ජනමාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ පොදු ජනතාව වෙනුවෙනි. ජනතාව දැනගත යුතු දේ අනාවරණය කිරීම සඳහා මාධ්‍ය ආයතන ගෙන යන අරගලය විශේෂිත එකකි. එය නොයෙක් පැති වලින් අභියෝගයට ලක් වී තිබේ. තොරතුරු දැනගැනීම මානව අයිතිවාසිකමක් බවට පත් වීම එහි ප‍්‍රතිඵලයකි. තොරතුරු දැනගැනීම සමස්ථ ලෝකය පුරා අවධානයට පත් ආකෘතියකි. ජන සමාජය තුළ තොරතුර වැදගත් කාරණයක් වෙන්නේ ඇයි? තොරතුරු ඉදිරිපත් කිරීමට ලැබෙන අවකාශය හා සමානව තොරතුරු වාරණය ද බලගැන්වෙන හෙයින්ය. ජනතාව තොරතුරු ඉල්ලන අවස්ථාවේ දී පාලකයෝ තොරතුරු පාලනය කරති. තමන්ට වාසිදායක ප‍්‍රවෘත්ති පමණක් පළ කරනු සඳහා මාධ්‍ය අවනත කරගැනීමට මාන බලති. මාධ්‍ය හීලෑ කරගැනීමට නොහැකිවන විට බලය යොදවන පාලකයෝ මාධ්‍ය හා ගැටුම් ඇති කරගන්නා අවස්ථා තිබේ.
මාධ්‍ය මගින් කරන වාර්තාකරණය රටකට හෝ පුද්ගලයෙකුට කරන බලපෑම විශාල එකකි. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සැසි වාර වාර්තා කරන්නට මාධ්‍යයට අවසර දෙන අවස්ථාවේ, එනම් 1787 දී ශ‍්‍රීමත් එඞ්මන්ඞ් බර්ක් පුවත් පත යනු හතරවැනි රාජ්‍ය බව කියා සිටියේය. එය මාධ්‍යයෙහි වැදගත්කම පෙන්වන අවස්ථාවක් වශයෙන් ඉතිහාසයේ සටහන්ව තිබේ. සමාජයට අසාධාරණයක් නොවෙන්නට වගකීම් සහගත වාර්තාකරණයක් සහිත මාධ්‍ය ක‍්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කෙරේ. අදටත් එය එසේමය. නමුත් මෙම සීමාව ඉරක් ඇඳ බෙදා වෙන්කළ නොහැකිය. තොරතුරු පළ කරන ජනමාධ්‍ය සමග පාලකයන් ගේ ගැටුමට මුල එයයි.
මාධ්‍යයට බාධා කිරීම ගැන අලූත් සංවාදයක් මතු වන්නේ ඇයි? නොබෝදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අන්දමට තමන් ගැන සෘණාත්මක දේ වාර්තා කරන මාධ්‍ය වාරණය කළ යුතු බව ඇඟවෙන ටිවිටර් පණිවුඩයක් ඇමරිකානු ජනාධිපතිවරයා නිකුත් කර තිබුණි. ‘‘මාධ්‍ය දුෂිත නම් අප ඔවුන් සමග මහන්සි වී වැඩ කළ යුතු ඇයි?’’ හෙතෙම වැඩි දුරටත් එහි දක්වා ඇත. කෙසේ නමුත් ධවල මන්දිරය පසුව මෙම ට්විටර් පණිවුඩය ගැන කරුණු පැහැදිලි කිරීමක් කළේය. එයට අනුව මෙම පණිවුඩය කෙසේවත් ‘‘අසාධාරණ විවේචන කරන මාධ්‍ය වාරණය කරන උත්සාහයක් නොවන’’ බව නිවේදනය කර ඇත. ‘‘ජනාධිපතිවරයා සෑම අවස්ථාවකම මාධ්‍ය සමග සම්බන්ධ වී ක‍්‍රියා කරන්නට සූදානම් නමුත් සමහර මාධ්‍ය සීමාව ඉක්මවා යන බව’’ ධවල මන්දිර ප‍්‍රකාශකයෝ කරුණු පැහැදිලි කරන අන්දම අනුව ඇඟවෙයි.
මෙම සිද්ධිය ට‍්‍රම්ප් පාලනයෙන් වාර්තා වූ පළමු අවස්ථාව නොවේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට පත් වූ වහා ධවල මන්දිරය ආවරණය කරන මාධ්‍යවේදීහු තම දෛනික කටයුතු වලින් ඈත් කරන්නට පියවර ගත්තේය. ඇමරිකාවේ ජනාධිපතිවරයා හැසිරෙන ආකාරය මාධ්‍යයට විවෘතය. ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක ලක්ෂණයකි. ජනාධිපතිවරයාගේ රාජකාරි ජීවිතයේ සෑම සිද්ධියක්ම වාර්තා නොකළ ද සියළු මාධ්‍ය ආයතන වාර්තාකරුවෙකු නිල වශයෙන් ධවල මන්දිරයේ නතර කර ඇත. ජනාධිපතිවරයා යන එන, කරන කියන සෑම දෙයක්ම ජනතාව වෙනුවෙන් බලා සිටීම එම වාර්තාකරුවන්ගේ වගකීමයි. දේශපාලනයට එපිටින් පැමිණි ට‍්‍රම්ප් මෙම සම්ප‍්‍රදායට කැමැතිවූයේ නැත. මුල් කාලයේ ඔහු මාධ්‍ය මග හැරියේය. එයට විශාල විවේචන මතු වූ නමුත් හෙතෙම සිය පිලිවෙත වෙනස් කළේ නැත.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාට අදාල සිද්ධි පමණක් නොව ඕනෑම ප‍්‍රවෘත්තියක, නිවැරදි වාර්තාකරණය කුමක්ද? යන්න ගැන ප‍්‍රශ්න තිබේ. වාර්තාකරණයේ දී අනුගමනය කරන සැබෑ ආකාරය ගැන නොයෙක් නිර්වචන ඇත. සම්පූර්ණ සිද්ධිය අනාවරණය කළ යුතු බව වර්තමානයේ මාධ්‍ය භාවිතාව සම්බන්ධව විචාරශීලීව සලකන විට පෙනෙන කාරණයයි. ජනතාව දැන ගැනීමට අපේක්ෂා කරන දේ තීරණය කරන බලය මාධ්‍යයට ඇත. මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය මෙකී අරමුණ කෙරෙහි සැලකිල්ල දක්වයි. එසේ නමුත් මාධ්‍ය ආයතන අතර විශාල තරගයක් තිබේ. නොයෙක් අභ්‍යන්තර හා බාහිර බලපෑම් වලට ලක් වෙති. එකී පැති ගැන විමසා බලන්නට අවශ්‍යය.
ජනතාව වෙනුවෙන් කරන වාර්තාකරණයේ දී ඇතැම් අවස්ථාවල පාලකයා අතෘප්තියට පත්වෙයි. තොරතුර වාර්තා කරන වේගය, එයට එකතු කරන දත්ත සහ ඉදිරිපත් කරන ආකර්ශණීය විලාසය ගැන විවේචන තිබේ. පාලකයන් අසතුටට පත්වන තොරතුරු ඉදිරිපත් කරන මාධ්‍ය හා මාධ්‍යවේදීන්ට නොයෙක් ආකාරයේ බලපෑම් වලට ලක්වන්නට සිදුවෙයි. එය නිදහස් මාධ්‍ය පැවැත්ම අභියෝගයට ලක්කරන අවස්ථා වශයෙන් සැලකේ. පාලකයන්ගේ විරෝධය නොසලකා ජනතාවගේ පැත්තෙන් තොරතුරු වාර්තාකරණය ලෝකයේ ඉහළම ඇගයීමට ලක්වන අතර ජනතාවගේ ප‍්‍රසාදය දිනාගන්නා මාධ්‍ය ආයතන හෝ මාධ්‍යවේදීහු පාලකයන් ගේ තර්ජනයට ගොදුරුවීම සාමාන්‍යයෙන් සිදුවෙයි.
තමන් ගැන අසත්‍ය වාර්තා කරන හා ඒවා ව්‍යාජ තොරතුරු බව සඳහන් කරමින් ඇමරිකා ජනාධිපති හැසිරෙන අන්දම ජාත්‍යන්තරයේ සියුම් අවධානයට ලක්ව තිබේ. පුවත් පතක, ගුවන් විදුලියක, රූපවාහිනියක හෝ නූතන දියුණු සමාජ මාධ්‍ය ජාලයක වාර්තා කරන සිදුවීම් වලින් පාලකයන් විවේචනය කරන විට ඒවා පාලනය කළ යුතුද? යන ප‍්‍රශ්නය තියුණු විවාදයකට ලක් වී තිබේ. පාලකයන්ගේ හොඳ පමණක් වාර්තා කිරීම රාජ්‍ය හෝ පුද්ගලික මාධ්‍ය වල වගකීම වශයෙන් සැලකිය හැකිද? තමන්ට ගැලපෙන්නේ නැති වාර්තා ඉදිරිපත් කරන විට තර්ජනය, වාරණය හෝ වාර්තාකරුවන්ට බලපෑම් කිරීම යුක්ති සහගතද?
පාලකයෝ තමන් හට නොගැලපෙන තොරතුරු වාර්තාකරන මාධ්‍ය වලට දැන්වීම් ලබාදීමේ දී බාධා කරන අතර ඒවායේ බෙදාහැරීමේ ජාලා අවහිර කරන අවස්ථා තිබේ. සංඥා අවහිර කරති. බලපත‍්‍ර පාලනය ආණ්ඩුව යටතට ගනී. අවශ්‍යනම් මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් ඉවත් කරන්නට පියවර ගනී. ලෝකයේ කොතැනක වේවා මාධ්‍ය හා පාලකයන් අතර අරගලය නොවෙනස්ය. එය නොනවතින ගැටළුවකි. ලෝකයේ කොතැනක ද එය එසේමය.
ශ‍්‍රී ලංකාවේ ද ඉතිහාසයේ සිට සෑම ආණ්ඩුවක්ම මාධ්‍ය තමන්ට ගැලපෙන පරිදි පාලනය කරන්නට උත්සාහ කර තිබේ. ගැටුම් පැවැති කාලයේ පමණක් නොව ගැටුම් අවසන් කර සාමකාමී යුගයේ දී ද ජනතාව දැනගත යුතු දේ සීමා කරන්නට පාලකයන් තීරණය කරන අවස්ථා වාර්තා වෙයි. මාධ්‍යයේ සහායෙන් බලයට පත්වන ආණ්ඩු පළමුවෙන් ගැටුම අරඹන්නේ ද ජන මාධ්‍ය සමග බව සඳහන් කරන්නට අවශ්‍යය. පාලක පක්ෂය තමන් අනාවරණය වන විට එයට එරෙහිවන අතර ජනතාව දැනගත යුතු නැති කොටස් හෙළිදරව් කිරීම ගැන මාධ්‍ය සමග උරණ වෙති.
මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ සමාජ, දේශපාලන සහ ව්‍යාපාරික අරමුණු ඇතිවය. අතට ලැබෙන ප‍්‍රවෘත්තිය එකවරම සමාජගත කිරීමෙන් මාධ්‍ය ආයතනයේ අරමුණු වලට බලපෑමක් වන බව කර්තෘවරු දනී. වැරදි තොරතුරකින් ඇති කරන පීඩනය කිසියම් අපහසුතා ඇති කරන්නට ඉඩ ඇති බව අවබෝධ කරගෙන මාධ්‍ය මෙහෙවර ඉටු කරති. කිසියම් ප‍්‍රවෘත්තියක අහිතකර ප‍්‍රතිඵලය අනුව දැන්වීම් ලැබෙන ආදායම් මාර්ග අවහිර වෙන්නට ඉඩ තිබේ. රාජ්‍ය පාලනයෙන් පවතින දැන්වීම් කරුවන් පමණක් නොව පුද්ගලික අංශයේ දැන්වීම්වල ද සහාය රහිතව මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නට හැකියාවක් නැත. පුවත් පතක් කුඩා මුදලකට ලැබෙන්නේත් රූපවාහිනිය සහ ගුවන් විදුලිය වැනි අතිශය වියදම් සහිත මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ ද දැන්වීම් අනුග‍්‍රහයෙන්ය. ප‍්‍රවෘත්තියක් නොඑසේනම් ඉතා වැදගත් කාරණයක් සන්නිවේදනය කරන්නට කරනු ලබන බලපෑම ලෝකයේ කොතැනත් එක ආකාරයක් ගෙන තිබේ. දේශපාලන හා නිලධාරී වශයෙන් එල්ල කරන අනවශ්‍ය චෝදනා, තර්ජන, ආදායම් මාර්ග ඇවිරීම වැනි අංශ නිදහස් මාධ්‍ය වලට එල්ල කරන වාරණ අතරින් කිහිපයකි. මෙම පැති වලින් මාධ්‍ය වල පැවැත්මට එහි පෝෂණයට ලැබෙන පිටිවහල කුමක්ද? මෙම පැති අත්හැරිමෙන් මාධ්‍යයට පැවැතිය හැකිද? තොරතුර සපයන්නා පමණක් නොව තොරතුරු කියවන්නා ද මෙම පැති අවබෝධ කරගැනීම වැදගත්ය. නූතන මාධ්‍ය ව්‍යුහය තේරුම් ගත හැක්කේ ඒ අනුවය. තොරතුර ලැබෙන මාධ්‍යය ආවරණය කළ නොහැකි තාක්ෂණික යුගයකට ලෝකය අවතීර්ණ වී තිබේ. සමාජ මාධ්‍ය ජාලා ඉදිරිපත් කරන තොරතුරු වාරණය කිරීම අපහසු තැනට පත්ව ඇත. සෑම පුද්ගලයෙකුම වාර්තාකරුවෙකු වී තිබේ. මාධ්‍ය පාලනය කරන ප‍්‍රයත්නය පහසු නැති බව එයින් තේරුම් ගත හැකිය.
|