» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/04/2018 - ඉරිදා ලංකාදීප
සමාජ ආර්ථික පරිවර්තනක් වෙනුවෙන් සවුදි ආරාබියේ පාලනය

සවුදි අරාබිය තුළ විශාල වෙනස්කම් සිදුවෙමින් තිබේ. ලෝකයේ වැඩිම විදේශ විනිමය වත්කම් සහිත රටවල් අතර හතර වැනි තැන සිටින විශාල ඉසුරුමත් රාජ්‍යයකි. රට පාලනය කරන්නේ රජ පවුලකි. මැතිවරණ හෝ දේශපාලන පක්ෂ නැත. දැනට පාලනය කරන සල්මාන් අල් සවුඞ් රජු සහ ඔහු ගේ කැමැත්ත අනුව බලය පවරන රජ කුමාරවරු යටතේ සවුදි අරාබියේ පාලනය පවතී.

ඉදිරි වසර විස්ස තුළ පරිවර්තනයක් නොකළහොත් රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණපා දුප්පත් රටක් විය හැකි යැයි, එහි ඔටුන්න හිමි කුමාරයා ප‍්‍රකාශ කර තිබේ. මොහමඞ් බින් සල්මාන් අබ්දුල් අසීස් අල් සවුඞ් නමැති හෙතෙම යුව රජු වශයෙන් කටයුතු කරයි. සවුදි අරාබියේ ආර්ථික හා සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වන හෙතෙම ආරක්ෂක ඇමැතිවරයා ද වෙයි. එම්.බී.එස් යනුවෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව ඔහු හදුන්වයි. ‘‘වසර විස්සක් තුළ බොරතෙල් මිල බිංදුවට වැටෙනු ඇති අතර තෙල් ආදායම අහිමිවීමෙන් පත්වන ඉරණමෙන් ගැලවීම සඳහා වසර විස්සක කාලයක් ඇති’’ බව මොහමඞ් බින් සල්මාන් යුවරජු නොඑසේ නම් එම්.බී.එස්. ප‍්‍රකාශ කර තිබේ. වසර විස්සක් තුළ රට වෙනස් කිරීම අරමුණු කරගෙන ක‍්‍රියාත්මක කරන තද තීරණ සහිත වැඩ පිලිවෙලක් දියත් කර ඇත.

ලෝක ප‍්‍රකට මැකෙන්සි විගණන සමාගමේ සහාය පැතූ එම්.බී.එස්. ඔවුන් සකස් කළ විෂන් 2030 වැඩ පිලිවෙල ක‍්‍රියාවට නගමින් සිටී. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට පත් වූ වහා පළමු නිල සංචාරය සඳහා කැඳවීමට සවුදි අරාබිය සමත් විය. ඉරානය පොදු සතුරා වශයෙන් හදුනා ගැනීමට ඇමරිකාව හා සවුදි අරාබිය මෙම සංචාරයේ දී එකඟ වී ඇති බව පෙනේ. සවුදි අරාබිය ක‍්‍රියාත්මක කරන්නට අදහස් කරන වැඩ පිලිවෙල එම්.බී.එස්. ඇමරිකානු ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්නට ඇති අතර දුෂණය තුරන් කර රට තුළ කිසියම් පරිවර්තනයක් වෙනුවෙන් ගන්නා ක‍්‍රියාමාර්ග අනාවරණය කරන්නට ඇත. සවුදි අරාබියේ සිදුවන විශාල කලබැගෑනිය දෙස බටහිර නිහඩ ප‍්‍රතිපත්තියට හේතුව එය බව තේරුම් ගත යුතුය. එයට අමතරව ඇමරිකාව, චීනය හා රුසියාවේ සංචාර කරන ලද එම්.බී.එස්. එහි දී මාර්ක් සුකර්බර්ග් ඇතුළු තාක්ෂණ විශේෂඥයන්, ආයෝජන අරමුදල් නියෝජිතයන් සහ රාජ්‍ය නායකයන් හමුවී සවුදි අරාබිය ගොඩනගන සැලැස්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. ව්‍යවසායකත්වය, විදේශ ආයෝජන සහ ඛනිජ තෙල් ඇතුළු රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාර ගැන මෙහි දී සාකච්ඡා කර ඇත. සවුදි අරාබියේ විශාලතම ව්‍යවසාය වන සවුදි ඇරැම්කෝ තෙල් සමාගම පුද්ගලීකකරණය ද අයත් බව සැලකේ.

එම්.බී.එස්. සිය අණසක පතුරවමින් සවුදිය තුළ විශාල කැලැතුමක් කරයි. දූෂිතයන් සොයා ක්ෂණික දඩුවම් පනවමින් සිටී. ඔහු ද ඇතුළු සවුදි අරාබියේ රජ පවුලේ අය, නිලධාරීන් හා සමාගම් ප‍්‍රධානීහු නොයෙක් අන්දමින් ධනය උපයා ගෙන ඇති බව රහසක් නොවේ. ඒවා යේ සාධාරණ අසාධාරණ බව තීරණය කිරීමේ බලය එම්.බී.එස්. අතට ගෙන තිබේ. ඔහුට අනන්‍ය ක‍්‍රමයකට දූෂණ හා අක‍්‍රමිකතා මර්දනය ආරම්භ කර ඇත. එරට තරුණ පිරිස එයට කැමැතිය. එරට ජනගහනයෙන් සියයට හතලිහක් තරුණන්ය. නමුත් සම්ප‍්‍රදායික සමාජය තුළ නිහඩ විරෝධයක් පැන නැග තිබේ. කාන්තාවන්ට අයිතිවාසිකම් දෙන, විනෝද ආර්ථිකය ගොඩනැගීම හා දුෂණ තුරන් කරන වැඩ පිලිවෙල ගැන සඳහන් කරන එම්.බී.එස්. එය විකෘති වී තිබෙන ඉස්ලාම් දර්ශනය නිවැරදි කිරීමක් බව කියා සිටී.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ඔහු සවුදි කුමාරවරු එකොලොස් දෙනෙකු, ඇමැතිවරු හතරදෙනෙකු, හිටපු ඇමැතිවරු සෑහෙන ප‍්‍රමාණයක්, නිලධාරීන් හා ප‍්‍රබල ව්‍යාපාරිකයන් වරින්වර කැඳවා සුපිරි හෝටලයක කොටු කර නීති විරෝධී ලෙස මුදල් උපයන ලද බවට චෝදනා කළේය. ඉතාම ධනවත් පුද්ගලයන්ගේ වත්කම් සම්බන්ධ තොරතුරු එකතු කරගෙන සිටි එම්.බී.එස්. සවුදි අරාබියේ ආරක්ෂක අංශ ලවා කැඳවීමේ ලිපි යැවීය. කොමිෂන් සභා පත්කර කරුණු විභාග කරනු වෙනුවට ඔහු කළේ වහාම රජයේ කොටස පවරා ගැනීමට පියවර ගැනීමය. දඩ ගෙවන තුරු පිටතට යෑම තහනම් කළේය. ලෝක ප‍්‍රකට බැංකුකරුවන් සහ රජ පවුලේ සාමාජිකයන් ඇතුළු කිසිවෙකුට කරකියාගත හැකි දෙයක් නැති තැන නියම කරන ලද මුදල ගෙවන අතර තවත් අයට තනතුරු වලින් ඉල්ලා අස්වන්නට සිදුවිය.

එම්.බී.එස්. ගේ මෙම වැඩ පිලිවෙල අනුව අත් අඩංගුවට පත් අය නිදහස වෙනුවෙන් ඔවුන්ගේ වත්කම් වලින් සෑහෙන කොටසක් සවුදි සංවර්ධන අරමුදලට බැර කළේය. එය බලහත්කාරයෙන් කළ පැහැර ගැනීමක් වූ අතර පරිත්‍යාග නොකළහොත් තත්ත්වය බරපතල වන බව තේරුම් ගත් සියළු දෙනා මුදල් දී නිදහස් වූහ. මෙය කප්පම් ගැනීමක් සේ සැලකිය හැකි අතර විශාල ධනවතුන් සහ රජ පවුලේ සාමාජිකයන් හෝටලයේ සිරකර මානසිකව පීඩාවට ලක්කර මුදල් ලබා ගෙන තිබේ. සවුදි රියාල් ටි‍්‍රලියන තුනක අරමුදලක් මෙමගින් පිහිටුවන අතර ලෝකයේ විශාලම ආයෝජන අරමුදල බවට පත් කිරීම එම්.බී.එස්. ගේ අදහසයි. එම්.බී.එස්. ගේ නායකත්වයට අභියෝග කරන කවර තරාතිරමක පුද්ගලයෙකු වේවා විවිධ ක‍්‍රම මගින් අඩන්තේට්ටම් වලට ලක් වෙයි. ඔහුගේ තවත් සහෝදර කුමාරයෙකු කැඳවා පැය ගණනක් හිටගෙන ඉන්නට සලස්වා තනතුරෙන් පහ කර තිබේ. එයට කලින් එම වැඩිමහල් කුමාරයා ඉදිරිපිට දණ තබා ඔහුගේ අත සිඹින එම්.බී.එස්. එම කුමාරයා සමග එකට කටයුතු කරන අපූරුව වීඩියෝ ගත කර සවුදි රූපවාහිනී විකාශයෙන් ප‍්‍රචාරය කළේය. හොඳ සහෝදර බැමිමකින් බැඳී සිටින මෙම දෙදෙනාගේ ඉරියව් වලින් නෙරපා හැරි බව නොසිතන පසුබිමක් නිර්මාණය කළේය. ඉතාම උපක‍්‍රමශීලී අන්දමට තීරණ ගන්නා මොහමඞ් බින් සල්මාන් ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ක‍්‍රියාකරන්නට අකමැති වූ නිලධාරීයෙකුට ලියුම් කවරයක බහා වෙඩි උණ්ඩයක් ලැබෙන්නට සැලැස්වීය. ෆාදර් ඔෆ් බුලට් යනු එම්.බී.එස්. හදුන්වන තවත් අන්වර්ථ නමකි. තැති ගත් නිලධාරීයා වහාම අවනත වූ බව වාර්තා වෙයි. සවුදි ආරාබියේ සිදුවන බව කියන මෙවැනි සිද්ධි සෑහෙන ප‍්‍රමාණයක් ජන මාධ්‍ය මගින් වාර්තා කර තිබේ. මෙහි අවසානය කුමක්ද යන්න කිසිවෙකු නොදනී. සාමාන්‍ය නීති රීති වලට එපිටින් යන තනි තීරණ අනුමත කළ නොහැකි නමුත් මෙමගින් ඇති කරන පැවැත්ම ගැන හිතන්නට අවශ්‍යය. සාමාන්‍යයෙන් සමාජ පරිවර්තන පහල සිට ඉහළට සිදුකෙරේ. මොහමඞ් බින් සල්මාන් නොඑසේ නම් එම්.බී.එස්. රජ පවුල ඇතුළු ඉහළ ස්ථරය කළඹා ඇත. පාලන ස්ථරය සොලවා එයින් ඇති කරන ප‍්‍රතිඵලය තුලින් විශාල වෙනසක් ඇති කරන්නට අරමුණු කර තිබේ.

ප‍්‍රකට ආර්ථික විශේෂඥ ටොම් ෆී‍්‍රඞ්මන් මෙම ප‍්‍රතිසංස්කරණ වැඩ පිලිවෙල වැරදි නැති බව ප‍්‍රකාශ කළේය. ලෝකයේ ලිබරල් අදහස් ඇති විශාල පිරිසකගෙන් එයට විරෝධය පළ වී ඇත. ෆී‍්‍රඞ්මන් උත්තරයක් දී තිබේ. ’’කරන ආකාරය ගැන ප‍්‍රශ්න තිබිය හැකියි. නමුත් පවතින තත්ත්වය වෙනස් කරන්නට මොනවා හෝ දෙයක් වෙනවා නම් අගය කිරීම අවශ්‍යයි.’’ ඔහු කියා තිබේ.

තෙල් සම්පත අවසන් වන විට සමාජය මුහුණ දෙන අනතුර ගැන එම්.බී.එස්. ට හැඟීමක් තිබේ. අද රජ කරන පාලකයන්ට තෙල් වලින් ලැබෙන ධනයෙන් ඉතාම ඉසුරුමත් ජීවිත ගත කළ හැකි නමුත් අනාගතයේ දී ආර්ථිකය බංකොලොත් වුවහොත් ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් විය හැකිය. අනතුර දන්නා යුව රජු බලහත්කාරයෙන් හෝ රට වෙනස් කරන්නට ප‍්‍රයත්න දරන බව පෙනේ.

ශ‍්‍රී ලංකාව ද ඉතාම තීරණාත්මක තැනක පසුවෙයි. ආර්ථිකය ගැන ප‍්‍රශ්න තිබේ. ණය බර උහුලා ගත නොහැකි බව කියැවේ. නිෂ්පාදනය අඩාල වී ඇති අතර ආයෝජනය සීමිතය. තරුණ පෙළ මහත් බලාපොරොත්තු සහගතව බලා සිටී. රැකීරක්ෂා බහුල අත මිට සරු සමාජයක් ගැන සිහින දකී. පලක් නොවන තැන ලෝකයේ වෙනත් රටකට පැන ගොස් ජීවිතය ගොඩ නගා ගන්නට උත්සාහ කරයි. ජනතා ඡන්දයෙන් බලයට පත්වන ජන නායකයන්ට මහජනතාවගේ උවමනා සාක්ෂාත් කරන්නට නොහැකි වී තිබේ. මෙම තත්ත්වය දිනෙන් දිනම දරුණු වන බව පැහැදිලිය. ආර්ථික සහ සමාජ ප‍්‍රතිසංස්කරණ තුළින් හැර රට යහපත් දිසාවකට යොමු කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. කොමිෂන් සභා වලින් දූෂණ මැඩ, විශේෂ අධිකරණ පිහිටුවා වැරදි කරුවන් අල්ලා හිරගෙදරට යවන තෙක් ජනතාව බලා ඉන්නේ නැත. තීරණ ගැනීම ඉක්මන් නොවන අවස්ථාවේ දී ජනතාව කලකිරීමට පත් වෙයි. සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයාගේ වැඩ පිලිවෙල ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට ගැලෙපෙන්නේ නැත. නමුත් සම්පූර්ණ පරිවර්තනයක් ඇති කරන්නට විශාල ධෛර්යයක් අවශ්‍යය. නිසි වැඩ පිලිවෙලක් සකස් කරගත යුතුය.