» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/11/2018 - ඉරිදා ලංකාදීප
ඔටුන්න වෙනුවෙන් අවුරුදු හැත්තෑවක් බලා සිටින චාල්ස් කුමාරයා

උරුමයෙන් හිමි කිරුළ පැළඳගැනීමට වසර හැත්තෑවක් තිස්සේ සූදානම් වන චාල්ස් කුමාරයා වශයෙන් ගැන බටහිර මාධ්‍ය ඔහු ගැන හදුන්වයි. නමුත් රජ වෙන්නට ඉක්මනක් නැත. එලිසෙබත් රැජනගේ නිරෝගී දීර්ඝ ජීවන ගමන හෙතෙම ඉත සිතින් අපේක්ෂා කරන බව සැකයක් නැත. චාල්ස් කුමාරයා යැයි ආමන්ත‍්‍රණය කරන නමුත් හෙතෙම දරු මුනුබුරන් ගේ සුරතල් බලන ‘‘සීයා’’ කෙනෙකි.

චාල්ස් පිලිප් ආතර් ජොර්ජ් උපදින්නේ 1948 නොවැම්බර් 14 වැනිදාය. දෙවැනි එළිසෙබත් රැජනගේ වැඩිමහල් පුත‍්‍රයා වශයෙනි. රජ කුමාරයා ගේ මූලික අධ්‍යාපනය හමාර වීමෙන් අනතුරුව කේම්බී‍්‍රජ් හි ටි‍්‍රනිටි විද්‍යාලයෙන් උපාධිය ලබා ඇති අතර 1971 සිට 1976 දක්වා රාජකීය ගුවන් හමුදාවේ සහ රාජකීය නාවික හමුදාවේ සේවය කර ඇත. ඩයනා ස්පෙන්සර් සමග විවාහ වන විට එය ලෝකයේ අවධානය දිනා ගත් ශත වර්ෂයේ මංගල්‍ය වූ අතර විලියම් හා හෙන්රි යනුවෙන් පුතුන් දෙදෙනෙකි. නිත්‍යානුකූලව වෙන්වූ ඩයනා කුමරිය පසුව හදිසි වාහන අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙයි. චාල්ස් කැමිලා පාකර් විවාහ වීම එයින් අනතුරුවය.

චාල්ස් කුමාරයා රජකමට පත් වීමට ඉඩ ඇති නමුත් එය එසේ නොවුන ද ඔහුට ජාත්‍යන්තරයෙන් දැනට හිමි වී ඇති අනගි පිලිගැනීම කිසි වෙනසකට ලක් නොවේ. හෙතෙම පරිසරයට ලැදිය. කාබනික වගාව ගැන අතිශය උනන්දුවක් දක්වන අතර කාලගුණ වෙනස්කම් වලින් සිදුවන අයහපත් බලපෑම පාලනය කිරීම සඳහා කැපවිමෙන් ක‍්‍රියා කරයි. පරිසර සංවිධාන චාල්ස් ගේ අදහස් අගය කර තිබේ. ඔහුගේ ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්නට සංවිධානය වන ප‍්‍රජාවක් ජාත්‍යන්තරය තුළ සිටී. චාල්ස් කුමාරයා වෛකල්පික වෛද්‍ය විච්‍යාව කෙරෙහි ද නැඹුරු අයෙකි. හෝමියෝපති වෛද්‍ය ප‍්‍රතිකර්ම ගැන විශ්වාස කරන බව රාජකීය පවුලේ තොරතුරු උපුටා දක්වන වාර්තා පෙන්වයි. එහෙත් ඒ ගැන ඇතැම් බටහිර වෛද්‍යවරු විවේචනය කරන බව අනාවරණය වන තවත් කරුණකි.

චාල්ස් කුමාරයා බි‍්‍රතාන්‍යයේ සම්ප‍්‍රදායික ගෘහ නිර්මාණ ගැන නිතර කතා කරයි. පැරණි ආකෘති ආරක්ෂා කිරීම ගැන නවීන ගෘහ නිර්මාණ ශිල්පීන්ට උපදෙස් දෙන අවස්ථා තිබේ. පවුන්ඞ්බෙරි ඔහුගේ පාලන බලප‍්‍රදේශයට අයත් නගරයකි. එහි නිවාස පැරණි අලංකාරයෙන් යුක්තව පවත්වාගෙන යන අතර අලූත් ඉදිකිරීම් පවා නවීකරණ සැලැස්ම වලින් තොරව පරණ ආකෘතියට කරගෙන යෑමට චාල්ස් කුමාරයා අනුබල දෙමින් සිටී. එම සියළු පැතිවලට අමතරව හෙතෙම ග‍්‍රන්ථ කතුවරයෙකි. බි‍්‍රතාන්‍යයේ දර්ශනය ගැන වටිනා පොත් පමණක් නොව දරුවන්ට කතාන්දර පොත් ද ලියා තිබේ.

චාල්ස් කුමාරයා දවස අරඹන්නේ උදෑසන 8.45 ට කාර්යාලයේ දී තමන්ගේ නමට ලැබී ඇති ලියුම් කියැවීමෙන්ය. වෙනත් නිල කාර්යයක් රහිත නම් උදේ දහය වන තෙක් පමණක් නොව බොහෝ විට දිවා ආහාරය ද නොගෙන කාර්යාලයෙහි රැඳී සිටී. කැමැත්තක් තිබුණොත් ඔහුට අයත් නිල නිවාස වලින් එකකට යන හෙතෙම දිවා කාලය ගත කරන අතර ආපසු පැමිණ සවස් වන තුරු කාර්යයන් හි නියැලෙයි. ඇතැම් දිනවල ලෝකය පුරා නොයෙක් පුද්ගලයන් හා සංවිධාන සමග රාජකාරි කටයුතු කරන අතර කලූ පෑනෙන් ලියයි. අවශ්‍ය වුවහොත් රතු පෑනෙන් සටහන් කරන්නට ද හුරුවී සිටින බව චාල්ස් කුමාරයා ගේ දින චරියාව දක්වයි.

ලෝකයේ තිරසර පැවැත්ම ගැන චාල්ස් කුමාරයා දක්වන කැපවීම නිබඳ පැසසුමට ලක් ව තිබේ. ප‍්‍රකට රාජ්‍ය පාලකයන්, ධනවත් ව්‍යාපාරිකයන් සම සමාජ ක‍්‍රියාකාරකයන් චාල්ස් ගැන කියන්නේ ‘‘ක‍්‍රියාශීලි රජෙක්’’ වශයෙනි. චාල්ස් කුමාරයා ලෝකය පුරා සැරිසරමින් විවිධ සංවිධාන හා වැඩමුළුවල දී අවුරුදු පනහක් තිස්සේ කරන ලද කතා ඝනකම පොත් දෙකක් වශයෙන් පළ කර තිබේ. ඒවායේ කියැවෙන අදහස් වලට විශාල ගෞරවයක් ඇති බව නොරහසකි. ඔහු අනුගමනය කරන ප‍්‍රතිපත්ති වල නිවරුදි භාවය එයට හේතුවකි. ඕනෑම විවාදයක දී චාල්ස් කුමාරයාට අදහසක් ඇති අතර එය කෙසේවත් බැහැර කල නොහැකි මතයක් බව ඔහු ගැන කතා කරන විචාරකයෝ කියා තිබේ. ඉතාම වැදගත් කාරණය නම් කිරුළ හිමි රජ කුමාරයෙකු නමුත් සීමාව ඉක්මවා නොයන තද විනය බව ද විචාරකයෝ පෙන්වා දෙන වැදගත් කරුණකි.

චාල්ස් කුමාරයා 1976 වසරේ දී පුණ්‍ය භාරයක් ඇරඹීය. විවිධාකාරයේ ස්වේච්ඡා වැඩසටහන් කිරීම එහි ඉලක්කය වී තිබුණි. පසුව ඒවා වෙන් වෙන් ව සංවිධානගත කෙරිණ. අද වන විට ඔහු නමට පුණ්‍ය භාර 16 ක් තිබේ. බි‍්‍රතාන්‍යයේ විශාලතම භාර ජාලය වශයෙන් සැලකෙයි. අවුරුද්දකට එකතුවන මුදල පවුම් මිලියන 100 ඉක්මවන අතර තරුණ නායකත්ව, පරිසර, ව්‍යවසායකත්ව හා ජාත්‍යන්තර කටයුතු වෙනුවෙන් එයින් කෙරෙන වැඩ සටහන් රාශියකි. එයට අමතරව ලෝකය පුරා විවිධ ස්වේච්ඡා හාර අරමුදල් තුන්සියයක පමණ හෙතෙම භාරකාරීත්ව නිලතල උසුලයි. රාජකීය පවුලේ අය සමග මානුෂවාදී විවිධ කටයුතු වෙනුවෙන් පෙනී සිටීම පසුගිය කාලය පුරා චාල්ස් කුමාරයාගේ කැමැත්ත වී තිබේ. රාජකීය විශ‍්‍රාම වැටුපක් රජ වෙන්නට බලා ඉන්නා චාල්ස් කුමාරයාට හිමිය. එය අතට නොගත් ඔහු එය කෙලින්ම වියපත් පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ක‍්‍රියාකරන සංවිධානයකට පරිත්‍යාග කර තිබේ. කුඩා දරුවන් රෝග වලින් වලකන එන්නත්කරණ වැඩසටහන ප‍්‍රධානියා වශයෙන් ද චාල්ස් කුමාරයා ක‍්‍රියා කරයි. ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයට අනුව මිලියන සංඛ්‍යාත දරුවන් ප‍්‍රමාණයකගේ ජීවිත බේරා ගැනිමටඑය ඉවහල් වී තිබේ.

ඬේලි ටෙලිග‍්‍රාප් පුවත්පත 2008 වසරේ දී අනාවරණය කරන ලද අන්දමට රජ පවුලේ වැඩිම ක‍්‍රියාශීලී පුද්ගලයා චාල්ස්ය. එම වසරේ හෙතෙම අවස්ථා 560 කට සහභාගී වී තිබේ. 2011 වසරේ අවස්ථා 600 ඉක්මවා ඇත. එකිනෙකට වෙනස් තත්ත්ව යටතේය. යුද ගැටුම් වලින් අසරණ වූවන් සුරක්ෂිත කිරීමේ සිට කලාකෘති ආරක්ෂා කිරීම දක්වා සෑහන පරාසයකට විහිදෙයි. එවැනි දේ වලින් අප‍්‍රමාණ තෘප්තියක් ලබන බව නිරීක්ෂණය කළ හැකිය. ඔහුගේ කීර්තිය නිර්ලෝභීව සමාජ යහපත වෙනුවෙන් වියදම් කරන්නට චාල්ස් කුමාරයා සූදානම්ය. ඔහුගේ අනන්‍යතාවයට ගැලපෙන ඕනෑම ව්‍යාපෘතියකට සම්බන්ධ වන අතර එයින් වන යහපත අරභයා බලවත් කැමැත්තකින් කි‍්‍රයා කරයි.

පෝලෝ ක‍්‍රීඩා කරන්නට කැමැති කිරුළ හිමි කුමාරයා නමට ගෞරව නාම රාශියක් තිබේ. රාජකීය ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ලූතිනන් ධුරයේ සිට විවිධ අංශ වලට එය විහිදී ඇත. චාල්ස් කුමාරයා ගේ ජීවිනගමනගැන අති විශාල තොරතුරු සම්භාරයක් තිබේ. ඒවායෙන් යමක් තෝරා ගැනීම ද පහසු නැත. නමුත් ඔහු බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමාරයාය. ලෝකයේ කොතැනක දී පවා ඔහු ගැන හැඳීන්වෙන අව්‍යාජ සරල හැඳීන්වීම එයයි. රජ පෙලපත සමග පැවැරී ඇති රාජකාරි සම්භාරය විශාලය. පොදු රාජ්‍ය මණ්ඩල ප‍්‍රධානියා ගේ සිට රැජනගේ ඇතැම් නිල කටයුතු වල විශේෂ නියෝජිතයා දක්වා වෙන්කර පෙන්විය හැකිය. නමුත් ඉකුත් වසර හැත්තෑව තුළ ඔහු ගේ හැසිරීම, ක‍්‍රියාකාරීත්වය හා වගකීම් සහගත පෙනී සිටීම් වෙනුවෙන් ලෝකය පුරා විශාල තැනක් හිමි කරගෙන තිබේ. එය සෑහෙන වටිනා එකක් බව අවිවාදිතය.