පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය සීමා කරන නීති ශ‍්‍රී ලංකාව අනුගමනය කරයි. දීර්ඝ කාලයක් සාකච්ඡාකර නොයෙක් පැතිවලින් කරුණු අධ්‍යයනය කරන ලද මෙරට පර්යේෂකයෝ දිරාපත් නොවන ප්ලාස්ටික් හා පොලිතීන් වෙනුවෙන් ගත හැකි ක‍්‍රියා මාර්ග සොයා බලා අවශ්‍ය විධි විධාන යෙදුහ. නමුත් මෙම තීරණ ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ හැකිද? රටට ආනයනය කරන දිරාපත් නොවන ද්‍රව්‍ය ගැන පාලනයක් තිබේද? ආනයනය කරන තොග හා ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණයට ගන්නා පියවර ගැන ජන සමාජයට ඇති අවබෝධය ගැන ගැඹුරින් සලකා බැලිය යුතුව තිබේ.
මෑතක දී ඉන්දුනීසියාවෙන් වාර්තා වූ තොරතුර ඉතාම වැදගත්ය. එරට ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතාව බහුලය. සංචාරක කර්මාන්තය තාවකාලික ඇසුරුම් හා ආහාර පාන වෙනුවෙන් කරන බෝතල් බරපතල පරිසර හානියක් කර තිබේ. ඉවත දමන දිරාපත් නොවන ද්‍රව්‍ය ගංගා ඇල මාර්ග ඔස්සේ මහ මුහුදට එකතු වෙන අතර සාගර කලාපය ප්ලාස්ටික් වලින් දුෂණය කරන රටවල් ලැයිස්තුවේ දෙවැනි තැන ඉන්දුනීසියාවට හිමි වී ඇත. මෙම විනාශය දෙවැනි වන්නේ චීනයට පමණක් බව අනාවරණය වෙයි. ටොන් මිලියන ගණනක ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට එකතුවීම වලක්වන දීර්ඝ කාලීන වැඩසටහනක් ඉන්දුනීසියාව සැලසුම් කර තිබේ. පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියනයක් එයට වෙන් කළේය. දිරාපත් නොවන ප්ලාස්ටික් භාවිතාවය අඩු කරන ලෙස ජනතාව දැනුම්වත් කරන්නට යොදවන්නට ප‍්‍රමාණවත් ධනයක් ඉන්දුනීසියානු ආණ්ඩුව වෙන් කරන්නට කැමැත්තක් නැත. ඒ වෙනුවට විකල්ප වශයෙන් ජෛව ප්ලාස්ටික් නිෂ්පාදනය නංවන්නට සැලසුම් කර තිබේ.
ජෛව ප්ලාස්ටික් යනු මොනවාද? ඒවා පර්යේෂණ මගින් බිහි කරගෙන තිබේ. කාබනික තන්තු විශේෂ භාවිතා කර පරිසර හිතකාමී ඇසුරුම් නිපදවීමය. මෙතෙක් කල් මයියොක්කා, බඩ ඉරිඟු, උක්ගස් වැනි දේ ජෛව ප්ලාස්ටික් නිපදවන්නට උපයෝගී කරගත්තේය. ඒවා ආමාර වශයෙන් ගත හැකිව තිබිය දී ඇසුරුම් නිපදවන්නට වියදම් කිරීම ප‍්‍රශ්නයක් වන තැනට ලකුණු පහල විය. ඉන්දුනීසියාව මුහුදු පැලෑටි වලින් ජෛව ප්ලාස්ටික් නිපදවන්නට යයි. ඉන්දුනීසියාව ඒවා වැඩිම නිෂ්පාදනයෙහි ලා ලෝකයේ දෙවැනි තැන උසුලන අතර මෙම මුහුදු පැලෑටි භාවිතා කර ජෛව ප්ලාස්ට්ක් නිෂ්පාදනය කරනු ඇත. ඉන්දුනිසියාව දුපත් දහ හත් දහසකින් සමන්විත අතර අති විශාල වෙරළ තීරයක් හිමිය. හොඳින් හිරු රැස් වැටෙන නොගැඹුරු මුහුදේ වගාකරන මුහුදු පැලෑටි නිෂ්පාදනය එරට කාන්තාවන් අතර ප‍්‍රචලිත වී තිබේ. ඉදිරියේ දී මෙම නිෂ්පාදන දෙගුණ තෙගුණ කරන අතරවාරයේ ඒවායෙන් රටට අවශ්‍ය ජෛව ප්ලාස්ටික් නිපදවා ගැනීම එරට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අදහසයි. භාවිතා කරන කෘතීම ප්ලාස්ටික් නිෂ්පාදන වලට වලට වඩා සියයට තිහකින් මිල වැඩි නමුත් අනාගතයේ දී කාර්යක්ෂම හා තරගකාරී කරගත හැකි වන අතර එය දිරා පත් නොවන ප්ලාස්ටික් වලට උත්තරයක් වනු ඇතැයි සැලකේ. පරිසර හිතකාමී පිරිස ජෛව තාක්ෂණයෙන් නිපදවන ඇසුරුම් වල බහා වෙළඳ පොලට එවන නිපැයුම් මිල දී ගැනීමට දක්වන කැමැත්ත රට තුළ සිදුවන පරිසර හානිය පාලනය කර ගැනීමට හේතුවක් වනු ඇත.
ඉන්දියාව තවත් අත්හදා බැලීමක් කර තිබේ. ආහාර ගැනීමට උපයෝගී කරගන්නා එකවරක් භාවිතයෙන් පසු ඉවත දමන ප්ලාස්ටික් හැඳි ගෑරිප්පු වෙනුවට වෙනත් විකල්ප සොයා බැලීමයි. අලූත් අත්හදා බැලීම අනුව තරමක් ඝන බිස්කට් සාන්ද්‍රණයකින් හැන්ද හා ගෑරුප්පු නිෂ්පාදනය කර ඇති අතර සුප් බීමෙන් පසු හැන්ද ආහාරයට ගත හැකි පරිදි පිලියෙල කර ඇත. භෝජන ශාලා, ගුවන් යානා වල මෙම මෙවලම් ඉදිරියේ දී භාවිතා කරන්නට ඉඩ තිබේ. අනුභව කිරීමෙන් පසු ඒ වෙනුවෙන් භාවිතා කළ මෙවලම් ද කා බී කසල බදුන් වල පිරෙන ප්ලාස්ටික් අවම වුවහොත් එය පරිසරයට යහපත්ය. නවසීලන්තය ද නොබෝදා එවරක් පමණක් භාවිතා කරන පොලිතින් හා ප්ලාස්ටික් පරිහරණය නතර කරන්නට තීරණය කළේය. මේවා විවිධ රටවල් අනුගමනය කරන ක‍්‍රම වල විවිධ පැතිසේ දැකිය හැකිය.
මෙරට පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතය ගැන සෑහෙන ප‍්‍රශ්න මතු වී තිබේ. විශාල තොග වාර්ෂිකව ආනයනය කරන අතර ඒවා භාවිතා කර කරන නිෂ්පාදන ප‍්‍රතිචක‍්‍රීයකරණයට ලක් කරන්නේ සුළු ප‍්‍රතිශතයකි. බෝතල, ඇසුරුම් හා කෑම පෙට්ටි වැනි දේ ප‍්‍රතිචක‍්‍රීය කළ හැකි වාර ගණන ඒවායේ සටහන් කර ඇති අතර අන්තර් ජාතික කේත වලින් මනා උපදෙස් සපයයි. ඒවා ගැන එපමණ තැකීමක් නැත. එය සෑහෙන ප‍්‍රශ්නයකි.
පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන සීමා කරන අරමුණ ඇතිව කරන ලද නීති පැනවීම සාර්ථක වී නැත. ජනතාව නිතර ගමන් මළු, බොතල්, කෑම පෙට්ටි, ඇසුරුම් යනාදිය සඳහා සෑහෙන පොලිතීන් ප‍්‍රමාණයක් භාවිතා කරයි. නොදැනුවත්වම එසේ කරන අයට වඩා දැනුම්වත්ව එහෙත් විකල්ප රහිත හෙයින් එහිම ඇබ්බැහි වී ඇති පිරිස සෑහෙන කොටසකි. අවම වශයෙන් දවසකට අලෙවිකරන යෝගට් කෝප්ප වලින් පමණක් කොපමණ හානියක් ද? වාර්තා දක්වන අන්දමට මිලියන ගණනින් බත් පැකැට් කිරීමට ගන්නා නියමිත ඝනකම ඇති පොලිතීන් භාවිතා වෙයි. මේවා ප‍්‍රතිචකී‍්‍රකරණය කෙරෙන්නේ සීමිත ප‍්‍රමාණයකින් වන අතර නොදිරන මහ පොලවට එකතු වන මේවා ජලය බැස යන මාර්ග අවහිර කරන අතර ඒවායේ මැස්සන් හා මදුරුවන් වැනි රෝග වාහක කෘමිහු බෝ වී ජනතාවට ගැටළු මතු කර තිබේ. නීති පනවන විට භාවිතයෙන් පසු බැහැර කරන දේ එකතු කර ගිනි තබන්නට වැඩි දෙනෙකු නැඹුරු වී සිටිති. පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය පාලනයකින් තොරව නිදහසේ පිලිස්සීමෙන් විශාල වායු දුෂණයක් සිදුවන අතර අවසානයේ වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑමට ද එක හේතුවක් වියහැකි බව පර්යේෂකයෝ පෙන්වා දී තිබේ.
ඇතැම් නාගරික ප‍්‍රදේශවල කසල වෙන්කර එකතු කරයි. නමුත් එම එකතු කරන පොලිතීන් වලින් කරන්නේ මොනවාද? මෙරට එකතුවන පොලිතීන් හා ප්ලාස්ටික් වෙන් කර ඒවායෙන් ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා පමණක් ආයෝජන කරන්නට ව්‍යවසායකයන්ට කැමැත්තක් නැත. එයට බලපා ඇති පසුබිම පැහැදිලිය. රට තුළ අවශ්‍ය තරම් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ යුතු අමුද්‍රව්‍ය නැත. වෙනත් රටවලින් ගෙන්වා ප‍්‍රතිචක‍්‍රීයකරණයට ඉඩ දීම රටට සිදුවන හානියකි. රට තුළ භාවිතා වන පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙනුවෙන් කළ හැකි දෙයක් ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. ඒවා පාලනය කළ නොහැකි නම් ඉන්දුනීසියාව කරන අන්දමට මුහුදු පැලෑටි වැනි දේ වලින් කාබනික ඇසුරුම් හදන්නට නැඹුරු විය යුතුය. මෙරට විශ්ව විද්‍යාල මුහුදු පැලෑටි වගා කිරීම ගැන පර්යේෂණ කර තිබේ. නොගැඹුරු මුහුදේ වගාකර ආහාර වශයෙන් අපනයනය කරන්නට හැකි අවස්ථා අනාවරණය කර ඇත. නමුත් වෙළඳ පොලක් රහිත බැවින් මුහුදු පැලෑටි නිෂ්පාදනයට නැඹුරුව සීමිතය.
මුහුදුකරයේ ප‍්‍රදේශ වල කාන්තාවන් මුහුදු පැලෑටි වගාකරන්නට යොමු කර ඒවායෙන් ඇසුරුම් නිපදවන්නටට පියවර ගතහොත් එය රටට විශාල අවස්ථාවකි. රටට අහිතකර ප්ලාස්ටික් හා පොලිතීන් ආනයනයට වැය කරන විනිමය ප‍්‍රමාණය ඉතිරිකර ගත හැකිය. ජෛව ප්ලාස්ටික් නිපදවන කම්හල් ඇති කරන අතර ඒවාට අවශ්‍ය කරන මුහුදු පැලෑටි නිපදවීම අලූත් රුකියා අවස්ථා ඇති කරයි. අනාගතයේ දී එවැනි ජෛව ප්ලාස්ටික් ඇසුරුම් යොදා ගත හොත් රටට, මෙරට පරිසරයට විශාල ආශීර්වාදයකි. ඉන්දියාවේ කරන අත්හදා බැලීම හා සමාන්තරව ආහාරයට ගත හැකි හැඳී ගැන හිතා බැලීම ද සුදුසුය. දැනට මෙරට අයිස්ක‍්‍රීම් නිෂ්පාදකයෝ විවිධ හැඩ ඇති පිරිනමන ඇසුරුම් නිපදවා ඒවා ද සමග ආහාරයට ගත හැකි අන්දමට පිලියෙල කර තිබේ. අනෙක් ක්ෂේත‍්‍රවලට ද එය ව්‍යාප්ත කළ හොත් රටට බලපා ඇති හිරිහැරයකින් ගැලවීමට පහසු මාර්ගයක් ලැබේ.
|