» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/01/2018 - ඉරිදා ලංකාදීප
බි‍්‍රතාන්‍ය අගමැතිනියගේ කැබිනට් සංශෝධනය

බි‍්‍රතාන්‍ය අගමැතිනිය සියුම් අභියෝග ගණනාවකට එකවර මුහුණ පා සිටින්නීය. යුරෝපා සංගමයෙන් ඉවත්වෙනවා ද නැද්ද යන අදහස ගැන ජනමත විචාරණයක් පැවැත්වීමෙන් පසු තමන්ගේ ස්ථාවරය පරාජය වූ බව තේරුම්ගත් හිටපු අගමැති ඬේවිඞ් කැමරන් ධුරයෙන් ඉල්ලා අස් වූ අතර නව අගමැතිනිය වශයෙන් පත් වූයේ තෙරේසා මේ මහත්මියයි. පසුගිය දෙසැම්බර් මාසයේ දී යුරෝපා සංගමයෙන් ඉවත්වීම වෙනුවෙන් සකස් කරන ලද පණත් කෙටුම් පතක් සම්මත කරගත නොහැකි විය. එයට කලින් කොන්සර්වටිව් පක්ෂ සම්මේලනයේ දී කරන ලද කතාව ද බලවත් විවේචනයට ලක් විය. එය එසේ තිබිය දී සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කරන ලද අතර එය අගමැතිනිය වෙත තවත් බරපතල අභියෝගයක් වී තිබේ.

‘‘ද ගාඩියන්’’ පුවත්පත තෙරේසා මේ අගමැතිනිය නැගී එන තාරකා ඉදිරියට ගනිමින් සිටින අතර එය කරන්නේ පවතින කැබිනට් මණ්ඩලය කැලැත්තීමෙන් බව වාර්තා කර තිබේ. වඩා පළපුරුදු කැබිනට් සාමාජිකයන් පැත්තකට කර ඇති බව එම වාර්තාවට ඇතුලත් කර තිබූ ප‍්‍රධාන තොරතුරකි.

බි‍්‍රතාන්‍යයේ අනාගතය භාර ගැනීමට හැකි ජවය ඇති අලූත් තරුණ පරම්පරාවක් කැබිනට් මණ්ඩලයේ සංශෝධනයේ දී ඉදිරියට ගෙන ඇති අතර එය හොඳ අදහසක් බව මැදහත් විචාරකයන්ගේ මතයයි. නමුත් එම තනතුරු වල සිටි ඇතැම් ඇමැතිවරු තනතුරු වලින් ඉවත් කිරීම ගැන කැමැත්තක් නැත. තදබල විරෝධය පළ කර තිබේ. අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අවස්ථානෝචිත පරිදි කැබිනට් මණ්ඩලය සංශෝධනය කළ යුතු අතර එය තද තීරණගැනීමක් බව තෙරේසා මේ අගමැතිනිය පෙන්වා දී තිබේ. සංශෝධනයේ දී තමන්ගේ හිතවතුන්ට කැබිනට් තනතුරු ලබාදීම වැදගත් නොවන බව අගමැතිනියගේ තීරණ ගැනීමේ විලාශය පෙන්වයි. තමන්ට අතිශය ලැදි අයට වරප‍්‍රසාද ලබා දී පැවැත්ම ආරක්ෂා කරගත හැකි නමුත් එයින් බි‍්‍රතාන්‍යයේ අනාගතයට පලක් නැති බව වත්මන් අගමැතිවරිය කල්පනා කර තිබේ.

සංශෝධනයේ දී තනතුර අහිමි වූ ජෙරමි හන්ට් එතෙක් උසුලන ලද සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වී යාම ප‍්‍රතික්ෂේප කර තිබේ. බි‍්‍රතාන්‍ය අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා හොදුන්වන්නේ ලේකම්වරයා වශයෙනි. අධ්‍යාපන ලේකම් ධුරයෙහි කටයුතු කරන ලද ජස්ටින් ග‍්‍රීනින්ග් කාර්ය සහ විශ‍්‍රාම දෙපාර්තමේන්තු වල වගකීම උසුලන ලේකම් තනතුර භාරගැනීමට කැමැති නැති බව ප‍්‍රකාශ කර ඇත. කොතරම් විරෝධතා මැද නමුත් සංශෝධනය ආපසු හරවන්නට අගමැතිනිය එකඟ නැති බව පැහැදිලිව පෙනෙන කාරණයකි. ආණ්ඩුව ඉදිරියට ගෙනයාම උදෙසා ශක්තිමක් කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට රාජ්‍ය නායකයාට හැකි විය යුතුය. අවශ්‍ය අවස්ථාවක දී කැබිනට් මණ්ඩලය වෙනස් කරන අවස්ථාවක එය කළ යුතු සිය සගයන් තෝරා බේරා ගෙන නොවන බව තෙරේසා මේ මහත්මය සිය වෙනස්කම් කිරීමේ දී පෙන්වා දී ඇත. අවශ්‍ය අවස්ථාවක තද තීරණ ගැනීමට තරම් ප‍්‍රබල නායකත්ව ගුණාංග පෙන්නුම් කළ යුතු බව මෙහි දී අඟවන කාරණයකි.

නැගී එන ජව සම්පන්න තරුණන් අලූත් කැබිනට් මණ්ඩලයේ ඉදිරි ආසන වලට තෝරා ගැනීම ගැන ‘‘ද ගාඩියන්’’ පුවත් පත විශේෂයෙන් හුවා දක්වා තිබුණි. ඩොමිනික් රාබ්, ආලෝක් ෂර්මා, ජෝ ජොන්සන්, කැරොලින් ඩයිනේජ් සහ සෑම් ගයිමා ඒ අතර වෙයි. තනතුරු අහිමි වූ හිටපු වෙළඳ ලේකම් ගයිනර් ඔහුගේ ට්විටර් ගොනුවේ ‘‘කණගාටුයි’’ යනුවෙන් වචනයකින් අදහස් දක්වා තිබුණි. රොබට් ගුඞ්විල් ළමා හා පවුල් සම්බන්ධ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම් ධුරයෙන් ඉවත් කරන විට කියා තිබුණේ ‘‘තරුණ පැලැන්තියට පාර කපන’’ තීරණයක් යනුවෙනි. ප‍්‍රවාහන ලේකම් සහ සෞඛ්‍ය ලේකම් වරුන් ද ඉහළ තනතුරු වලින් පහලට පත් කර තිබේ. එම ලේකම්වරු කැබිනට් සංශෝධනය ගැන එපමණ කැමැත්තක් දක්වා නැත.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විෂය භාර ලේකම්වරු වශයෙන් හසල අත්දැකීම් සහිතව ජ්‍යෙශ්ඨ තනතුරු හොබවමින් සිටි අය පසු පෙල තනතුරු වලට පත් කිරීම ගැන විචේචන ඇතත් අගමැතිනිය ඒ ගැන අවධානය යොමු කර නැත. කොපමණ විවේචන මැද නමුත් තීරණය වෙනස් කරන්නට අගමැතිනිය අදහස් නොකිරීම කැපී පෙනෙන කාරණයකි. කැබිනට් සංශෝධනය යනු සංශෝධනයක්ම හැර අනෙකක් නොවන බව බි‍්‍රතාන්‍ය සමාජයට පෙන්වා දී තිබේ. එහෙයින් ජාත්‍යන්තර මාධ්‍ය අවධානයට ලක්ව ඇත.

ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප‍්‍රදායෙන් ආදර්ශ ගන්නා රටකි. පසුගිය කාලය තුළ මෙරට සිදු වූ කැබිනට් සංශෝධන මොනවා ද යන්න ජනතාවට මතක තිබේ. ඒවා සිදුවූ ආකාරය ගැන ප‍්‍රමාණවත් අවබෝධයක් ඇත. පුද්ගල දක්ෂතාවය හෝ රාජකාරි කරන්නටඇති හැකියාව කැබිනට් ඇමැති ධුරයකට එතරම් වැදගත් දෙයක් නොවේ. පක්ෂයේ අලූතින් පත්වන තරුණ පෙල ක‍්‍රියාකාරී හැකියාව ඇති දක්ෂ මහජන මන්තී‍්‍රවරු නමුත් ඒ අය වෙනුවෙන් දොරටු විවෘත වෙන්නේ පක්ෂයේ පැරණි වයෝවෘද්ධ පිරිස පත් කිරීමෙන් පසුවය. පක්ෂය රැකබලා ගත යුතු යැයි සිතන අය ජ්‍යෙෂ්ඨ තනතුරු වලට පත් කරන්නට මෙරට නායකයෝ සමත්ය.

ඇමැති තනතුරු වලට පත් කරන විට පත්වීම ලැබූ ඇමැති එයට අකමැති නම් නැවත වෙනස් කරන්නට ද මෙරට ආණ්ඩු ක‍්‍රියා කිරීම පුදුමයට කරුණකි. පාර්ලිමේන්තුව පමණක් නොව පලාත් සභා වල ද ඇමැතිකම් ලැබෙන්නේ පක්ෂපාතී අයටය. නායකයාට ලැදි විශ්වාසවන්ත අය හට ඉදිරි පෙල තනතුරු ලැබේ. ඇමැති තනතුරකට පත් වූ පසු කොපමණ අසාර්ථක නමුත් තීරණයයක් ගැනෙන්නේ නැත. කිසියම් අවස්ථාවක තද තීරණයක් ගැනීම පක්ෂයක නායකයා අසීරු තැනකට පත් කිරීමකි. තමන් පත් කරන මහජන මන්තී‍්‍රවරයා කැපී පෙනෙන කැබිනට් ඇමැති ධුරටයකට පත් වනු ඇතැයි මහජනතාව පවා බලාපොරොත්තුවෙන් සිටී. මන්තී‍්‍රවරු සියළු දෙනාගේම මන දොළ පිනවිය යුතු හෙයින් නායකයෝ කරන්නේ එක අමාත්‍යංශය කොටස් දෙක තුනකට වෙන් කර ඇමැතිවරු පත් කිරීමය. එයින් අමාත්‍ය මණ්ඩලය විශාල වෙයි. ඇමැතිවරුන්ට අමාත්‍යංශ විෂය අනුව කරන්නට රාජකාරි නැත. මෙරට ඇතැම් අමාත්‍යංශ කරන්නේ ඇමැතිවරු නඩත්තු කිරීම පමණකි. එය කොපමණ දුෂ්කර තත්ත්වයක්දැයි තේරුම් ගැනීම සුදුසුය.

ස්වකීය කණ්ඩායමේ දක්ෂතා සහිත පුද්ගලයන් හදුනා ගැනීමට දේශපාලන පක්ෂ නායකයෙකුට හැකිවිය යුතුය. ආණ්ඩුවක් පිහිටුවන්නට කලින් නාමමාත‍්‍රික දර්ශනයක් ඇතිව විෂය පැවරීම අවශ්‍යය. වගකීම් පැවරීමෙන් අනාගතය වෙනුවෙන් තරුණ නායකයන් පෝෂණය වෙයි. එය රටට හොඳ අවස්ථාවකි.

කැබිනට් සංශෝධනයක් ගැන අදහසක් එන විට බි‍්‍රතාන්‍යයේ මෙන් පුද්ගල විරෝධතා එල්ලවීම මෙරට දැකිය හැකි සාමාන්‍ය සිද්ධියකි. විරෝධතා එල්ල වන විට සංශෝධන පැත්තකින් තබා මැති ඇමැතිවරු සතුටු කරන්නට පියවර ගැනීම නුසුදුසු කරුණකි. රටක පැවැත්ම වෙනුවෙන් අලූත් ශක්තිමත් නායකයන් ඉදිරියට පැමිණිය යුතුය. පැරණි සහ අත්දැකීම් ඇති අය අලූත් ජවාධික පිරිස වෙනුවෙන් ඉදිරිපෙල පිරිනමන්නට තරම් හෘදයාංගම වීම අවශ්‍යය. තමන්ගේ පැවැත්ම, තනතුර හා එයින් බැබලෙන පුද්ගලයෙකු වෙනුවට මෙරට එක් එක් ක්ෂේත‍්‍රයන්හි පුනරුදය වෙනුවෙන් අවධානය යොමු කරන්නට අවශ්‍යය. දේශපාලන නායකයන් තීරණ ගැනීමේ දී තද ස්ථාවරයක සිටීම වැදගත් වන අතර එම තීරණගැනීමට පහසුවන අන්දමට කණ්ඩායමක් වශයෙන් ක‍්‍රියා කිරීම පක්ෂයක සියළු දෙනාගේම වගකීමකි.