» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/04/2019 - ඉරිදා ලංකාදීප
ජනප‍්‍රියත්වයෙන් බලයට පත්වන ජන නායකයන්ගේ රාජ්‍ය පාලනය

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පසුගිය දා අවසන් විය. අති විශාල ජනප‍්‍රසාදයකින් ඉහළටම ඔසවා තැබූ ඉන්දුනීසියාවේ ජනාධිපති ජාකෝ විඩෝඩෝ දෙවැනි ධුර කාලය සඳහා තරඟ කරන අවස්ථාවේ රට තුළ මතු වූ වාතාවරණය අන්තර් ජාතික අවධානයට ලක් විය. ජගත් විචාරකයන්ට අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙකු වශයෙන් ජනතාව තුළ තිබුණ ප‍්‍රතිරූපය ඔහු ඉතා ඉක්මනින් අහිමි කරගෙන තිබේ. ඉන්දුනීසියානු ජනතාව කාලයක් තිස්සේ තිබුණ තද පාලන යුග අවසන් කරන අභිලාශයක සිටියේය. මිලිටරි හෝ දේශපාලන පසුබිමක් රහිත අලූත් නායකයෙකු වශයෙන් විඩෝඩෝ ගැන ජනතාව අලූත් අපේක්ෂාවක සිටියේය. උසස් අධ්‍යාපනයෙන් පසු දැව කර්මාන්තයට සම්බන්ධ වූ විඩෝඩෝ වෘත්තියක් වශයෙන් නිරත වී සිටි ‘‘සුපවයිසර්’’ තනතුරෙන් ඉවත් වී පවුලේ ව්‍යාපාරයක් වූ ගෘහ භාණ්ඩ නිපදවීමට සම්බන්ධ විය. එහි ප‍්‍රධානියා බවට පත් වූවා පමණක් නොව කර්මාන්තයක් වශයෙන් ඉහළ තලයට ගෙන එන්නට සමත් විය. කාලයකට පසු දේශපාලනයට හිත ගිය ඔහු ජාවා හි සුරකාර්තා නගරයේ නගරාධිපති ධුරයට තරඟ කළේය. ජකර්තා හි ආණ්ඩුකාරයා විය.

ඉන්දුනීසියාවේ විශාලතම දේශපාලන පක්ෂය වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායිකා මෙගාවතී සුකර්නෝ තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අලූත් මුහුණක් සොයාගත් අතර විඩෝඩෝ එම ඉලක්කය ජය ගත්තේය. ලිබරල් නායකයෙකු වශයෙන් ජනතාව ඔහුගෙන් විශාල වෙනස්කම් අපේක්ෂා කළේය. 2014 ඔක්තෝම්බර් මාසයේ බලයට පත් වූ නමුත් අවුරුදු පහක් අවසානයේ දී හෙතෙම වැඩි දෙනෙකුගේ ප‍්‍රශ්න කිරීමකට ලක් වූ බව මැතිවණ ප‍්‍රචාරණ ව්‍යාපාරයේ දී දැක ගත හැකි විය. ‘‘එයා මොනවා ද රටට කළේ’’ යනුවෙන් ඇතැම් පිරිසක් ප‍්‍රශ්න කළහ. යෝධ සංවර්ධන ව්‍යාපාර දියත් කරන්නට උනන්දු නොවූ හෙතෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කර හොඳ සංස්කෘතික හා සමාජයීය වටපිටාවක් රට තුළ ඇති කරන්නට යුහුසුළු විය. ඔහු බලයට පත් කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන සමාජයේ වෙනම පාර්ශවයකි. ඔවුන්ට වෙනම අපේක්ෂා තිබුණි. සමාජ ව්‍යුහය පිරිසිදු කිරීමට පියවර ගැනීම වෑයම විය. නමුත් බලයට පත් වූ ජනාධිපතිවරයාට තමන්ගේ කදවුරට එපිටින් ඇති වෙනත් මතධාරීන්ට සවන් දෙන්නට ද සිදුවිය. හමුදා පාලනයේ හස්තය තුනී කරන වෑයම තිබිය දී ඉන්දුනීසියානු හමුදා සාමාජිකයන් ඉල්ලා සිටි ඉල්ලීම් වලට සවන් දෙන්නට සිදුවිය. තවත් පාර්ශව තවත් අදහස් ඇතුල් කළේය. තමන් බලයට පත් කරන ලද කදවුරේ අරමුණු එසේ තිබියදී මැද මාවත තෝරා ගන්නට විඩෝඩෝ ජනාධිපතිවරයාට සිදුවිය. එය ඔහු බලයට පත් කරන ලද කණ්ඩායමේ අභිලාශය නොවීය. ජනාධිපති ධුරයේ වැඩ කරගෙන යන අතරවාරයේ ඔහු අනුගමනය කරන්නට උත්සාහ කළ ප‍්‍රතිපත්ති වල අවසානය වූයේ අත්පත් කරගත් ජනප‍්‍රියතාව ගිලිහීමය.

තැබූ විශ්වාසය තහවුරු කරන වැඩ පිලිවෙලක් අනුගමනය කිරීමට අතිශය ජනතාකැමැත්තෙන් බලයට පත් වූ නායකයෝ අසමත්වූයේ මන්ද යන්න ලෝක දේශපාලන නායකයන්ගේ ගමන් මග සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවේ දී ප‍්‍රබල මාතෘකාවක් වී තිබේ. විඩෝඩෝ මුල් කාලයේ හදුන්වන්නේ ඉන්දුනීසියාවේ ඔබාමා වශයෙනි. එපමණ ජනකාන්තභාවයක් දිනාගෙන සිටියේය. හුදෙක් ලාබ ජනප‍්‍රියත්වයක් නොවේ. ජනතාවගේ ගෞරවය දිනාගත් නායකයෙකු වශයෙන් ඉහළ අභිමානයක් සහිත තත්ත්වයකි. වසර පහකට කලින් සිට ඉන්දුනීසියානුවන්ට තිබුණ ‘‘අලූත් බලාපොරොත්තුව’’ මිලාන වී ගොස් ඇති බව විදේශ මාධ්‍ය අනාවරණය කරයි.

එවැනි ප‍්‍රකාශයක් කළේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අතරවාරයේ ලක්ෂ දෙකකට අධික ජනකායක් ජකර්තා නගරයට එක් රැස් වී උද්ඝෝෂණය කිරීම සමගය. Up, up Prabowo-Sandi, down, down Jokowi," යනුවෙන් ජාකෝ විඩෝඩෝ - ඔහු හදුන්වන කෙටි නම ජොකොවි ගේ පිරිහීම අපේක්ෂාවෙන් උද්ඝෝෂකයෝ සටන් පාඨ කියා කෑ ගැසූහ. විඩෝඩෝ ගේ කාලය තුළ ආර්ථික සංවර්ධනය එපමණ නොවීය. සමස්ථයක් වශයෙන් තිබුණ පත්ත්වය අභිබවා යන්නට අසමත් වූ බව අනාවරණය වෙයි. නමුත් ජනතාවබලා සිටියේ වේගවත් සංවර්ධනයක් සමග දරිද්‍රතාවය අවම කරන වැඩ පිලිවෙලකි. යටිතල පහසුකම් දියුණු කරන අතර දූෂණ අවම කරන වට පිටාවකි. ඉන්දිනීසියාවේ රාජ්‍ය ආයතන යහපත් පාලනයකට නතු කරනු ඇතැයි බලාසිටියේය. අපේක්ෂා කළ දේ ඉශ්ඨ කලාද? විඩෝඩෝ ගේ ප‍්‍රතිවාදී අපේක්ෂක හමුදා පසුබිමක් සහිත සන්දියාගා ඌනෝ ආවේගයෙන් ප‍්‍රශ්න කරයි. ජනාධිපති අපේක්ෂක සන්දියානා කියන දේ ඇත්ත බව හිතන එරට පොදු ජනතාවට කියන්නට දෙයක් නැති වී තිබේ. ජනතාව මෝඩයන් සේ සලකා ක‍්‍රියා කළ වෙනසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිවරයා පරාජය කර රට වැසියන් ආරක්ෂා කරන්නට දෙවියන් තමන්ට අවස්ථාවක් දී ඇති බව ද ඔහු ආධාරකරුවන් හමුවේ කියන්නට පටන් ගෙන තිබුණි. ජනතාවාදී කඳවුරෙන් ලිබරල් අදහස් ඇතිව බලයට පත් වූ විඩෝඩෝ ගේ දෙවන වර ජනාධිපති ධුර මැතිවරණ ව්‍යාපාරයට එය බලවත් ප‍්‍රහාරයක් වී තිබේ.

ප‍්‍රතිපත්තිමය වශයෙන් කරන ලද වෙනස ගැන තක්සේරු කරන්නට සූදානමක් නැති ජනතාව ‘‘රටට මොනවාද කළේ’’ යන ප‍්‍රශ්නය නගයි. ඇමරිකානු ජනාධිපති වශයෙන් බැරක් ඔබාමා ගෙන් අපේක්ෂා කළ වෙනස්කම් සිදු නොවුන බව හිතන ජන කොටසක් සිටින අතර ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය ප‍්‍රචාරක ව්‍යාපාරයේ දී කලූ ජාතික නායකයා තම කලූ මිනිසුන් වෙනුවෙන් කරපු දේ කුමක්දැයි ප‍්‍රශ්ණ කරන ප‍්‍රවේශයක සිටියේය. දර්ශනයක් සහිතව, සංස්කෘතික වෙනසක් ඇති කරන ගමන ජනතාවට දැනෙන්නේ නැත.

ඕනෑම රටක දකින්නට ලැබෙන ස්වභාවය එයයි. අති විශාල බලාපොරොත්තු ඇතිව ජන නායකයෝ ඔසවා තබන ජනතාව තම නායකයා සර්ව සම්පූර්ණයෙන්ම සිය සිතැඟි සාක්ෂාත් කරනු ඇතැයි බලවත් අපේක්ෂාවක සිටී. බලයට පත්වන නායකයන්ට ඇති ප‍්‍රශ්නය මැද මාවත හදුනාගෙන රට ඉදිරියට ගෙන යන කාර්ය භාරයයි. ප‍්‍රශ්න පැන නැගෙන්නේ මෙකී අවස්ථාවේ දීය. තමන් ගේ ප‍්‍රයත්නය පාවා දුන් බව ජනතාව කල්පනා කරන අතර තම අභිලාශ ඉටු කරනු වෙනුවට සතුරු කඳවුරට කිට්ටු වී ඇති බව හිතන්නට පටන් ගනී. එය විශාල අභියෝගයකි. ඉන්දුනීසියානු ජනාධිපතිවරණයේ දී අත්විඳීන ලද තත්ත්වය නූතන ව්‍යුහය තුළ පොදු ධර්මතාවයක් වී ඇත. ලිබරල් අදහස් ඇති පිරිසකගේ තල්ලූවෙන් ඉහලට පැමිණ එම ලිබරල් අදහස් සම්පූර්ණයෙන්ම අනුගමනය කරන්නට අසමත්වන නායකයෝ විශාල අර්බුදයකට පත් වෙති. දෙපැත්තෙන්ම සහායක් නැති පසුබිමක හුදෙකලා වෙති. එය සෑහෙන ප‍්‍රශ්නයක් බව ජන නායකයෝ තේරුම් ගත යුතුව තිබේ. බලයට පත් කරන ලද ජනතාවගේ පැත්ත අමතක කරන්නේ නැති එහෙත් සමස්ථ ජනතාවගේ නායකයා සේ පෙනී සිටින්නට හැකියාව ලබා ගැනීම දැවැන්ත අභියෝගයකි.