» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/01/2017 - ඉරිදා ලංකාදීප
පාලකයන් කෙරෙහි විශ්වාසය ඇති සමාජයක්

ඔස්ටේ‍්‍රලියාව මෙරට ජන සමාජයේ අවධානය දිනා ගත් රටකි. භූමි ප‍්‍රමාණය අතින් ලෝකයේ හය වැනි තැන පසුවෙයි. පෙඩරල් රාජ්‍යයකි. මෑතක දී එරට නව නීති මාලාවක් සම්මත කරගත්තේය. එරට ජාතික නාගරික අධිකාරිය ප‍්‍රකාශයට පත්කරන ලද වාර්තාව අනුව විරෝධතා වලට අයිතියක් ඇති නමුත් යම් විරෝධතාකරුවන් පිරිසකට ජාතික ප‍්‍රශ්නයක දී පාරට බැස විරෝධය පළකරන්නට මාර්ගෝපදේශය සපයන උපදෙස් මාලාවක් නිකුත්කර ඇත. එය උල්ලංඝනය කිරීම වරදකි. විරෝධතා පවත්වන කණ්ඩායම් වලට ප‍්‍රසිද්ධ තැන් භාවිතා කිරීමේදී මෙම නියමයන්ට යටත් වෙන්නට සිදුවෙයි. විරෝධතාකරුවන්ට මාර්ගෝපදේශ පනවන්නට අවශ්‍ය වී ඇත්තේ ඇයි? එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුකූල හෙයින් බවට එරට පාලකයෝ තර්කයක් ගොඩනගති.

ඔස්ටේ‍්‍රලියාවේ ජනතාව සහ නොයෙක් කණ්ඩායම් ආණ්ඩුවට එරෙහිව වීදි බසිති. මෑතක පැවැති ඇමරිකානු ජනාධිපතිවරණය අවස්ථාවේ දී ට‍්‍රම්ප් ජනාධිපතිවරයාට සහාය දක්වන පමණක් නොව විරෝධතා දක්වන අවස්ථා තිබුණි. මෑතක මුස්ලිම් ජනගහනය වැඩිවීම ගැන විරෝධතා පවත්වනලද බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. ශිෂ්‍ය උද්ඝෝෂණ සාමාන්‍යයෙන් නිතර පැවැත්වෙයි. පෙඩරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ ජනතාවගේ පීඩනය, විරුද්ධ මතය එළිදක්වන අවස්ථා වශයෙන් මේවා සැලකිය හැකිය.

මාර්ගෝපදේශ මාලාව අනුව විරෝධතාකරුවන් පෙලපාලියක ගෙන යන පුවරු හෝ ප‍්‍රදර්ශන ඉදිකිරීම් වල දී අවසර ගත යුතුය. ස්ථිර ඉදිකිරීමක් නම් ඒ වෙනුවෙන් නියමිත කාලයක් වෙන්කර තිබේ. කිසිම විරෝධතාවයකින් සෙසු ජන කොටස් වල එදිනෙදා කාර්යයට බාධාවක් විය යුතු නැත. ආණ්ඩුවේ කාර්යාලයක් ඉදිරිපිට විරෝධතාවය කරන විට එදිනෙදා අවශ්‍යතා සඳහා එහි යන එන කිසිවෙකු පීඩාවට පත් විය යුතු නැති අතර ආරක්ෂාව සහතික කළ යුතු වෙයි. විරෝධය පළ කරන නිශ්චිත කාල සීමාව උල්ලංඝනය නොකළ යුතු අතර විරෝධතා පවත්වන ස්ථානය අවට භූමිය, එහි භූමි අලංකරණ වලට කිසිදු හානියක් කරන්නට අවසර නැත. විරෝධතා කරුවන්ගේ වාහන නිතියට අනුව නතර කළ හැකි අතර අනවසර තැන් වල ගාල් කළ නොහැක. ඔස්ටේ‍්‍රලියානු ජාත්‍යන්තර බැඳීම් වලට අභියෝග කිරීම ද වරදකි. මෙයින් පෙන්වන්නට උත්සාහ කරන්නේ ජනතාවට පාලකයන් කෙරෙහි තම විරෝධය, පීඩනය පළ කරන්නට නිදහස ඇති නමුත් එහි සීමාවක් තිබෙන බවය. කිසිසේත් සාමාන්‍ය ජන ජීවිතය අඩාල කරන්නට ඇති ඉඩකඩ අවුරා තිබේ. මෙම වගන්ති වල කරුණු සවිස්තරාත්මකව දක්වා ඇත.

විරෝධයකට ඉඩදෙන්නේ දින තුනක් පමණකි. එම කාලය තුළ ජනතාවට පීඩාවක් නොවන, අනුමැතිය ඇති ඉදිකිරීම් පමණක් භාවිතාකර, වාහන සැරසිලි වැනි දෑ සහ විශේෂයෙන් ගිනි තැබීම් වලින් තොරව සිය විරෝධය පළකරන්නට අවස්ථාව තිබේ. කිසිම අවස්ථාවක කූඩාරම් ඉදි කරන්නට ඉඩ දෙන්නේ නැත. දින තුන ඉක්මවන විට විරෝධතා අවසන් කළ යුතු අතර එකම කාරණයකට නැවතත් විරෝධය පළ කරන්නට දින තිහක් ඇතුලත නැවත ඉඩ දෙන්නේ නැත. ඔස්ෙටි‍්‍රලියාව වියනා සම්මුතිය අත්සන් කර ඇති රටක් වශයෙන් වෙනත් රටක තානාපති කාර්යාල ඉදිරිපිට පිකටිං, පෙලපාලි හෝ විරෝධතා තහනම්ය. නාගරික සැලැස්ම අනුව එක් එක් ස්ථාන වලට වෙනස් අන්දමට නීති අර්ථ පැහැදිලි කර තිබේ. ඉතා වැදගත් ස්ථාන වලට ළං වියහැකි සීමාව සවිස්තරාත්මකව දක්වා ඇත. මෙම උපදෙස් මාලාව නිකුත් වන විට එයට ද විරුද්ධත්වය පළ වූ බව සඳහන් වෙයි. නමුත් දැන් රට පැවැත්වෙන ඕනෑම විරෝධයක අනුගමනය කරන්නේ එකී උපදෙස් මාලාවයි. විරෝධතාකරුවන් තම විරුද්ධත්වය දැවැන්තව සංවිධානය කළ ද සෙසු ඔස්ටේ‍්‍රලියානුවන්ට කිසිදු හිරිහැරයක් නැත. එරටට එන සංචාරකයන් ඇතුළු ආගන්තුකයන් පීඩාවට පත්වන්නේ නැත. වැදගත්ම කාරණය එයයි.

විරෝධතාවලට සීමා, බාධා සහ උපදෙස් මාලා පනවන විට එය පාලකයන්ට වාසි විය හැකි බව මුලින් ඇති වූ අදහසයි. නමුත් ඕස්ට්‍රේලියානු ජනතාව යම් විරෝධයක් දක්වන විට පාලකයෝ එයට අවධානය දක්වති. ප‍්‍රශ්නය කොතැනදැයි විමසා බලා දිය හැකි හොඳම විසදුම නිර්මාණය කරයි. විරෝධතාකරුවන් මග හැර ඔවුන් නොතකා හරින්නේ නැත. කරන්නට නොහැකි නම් ඒ බව දක්වයි. එයින් අපහසුතාවයක් වෙන බව දැනෙන විට තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යයි. ජනතාව ඡන්දය දවසේ පාඩමක් උගන්වන තෙක් බලයේ ඉන්නේ නැත. එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා වෙයි. ජනතාව සහ නායකයන් අතර විශ්වාසය ඇතිවෙයි. විරෝධතා පාලනය කිරීම බරපතල ප‍්‍රශ්නයක් වෙන්නේ නැත.

නොබෝදා රුහුණු සංවර්ධන කලාපය විවෘත කරන අවස්ථාවේ විශාල විරෝධයක් පැන නැගිණ. ඇතැම් මාධ්‍ය වාර්තා කළේ හම්බන්තොට යුද පිටියක් වූ බවය. මෙවැනි විරෝධයක් ඔස්ට්‍රේලියාවේ උපදෙස් මාලාව සමග සංසන්දනය කළ යුතුය. මෙයට කලින් ගොවියෝ පාරට බැස්සේය. ධීවරයන් බෝට්ටු පාරට ගෙනාවේය. ටයර් පුළුස්සා මහා කලබැගැනියක් කළේය. වෛද්‍යවරුන්, හෙදියන්, විශ‍්‍රාමිකයන්, රණවිරුවන්, බස් රියැදුරන් සිට මෙරට සියළු අංශ වල පිරිස් එකක් අවසන් වනවිට එකක් වශයෙන් විරෝධතා වලනිරත වෙති. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් මහ පාරේ ඇවිද ගෙන යමින් රජයේ කාර්යාල වටලා කරන විරෝධතා සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. පලාත් පාලන නියෝජිතයන් පවා මෑතක දී පාර්ලිමේන්තුව අවට උද්ඝෝශණයක් කළේය. මේවා අවසන් වෙන්නේ ට තුළ උණුසුම වැඩි කරමින්ය.

කොළඹ හා තදාසන්න නගර වල විරෝධතාවයක් සිදුවන විට සාමාන්‍ය ජනතාව හිරිහැරයට පත්වෙයි. පොදු ප‍්‍රවාහන සේවා අවහිර වන විට දරුවන් ගේ සිට සියළුම දෙනාගේ එදිදෙනා පැවැත්ම වෙනස් වෙන බව සඳහන් කළ යුතු නැත. ආණ්ඩුවේ කාර්යාලයක් අවහිර කරන විට එතැනින් තම අවශ්‍යතා කරගන්නට දුර බැහැරින් එන පිරිසට අත්පත් වන ඉරණම කුමක්ද? වර්ජකයන් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැත. වර්ජනය කරන පිරිස දකින්නේ තමන්ගේ පැත්තයි. දීර්ඝ කාලයක් නොවිසඳී ආණ්ඩුවේ අවධානයට ලක් නොවූ කරුණු ගැන තදින් කියන්නට නම් රට අවහිර වන සේ විරෝධයක් ඇති කළ යුතු බව සාමාන්‍යයෙන් සිතන ආකාරයයි. එය සුදුසුද? එයින් ඇති කරන තත්ත්වය කෙබදු බලපෑමක් ඇති කරන්නේද යන්න විමසා බැලීම වැදගත්ය.

ලෝකයේ වෙනත් රටවල වැසියන්ටත් ප‍්‍රශ්න තිබේ. තමන්ගේ හඬට ඇහුම්කම් නොදෙන පාලකයන් ට අවධාරණයෙන් කියන්නට ක‍්‍රම සකස් කරගෙන ඇත. සිංගප්පූරුව, ඇමරිකාව, බි‍්‍රතාන්‍ය යනා දී වශයෙන් නොයෙක් රටවල් තමන් ගේ පාලන ක‍්‍රමය, බලය හා ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරන දෙන පිලිවෙත අනුව ක‍්‍රියා කරයි. ඒවායේ අඬු ලූහුඬුකම් නොයෙක් පැවතිය හැකිය. නමුත් මූලික කාරණය ජනතාව යම් විරෝධයක් නගන විට පාලකයන් එයට අවධානයක් දැක්වීමයි. යම් වෘත්තිකයන් පිරිසක් තමන්ට ප‍්‍රශ්නයක් ඇති බව කියන විට එය තෝරා බේරාගෙන කළ හැකි දේ කරන්නට උත්සාහ ගැනීමයි. විරෝධතා කරුවන්ට, දේශපාලන පක්ෂ වලට හා දැඩි මතධාරීන්ට ද එකී සීමා මායිම් ගැන අවබෝධයක් අවශ්‍යය. තමන්ගේ ඉල්ලීම හා ආණ්ඩුවට කරන්නට පුලූවන් දේ අතර පරතරට හªනාගෙන රට තුළ ඉවසිලිවන්ත ස්වභාවයක් ඇති කරන්නට අවශ්‍යය. දියුණුව යනුවෙන් අදහස් කරන්නේ එය විනා අනෙකක් නොවේ.

ශ‍්‍රී ලංකාවේ විරෝධතාකරුවන් ගේ උත්සාහය ආණ්ඩුව අමාරුවේ දමා බලයෙන් පහ කරන්නටය. තැන තැන විරෝධතා කරන විට, උද්ඝෝෂණ පැවැත්වෙන විට ජනපි‍්‍රයතාවයෙන් පිරිහෙන ආණ්ඩුව ගෙදර යවා තමන් කැමැති පාලකයන් පත්කර ගැනීම බහුතරයක් උද්ඝෝෂණ වල ඇතුලාන්තයයි. එය දන්නා ආණ්ඩු කරන්නේ උද්ඝෝෂණය මර්දනය කර ඔවුන්ගේ මතය පැත්තකට විසි කිරීමය. එයින් තම බලය තහවුරු කරගන්නට පාලකයෝ උත්සාහ කරති. මෙම දෙපැත්ත පවතින තත්තවය දෙස සාවධානව අවධානය යොමු කළ යුතුය. ජනතාව පීඩාවට පත් නොකර ප‍්‍රශ්න විසදා ගන්නට මාර්ගයක් සොයා ගත යුතුය. ලෝකයේ වෙනත් රටක පවතින අංශ සලකාබලන්නට අවශ්‍යය. උද්ඝෝෂණය කරන්නට වෙනම කලාප සකස් කර ඕනෑඹ කාලයක් ආණ්ඩුවට දොස් කියමින් ඉන්නට දෙනවා ද එසේ නැත්නම් ජන මතය නැගෙන විට එය තේරුම් ගෙන විසªමක් දෙනවා ද යන්න වැදගත් තීරණයකි. එවැනි තීරණයකට සූදානම් ආණ්ඩුවකට වර්ජකයන්, උද්ඝෝෂකයන් වෙනුවෙන් ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කර නීති ගත කළ හැකිය. නමුත් ඉතාම වැදගත් වෙන්නේ නීතියට වඩා දෙයකි. එනම් මෙම විරෝධතා දක්වන්නන් නගන හ`ඩ තේරුම් ගැනීමයි. පාලකයන් කෙරෙහි ජන විශ්වාසය ගොඩනැගෙන්නේ එවිට බව සදහන් කළ යුතුය.