» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/10/2018 - ඉරිදා ලංකාදීප
‘‘මටත් එහෙම වුණා’’ යැයි කියන්නට විශාල ධෛර්යයක් අවශ්‍යය

අප‍්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානු කාන්තාවක වූ ටරානා බර්ක් පසුගිය අවුරුද්දේ විශිෂ්ඨතම චරිතය වශයෙන් ටයිම්ස් සඟරාව නම් කළේය. ඇය සිවිල් ක‍්‍රියාකාරිනියක වූ අතර අවුරුදු දහයකට කලින් අලූත් සංකල්පයක් ජනගත කළේය. ‘‘Me too’’ යනුවෙන් එය නම් කර තිබුණි. ලිංගික අතවර වලට මුහුණ දෙන අවස්ථා නිර්භයව හෙළි කරන ව්‍යායාමයකි. ලෝකය පුරා නොයෙක් රටවල, ප‍්‍රකට චරිත අද වන විට ‘‘මටත් ’’ එහෙම නැත්නම් ‘‘මටත් එහෙම වුණා’’ යනුවෙන් ප‍්‍රසිද්ධියේ කියන්නට නැඹුරු වී සිටී.

මටත් එහෙම වුණා යැයි ප‍්‍රසිද්ධ කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? එය විශාල රැකවරණයකට මාවත හෙළි පෙහෙළි කරදෙයි. බලහත්කාරකමට දේශ සීමා මායිම් නැත. ලෝකයේ සෑම රටකම පාහේ කාන්තාවෝ නොයෙක් ආකාරයෙන් අතවරයට ලක් වෙති. දැරියන්, යොවුනන් පමණක් නොව කාර්යාලයේ දී, වැඩපොලේ දී හෝ මග තොටේ දී විවිධ කටුක අත්දැකීම් වලට මුහුණ නොදුන් අය සීමිතය. කාන්තාවක අගෞරවයට පත්වන සේ වචනයකින් හෝ නොහොඹිනා කතාවක් මුහුණටම කියාපෑම වරදක් බව ශිෂ්ඨ සමාජය තීරණය කර තිබේ. නමුත් එය ශිෂ්ඨ සමාජයේ ම ඉතා ඉහළින් වැජඹෙන පිරිස් අතරින් ඇතමෙකු කාන්තාවෝ කෙළි බඩු සේ සලකා ක‍්‍රියා කරනබව අනාවරණය වූ අවස්ථා විශාල බව සඳහන් කළ යුතුය. අපකීර්තිය, ලජ්ජාව වැනි හේතු මත තමන්ට සිදුවූ අතවරය සඟවන්නට කාන්තාවන් අතරින් සෑහෙන කොටසක් යොමු වී සිටී. හිංසනය විඳ දරාගෙන පරාජිතව පසෙකට වෙති. එය විශාල වරදකි. අතවරය වසංකිරීමෙන් නරක කරන ලද පුද්ගලයාට නැවතත් එවැනි දෙයකට නැඹුරුවන අවස්ථාවක් ලැබේ. එය සමස්ථ සමාජයම අනතුරකට පත් කිරීමකි. ටරාන බර්ක් සිද්ධිය විඳ ගෙන නිහඬව පසෙකට වන කාන්තාවන්ට ධෛර්යය ලබා දුන්නාය. ‘‘මට මෙහෙම හිරිහැරයක් සිදුවුණා. එය කළේ අන්න අහවලා’’යැයි ප‍්‍රසිද්ධියේ කියන්නට විශාල ආත්ම ශක්තියක් අවශ්‍යය. සිද්ධිය විඳ දරාගෙන අකටයුත්ත සැඟවීම සුදුසු නැති බව ‘‘මී ටූ’’ සංකල්පය පෙන්වා දෙයි. නොබෝදා ලෝකයේ ප‍්‍රකට, බලවත් චරිත සෑහෙන ප‍්‍රමාණයක් හිරිහැරයට පත් කාන්තාවන්ගේ ප‍්‍රකාශ වලින් අර්බුදයකට පත් විය. දේශපාලනඥයන්, අධිකරණයේ ප‍්‍රධානීන්, චිත‍්‍රපට කර්මාන්තයේ ප‍්‍රකට චරිත ඇතුළු සෑහෙන පිරිසක් කාන්තාවන්ගේ හෙළිදරව් කිරීම් හේතුවෙන් අපහසුතාවයට පත් විය. ලෝකය පුරා කාන්තාවෝ විවිධ අවස්ථාවල තමන් විඳී අතවර ගැන ප‍්‍රසිද්ධියේ කතා කරන විට මේවා හුදෙක් ගෙතූ කතා වන අතර සම්භාවනීය චරිත අපහසුතාවයට පත් කර ඔවුන්ගේ අනාගතය විනාශ කරන ප‍්‍රචාරාත්මක වැඩ පිලිවෙලක් බවට නැගුණ චෝදනාව ද පහසුවෙන් බැහැර කළ නොහැකිය. නමුත් ක්ෂණිකව කාන්තාවෝ එයට උත්තර දී තිබේ. ‘‘BelieveHer ‘‘ යනුවෙන් සංවිධානයක් ගොඩනැගෙන්නේ එයට විකල්ප වශයෙනි. ‘‘මටත් එහෙම අතවරයක් එදා වෙලා තිබුණා ලජ්ජාව නිසා එය කාටවත් කිව්වේ නැහැ’’ යනුවෙන් නගන චෝදනාව ‘‘බොරුවක් මම එහෙම කළේ නැහැ’’යැයි ප‍්‍රබලයන් කියන විට මෙම කාන්තාවෝ පාරට බැස ‘‘හෙළිදරව් කරන ඇයගේ කතාව විශ්වාස කරන්නැයි’’ බල කරන ව්‍යායාමයක් ද අරඹා තිබේ.

කාන්තා හිංසනය ඉතාම පිලිකුල් සහගත දෙයක් බව සමාජය පිලිගෙන ඇත. නමුත් නොයෙක් අවස්ථා වල දී පුරුෂයෝ කාන්තාව සිය අභිමතාර්ථ වෙනුවෙන් පොළඹවා ගන්නා බවට පැහැදිලි සාක්ෂි තිබේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 2015 වසරේ දී ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් පොදු ප‍්‍රවාහනයේ දී අතවරවලට ලක්වීම ගැන පර්යේෂණයක් කර තිබේ. එයට අනුව බස් රථ හෝ දුම්රියේ ගමන් කරන කාන්තාවන් අතරින් සියයට අනූවක් අතවර වලට ගොදුරු වී තිබේ. ශ‍්‍රී ලංකාවේ නීති ආධාර සේවය කරන ලද අනාවරණයකට අනුව එම ප‍්‍රතිශතය සියයට හැත්තෑවකි. නමුත් නීතිමය ක‍්‍රියාමාර්ග වලට එළැඹෙන්නේ සියයට හතරක පමණ සුළු කොටසකි. විශාල පිරිසක් නිහඬව විඳීන අතර එයට හේතුව ප‍්‍රසිද්ධවීමෙන් අත්පත්වන අපකීර්තිය හා ලජ්ජාව බව දැක්වෙයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වාර්තාව අනුව 2006 දි මෙරට කාන්තා ශ‍්‍රම බලකාය සියයට 35.9 ක් වන අතර 2014 වන විට එය සියයට 34.7 ක් දක්වා පහත වැටී තිබේ. කාන්තාවෝ පොදු ප‍්‍රවාහනයේ දී සිදුවන හිරිහැර රැකියාවකට යාම අධෛර්යවත් කර ඇත.

පසුගිය දා මාධ්‍ය වාර්තාකර තිබුණ ආකාරයට එක්තරා පාසලක දැරියක් තමන්ට සිදුවන අතවරයක් ගැන පාසලේ පැමිණිලි පෙට්ටියට ලිපියක් යොමු කළාය. එම පාසල ඉතා ආදර්ශවත්ය. නිර්නාමිකව ඕනෑම දෙයක් දරුවන්ට ලියා පැමිණිලි කරන්නට ඉඩ දී තිබේ. ඒවායේ එකතුවන අදහස් වලින් වැරදි නිවැරදි කරගෙන ඇත. පැමිණිල්ල කරන ලද දැරිය සෑහෙන වතාවක් ඇයගේ සීයාගේ හිතවතෙකුගෙන් අතවරයට ලක්ව ඇති අතර එය කිසිවෙකුට කියා නැත. හෙට්ටිපොල පොලිස් බල ප‍්‍රදේශයේ දී එය අනාවණය වී තිබේ. මගතොටේදී, පාසලේ දී, අසල්වැසියන්ගෙන් නන්නාදුන පුද්ගලයන්ගෙන් කාන්තාවන්ට සිදුවන හිරිහැර විශාල බව පෙනේ. කාර්යාල වල දී සිදුවන නොහොඹිනා සිදුවීම් දරාගන්නට සිදුවී තිබේ. ප‍්‍රධානීන් පමණක් නොව සමාන්තර නිලධාරීන් පවා කාන්තාව පොළඹවා ගන්නා බව වාර්තා වී ඇති අතර සිද්ධි නිහඬව යටපත්වීම බහුල බව පැහැදිලිව පෙනී යන කාරණයකි.

පොදු ප‍්‍රවාහනයේ දී සිදුවන හිරිහැරයක් බලවතුන්ගේ අකටයුතුකම් ද පිටුදැකිය යුතුය. කාන්තාවගේ ගරුත්වය ආරක්ෂා කළ යුතුය. විශේෂයෙන් දරු දැරියන් ගලවා ගත යුතුව තිබේ. දරු දැරියන් හිංසනයට ගොදුරු වූ පසු දෙමව්පියන්ගෙන් පවා සඟවන අතර දෙමව්පියන් ද වරද පටවා දරුවන්ටම දොස් තැබීම එයට බොහෝ දුරට හේතු වී තිබේ. බිය හෝ නොදන්නාකම අසල් වැසියන්, ඥාතීන් ගෙන් සිදුවන දේ ඉවසා සිටින බව අනාවරණය වූ අවස්ථා සෑහෙන ප‍්‍රමාණයක් බව නිරීක්ෂණය කළ හැකිය. මෙවැනි වාතාවරණය පිටුදැකිය යුතුය. අවශ්‍යයෙන්ම සිදුවිය යුතුය.

ශ‍්‍රී ලාංකික ජන සමාජයේ කාන්තාව සුරක්ෂිත කිරීම නීතියෙන් පමණක් කළ නොහැකිය. සිද්ධි තරමට නීතිය හමුවට පැමිණිලි නොඑන හෙයින් මෙරට බාහිර සමාජය ආරක්ෂා සහිත යැයි තක්සේරු කිරීම නුසුදුසුය. ‘‘මටත් එහෙම වුණා’’යැයි නොවලහා කියන්නට හැකි වාතාවරණයක් රට තුළ ඇති කළ යුතුය. එය නීතියෙන් පමණක් කළ නොහැකි ආරක්ෂාවක් සමස්ථ කාන්තාවන්ට අත්පත් කරදෙන සමාජ ව්‍යාපාරයකි. එය ප‍්‍රචලිත කරන්නේ කෙසේද? බලවත්ම ප‍්‍රශ්නය එයයි. ‘‘ අයිස් බකට්’’ ‘‘ අමුමිරිස් චැලේන්ජ්’’ වැනි සංකල්ප සමාජය තුළ පතුරවන්නට පසුගිය කාලයේ දී පසුබට නොවුන බව සඳහන් කළ යුතුය. ‘‘ මී ටූ ’‘ වැනි සංකල්ප පමණක් නොව ‘‘ ඇය කියන දේ විශ්වාස කරන්න’‘ යැයි කියා පාන කාන්තා ව්‍යාපාර රටට අවශ්‍යය.

ශ්වේත කඩතුරා වලින් වැසී සිටින නොයෙක් චරිත ඉතාම නරක හැසිරීම් සහිත බව නොයෙක් අවස්ථාවල කටකතා වලින් ප‍්‍රචාරය වෙයි. ඒවා යටපත් වන අතර කටකතා වලින් ද කාන්තාවෝ පීඩනයට ගොදුරු වන බව අසන්නට ලැබේ. ඒවා ඉවසිය යුතු නැත. නූතන කාන්තාවෝ ධෛර්යවන්තය. ශ‍්‍රී ලංකාවේ කාන්තාවෝ අධ්‍යාපනය අතින්ද ඉහළ බව දත්ත පෙන්වා දෙයි. සමාජය තුළ පරිවර්තනයක් සිදුවිය යුතුය. හිංසනය, අතවරය හෝ බලහත්කාරකම සැඟවිය යුතු දෙයක් නොවේ. වරද කරන ලද පුද්ගලයෝ වහා බැහැර කළ යුතු අතර අධිකරණය ඉදිරියට පමුණුවා දඬුවම් නියම කළ යුතුය. ප‍්‍රසිද්ධියේ කතා කළ නොහැකි අවස්ථා වල පාසල් මට්ටමින්, කාර්යාල වල හෝ පොදු ස්ථාන වල පැමිණිලි කළ හැකි තැන් ස්ථාපනය කළ හැකිය. නීති ආධාර සේවා මේවා භාරගෙන නිසි පියවර ගත යුතුව තිබේ. කාන්තාවන් මුහුණ දෙන සිද්ධි ගැන කතා කර සුරක්ෂිත සමාජයක් බිහිකරනු හැර කාන්තා දිනයක් රටට වැදගත් නැත.