» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/07/2019 - ඉරිදා ලංකාදීප
තැලෙන පෑගෙන ජනතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂ

ලෝකයේ සිදුවන පරිවර්තන බලවත්ය. එක පැත්තකින් හතරවැනි කර්මාන්ත විප්ලවය ගැන කතා කරයි. අනෙක් පැත්තෙන් කෘතීම බුද්ධිය ගැන පර්යේෂණ අවධාරණය කෙරේ. අලූත් බලශක්ති ප‍්‍රභව, අලූත් ආහාර හා බෝග නිෂ්පාදන ක‍්‍රම යනාදිය ගැන නිතර තොරතුරු අනාවරණය වෙයි. එය එසේ තිබිය දී ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑර දුප්පත්කම නැවත නැවතත් හිස ඔසවමින් තිබේ. නිසි ආහාර රහිතව කුසගින්නේ නින්දට යන මිලියන සංඛ්‍යාත පිරිසක් ලෝකය පුරා සිටී. සෑම ජන කොටසකගේම දැවෙන ප‍්‍රශ්න විසඳන්නට පාලකයෝ සමත් නැත. දියුණුව වෙනුවෙන් සෑහෙන ප‍්‍රයත්නයක් දරන නමුත් මගහැරෙන පිරිස සුළු පටු නැත. පවතින ක‍්‍රම අසාර්ථක බව දැනෙන විට ජනතාව අලූත් තීරණ වලට අවතීර්ණ වන අතර නව බලවේග හිස ඔසවන්නට පටන්ගෙන ඇත. ධනවාදය අසමත් බව ජනතාව තීන්දු කරමින් සිටී. හරිත පක්ෂ නව වාමාංශික බලවේග ඉදිරියට පැමිණෙන අතර මෙකී නව ප‍්‍රවනතා දුප්පත් ජනතාව ගැන විශේෂයෙන් අවධානයක් යොමු කරන බව ලෝකයේ නොයෙක් තැන් වලින් ලැබෙන වාර්තා පෙන්නුම් කරයි.

ස්පාඤ්ඤය හා ඉතාලිය යන රටවලින් වාර්තා වූ සිද්ධි සාකච්ඡා කිරීම වැදගත්ය. මෙම රටවල නගර සභා මට්ටමින් හරිත හෝ නව වාමාංශික පක්ෂ එකතු වී බලය අල්ලාගෙන තිබේ. ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ ජීවත් වූ නිවාසයක් පවා නැති ජන කොටසකගෙන් එනම් කුලී නිවැසියක වශයෙන් විසූ ආදා කොලාවු බෙලානෝ මහත්මිය 2015 වසරේ පැවැති මැතිවරණයෙන් ජය අත්කරගත්තීය. ඇයට ජය අත්කරදෙන්නේ එවකට පැවැති ආර්ථික පසුබිමයි. 2008 වසරේ දී පමණ නිවාස ණය ගෙවාගත නොහැකිව අසරණ ව සිටි පිරිස් වෙනුවෙන් ඇය හඩක් නැගුවාය. එය බලවත් පදනමක් බවට පත් වූ අතර පසුව එතැනින් නතර නොවූ ඇය පසුව වෙනම දේශපාලන පක්ෂයක් බිහි කළාය. සුපුරුදු සාම්ප‍්‍රදායික රාමුව වෙනුවට දුගී දුප්පතුන්ගේ හඩ වෙනුවෙන් එම පක්ෂය සිය ප‍්‍රතිපත්ති සකස් කරන ලද බව සඳහන් කළ යුතුය. බෙලානෝ ගේ නායකත්වයෙන් යුතු බාසිලෝනා නගරයේ පාලනය ධනවාදී කදවුරට එක්තරා ආකාරයක අභියෝගයක් වී තිබේ.

බාසිලෝනා නගරයේ පාලනය කරන මෙම අලූත් දේශපාලන පක්ෂය අද වන තෙක් බලයේ සිටින අතර දුප්පත් ජනතාව වෙනුවෙන් ක‍්‍රියාකරන අන්දම එයට ප‍්‍රබල සාධකයක් වී තිබේ. ඇති නැති පරතරය වැඩිවන සංවර්ධන කටයුතු වල දී බාසිලෝනා පරිපාලනය කෙලින්ම දුප්පතුන්ගේ පැත්ත ගෙන ඇත. විශේෂයෙන් සංචාරකයන් පැමිණීම හා ඔවුන් වෙනුවෙන් විශාල හෝටල් ඉදිවන විට සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි තරමට ඉඩම් හා දේපොල මිල ඉහළයාම ගැන කෙලින්ම විරුද්ධත්වය පළ කර තිබේ. මෙම දේශපාලනයට බැංකු කටයුතු කරන ආකාරය ගැන ද විවේචන තිබෙයි. බලවත් සමාගම් වලට ඉඩම් මිල දී ගැනීමටත් දැවැන්ත මහල් නිවාස ඉදිකරනු සඳහා ණය දීමත් දේපොල මිල වැඩිවන එක හේතුවක් බව කියා තිබේ. ජනතාව වෙනුවෙන් කැපවන ඇය සිය පක්ෂයේ ප‍්‍රතිපත්තිය දුගී ජනතාව වෙනුවෙන් මෙහෙයැවීම බව පෙන්වා දී ඇත. සිය පක්ෂයේ දේශපාලනය වෙනුවෙන් බැංකු වල ධනය ලබා නොගත් නිසා කෙලින්ම තීරණ ගැනීමට පහසු බව පෙන්වා දෙන නගරාධිපතිනිය තමන් බැංකු වල අණසකට යටත් නැති බව අඟවයි.

ධනවත් පැලැන්තියට අවනත නැති බව නියන බාසිලෝනා නගරයේ පාලනය සමහර අවස්ථා වල දී බැංකු ණය ගෙවා ගත නොහැකි ඉදිකිරීම් වල කටයුතු අත්හිටුවා ඒවායේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් මහල් නිවාස තනන වැඩ පිලිවෙලක් අරඹන සේ වානිජ බැංකු වලින් ඉල්ලා සිටී. එය සමාජයට යහපතක් යැයි පෙන්වන්නට ඇයගේ දේශපාලන පක්ෂය සමත්ව ඇත. සිය ජනතාව ජීවත්වන ප‍්‍රදේශ ඩැහැගැනීමට එන පිරිසක් වශයෙන් සංචාරක ව්‍යාපාරය දකින අතර සංචාරකයන්ගේ සීමාව ඉක්මවන පැමිණීම නිසා ඉඩම් හා නිවාස වල මිල ඉහළයන්නට ඉඩ දිය නොහැකි බව අවධාරණය කරයි. පවතින ධනවාදී රාමුවෙන් බැහැර තීරණ ගැනීම මෙම පාලනයේ වෙනස බව අන්තර් ජාතික මාධ්‍ය පෙන්වා දෙයි.

ලූයිගි ඩි මැජෙසිටි‍්‍රස් ඉතාලියේ නාපේල්ස් නගරයේ නගරාධිපති වශයෙන් පාලනය කරයි. 2017 වසරේ දී වාංමාංශික අදහස් වලට නැඹුරු අලූත් පක්ෂයක් ගොඩනැගු හෙතෙම සමාන අදහස් ඇති කුඩා පක්ෂ හා එකතුව නවතම අදහස් ඇති ව කටයුතු කරමින් සිටී. ඒවායේ දී දුගී ජනතාවගේ පැත්ත ගැනීම විශේෂිතය. නගරය න්‍යෂ්ඨික බලයෙන් තොර කලාපයක් බවට ප‍්‍රකාශයට පත් කරන ලද ඔහු ඉතාලියේ සාම නගරය වශයෙන්න නම් කළේය. දූෂණ හා වංචා වලට විරුද්ධව තදින් ක‍්‍රියා කරන හෙතෙම නොයෙක් අවස්ථාවල දේශපාලන ව්‍යාපෘති මගින් කරන ධන හානියට එරෙහිව දැවැන්ත මතවාද ඇති කර ජනතාවගේ අයිතිය ආරක්ෂා කර තිබේ.

ලෝක දේශපාලනයේ කුඩා තැන් වලින් නැගී එන නව ප‍්‍රවනතා අනාගතයේ දී ධනවාදී පාලනයට අභියෝගයක් වෙන්නට බැරි නැත. බලවත් දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයන්හට මතුවෙන මෙකී හරිත පක්ෂ හා නව සමාජවාදී අදහස් වලට යම් ආකාරයක අභියෝගයක් වී තිබේ. ජනතාවගේ පැත්ත ගන්නා මෙම දේශපාලන ප‍්‍රවනතා සේවා අංශයන්හි සිදුවූ වර්ධනය පදනම් කරගෙන ධනය අසමාන සේ බෙදීම ගැන විරෝධයක සිටී. ඉතාම හොඳ නිවාස, තරු හෝටල්, සුපිරි පාසල් හෝ ඉතාම විශිෂ්ඨ රෝහල් පවතින නමුත් නගරයේ බහුතරයකට ඒවායේ අවස්ථා නැති බව මෙම පක්ෂ පෙන්වා දෙන වැදගත් කරුණකි.

ශ‍්‍රී ලංකාවේ සම්ප‍්‍රධායික දේශපාලන බලවේග මෙම අලූත් පැති ගැන හිතන්නට අවශ්‍යය. කොළඹ හෝ තදාසන්න නගරයක කුඩා ඉඩමක මිල ඉතා අධිකය. සාමාන්‍ය කෙනෙකුට එහි ජීවත්වීමට පුලූවන් කමක් නැත. තම ඉඩමට ඔප්පුවක් ඇති සෑහෙන පිරිසක් වැඩි මිලට ඉඩම විකුණා නගරයෙන් එපිට පදිංචියට යති. එය කැමැත්තෙන් කරන ගනුදෙනුවක් නොවේ. දුරබැහැර දුෂ්කරතා ඇති තැන් වල පදිංචියට යන නාගරික මැදි පන්තියේ ජනතාව පවතින ක‍්‍රමයට වෛර කරති. තමන්ට ජීවත්වන තැන අහිමි කර තනන ලද දැවැන්ත මහල් නිවාස වල ජීවත්විය නොහැකි පසුබිමක් නිර්මාණයවීම ගැන කම්පාවට පත් වෙති. මෙරට සමාජවාදී පක්ෂ වලට මෙම අලූත් නැඹුරුව හදුනාගන්නට ලැබී නැත. ජනතාවාදී නමුත් ජනතාවගේ හැඟීම් කේන්ද්‍ර කරගත් ප‍්‍රතිපත්තියකට යා නොහැකි වී තිබේ. ස්වකීය අනන්‍ය ප‍්‍රතිපත්ති වෙනුවට ධනවාදී පැවැත්මට විකල්ප සොයන ප‍්‍රතිපත්ති වලට අනුගතවීම ප‍්‍රශ්නයක් වී ඇත.

ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වල නායකයන්ට සාමාන්‍ය ජනතාවගේ හැඟීම් වැටහෙන්නේ නැත. එම පක්ෂ ප‍්‍රතිපත්ති හදන්නේ ආයෝජකයන්ටය. මහා පරිමාන ව්‍යවසාය වලටය. ආයෝජන හා ව්‍යවසාය නගරයේ ඇති සම්පත් අත්පත් කරගෙන ජනතාව ඈතට තල්ලූ කරන බව අවධානයට ගන්නේ නැත. සමහර දේශපාලනඥයන් මෙකී පැති ගැන කල්පනා කරන්නේ නැත. ජනතාවගෙන් දුරස්ථය. වයස අනුව අලූත් ව්‍යුහය ගැන අධ්‍ය්‍යනය කරන්නට පෙළඹෙන බවක් නොපෙනේ. තරුණ පරපුරේ දේශපාලනඥයන් මෙම කරුණු අධ්‍යයනය කර දර්ශනයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරන්නේ නැති බව පෙනේ. පවතින සංකීර්ණ දේශපාලන තරගය තුළ ජනප‍්‍රියත්වය තුළින් මනාප සොයනවා හැර ජනතාවගේ අවශ්‍යතා ඉටුකර ගෞරවය දිනාගැනීමට වෑයම් කරන්නේ නැත. ලෝකයේ සිදුවන අලූත් ප‍්‍රවනතා ගැන සොයා බලා ඒවායෙන් අත්දැකීමක් ගන්නට අසමත්ය. එහෙයින් ශ‍්‍රී ලංකාවේ දේශපාලනය එක්තරා ආකාරයක රාමුවකට කොටු වී තිබේ. ජනතාවට යමක් අතට දී ඔවුන්ගෙන් ගැලවීම හැර ජනතා ප‍්‍රශ්න වලට සැබෑ විසªම් නිර්මාණය කරන්නේ නැත.