» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/01/2020 - ඉරිදා ලංකාදීප
උපාධිය අබිබවා කුසලතාව පෙරට

නිදහස් වෘත්තීය අවස්ථා ලබාගැනීමේ දී අධ්‍යාපන සහතිකය වැදගත් ද යන ප‍්‍රශ්නය අලූතින්ම කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබේ. උපාධියක් ලැබීම ඉගෙනගන්නා සිසු සිසුවියන්ගේ ඉලක්කයකි. එය වෘත්තීය අවශ්‍යතා වෙනුවෙන් හොද පදනමක් වනු ඇතැයි පිලිගැනේ. පාසල් අධ්‍යාපනයෙන් පසු ඉහළම සුදුසුකම අරමුණු කරගෙන විශ්ව විද්‍යාලයකට ඇතුලත්වීමට තරගයක් තිබේ. විශ්ව විද්‍යාල උපාධියකට ඇති අවස්ථාව සීමිතය. සෑම රටකම පාහේ තරුණ පෙළට ඉහළ අධ්‍යාපනයක් ලබා ගැනීම සදහා පහසුකම් සලසයි. නොබෝදා ඇමරිකාවේ ආයතනයක් කරන ලද පර්යේෂණයකට අනුව උපාධිය අභිබවා කුසලතාව ඉදිරියට පැමිණ ඇති අතර නිදහස් වෘත්තීය අවස්ථාවක දී ප‍්‍රයෝජනවත් වන්නේ උපාධි සහතිකය නොවේ. එහි ප‍්‍රතිඵල පෙන්වා දෙන අන්දමට ඉදිරි කාලයේ දී ඉගෙන ගැනීමේ රටාව බෙහෙවින් විවාදයට තුඩු දිය හැකි එකක් වනු ඇත.

එඞ්ල්මන් ඉන්ටලිජන් යන ඇමරිකානු ආයතනයක් නිදහස් වෘත්තිකයන්ගේ සංවිධානයක් සමග එකට එකතු වී මෙම පර්යේෂණය කර තිබේ. තාක්ෂණයේ දියුණුව සහ අධ්‍යාපනය සදහා වන සමස්ථ පිරිවැය එකතුවන විට සම්ප‍්‍රදායික උසස් අධ්‍යාපන අභිලාශයන් ගැන පවතින විශ්වාසයට අභියෝග එල්ල වී ඇති බව මෙම පර්යේෂණ වාර්තාව හුවා දක්වයි.

උපාධිධරයන් අතරින් සියයට අනූ තුනක ප‍්‍තිශතයක් සිය නිදහස් රැකියාව සදහා උපාධියට වඩා වෘත්තීය කුසලතා වටිනාකමක් වී ඇති බව කියා තිබේ. වසර හතරක විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පසු ලැබෙන උපාධි සහතිකය දැනට කරගෙන යන වෘත්තියට ප‍්‍රයෝජනවත් බව කියා ඇති නිදහස් වෘත්තිකයන්ගේ ප‍්‍රතිශතය සියයට හැත්තෑ නමයකි. නිදහස් වෘත්තිකයන් අතරින් සියයට හැත්තෑවක් පසුගිය මාස හය තුළ කුසලතා වර්ධන පුහුණු වැඩසටහන් වලට සහභාගී වී ඇති අතර ස්ථිර සේවක පිරිස අතරින් සියයට හතලිස් නමයක් පමණක් එවැනි කුසලතා වර්ධන පුහුණුවට සහභාගී වී ඇති බව මෙහි දී පෙන්වන තවත් වැදගත් අනාවරණයකි.

ලෝක ආර්ථික සංසදය අනාවරණය කරගෙන ඇති සුවිශේෂී කාරණයක් ගැන ද අවධානය යොමු කිරීම සුදුසුය. වසර පහකට හෝ දහයකට කලින් ලෝකයේ කර්මාන්ත හෝ සේවා අංශ වල නොතිබුණ අලූත්ම වෘත්තීය අවස්ථා මෑත කාලය තුළ පැනනැගී තිබේ. මේවාට ඉහළ ඉල්ලූමක් ද ලැබී ඇත. අද දවසේ ප‍්‍රාථමික අධ්‍යාපනයට ඇතුළුවන සිසු සිදුවියන් සිය අධ්‍යාපනය අවසන් කරන දිනය උදා වන විට අද ලෝකයේ නොපවතින අලූත්ම රැකියා අවස්ථා බිහිවනු ඇති බව ද පළවේ. ඔවුන් ගේ ගණන් ගැනීම අනුව වෘත්තීය අවස්ථා සියයක් අතරින් හැට පහක් ම දැන් භාවිතයේ නොපවතින ඒවා විය හැකිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පවතින රැකී රක්ෂා වලට සුදුසුකමක් සේ සලකා අධ්‍යාපනයට යොමු වන සෑම දරු දැරියකටම බලවත් අභියෝගයක් එල්ල වී ඇති අතර තමන් කිසිසේත් නොදන්නා අලූත්ම මුහුණුවරක රැකියාවක් කරන්නට අනාගතයේ දී සිදුවිය හැකිය. අනාගතයේ ඇතිවිය හැකි වෘත්තිය අවස්ථා වලට දැන් පාසලේ දී හෝ විශ්ව විද්‍යාලයේ දී ඉගෙනගන්නා දේ සුදුසුකමක් නොවෙනු ඇති බව අනාවරණය වන තවත් පැත්තකි. එයට හේතුව දැනුම වෙනුවට කුසලතාව පදනමක් බවට පත්වීම බව පෙනේ. සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයෙන් බැහැර විය යුතුය යන අදහසක් මෙහි නැති අතර උපාධිය හෝ එයට වඩා අධ්‍යාපනයෙන් ලැබිය හැකි වන අවස්ථා ගැන අලූත් නිරීක්ෂණ පහල වී තිබේ.

පසුගිය පරම්පරාවේ දී එකම තැනක සේවය කිරීම මූලික ලක්ෂණයක් වූ අතර දැන් ජීවත්වන පරම්පරාව වෙනස් වෙනස් අවස්ථා සොයමින් ආයතන ගණනාවක රැකියාවල නිරතවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. ඉදිරි දශක දෙක තුන ඇතුලත ස්ථිර රැකියා යනුවෙන් පවතින අදහස තුරන් වනු ඇතැයි සැලකේ. එපමණක් නොව එකම අවස්ථාවේ ආයතන දෙක තුනකට අර්ධකාලීණව සේවය සැපයීම සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇතැයි සැලකේ. ප‍්‍රධාන පෙලේ සමාගමක ඉහළ නිලධාරියෙකු කරුණු දක්වා ඇති අන්දමට කවර ගනයේ තොරතුරු තාක්ෂණික උපාධියක් තිබේ ද යන්න අනාගතයේ දී වැදගත් නැත. පරිගණකය හසුරුවන සහ වේගයෙන් ක‍්‍රියාත්මකවීම ප‍්‍රමාණවත්ය. දැනට ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වන රැකියා විස්සකට උපාධි සුදුසුකම අනවශ්‍ය බව පෙන්වා දී ඇත. ඇපල්, අයි.බී.එම්. සහ ගූගල් ඇතුළු ලෝකයේ තාක්ෂණික, දැවැන්ත සමාගම් පහලොවක් හෝ එයට වඩා වැඩි ප‍්‍රමාණයක් සිය ඇබෑර්තු වලට බදවා ගැනීමේ දී උපාධිය ගැන සැලකිල්ලක් නොදක්වන බව අනාවරණය වෙයි. සම්ප‍්‍රදායික අධ්‍යාපනයට වඩා අවිධිමත් සහ පරිගනක සාක්ෂරතාව ඉහළින් සලකා බැලේ. සමහර අවස්ථාවල තාක්ෂණය ඔස්සේ දුරස්ථ අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති අයවලූන් වැඩි අවධානයකට ලක් වෙති. එඞ්ල්මන් ඉන්ටලිජන් යන ඇමරිකානු ආයතනයක් නිදහස් වෘත්තිකයන් ගේ සංවිධානයක් සමග එකට එකතු වී කළ පර්යේෂණ වාර්තාව මගින් අනාගත රැකියා අවස්ථා වලට උපාධියට වඩා වෘත්තීය කුසලතා සලකා බලනු ඇති බව අවධාරණය කර තිබේ. ස්ථිර රැකියා වෙනුවට නිදහසේ තමන්ට ගැලපෙන ස්ථාන වලට සේවය කිරීම ලෝකයේ රැුකියා වෙළද පොල තුළ පවතින පොදු ගුණාංගයක් වනු ඇති අතර එවැනි සේවාවක නිරතවන අතරවාරයේ නොනවත්වා ඉගෙන ගැනීම ද විශේෂිත ලක්ෂණයක් බවට පත්ව ඇත. දැන් පවතින සාමාන්‍ය ක‍්‍රමය අනුව රස්සාවක් වෙනුවෙන් ඉගෙන ගැනීම අනාගතයේ දී වෙනස්වනු ඇති අතර වෙළද පොල අවශ්‍යතා අනුව දිගටම අධ්‍යාපනය ලැබීම ද අලූත් පැත්තක් විය හැකිය.

ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කරන්නට හා අලූත් ප‍්‍රතිපත්ති හදන්නට සූදානම්වන අධ්‍යාපනඥයෝ මෙම පැති ගැන අවධානය යොමු කළ යුතුය. නිදහස් වෘත්තිය අවස්ථා සහ අනාගතයේ දී නිර්මාණයවනු ඇතැයි කල්පනා කරන රැකියා වලට මෙරට අධ්‍යාපන අවස්ථා සැකසීම බලවත් වගකීමකි. ඉදිරි දශක දෙක තුළ ලෝකයේ අලූතින් හැදෙන බවට විශ්වාස කරන දැන් භාවිතයේ නැති රැකියා ගැන අවධානය යොමු කරන විට එවැනි පැත්තකට යොමු කළ හැකි ශිල්පීය කුසලතා පරපුරක් හැදීම අපගේ අධ්‍යාපන ක‍්‍රමයේ අභිලාශය විය යුතුව ඇති බව පෙනේ.

එහෙත් මෑත කාලය තුළ මෙරට ප‍්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනයේ පෙලපොත් වෙනස්කම්වල දී පවා සලකා බලන්නේ පවතින තත්ත්වය ගැනය. තවත් දශකයකින් දෙකකින් පසු ලෝකයේ මතුවනු ඇති බවට විශ්වාස කරන කෘතීම බුද්ධියෙන් වැඩ කරන පරිගණක වැනි අංශ වල දී මතුවිය හැකි සේවා අවශ්‍යතා ගැන අවධානය යොමු කරන්නේ නැත. වෙළදපොල, සෞඛ්‍ය, ප‍්‍රවාහනය, සන්නිවේදනය ඇතුළු ජන ජීවිතයේ එදිනෙදා සියළු දේ පාලනය වන ක‍්‍රමය වෙනස් වන්නට ඉඩ තිබේ. පසුගිය කාලය දෙස ආපසු හැරී බලන විට සෑම අංශයක්ම තාක්ෂණික හා විද්‍යුත් පැති වලින් වෙනසකට පත්වන බව සනාථ වන කරුණකි. බස් ටිකට්එක අන්තර් ජාලයෙන් වෙන් කරගත හැකි හෝ දුරකතනයෙන් මුදල් හුවමාරු කරගත හැකි වනු ඇතැයි මෑතක් වන තුරු අප කිසිවෙකු විශ්වාස කළේ නැත. එහෙත් එම පරිවර්තනය සිදුවී තිබේ. ජන සමාජයේ සෑම ස්ථරයකටම මෙම අංශ විහිදෙන පරිදි පරිගනක හා අන්තර්ජාල පහසුකම නොතිබීම යම් ප‍්‍රමාණයකට ගැටළුවකි. තවමත් ශ‍්‍රී ලංකාවේ සමාජ බෙදීම් සම්බන්ධව සලකනවිට පරිගණක සාක්ෂරතාව ප‍්‍රධාන කරුණකි. එහෙත් වරප‍්‍රසාද අහිමි පැලැන්තියට පහසුවෙන් එදිනෙදා කාර්යය කරගැනීමට පමණක් නොව සමාජ අසාධාරණකම් තුරන් කිරීමට ද තොරතුරු තාක්ෂණ සන්නිවේදනය ඉවහල් කරගත හැකිය. එය මෙවලමක් කරගැනීම කෙරෙහි අවධානය යොමු නොකිරීම බලවත් අඩුපාඩුවකි.

පන්තිකාමයේ පවතින පහසුකම් හෝ පතපොත, නිල ඇදුම් සැපයීම හා සමානව දරුවන්ගේ හසුරු කුසලතා කෙරෙහි අවධානයක් යොමු කළ යුතුය. සහජ කුසලතා හදුනාගෙන ඒවා වැඩි දියුණු කරන සැලසුම් අධ්‍යාපනයේ අලූත් ප‍්‍රතිපත්ති වලට ඇතුලත් කළ යුතුය. කටපාඩම් කරන, උපරිමයෙන් ටියුෂන් යන එහි ප‍්‍රතිඵලයක් වශයෙන් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබීම අනාගතයේ ප‍්‍රතිඵල විරහිත වනු නොඅනුමාන බව ජාත්‍යන්තරයෙන් ලැබෙන වාර්තා අනාවරණය කරයි.