්ථා දෙකක් තුළ සිදුවූ අතර උතුරේ ත‍්‍රස්තවාදය මරාගෙන මැරෙන තත්ත්වයක් දක්වා වර්ධනය විය. හමුදා සේනාංක ත‍්‍රස්තවාදය පරාජය කර වසර දහයක් ගත වී තිබේ. නැවතත් විවිධ මුහුණුවරින් ජාත්‍යන්තර අතපෙවීම් සහිත සංවිධාන රට තුළ පවතින බව අනාවරණය වෙයි. ජනතාව තුළ අතෘප්තිය හා අසහනය පැතිරී ඇත. අනාරක්ෂික බව ගැන සැකයක් තිබේ. ජාතීන් වශයෙන් රට බෙදී ඇත. අන්තවාදය පැතිරී තිබේ. සුළු සිද්ධියක දී පවා ජාතිය ආගම පදනම් කරගෙන ආරවුල් ඇතිවෙයි. මේවා පාලනය කරගත නොහැකි වී තිබේ. ජාත්‍යන්තර ප‍්‍රජාව රටට මැදිහත් වී ඇත. රුවන්ඩාවට ද එවැනි පීඩනයකට මුහුණ දීමට සිදුවිය. ජාතීන් අතර ගොත‍්‍රික නම් පවා තහනම් කරන තැනට පියවර ගෙන තිබේ. තද පාලනයකින් ජනතාව අතර විනය හා ශික්ෂණය ඇතිකරන්නට සමත්වීම විස්මිතය.

වසර 1994 දී ලක්ෂ ගණනක් ඝාතනය වූ අමු සොහොනක තත්තවයට පත් වූ නගර අද වන විට ලෝකයේ පිරිසිදුම නගර බවට පත්වීමේ ප‍්‍රාතිහාර්යය කුමක්ද? අප‍්‍රිකානු මහාද්වීපයේ රටක පාලකයෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදීව නීතිය එක හා සමානව ක‍්‍රියාත්මක කර ඇති කරන ලද වෙනස අපවැනි උගත්, බුද්ධිමත් ජනතාවක් සිටින රටකට කරගත නොහැකි වූයේ ඇයි? පටු දේශපාලන තීන්දු හා ජනප‍්‍රියත්වය වෙනුවෙන් ඒ වෙලාවට කියන කරන දේ වලින් රටට අනාගතයක් ගොඩ නැගෙන්නේ නැත. භයානක අවධියක් පසුකරන ලද ශ‍්‍රී ලංකාව නැවතත් භයානක අන්ධකාරය වෙත ගමන් කරමින් සිටී. පොදු ජනතාව පමණක් නොව පාලකයෝ ද නිහඩය. බුද්ධිමතුන් බෙදී පිල් වලට එකතු වී සිටිති. වාසනාවන්ත රටක් තමන්ට ඇති අවස්ථා ප‍්‍රයෝජනයට නොගැනීම කනස්සල්ලට හේතුවකි.