සමාජ මාධ්‍ය ගැන ලෝකය පුරා විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ. ආණ්ඩු පෙරලන්නට නායකයන් විනාශ කරන්නට සමාජ මාධ්‍ය භාවිතා කරන බවට චෝදනාවක් නැගෙමින් තිබේ. අරාබි වසන්තයේ සිට නොබෝදා අවසන් වූ ඇමරිකානු ජනාධිපතිවරණය දක්වා එය තද ස්වරයකින් නැගෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. මුහුණු පොත නොඑසේ නම් ෆේස්බුක් මෙහි දී බලවත්ම තර්ජනයට ලක්ව ඇති මාධ්‍යයයි. භාවිතාව අතින් පුලූල් එමෙන්ම වඩා විග‍්‍රහයක් සහිතව මත ජනිත කරන්නට සමත්ව ඇති හෙයින්ය. ඉන්ස්ටග‍්‍රෑම්, ට්විටර් සහ වට්ස් ඇප් වැනි සමාජ මාධ්‍ය ජාල වලට වඩා ෆේස් බුක් අවධානයට ලක්වන අතරවාරයේ දී එහි නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් සසල විය. රටවල් ඇතුලේ සමාජ විප්ලව කරන්නට තම සමාජ මාධ්‍ය ඉවහල් වනු ඇතැයි මුල් කාලයේ දී හෙතෙම විශ්වාස කළේ නැත. නමුත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔහු ගේ ක‍්‍රියාකාරකම් වල හොඳ නරක විවේචනය කරමින් සහ හිලරි ක්ලින්ටන්ගේ අනපේක්ෂිත පරාජය හෙයින් ෆේස් බුක් වලට නැගෙන අපවාද හැබෑදැයි බලන්නට මාර්ක් සුකර්බර්ග් උත්සාහ කළේය. ස්වයං විවේචනයකට ගමන් කළේය.
විශාල කණ්ඩායමක් යොදවා ෆේස් බුක් පණිවුඩ කිසියම් අභිමතාර්ථයක් වෙනුවෙන් සූක්ෂම ලෙස උපයෝගී කරගන්නට සමත් වී ඇත්දැයි විමර්ශණය කරන්නට පෙළැඹින. පර්යේෂණය අවසානයේ දී මාර්ක් සුකර්බර්ග් තමන්ගේ පැත්ත ලියැවිල්ලකින් ජාත්‍යන්තරයට අනාවරණය කර ඇත. ඔහුට අනුව ෆේස් බුක් සමාජ අඩවිය සකස්කරන්නේ වානිජ සමාගමක් වශයෙන් නොවේ. ලෝකය වඩා විවෘත සම්බන්ධතා ඇති තැනක් කරන අරමුණ ඇති සමාජ මෙහෙවරක කොටසක් වශයෙන්ය. ලෝකය බෙදා ප‍්‍රශ්න ඇති කරන තැතක් සේ දකින නමුත් අරමුණ වූයේ ලෝකය එකතු කරන්නට බව හෙතෙම කියයි. මනුස්ස ජාතියේ අනාගතය ආර්ථිකය මත සකස්වනු ඇති බව ජාත්‍යන්තරය විශ්වාසයක පිහිටා සිටි අතර ඔහු සඳහන් කරන අන්දමට කෘතීම බුද්ධිය, ත‍්‍රස්තවාදය, අසත්‍ය ප‍්‍රවෘත්ති සහ අන්තර් ජාල ආරක්ෂාව අද සාකච්ඡාවට ලක්ව ඇත. තාක්ෂණිකව පාරිභෝජන තොරතුරු සමාජයක් බිහිකරන විප්ලවයට සමාජ මාධ්‍ය ප‍්‍රවේශ වූ නමුත් එය අප කතාකරන මුද්‍රිත යුගය, රූපවාහිනි යුගය වැනි සමාජයේ වඩාත් අවශ්‍ය සංවාදය ඇතිකරන්නට මුල් වූ එකක් පමණක් බව ඔහුගේ අදහසයි. අද සමාජය ලෝකය තීරණාත්මක තැනකට පැමිණ තිබේ. බහුතරයක් අන්තර්ජාලය හෝ ජංගම දුරකථකථන මගින් එකිනෙකා සහ සම්බන්ධ වී ඇත. සියළුම දෙනාට සම්බන්ධතා ඇති කර ගන්නට තිබුණ උවමනාව වෙන්වුනේ හැම පුරවැසියෙකුටම අවස්ථාව හදන තාක්ෂණික පදනමක් බවට ෆේස් බුක් ව්‍යුහය සකස් වූ අතර අද වඩාත් අවධානයට ලක්ව ඇත්තේ එය බව සුකර්බර්ගේ අදහසයි.
හැම දෙයක්ම කරන්නේ ෆේස් බුක් එක සහ එහි කියන්නේ අසත්‍ය යන විශාල මායාවක් නිර්මාණය වී තිබෙන බව ඔහුගේ ලියැවිල්ලේ කියා තිබේ. ජනතාව තොරතුරු ගන්නේ ෆේස්බුක් එකෙන් ඒ නිසා මේ සිදුවන පරිවර්තන සියල්ලට අප වගකිව යුතු යැයි අදහසක් මතු වී තිබෙනබව ඔහු වැඩි දුරටත් දක්වයි. මෙම වැරදි මතවාදය එකවර නැති කරන මැජික් යෂ්ඨියක් තමන්ට නැති බව කියන හෙතෙම අවධාරණය කරන්නේ තමන් පදනමක් හැදූ අතර ඒවාට තොරතුරු එකතුකරන්නේ හා බෙදා හදා ගන්නේ ජනතාව බව කියා තිබේ. මම ෆේස් බුක් වහලා පදනම නැති කළොත් වෙනත් කෙනෙක් හෝ සමාජය තමන්ගේ මත එළියට දාන්න වෙනත් ව්‍යුහයක්, වෙනත්පාරක් හොයා ගනීවි යැයි අනාවරණය කර ඇත.
මුලින් පුද්ගල අදහස් තොරතුරු හුවමාරු කරගත් මෙම ක්ෂේත‍්‍රය අද වන විට අලෙවිකරණය, සංගීතය, සිනමාව, ප‍්‍රවෘත්ති යනා දී වශයෙන් නොයෙක් පැති වලට විහි දී ඇත. අප මුදල් උපයන සේවාවක් කරගෙන යන්නේ නැති අතර මුදල් උත්පාදනය කර හොඳ සේවාවක් නිෂ්පාදනය කරන්නට සමත්ව ඇති බව මෙම ලිපියෙන් සුකර්බර්ග් සඳහන් කරයි. ෆේස් බුක් ගමන් මග තුළ දක්නට ලැබෙන මූලික අවධානයට ලක්වන ප‍්‍රධාන කරුණු පහක් දක්වා තිබේ. ෆේස් බක් පවත්වාගෙන යන ඉලක්කයෙහි ප‍්‍රධාන බලධාරා ඒවාය. එයින් එකක් වන්නේ ඉතා වේගවත් භාවයයි. වේගයෙන් කි‍්‍රයා කර වේගයෙන් අධ්‍යයනය කරන්නට අවශ්‍ය අතර එයින් තොරව පවතින රාමුව බිඳින්නට හැකියාවක් නැත. බොහෝ සමාගම් ව්‍යාපාර මෙහෙයවන විට ඉදිරියට ගමන් කරන්නේ හෙමින්ය. ඉතාම සූක්ෂම ලෙස කල්පනා කර වැරදි අඩුවෙන්ම කරන අරමුණෙන්ය. නමුත් අතපසුවීම් නොවන තරමට අවස්ථා මගහැරෙන අතර ඉදිරියට ගමන් කරන වේගට සීමිත බව දැක්වේ. දෙවැනුව අවදානමක් සහිත තීරණ අවදානමකින් තොරව නිර්භීතව ගන්නට හැකි විය යුතුය. එය සාර්ථකත්වයේ රහසකි. කිසිම අවදානමක් ගන්නේ නැති නම් ගමන අසාර්ථකය. සමහරවිට අසාර්ථක විය හැකි තද නිර්භීත තීරණ වලට පොළඹවන්නේ ඒහෙයින්ය. ෆේස්බුක් ප‍්‍රතිඵලදායක වෙන හේතුව වී ඇති තුන්වැනි කාරණය විවෘත භාවයයි. ෆේස් බුක් නිර්මාතෘවරුන් හිතන ආකාරයට හොඳටම විවෘත සමාජ ඇති ලෝකය ඉතාම හොඳ තැනක් වන අතර වඩාත්ම තොරතුරු ඇති සමාජයක ගන්නා තීරණ වලින් විශිෂ්ඨ ප‍්‍රතිඵල අත්පත්වෙයි. ෆේස් බුක් තොරතුරු සම්පාදනය කරන අතර ජනතාවට තෝරා ගැනීමට දේ එයින් සම්පාදනය වෙයි. හතරවැනි කාරණය සේ හෙතෙම හුවා දක්වන දෙයක් ඇත. එනම් සමාජ වටනාකම් නිර්මාණයයි. සියළුම දෙනා පෙනී සිටින්නට කැමැති ලස්සන දේ පෙන්වන්නට ෆේස් බුක් ආයතනය උත්සාහ කරන අතර එයින් ලෝකය වඩා අනාවරණය වන සම්බන්ධිත තැනක් බවට පත්වෙයි. මාර්ක් සුකර්බර්ග් තමන්ට එල්ල වන චෝදනා ගැන ජාත්‍යන්තරයට ලියන ලිපියෙහි සඳහන් කරුණු පහ අතර වැදගත්ම දේ වශයෙන් සලකන්නේ මෙම කරුණු වල එකතුවෙන් ලැබෙන ප‍්‍රතිඵලයයි. මෙම ප‍්‍රතිඵලය අත්හැරිය හැකි නමුත් වෙනත් දෙයක් හොයාගන්නට ඇති හැකියාවට එයින් කිසිම බාධාවක් නොවෙන බව ඔහුගේ අදහස වී තිබේ. ඔහු කියන දෙය අනුව ෆේස් බුක් වෙනුවට වෙනත් ව්‍යුහයක් ඇතිවිය හැකි අතර සමාජය විවෘත තැනක් කර යහලත් වටිනාකම් ගොඩනගන්නට නායකයන්ගේ ඉලක්කය විය යුතු බව හෙතෙම නොකියා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික පරිවර්තනය තුළ සමාජ මාධ්‍ය වලට විශේෂිත තැනක් ලැබී තිබේ. තොරතුර හැදෙන්නේ ෆේස්බුක් ට්විටර් මාධ්‍යයෙහිය. ඉකුත් ජනාධිපතිවරණය, මහ මැතිවරණය පමණක් නොව අද වන විට රට තුළ මතුවන නොයෙක් ආන්දෝලන වලට හේතුවන්නේ සමාජ මාධ්‍ය බව චෝදනාවක් තිබේ. එය බටහිර නැගෙන ආන්දෝලනය හා සමාන එකකි. සම්ප‍්‍රදායික නායකත්ව අභිබවා ඉදිරියට පැමීණ ඇති සමාජ මාධ්‍ය සංවාද අවකාශය තුළ විශාල ඉඩක් වෙන් කරගෙන තිබේ. තේරුම්ගත යුතු ඇත්ත එයයි. එහි වේගය, නිර්භීත අදහස්, විවෘත භාවය සහසමාජ වටිනාකම් වෙනුවෙන් පෙනී සිටින්නට ඇති අභිලාශය අවසානයේ බලපෑම නොඑසේ නම් ප‍්‍රතිඵලය ඇති කර තිබේ. මෙකී පසුබිමෙන් මිදෙන්නට හැකියාවක් නැත. සමාජ මාධ්‍ය පාලනය, ඒවායේ හඩ යටපත් කිරීමට තැත් කිරීම සාර්ථක විය හැකි එකක්ද? සමාජ මාධ්‍ය වෙනුවන් රාමු සකස් කර ඒ වෙනුවෙන් නෛතික බලගැන්වීමකට උත්සුකවීම විකල්පයක්ද? ජාත්‍යන්තරයෙන් නැගෙන හඩ ඉතා තියුණු තැනකට කැඳවන්නට මාර්ක් සුකර්බර්ග් පරෙස්සමෙන් ලියා ඇති දීර්ඝ ලියැවිල්ල හොඳ ප‍්‍රවේශයකි.
සමාජ මාධ්‍ය පාලනය කරන්නේ කෙසේද? ඒ වෙනුවෙන් පියවර ගන්නට කලින් අද පවතින පරිවර්තනයට පදනම සකස් කරන ලද්දේ කොතැනින් දැයි අවධානය යොමු කළ යුතුය. සමාජය වෙනස් කරන්නට සමාජ මාධ්‍ය බලවත් මෙහෙවරක් කරන ලද්දේ නම් එය අදටත් වඩා වැදගත් කාර්ය භාරයක් බවට පත් කරගත යුතුව ඇති අවස්ථාවක එහි වාරණය, පාලනය හෝ දුර්මත පැතිරවීම ගැන කරන චෝදනා බැහැර කළ යුතුය.
|