» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/07/2018 - ඉරිදා ලංකාදීප
තරුණ පෙළ රූපවාහිනී මාධ්‍යයෙන් ඈත්වන ලකුණු

ජන සමාජයේ පැවැත්ම වෙනුවෙන් ජන මාධ්‍ය ඉටු කරන සුවිශේෂි කර්තව්‍යයක් තිබේ. කාලය ගතවන විට එහි ස්වරූපය වෙනස් වෙයි. එය ස්වභාවිකය. මුද්‍රිත අකුරු පසුකාලයක ඇහෙන වදන් දක්වා පරිවර්තනය වූ අතර එය නරඹන රූප වශයෙන් මෑත භාගය තුළ පැවැති ආකාරයයි. නවීන ජනමාධ්‍ය තාක්ෂණික වශයෙන් දියුණුවට පත්ව තිබේ. ආකෘතිය වෙනස් වී ඇත. සම්ප‍්‍රදායික ජන මාධ්‍යයේ පැවැති කර්තෘ මූලික තොරතුරු සන්නිවේදනයේ ව්‍යුහය පුද්ගල සන්නිවේදන යුගයක් බවට පත් වී ඇත. සමාජ මාධ්‍ය භාවිතාව සීමා මායිම් තරණය කර අලූත් ප‍්‍රවේශයක් කරා ගමන් කරමින් තිබේ.

ඇමරිකානු ජනමාධ්‍යයේ ස්වභාවය පර්යේෂණයට ලක් කරන ලද අවස්ථාවක් මෑතක දී ලෝක ආර්ථික සංසදයට අලූත් මතයක් වශයෙන් ඉදිරිපත් කර තිබුණි. එයට අනුව තරුණ පෙළ රූපවාහිනියෙන් ඈත් වෙමින් සිටී. පුවත් පත, රූපවාහිනිය භාවිතයෙන් ඉවත් වන තරුණන් අන්තර්ජාල භාවිතාව වෙත නැඹුරුවීමක් පෙන්නුම් කරන බව දැක්වෙයි. තොරතුරු දැනගැනීම සඳහා වෙබ් හා සමාජ මාධ්‍ය වෙත නැඹුරු වන පිරිස වර්ධනය වන බව නිරීක්ෂණය කරන ව්‍යාපාරික ප‍්‍රජාව භාණ්ඩ අලෙවිය සඳහා වූ දැන්වීම් අන්තර් ජාලයෙහි පළකරන්නට යොමු වී තිබේ.

ඇමරිකානු මාධ්‍ය වල දැන්වීම් වෙනුවෙන් කරන පිරිවැය සලකා බලන විට අන්තර් ජාල දැන්වීම් වෙනුවෙන් කරන වියදම 2017 වසරේ දී ඉතිහාසයේ පළමු වතාවට ඉහළ ගොස් තිබේ. එය ඇමරිකානු ඩොලර් බිලියන 88 කි. රූපවාහිනි දැන්වීම් වෙනුවෙන් වියදම් කරන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 70.1 කි. ඉතාම මෑතක දී ජනතාව වෙත පැමිණි සන්නිවේදන මාධ්‍ය වැඩිම ආකර්ශනය අත්පත් කරගෙන ඇති බව එයින් පෙන්නුම් කෙරේ. 2017 වසරේ ඇමරිකාවේ සමස්ථ දැන්වීම් වෙළඳ පොල ඇමරිකානු ඩොලර් බිලියන අටකි. එම පිරිවැයෙන් සියයට 21.4 ක් අන්තර් ජාල දැන්වීම් වෙනුවෙන් වියදම් කර ඇත. එය විශාල වර්ධනයකි. දැන්වීම් කරුවන් අන්තර් ජාලය වෙත යොමු වන විට රූපවාහිනී දැන්වීම් වෙනුවෙන් එතෙක් කරන ලද වියදම සියයට 2.6 කින් පමණ පහත වැටී ඇමරිකානු ඩොලර් මිලියන 70.1 කට සීමා වී ඇත. බී ටු බී එනම් යම් ව්‍යාපාරික ආයතනයක පාරිභෝගිකයන් ඉලක්ක කරගෙන අනෙක් ආයතනයක නිෂ්පාදන වෙනුවෙන් කරන්නට ඉඩ දෙන ප‍්‍රචාරණය සියයට 0.8 කින් ඉහළනැග ඇත. සඟරා වල කරන ප‍්‍රචාරණ වියදම් සියයට 0.9 කින් පහත වැටී තිබේ. ගුවන් විදුලි දැන්වීම් වෙනුවෙන් කරන වියදම 2017 වසරේ දී සියයට 0.6 කින් වැඩි වී ඇති විය පුවත් පත් වෙනුවෙන් වෙන් කරන ලද ප‍්‍රචාරක වැය සියයට 7.1 කින් අඩු වී ඇත. අන්තර් ජාල දැන්වීම් හැරුණ කොට ප‍්‍රතිශයක් වශයෙන් දැන්වීම් වෙනුවෙන් වියදම් කරන මුදල සෑහෙන ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති ක්ෂේත‍්‍රයක් වශයෙන් වීඩියෝ ක‍්‍රිඩා හා සංගීතය යන ක්ෂේත‍්‍ර දැක්විය හැකිය.

ලෝකයේ ප‍්‍රධාන දැන්වීම් සමාගමක අනු සමාගමක් වන ගෘප් එම් ආයතනයට අනුව 2018 වසරේ දී නරඹන්නන්ගේ අන්තර් ජාල මාධ්‍ය භාවිතාව ඉහළ යනු ඇත. සියයට තිස් අටක් අන්තර් ජාල මාධ්‍යය වෙත යොමු වන විට රූපවාහිනිය වෙත යොමු වන ප‍්‍රතිශතය සියයට තිස් හතකි. ඉතිරි කොටස පුවත් පත් හා ගුවන් විදුලිය යන මාධ්‍ය පරිහරණයට බව සඳහන්ය. තවත් පර්යේෂණයකට අනුව වයස අවුරුදු 18-24 අතර තරුණ පිරිස දිනකට රූපවාහිනිය නරඹන්නට වෙන් කරන සාමාන්‍ය කාලය 2017 වසරේ දෙවැනි කාර්තුවේ දී පැයක් හා විනාඩි හතලිස් නමයක් දන්වා අඩු වී ඇත. එය කලින් වසරේ පැවැති පැය දෙකක් හා විනාඩි දෙකක කාලය සමග සසඳන විට කෙටි කාලයක් තුළ පේ‍්‍රක්ෂක ප‍්‍රමාණය සෑහෙන ප‍්‍රමාණයකින් අඩුවීමකි. 2012 වසරේ සිට සලකා බලන විට සියයට හතලිස් හතරකින් අඩුවීමක් බව විශේෂ අවධානයට ලක් විය යුතුය. වයස අවුරුදු හැට පහට වැඩි අය රූපවාහිනිය ඉදිරියේ වාඩිවී එය නරඹන කාලය වෙනසකට ලක් වී නැත. එය සතියකට පැය හතලිස් පහක් බව දැක්වෙයි.

සංකීර්ණ සන්නිවේදන ජාලා තුළ නරඹන්නන් ගේ අවධානය පවතින ස්වභාවය තේරුම් ගැනීම වැදගත්ය. පණිවුඩයක් සන්නිවේදනය කිරීමට සුදුසුම මාධ්‍ය තෝරා ගැනීමට සහ එම පණිවුඩය යොමු විය යුතු ඉලක්ක ගත කණ්ඩායම හෙඳුනාගැනීමට මාධ්‍ය අංශය සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ කෙරෙහි අවධානයෙන් සිටීම වැදගත්ය. නවීන සන්නිවේදන මුහුණුවර තුළ සම්ප‍්‍රදායික මාධ්‍ය අභිබවා නූතන සමාජ මාධ්‍ය මතු වන විට ඒවා කෙරෙහි තරුණ පෙල ආකර්ශනය වන බව වටහා ගැනීම ප‍්‍රයෝජනවත්ය. පුරුදු පරිදි ගුවන් විදුලිය, පුවත් පත හා රූපවාහිනිය වෙත යොමුවන කාල පරාසය අඩුවන විට එයින් ගිලිහී යන කොටස අන්තර් ජාලයට එකතු වෙයි. මෙම ස්වභාවය තේරුම් ගන්නා අතරවාරයේ දී නවීන තාක්ෂණය හෙයින් තොරතුර තෝරා ගැනීමට ග‍්‍රාහක, පේ‍්‍රක්ෂක පිරිසට හැකිවන තත්ත්වයට පත්වීම සූක්ෂම අවධානයට ලක් විය යුතුය. පුවත් පතේ කොටස් පැත්තකින් තබා අවශ්‍ය කරුණු පමණක් කියැවීමට යම් සීමිත අවස්ථාවක් ඇත. පුවත් පත අන්තර්ජාලයෙන් කියවන විට එයට වඩා වැඩි තෝරාගැනීමේ අවකාශයක් ලැබේ. ගුවන් විදුලියට ද එය යම් ප‍්‍රමාණයකට අදාලය. රූපවාහිනියේ වැඩ සටහන් තමන්ට රිසි පරිදි වෙන් කර නරඹන්නට පුලූවන්කම ලැබී ඇත. අන්තර් ජාලයේ දී තමන්ට අවශ්‍ය කරුණ පමණක් වෙන්කර කියැවීමට ලැබෙන අවස්ථාව ඉතාමත් පුළුල් එකකි.

තමන්ට ගැලපෙන තොරතුරු පමණක් ලබා ගැනීමේ මාධ්‍ය භාවිතාව තුළින් අනාගතයේ දී ජනතාව සලකා බලන ලෝකය පටු විය හැකිය. මහජනතාවගේ දැනුම එක්තරා සීමාවකට රාමු වෙන්නට ඉඩ තිබේ. ක‍්‍රිඩා, දේශපාලනය, පරිසර හෝ වෙනත් විශේෂිත කාරණයක් ගැන පමණක් හිතන, එම ක්ෂේත‍්‍ර වඩා ගැඹුරු අවබෝධයක් ලබා ගන්නා පිරිසක් බවට පත් වනු ඇත. ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාවේ දී ද මෙම සියුම් පරිවර්තනයේ ලක්ෂණ පෙන්නුම් කරයි. තරුණන් වෙනුවෙන් ගුවන් විදුලි, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කරන නමුත් තරුණ අවධානය ඒවායෙන් ගිලිහී යමින් තිබේ. පුවත් පත්, සඟරා පවා කියවන්නේ නැති සමාජයක් බිහි වී තිබේ. අපට ඇති අත්දැකීම් අනුව මාධ්‍ය භාවිතාව එක්තරා වයස් කණ්ඩායමකට පමණක් සීමා වී ඇත.

දැනුම ලබා ගැනීමට, සමාජ ස්වභාවය තේරුම් ගැනීමට පුවත් පත්, සඟරා කියැවූ, ගුවන් විදුලියට සවන් දුන් හා රූපවාහිනි නරඹන යුගය අවසන් වෙමින් තිබේ. පුරවැසියන් සදහා පණිවුඩ නිකුත් කරන, සන්නිවේදන වෑයම් දරන පිරිස මෙම වෙනස්කම් ගැන සාකච්ඡා කළ යුතුය. ප‍්‍රජාව වෙත යම් දැනුම්දීමක් සඳහා අවශ්‍ය කරන මාධ්‍ය ව්‍යුහය කුමක්ද යන්න ගැන අලූතින් හිතන්නට පසුබිමක් නිර්මාණය වී තිබේ. මෑත කාලය තුළ විශාල ආන්දෝලනයක් ඇති කරන ලද සිද්ධි මුලින් සාකච්ඡා වූයේ මෙතෙක් කල් ප‍්‍රධාන මාධ්‍ය වශයෙන් සලකා බලන ලද තැන නොව සමාජ මාධ්‍යයේ බව පැහැදිලිය. තොරතුර ඉදිරිපත් කිරීම පමණක් නොව එම තොරතුරු විවිධ පැතිවලින් සාකච්ඡා කර අලූත් මත නිර්මාණය කර සමාජයට සන්නිවේදනය කළේ අන්තර් ජාලයයි. හොඳ නරක කෙසේ වෙතත් එකී යතාර්ථයට මුහුණදීමට අප සියළු දෙනාටම සිදුවී ඇත. පොත් විශාල ප‍්‍රමාණයක් අයිති කරගෙන සිටීම හෝ පුස්තකාලයක කාලය ගත කිරීම බුද්ධිමත් භාවය සංකේතවත් කරන ලද නමුත් අද එසේ නොවේ. තරුණ පෙළ එය ස්වකීය වටිනාකමක් වශයෙන් තක්සේරු කරන්නේ නැත. ස්මාට් දුරකථනකයක වේගයෙන් ඇඟිලි හැසිරවිය හැකි එයටම මුහුණ ඔබාගෙන මහ මග සැරි සරන තරුණ ප‍්‍රජාවක් රට තුළ බිහිවනු ඇත. මෙවැනි පිරිසකට තොරතුරු ලැබෙන්නේ කෙසේද? සන්නිවේදනයේ මුහුණුවර කුමක්ද? දැන්වීම්කරණය කෙබඳු ස්වභාවයකට පත්වෙනු ඇත්ද? අප සියළු දෙනා මෙකී පැති ගැන ගැඹුරින් සාකච්ඡා කළ යුතුය. මෙම තත්ත්වය මඟහැර යාමට අපට හැකියාවක් නැත.