» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/11/2017 - ඉරිදා ලංකාදීප
යහපත් සන්නිවේදනයකට රජයේ හා පුද්ගලික අංශයේ සහාය

සන්නිවේදන අරමුණු යහපත් කරනු උදෙසා සෑහන කාලයක් ක‍්‍රියාත්මක වූ ඇමරිකානු රජයේ ආධාර වැඩ පිලිවෙල නැවත සමාලෝචනය කළ යුතු බව එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නොබෝදා ප‍්‍රකාශ කළේය. මහජන විකාශනය හා මහජන රේඩියෝ විකාශය සඳහා සකස් කරන වැඩ සටහන් වල දී යහපත් මාධ්‍ය සංස්කෘතියක් අභිලාශයෙන් කෙලින්ම ඇමරිකානු ආණ්ඩුවෙන් මූල්‍ය ආධාර කෙරේ. වානිජ මට්ටමින් සකස් කර විකාශය කරන්නට අනුග‍්‍රහය නොලැබෙන නමුත් ජනතාව වෙත සන්නිවේදනය කළ යුතු ඉහළ වටිනාකමක් ඇති ගුවන් විදුලිය හා රූපවාහිනී වැඩසටහන් සකස් කරන්නට ඇමරිකානු ආණ්ඩුවෙන් ලැබෙන මූල්‍ය ආධාර උපයෝගී කර ගැනේ. 2018 ඇමරිකානු අයවැය ඉදිරිපත් කරන වකවානුව වන විට මෙතෙක් මහජන විකාශය හා මහජන රේඩියෝ වැඩසටහන් වෙනුවෙන් ලැබුණ ප‍්‍රතිපාදන නතර කරන්නට ඉඩ ඇතැයි සැලකේ. එය එරට මාධ්‍ය තුළ ආන්දෝලනයන් ඇති කරන්නට සමත්ව තිබේ.

වොෂින්ටන් පොස්ට් පුවත් පත ඇමරිකානු ආණ්ඩුවේ මෙම ප‍්‍රතිපාදන සම්පූර්ණ අයවැය වියදම් වලින් දශම ගණනක් බව පෙන්වා දෙන අතර ඒවායෙන් ගුවන් විදුලිය වෙනුවෙන් වෙන්කරන මුදල ගණන් බැලූවහොත් රේඩියෝ ආදායමෙන් සියයට එකක් වන අතර රූපවාහිනී ආයතන වල ආදායමෙන් සියයට හතකට අඩු ප‍්‍රමාණයක් බව දැක්වෙයි. මෙයින් අසාධාරණයකට ලක් වෙන්නේ ට‍්‍රම්ප් ජනාධිපති කරන්නට ඡන්දය දුන් පිරිස බව ජනාධිපතිවරයාගේ අදහස දැඩි විවේචනයකට ලක් කරන ඇමරිකානු මාධ්‍ය පෙන්වා දෙයි. රජයේ ආධාර යොමු වෙන්නේ නගරයෙන් එපිට ප‍්‍රදේශවල සන්නිවේදන වැඩසටහන් වලට වන අතර වානිජ පදනමකින් නොසලකා ඒවා විකාශය කරන්නට ගුවන් විදුලිය හා රූපවාහිනි ආයතන ක‍්‍රියා කරන්නේ මෙම ඇමරිකානු ආණ්ඩුවෙන් ලැබෙන මුදල් වලින් බව දක්වා තිබේ.

මාධ්‍ය ක්ෂේත‍්‍රයේ විද්වතුන් දක්වන අදහස් අනුව ජනතාව වෙත සන්නිවේදනය කරන යහපත් මාධ්‍ය වැඩසටහන් වලට මෙයින් බලපෑමක් වනු ඇත. ජනතාවට දැනුම හා අවබෝධය සම්පාදනය කරන වැඩ සටහන් වලට අනුග‍්‍රාහක උනන්දුව අඩු අතර සේවා දායකයන් උත්සාහ කරන්නේ වැඩි ආකර්ශනයක් සහිත සරල වැඩසටහන් වලටය. ළමා අධ්‍යාපනය, මහජන ආරක්ෂාව, ඉතිහාසය සම්බන්ධව ජනතාව දැනුවත්කරන වැඩසටහන් සහ සිවිල් අයිතීන් ගැනකරන දැනුවත් කිරීම් වෙනුවෙන් සකස් කරන රූපවාහිනී සහ ගවන් විදුලියවැඩසටහන් වලට මෙගින් ගැටළු මතුවිය හැකිය. ඒවා අසන්නන් හා නරඹන්නන්ට අවබෝධය ඇතිකරන නමුත් වානිජ ව්‍යාපාර ඒවා වෙනුවෙන් අනුග‍්‍රහය දක්වන්නේ නැති බව ඇමරිකානු මාධ්‍ය පෙන්වා දෙන කරුණකි. ජනතාව වෙත කරන සැහැල්ලූ විනෝද ජනක වැඩසටහන් අනුග‍්‍රාහකයන්ගේ ආයෝජනයෙන් සකස්වන විට එහි තිබුණ පරතරය පුරවා ඇමරිකානු ජනතාවට අවබෝධය ඇති කරන මාධ්‍ය සංස්කෘතියක් පවත්වාගෙන ගියේ එරට වාර්ෂික අය වැය මගින් වෙන්කරන මුදලින්ය. ඒවා නතර කරන විට අත්‍යවශ්‍ය ජාතික මෙහෙවරකට බාධා සිදුවන නමුත් සියළු මාධ්‍ය අංශ තමන්ට හැකි පමණින් ඒ වෙනුවෙන් විකල්ප සොයනු ඇති නමුත් සර්ව සම්පූර්ණ ආකෘතිය තව දුරටත් පවත්වාගෙන යන්නට අපොහොසත් වනු ඇති බව මෙම අදහස ගැන කරුණු දක්වන ඇමරිකානු විචාරකයෝ කියා තිබේ.

මහජන විකාශය වෙනුවෙන් කරන වියදම ඉතා විශාල එකක් නොවන බව විවිධ පැතිවලින් ගණන් හදා පෙන්වන්නට ඇමරිකනු ජනමාධ්‍ය ක‍්‍රියා කර තිබේ. එක ඇමරිකානුවෙකුට අවුරුද්දකට ඇමරිකානු ඩොලර් 1.35 කට වඩා වියදමක් නැති බව පෙන්වා දී ඇත. සම්පූර්ණ වශයෙන් මහජන විකාශන හා මහජන රේඩියෝ විකාශන වෙනුවෙන් ඇමරිකානු ආණ්ඩුව වෙන්කරන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 445 ක් බව ද පෙන්වා දෙන අතර එය අත්හිටුවන්නට යෝජනා කරන ජනාධිපති ට‍්‍රම්ප් බලයට පත් වූ වහා ෆ්ලොරිඩා ප‍්‍රාන්තයට කරන ලද නිල සංචාරය වෙනුවෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් වියදම් කර ඇති බව ද විචාරකයන් දක්වා ඇති ප‍්‍රධාන කාරණයකි.

මහජනතාවගේ බදුවලින් අය කරගන්නා බදු නැවතත් මහජනතාව වෙනුවෙන් යහපත් සන්නිවේදනයක් වෙනුවෙන් වැය කිරීම නරක නැති බව පෙන්වා දෙන ඇමරිකානු මාධ්‍ය ඒවා කපා හැරීමට එරට ජනාධිපතිවරයා අවධානය යොමු කිරීම ගැන ප‍්‍රසාදයක් නැත. නූතන මාධ්‍ය භාවිතාව අනුව ව්‍යාපාරික අංශ සම්බන්ධ නොවී වැඩසටහන් නිෂ්පාදනය කිරීම පහසු නැත. වැඩසටහන් නිපදවනු සඳහා විශාල කණ්ඩායමක් සහභාගී වන අතර ඒ අය ගේ වැටුප්, දීමනා පමණක් නොව අවශ්‍ය කරන සන්නිවේදන මෙවලම් වෙනුවෙන් ද සෑහෙන පිරිවැයක් දරන්නට සිදුවෙයි. ප‍්‍රචාරක අනුග‍්‍රහය රහිතව වැඩ සටහන් නිපදවීම පමණක් නොව ග‍්‍රාහක හා පේක්ෂක ජනතා වෙත ඉදිරිපත් කිරීම ද කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. ප‍්‍රචාරය වෙනුවෙන් ධනය යොදවන සමාගම් අඩුම වියදමකින් වැඩිම ආකර්ශනය ලබාගත හැකි සරල නිෂ්පාදන වලට පෙළඹෙන අතර ජනතාව දැනුවත් කරන හෝ මහජන සුබසාධනය සඳහා වැඩසටහන් නිපදවන්නට මුදල් වැය කරන්නට සූදානමක් නැත. ඇමරිකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම පාහේ වානිජවාදී විකාශය ක‍්‍රියා කරන අන්දම අනුව සිදුවන්නේ එයයි.

ශ‍්‍රී ලංකාවේ ද මාධ්‍ය කර්මාන්තයේ අර්බුදයකට මග පාදන තීරණයක් ගෙන ඇති බව සඳහන් කිරීම අවශ්‍යය. පැවැති ආණ්ඩුව විදේශයන්ගෙන් ආනයනය කර හඞකවා ඉදිරිපත් කරන චිත‍්‍රපට හෝ ටෙලි නාට්‍ය වලට බද්දක් පනවන ලද අතර පසුගිය සතියේ දී එම බද්ද නැවතත් වැඩි කළේය. බදු පනවන්නේ දේශීය චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය කලාව ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව බව දැක්වෙයි. වසර ගණනක් පැය භාගයක වැඩ සටහනක් සඳහා දළ වශයෙන් රුපියල් අනූදහසක බද්දක් අය කරන ලද අතර එම කාලය තුළ අපේක්ෂිත අරමුණ ඉටු කරගන්නට හැකිවීදැයි නොසලකා එම බද්ද රුපියල් එක්ලක්ෂ පනස් දහස දක්වා වැඩි කර ඇත. වෙනත් රටක භාෂාවකින් කරන ලද නිර්මාණයක් සිංහල හෝ දෙමල භාෂාවකින් ඉදිරිපත් කිරීමේ දී එයින් වඩා වාසි සැලසෙන්නේ රටේ කුමන ජන කොටසටදැයි අවධානයට ගැනීම අවශ්‍යය. මෙම බදු සංශෝධනයේ දී ඒ ගැන අවධානය යොමු කර නැත.

විදේශීය භාෂාවකින කළ උසස් නිර්මාණයක් රස විඳීන්නට නොහැකි ජන කොටස වෙත මෙම බදු වැඩි කිරීම මගින් හානියක් සිදුවෙයි. භාෂාව ප‍්‍රශ්නයක් නැති ධනවත් සමාජයට කේබල් ක‍්‍රම මගින් උසස් දේ රස විදින්නට හැකිය. දුප්පතුන්ට එසේ නොවේ. නිර්මාණ විඳීන්නට ඇති අයිතියට බාධා කිරීම වෙනුවට උසස් ලාංකේය නිෂ්පාදන කරනු සඳහා ඒවායේ නිර්මාණ ශිල්පීන්ට කෙලින්ම ආධාර කිරීම සුදුසුය. එයින් රජයේ මැදිහත්වීම මත අලූත් නිර්මාණ බිහිවනු ඇති අතර එය ඉතා යහපත් රසඥතාවක් ගොඩනැගීමකි. මෙතෙක් පැවැති බදු ක‍්‍රමය යටතේ පවා ජනතාවගේ වින්දනය උසස් කරන නිර්මාණ බිහි කරන්නට මෙරට නිර්මාණවේදීහු සමත්වී ද? එය ගැන ප‍්‍රමාණාත්මක අදහසක් නැත. මෙරට නිපදවන ටෙලිනාට්‍ය හෝ චිත‍්‍රපට වලට ජනතාව දක්වන ඇල්ම කොපමණ දුර්වල ද යන්නෙන් මේවායේ සංකල්ප වල පවතින දුබලතා තේරුම්ගත හැකිය. බදු පනවා හොඳ නිර්මාණයකට බාධා කරන ආණ්ඩුව එයින් රට තුළ රස වින්දනයට සිදුවන හානිය තක්සේරු නොකිරීම වරදකි.

මෑත කාලය තුළ අලූත් ක්ෂේත‍්‍රයක් වශයෙන් හඞ කැවීමේ අංශය දියුණු විය. වානිජ පරමාර්ථ කෙසේ වෙතත් චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය සම්බන්දයෙන් ඉන්දියානු, කොරියානු, ජපන් සහ වෙනත් රටවල නිර්මාණ මෙරට ජනතාවගේ අවධානයට ලක්විය. මුල් භාෂා වලින් මේවා විඳීන්ට නොහැකි සහ කෙසේවත් ඒවා දැක ගන්නට අවස්ථාව නොලැබෙන සෑහෙන පිරිසක් එයින් සතුටට පත්විය. එම නිර්මාණ වටා ජනතාව එකතුවන විට ලාංකේය නිෂ්පාදකයන් එවැනි දේවලට අභියෝග කළ හැකි නිෂ්පාදන කරන අභියෝගය භාරගැනීම සුදුසුය. එවිට පේක්ෂක ජනතාවට තෝරා ගැනීමක් තිබේ. විදේශීය නිර්මාණ වලින් රට ගලවා ගැනීමට බදු පැවරීමට වඩා එය සුදුසුය. ඇමරිකාවේ ආණ්ඩුව මහජන විකාශය වෙනුවෙන් වෙන්කරන මුදල් කපාහැරීමට යෝජනා කිරීම පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව නිර්මාණ රස වින්දනයට බදු පැනවීම ද එකම කාර්යයක දෙපැත්තකි.