» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/05/2019 - ඉරිදා ලංකාදීප
විරෝධතා මැද ගමින් ගමට යන ප‍්‍රංශ ජනාධිපතිවරයා ගේ අරමුණ

ප‍්‍රංශය වෙනත් රටවල් මෙන් නොවේ. වෙන කිසි තැනක නැති තරමට අයුක්තියට එරෙහිව නැගී සිටී. එසේම සහයෝගීතාවයක් ඇති කරගැනීම සඳහා ශක්තිමත් ඉල්ලීමක් සමාජයෙන් ඇත.

මෙම කරුණු කියන්නේ ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැකරොන් ය. හෙතෙම ඉතාම ඉහල ජනප‍්‍රසාදයකින් බලයට පත් විය. නමුත් රට ප‍්‍රතිසංස්කරණය කරනු සඳහා ගත් පියවරට විරෝධය පළ කරමින් දස දහස් ගනන් ජනයා කහ කමීස ඇඳ ගෙන වීදි බටහ. තමන් බලයට පත් කළ ජන කොටසම තමන්ට විරුද්ධව පාරට බැසීම තරම් නරක දෙයක් පාලකයෙකුට නැත. ජනතා විරෝධය හමුවේ සියළු ප‍්‍රතිසංස්කරණ හකුලා ගත් මැක්රොන් තාවකාලික විරාමයක් සඳහා අවකාශය සකස් කරගත්තේය. එයන් පසු කරන්නේ කුමක්ද? හෙතෙම ජනතාව හමුවට යන තීරණය ගෙන තිබේ.

පසුගිය ජනවාරියේ හෙතෙම ජනතාවට ලිපියක් ඉදිරිපත් කළේය. එය කරුණු තිස් පහකින් සමන්විත ප‍්‍රශ්න පත‍්‍රයකි. ප‍්‍රංශය ලෝකයේ වෙන් රටවල් සේ නොවන බව පෙන්වා දෙන හෙතෙම ශක්තිමත්ව නැගෙන්නට අවශ්‍ය බව කියා සිටී. ජනතාවට ප‍්‍රශ්න පත‍්‍රයක් ඉදිරිපත් කළ ජනාධිපතිවරයා රට පුරා යමින් ඒ ගැන ජනතාවගේ ප‍්‍රතිචාර විමසයි. එය පහසු අභියෝගයක් නොවේ. මාස දෙකකට වැඩි කාලයක් කහ කමීස විරෝධතාකරුවෝ අඛණ්ඩව උද්ඝෝෂණය කළහ. පාලකයාට එරෙහිවූ එවැනි පසුබිමක් තුළ ජනයා අතරට ගොස් කතා කරන්නට විශාල ආත්ම ශක්තියක් අවශ්‍යය. මැකරොන් ගමින් ගමට යමින් ඉතා පහසුවෙන් ජනතාව ආමන්ත‍්‍රණය කරන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මාවත බලගන්වන ප‍්‍රවනතාවයක් බවට පත්ව තිබේ.

ඔහු ප‍්‍රධාන කාරණා හතරක් ජනතාවගේ අවධානයට යොමු කරයි. ආර්ථිකය හා රාජ්‍ය වියදම්, ආණ්ඩුවේ කාර්ය භාරය, කාලගුණ විපර්යාස හා පරිසරය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා පුරවැසිභාවය යන කරුණු හතර එය අතර වෙති. ලිපියට අනුව බදු යනු ජාතිය පනගන්වන ආර්ථික ක‍්‍රමයක හදවත බව පෙන්වා දී තිබේ. එය රාජ්‍ය සේවා යාන්ත‍්‍රණයට මුදල් සපයන බව කියා ඇත. මැකරොන් ගේ රජය ධනවාදයට උදවු කරන අතර සමාගම්වලට පනවා තිබුණ ඉසුරුමත් බද්ද ඉවත්කර ප‍්‍රාග්ධන බද්ධ සමාන කිරීම කහ කමීස ව්‍යාපාරයේ තදබල විරෝධයට හේතු විය. අධික බර ජනතාව අතට පනවන අතර දුප්පතුන්ට ජීවත් විය නොහැකි බව විරෝධතාකරුවන් එක හඬින් කියා සිටියේය. මැකරොන් සිය ප‍්‍රශ්න පත‍්‍රයෙන් එයට උත්තර දී තිබේ. ආණ්ඩුව අය කරන මෙම බදු කෙලින්ම රජයේ කටයුතු වෙනුවෙන් යෙදවෙන අතර පුද්ගලික අංශය දියුණු කිරීමෙන් තොරව වර්ධනයක් ලබා ගත නොහැකි බව කියා තිබේ.

එමානුවෙල් මැක්රොන් ගේ මෙම රට පුරා ඇවිද උපදේශනයක් දෙන වැඩ පිලිවෙල අලූත් එකකි. ඔහු කුඩා මේසයක් ඉදිරියේ වාඩි වී ජනතාව නගන ප‍්‍රශ්න වලට ඇහුම්කන් දෙයි. එයට කලින් යොමු කර ඇති ප‍්‍රශ්නාවලිය කරුණු අවබෝධකරගැනීම සඳහා ප‍්‍රයෝජනවත් වී ඇති බව පෙනේ. මෙය සම්ප‍්‍රදායික ප‍්‍රංශ දේශපාලනයට වෙනස් පිලිවෙතකි. ජනතාව නැගෙන, නැගී විරෝධතා පළ කරන විට තමන්ට බලය දුන් මැද පන්තියේ ජනතාව හමුවට ගොස් ඇත්ත කතා කරන්නට තීරණය කිරීම අලූත් අත්දැකීමකි. ප‍්‍රංශ ජනාධිපතිවරයා ගේ සහ මෑතක සිදුවූ ප‍්‍රංශ දේශපාලනයේ මුහුණුවර වෙනස්වීම සලකා මේවා අවබෝධ කරගැනීම ඉතා වැදගත්ය.

1980 සිට ප‍්‍රංශ දේශපාලනය ප‍්‍රධාන බලවේග දෙකකින් සමන්විත විය. ඒවා පක්ෂ සන්ධාන වශයෙන් පෙනී සිටීම විශේෂත්වයකි. මධ්‍ය වාමාංශික පක්ෂ සන්ධානය, සමාජවාදී පක්ෂය ප‍්‍රධාන පක්ෂ කිහිපයක එකතුවක් වූ අතර මධ්‍ය දක්ෂිණාංශික පක්ෂය සමන්විතවූයේ රිපබ්ලිකන් පක්ෂය ප‍්‍රධාන සුළු පක්ෂ කිහිපයක සන්ධානයකින්ය. අවුරුදු තිස් හතකට පසු ප‍්‍රංශ පුරවැසියන්ට මෙම සම්ප‍්‍රදායික දේශපාලනය එපා විය. එහි ප‍්‍රතිඵලය වූයේ ප‍්‍රධාන පක්ෂ අභිබවා අලූත් මුහුණක් ඉදිරියට පැමිණීමය. එමානුවෙල් මැක්රොන් එන් මාර්චේ නැමැත්තා අලූත් පක්ෂයේ අලූත් නායකයා වූ අතර හෙතෙම එයට කලින් මැතිවරණයකට තරග කර නැත. හිටපු ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා හොලන්දේ ගේ මධ්‍ය වාමාංශික පක්ෂ සන්ධානයේ සාමාජිකයෙකුව සිටියේය.මැක්රොන් 2014 වසරේ දී පත්කරන ලද මන්ත‍්‍රීවරයෙකු සේ කෙටි කාලයකට පාර්ලිමේන්තුවට පැමිණියේය. එකී කාලය තුළ ඔහු එරට ආර්ථික කර්මාන්ත හා ඩිජිටල් කටයුතු භාර අමාත්‍යවරයා විය. නමුත් ජනාධිපතිවරණ එළැඹුම පෙනි පෙනී ආණ්ඩුවෙන් ඉවත් වූ හෙතෙම එයින් මාසයකට පසු ප‍්‍රකාශ කළේ එළැඹෙන ජනාධිපතිවරණයට තරග කරන බවය. ඒ බව දක්වමින් එමානුවෙල් මැකරොන් සිය අලූත් පක්ෂය පිහිටුවීය. තම ආර්ථික අමාත්‍යවරයා එවැනි තීරණයට යෑම ප‍්‍රංශ ජනාධිපති හොලන්දේ ගේ කැමැත්තට කිසිසේත් හේතු වූයේ නැත. නමුත් ඔහු ඉදිරිපත් කළ විප්ලවීය අදහස් ජනතාව පිලිගත්තේය. වෙනසක් අවශ්‍ය බව කියා සිටි අතර එය කරන ආකාරය වෙනුවෙන් අනුමැතිය දුන්නේය. මැකරොන් බලයට එන්නේ එවැනි පසුබිමක් සහිතවය.

රට තුළ අර්බුදයක් පැන නැගෙන විට එයට මුහුණ දෙන්නට නායකයෝ අකුගමනය කරන එඩිතර විලාසය ජනතාව අපේක්ෂා කරන බව පැහැදිලිය. නිර්භීතව මුහුණ දී ප‍්‍රශ්නය කෙලින් සාකච්ඡා කිරීම ඉතා උදාර ලක්ෂණයකි. සිංගප්පූරු ගුවන් සේවය ආරම්භ කළ වකවානුවේ එහි කර්ය මණ්ඩලය සේවා ඉල්ලීම් අලලා වර්ජනයක් දියත් කළ අවස්ථාවේ දී සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ ඔවුන් සමග මුහුණට මුහුණ ලා සාකච්ඡාවකට පසු ආපසු වැඩ ආරම්භ කළ ආකාරය ඉතිහාස ගත වී තිබේ. ශ‍්‍රී ලංකාවේ පැන නැගුණ ව්‍යාකූල අවස්ථාවල ප‍්‍රතිපාර්ශවය සමග සෘජුව කතාකර අර්බුදය හදුනන්නට වෑයම් කල අවස්ථා තිබේ.

බුදු දහමින් ආදර්ශයක් ගත හැකිය. බුදු රජාණන් වහන්නේ ලිච්චවී රජ දරුවන්ට දුන් උපදෙස අදටත් වලංගුය. නමුත් මෑත කාලය තුළ ජනනායකයෝ ප‍්‍රශ්නයක් ඇති වූ අවස්ථාවක ජනතාව හමුවට යන්නට සූදානම් නැත. තමන්ගේ පාර්ශව සමග පවා සාකච්ඡා කරන්නට අසමත් වී තිබේ. ආරක්ෂක අංශ යවා තත්ත්වය සමනය කිරීමෙන් පසු පුද්ගලිකව හමුවී මාධ්‍ය වලින් ප‍්‍රචාරයක් ගනී. ප‍්‍රංශ නායකයා ගෙන් ආදර්ශයක් ගැනීම සුදුසුය. රට තුළ විශාල ප‍්‍රශ්න තිබේ. ආරක්ෂාව ගැන ජනතාව පාලකයන්ගෙන් ප‍්‍රශ්න කරයි. ආර්ථිකය ගැන අහන්නට ප‍්‍රශ්න ගණනාවක් තිබේ. දිනෙන් දින වැඩි වන බඩු මිල විශාල හිරිහැරයකි. බදු බර දරා ගැනීමට නොහැකිය. ආණ්ඩුවේ වියදම් ගැන ජනතාවට ප‍්‍රශ්න තිබේ. සාමාන්‍ය ජනතාවට බර පටවන ආණ්ඩුව මැති ඇමැතිවරුන්ගේ සුව පහසුව හා ආරක්ෂාව වෙනුවෙන් අති විශාල ධනයක් වැය කරමින් සිටී. රට භීතියකට පත්ව ඇති නමුත් ඉහළ පෙලේ අයවලූන්ගේ උත්සව පි‍්‍රය සම්භාෂණ වල සීමාවක් නැත. ජනතාව මත ඇති පීඩනය තේරුම් නොගන්නේ ඇයි?

ආණ්ඩුවේ ප‍්‍රධානීන්ට ජනතාව හමුවට යෑමේ වගකීමක් තිබේ. මහජන නියෝජිතයෝ ජනතාව නගන ප‍්‍රශ්න වලට උත්තර දිය යුතුය. විශ්වාසය ජනිත කළ හැකි ආකාරය ගැන බලධාරීන්ට වැටහීමක් තිබිය යුතුය. රට තුළ ඇති බෙදීම් තුරන් කර සියළු දෙනාට සාධාරණ සමාන අවස්ථා සම්පාදනය කරන ක‍්‍රමයක් රට තුළ පවතින බව ඔප්පු කරන්නට පාලකයෝ ජනතාව අතරට යා යුතුය. අද උද්ගත වී ඇති බැරෑරුම් අවස්ථාවේ දී හැසිරෙන ආකාරය රටේ අනාගතය තීන්දු කරනු ඇති බව සඳහන් කළ යුතුය. ජනතාව අතරට ගොස් සාමයෙන් එකතු වී සාමයෙන් සාකච්ඡා කර සාමකාමීව විසිර යන්නට අසමත් සමාජයක් නොවන බව මෙම වෙසක් සමයේ ඔප්පු කළ යුතුය.

ආණ්ඩුවේ ප‍්‍රධානීන්ට ජනතාව හමුවට යෑමේ වගකීමක් තිබේ. මහජන නියෝජිතයෝ ජනතාව නගන ප‍්‍රශ්න වලට උත්තර දිය යුතුය. විශ්වාසය ජනිත කළ හැකි ආකාරය ගැන බලධාරීන්ට වැටහීමක් තිබිය යුතුය. රට තුළ ඇති බෙදීම් තුරන් කර සියළු දෙනාට සාධාරණ සමාන අවස්ථා සම්පාදනය කරන ක‍්‍රමයක් රට තුළ පවතින බව ඔප්පු කරන්නට පාලකයෝ ජනතාව අතරට යා යුතුය. අද උද්ගත වී ඇති බැරෑරුම් අවස්ථාවේ දී හැසිරෙන ආකාරය රටේ අනාගතය තීන්දු කරනු ඇති බව සඳහන් කළ යුතුය. ජනතාව අතරට ගොස් සාමයෙන් එකතු වී සාමයෙන් සාකච්ඡා කර සාමකාමීව විසිර යන්නට අසමත් සමාජයක් නොවන බව මෙම වෙසක් සමයේ ඔප්පු කළ යුතුය.