» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/12/2016 - ඉරිදා ලංකාදීප
ජනතා බදු වලින් යැපෙන නිල වාහන ආඪ්‍යත්වය

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ඇඳුම් භාවිතාව ගැන සමහර විවේචන තිබේ. නමුත් ඔහුගේ නිල වාහන භාවිතාව ගැන ඉන්දියානුවන් කතා කරන්නේ ආඩම්බරයෙන්ය. 2014 අවුරුද්දේ මැයි මාසයේ දී හෙතෙම අගමැති වශයෙන් පත්වන විට ඔහුගේ ආරක්ෂාව හා රටේ අභිමානය වෙනුවෙන් යෙදවිය යුතු වාහනය ගැන විශාල විවාදයක් තිබිණි. ඉන්දීය ආරක්ෂක අංශ නවීන, උසස් තාක්ෂණික මෙවලම් වලින් යුතු බටහිර වාහනයක් යෝජනා කළේය. එතෙක් මහ ගුජරාට් ඇමැතිවරයා වශයෙන් ප‍්‍රකට ඉන්දියන් වාහනයක් වන මහෙන්ද්‍රා ස්කෝපියෝ වර්ගයේ වාහනයක් නිල රථය කරගෙන සිටි නරේන්ද්‍ර මෝදි එයට දැක්වුයේ ලොල් බවකි. මහේන්ද්‍රා සමාගම ඔහු වෙනුවෙන් රථයක් නිර්මාණය කරන්නට සූදානම් විය. නමුත් ආරක්ෂක රීති අනුව ඔහුට ගොඩවෙන්නට සිදුවූයේ ආණ්ඩුවේ නිල රථයටය.

මෙයින් අවුරුදු පහලොවකට කලින් නරේන්ද්‍ර මෝදි මහ ඇමැතිවරයෙකි. ගුජරාට් ප‍්‍රාන්තයේ ජනතාව තෝරා ගත් ක‍්‍රියාශීලී සරල පුද්ගලයෙකු වූ ඔහුගේ දර්ශනය වූයේ ඉක්මනින් වැඩ කර පලාත දියුණු කරන එකකි. විදේශ ආයෝජන ආකර්ශනය කරගන්නට මහ ඇමැතිවරයා වශයෙන් මෝදි දැක්වූයේ බලවත් උනන්දුවකි. පලාත පුරා ඇවිදිමින් ජනතා ගැටළු වෙත තමන්ම නැඹුරු වන ප‍්‍රවණතාවයක දී ඔහු වටා ජනතාව එකතුවූයේ නිතැතින්ය. මහේන්ද්‍රා ස්කෝපියෝ රථය එහි ඇති ඉන්දීය ධජය ගුජරාට් වැසියන්ට මහ ඇමැති හදුනාගන්නා සංකේතය විය. එයින් පසු ඉන්දියාවේ 15 වැනි අගමැති වශයෙන් 2014 දී පත්වූ මෝදි තවදුරටත් මහේන්ද්‍රා වාහනයට කැමැතිව සිටියේය. දිවුරුම් දෙන්නට රාශ්ඨපතිභවන වෙත ආවේ ඉන්දියාවේ නිෂ්පාදිත මහේන්ද්‍රා වාහනයෙන්ය. ඉන්දියන් දේ භාවිතා කරන, ඉන්දියානුවෙකු වෙන්න යන සංකල්පය එහිලා තදින් බලපෑවේය. මහේන්ද්‍රා වාහන නිපදවන සමාගම මෝදි අගමැති වෙනුවෙන් විශේෂ ආරක්ෂක උපාංග සහිතව, ආනයනික වාහනයකට වැඩි උපාංග සම්පාදනය කර දෙන්නට කැමැති විය. එහි සභාපති ආනන්ද මහහේන්ද්‍රා මෝදි වෙත ලිඛිතව දැනුම් දුන්නේය. මෝදි අගමැතිවරයා එය කෙරෙහි සිය සැලකිල්ල යොමු කළේය. නමුත් ඉන්දීය ආරක්ෂක උපදේශකයන්ගේ තීන්දුව අනෙකක් විය. රටට ගෙනැවිත්, ඒ වන විටත් භාවිතා කර තිබුණ නිල බී.එම්.ඩබ්ලිව් වාහනය ඔවුහු අගමැතිවරයා වෙනුවෙන් තෝරාගත්හ. මහ ඇමැති වශයෙන් සුපිරි වාහනයක් භාවිතා කරන්නට ඔහුට හැකියාව තිබිණි. ආසියාවේ බලවත් රටක පාලකයා සේ පත්වන විට නිල වාහනය වශයෙන් අති සුඛෝපභෝගී වාහන පරිහරණයකට බාධාවක් තිබුණේ නැත. අගමැතිවරයා එවැනි තීරණයකට අවනත නොවීය. ඔහු ඇතුළු එරට දේශපාලනඥයන් ඇම්බසඩර් කාර්, මහේන්ද්‍රා ජීප් වලට කැමැතිය. එය ඉන්දීය දේශපාලනඥයන්ගේ එක් අනන්‍යතාවයකි.

පසුගිය දා පිලිපීනයේ ජනාධිපති ධුරයට පත් රොඩි‍්‍රගෝ ඩුටර් සිය කැබිනට් ඇමැතිවරුන්ට සෙඩාන් කැබ් එකක් තෝරා නියම කළ අතර එයට අමතර වශයෙන් කාර්යාලයට එන්නට සාමාන්‍ය කාර් එකක් දෙන්නට තීරණය කළේය. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ අමතර වාහනය ටොයොටා ඇවැන්සා වර්ගයේ කාර් එකකි. සෙඩාන් කැබ් ඇවෙන්සා කාර් මෙරට මධ්‍යම පැලැන්තියේ ඒවාය. නමුත් පිලිපීනයේ දේශපාලනඥයන්ට එයින් අපහසුතාවයක් නැත. භූතානය එරට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට, කාර්යාල වාහන වලට තෝරා ගත්තේ නිසාන් ලීෆ් වර්ගයේ ඉලෙක්ටි‍්‍රක් කාර් වන අතර ඒ වෙනුවෙන් සැපයුම්කරුවන් සමග ගිවිසුමක් ද අත්සන් කළේය. යුරෝපා සහ ස්කැන්ඩිනේවියානු රටවල මැති ඇමැතිවරුන් සිය නිල රථය වශයෙන් අති සුඛෝපභෝගී එකක් තෝරාගන්නේ නැත. තමන්ගේ ගමන් පහසුවට වඩා අවධානය යොමු කරන්නේ පරිසරය ගැනය. වඩාත් බලපාන හේතුව අනෙකකි. අති සුඛෝපභෝගී වාහනයකින් බැස බදු ගෙවන ජනතාව ඉදිරියට එන එක ලජ්ජාවකි. එයට ඔවුහු කැමැති නැත. තමන්ගේ පුද්ගලික වාහනය වශයෙන් අධික මිල එකක් ගන්නට වත්කම ඇති අය එසේ කරන නමුත් රජයෙන් දෙන නිල වාහනය සාමාන්‍ය එකක් වීම අගෞරවයක් සේ තකන්නට ඔවුහු සූදානම් නැත.

ශ‍්‍රී ලංකාවේ මැති ඇමැතිවරුන් අතරින් වැඩි දෙනෙකු ගේ වාහන පරිහරණය මෙයට හාත්පසින්ම වෙනස්ය. ජනතා සේවයට පත්වන විට බදු රහිත වාහනයක් මිල දී ගැනීමට ලැබෙන වරප‍්‍රසාදය පැත්තකින් තබමු. එය සාධාරණ විය හැකිය. නමුත් කාර්යාල වාහනය වෙනුවෙන් තවත් එකක් සැපයේ. අති විශාල වියදමක් ඒ වෙනුවෙන් වෙන් කරන්නට ආණ්ඩුවට සිදුවේ. මේවා සාධාරණ නැත. මැති ඇමැතිවරු, පලාත් ආණ්ඩුකාර, පලාත් දේශපාලනඥයන් සහ රජයේ ඡේ්‍යෂ්ඨ නිලධාරීන් යනාදී වශයෙන් ආණ්ඩුවේ වාහන භාවිතා කරන්නන් හිතන මතන ආකාරය ගැටළු සහගතය. තමන් පත් කළ මහජන නියෝජිතයා ගේ බලයක තරම, එහි ආඪ්‍යත්වය තක්සේරු කරන්නේ පරිහරණය කරන නිල වාහනයෙන්ද? ලෝකයේ වෙනත් රටවල ජනතා සේවකයන් නඩත්තු කරන ප‍්‍රමිති තිබේ. රජයේ නිලධාරීන්ට හිමි වරප‍්‍රසාද වල සීමා ඇත. මැති ඇමැතිවරු හෝ නිලධාරීන්ට තමන් රුචි පරිදි අත දිගහැර වියදම් කර සුඛෝපභෝගී සේ ජීවත් වන වරමක් නැත. වියදම් කරන්නේ මහජන මුදල්ය. ජනතාව ආණ්ඩුවට ගෙවන බදු වලින් ඉතාම වටිනා වාහනයක් මිල දී ගෙන ඉතාම සුපිරි ජීවිතයක් ගත කිරීම යුක්ති සහගත වන්නේ කෙසේද? මැති ඇමැතිවරු පොදුවේ රජයේ වාහන පරිහරණය කරන පිරිස ගේ නිල වාහන දෙස බලන ජනතාව මෙම ප‍්‍රවණතාවය ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය. තමන්ගේ මහජන නියෝජිතයා වශයෙන් තෝරා ගත් පසු ඔහුට ඉතාම වටිනා වාහනයක් දී යහපත් සේ බලාගත යුතු යැයි ඡන්ද දායකයන් තීරණය කරන්නේ නම් එය වරදක් නොවේ. ඇමැති එන්නට කලින් බැකප් යන්නේ අපේ පෙරහර වල කසකාරයන් සේ යැයි ජනතාව හිතන්නේ නම් වරදක් නැත. ඉන්දියාවේ, පිලිපීනයේ හෝ බටහිර රටක මෙපමණ උසස් සංස්කෘතියක් නැතැයි අපට සතුටු විය හැකිය.

නමුත් අභාග්‍යයට මෙන් මෙරට බදු ගෙවන ජනතාව උදේ හවස තදබදයෙන් මිරිකී බස් රියක හෝ දුම්රියෙන් ගමන් කරන්නේ තමන්ගේ නියෝජිතයන් ලක්ෂ හත් අට සියයක වාහනයක් පරිහරණය කරන පසුබිමකය. වාහනයක් දෙකක් වෙන්දේසි කිරීමෙන් දුම්රිය එන්ජිමක් මිල දී ගත හැකි අතර එය දස දහස් සංඛ්‍යාත ජන කොටසකට සහනයකි. ඇමැතිවරුන්ට මෙම අතිවිශාල වටිනාකමක් ඇති වාහන තමන්ගේ අතින් වියදම් කර පාවිච්චි කරන සේ නියම කළහොත් කවදාවත් මිල දී ගන්නේ නැත. මතක ඇති කාලයේ නිල දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර පරිහරණය කරන ලද, ඒවායෙන් ගමන් බිමන් ගිය දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරීන් ගෙන් බහුතරයක් වාහන පරිහරණයේ දී රටේ දුප්පත්කම ගැන හිතන්නේ නැත. තමන්ගේ තරම ගැන කොසකලකයි. එහෙයින් පොදුවේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ආණ්ඩුවේ ඉහළ සිට පහලට ආදර්ශය වැදගත්ය. සරල, පිරිමැස්මක් සහිත ජීවිත ගතකරන අය ඉතිරි කරන්නේ ජනතා ධනයයි. එය ජනතාවගේ අප‍්‍රමාණ සන්තෝෂයට හේතුවනු නොඅනුමානය. අද සිදුවන දේ දෙස අනුකම්පාවෙන් ජනතාව බලාඉන්නේ වෙන කළ හැකි දෙයක් නැති හෙයින් බව මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කාරණයකි.