» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/08/2019 - ඉරිදා ලංකාදීප
කුමන්ත‍්‍රණ න්‍යාය ද ත‍්‍රස්තවාදයක් සේ පිලිගැනේ

ත‍්‍රස්තවාදය විවිධ වේශයෙන් එන බව ආරක්ෂක අංශ තහවුරු කර තිබේ. ලෝකයේ නොවූ විරූවිනාශයක් ඇති කරන්නට ත‍්‍රස්තවාදයට පුලූවන්කමක් ලැබී ඇත. තනි පුද්ගලයා ගේ සිට ඉතා සංවිධානාත්මක කණ්ඩායම් එකිනෙකට වෙනස් අරමුණු සහිතව ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම්වල නිරත වෙති. සාමකාමී ජන සමාජයකට එය භයානක, ඉතා දරුණු තත්ත්ව ඇති කරයි. කොතැන කවර ආකාරයකින් තර්ජනයක් ඇති කරන්නේදැයි සහතික වශයෙන් කියනන්ට නුපුලූවන් තරමට ත‍්‍රස්තවාදය බලවත් විනාශයක් වී ඇති බව ඉතාමත් පැහැදිලිය.

ඉතිහාසයේ කොතැන, කවර ආකාරයකට ත‍්‍රස්තවාදය පැන නැගුණේ දැයි ඉදුරා ප‍්‍රකාශ කරන්නට හැකියාවක් නැත. නොබෝදා එක්සත් ජනපද ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් නොඑසේනම් කෙටියෙන් දන්නා එෆ්.බී.අයි. ආයතනය ත‍්‍රස්තවාදයේ අලූත්ම මුහුණුවර ගැන විශේෂ අනාවරණයක් කළේය. එයට අනුව ‘‘කුමන්ත‍්‍රණ’’ යනුවෙන් ඝෝෂාවක් ඇති කිරීම ද එක්තරා ආකාරයක ත‍්‍රස්තවාදයකි. කුමන්ත‍්‍රණයක් යැයි කියන වචනය භාවිතා කිරීම ගැන නගන චෝදනා, උද්ඝෝෂණ හෝ සමාජ මාධ්‍ය කටයුතු ‘‘ත‍්‍රස්තවාදයක්’’ යැයි කරන අනාවරණය ජගත් ප‍්‍රජාව සෑහෙන විස්මයකට පත් කර ඇති කරුණකි.

ඇමරිකාවේ ප‍්‍රධාන නීති බලගන්වන ආයතනය එෆ්.බී.අයි. වන අතර එය ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ක‍්‍රියාත්මක වෙයි. ඇමරිකාවේ බුද්ධි කාර්යාංශයේ සාමාජිකයෙකු වන අතර එරට නීතිපති දෙපාර්තමේන්තුවට හා ජාතික බුද්ධි අධ්‍යක්ෂකවරයාට වගකියන ආයතනයකි. නොයෙක් අපරාධ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින එෆ්.බී.අයි. ආයතනය වර්තමානයේ ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ව්‍යුහයට බලවත් හිසරදයක් වී ඇති ත‍්‍රස්තවාදයට එරෙහිව විශාල කාර්ය භාරයක් ඉටු කරයි. 1908 දී විමර්ශණ කාර්යංශයක් වශයෙන් බිහි වූ මෙම ආයතනය 1935 දී එෆ්.බී.අයි. වශයෙන් ස්ථාවර කරන ලද අතර අද වන විට එය ලෝකය පුරා නොයෙක් රාජ්‍ය සමග එකතු වී අපරාධ හා වංචා විමර්ශණයෙහි නියුක්තය. ඇමරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සමග ත‍්‍රස්තවාදයට මුහුණදෙන ආකාරය ගැන අලූතින් අධ්‍යයනය කරන්නට ඇමරිකාව පියවර ගත්තේය. එහිලා ඉතාමත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරන්නේ එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ්. ඩබ්. බුෂ් පත් කරන ජාතික කොමිෂමයි. කිසිම පක්ෂ බේධයක් නොසලකා ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන එරට ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්ම සාමාජිකයන් පස් දෙනෙකු බැගින් තෝරා මෙම කොමිසම 2002 නොවැම්බර් මාසයේ දී පත් කරන ලද අතර වසර දෙකක් ගත වීමටත් කලින් එනම් 2004 අගෝස්තු මාසයේ දී සියළු පැතිවලින් ආරක්ෂක දුබලතා විමර්ශණය කර විශේෂ වාර්තාවක් සකස් කර අවසානයේ දී ඇමරිකානු ආණ්ඩුවට බාර දුන්නේය. සැප්තැම්බර් 11 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය වන විට රට තුළ පැවැති දේශපාලනය පැත්තකට තැබූ ඇමරිකානුවෝ එරට ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වී එක අරමුණකින් කොමිසමක ක‍්‍රියා කිරීම විශේෂ සිද්ධියක් වශයෙන් ලෝක අවධානයට ලක් විය. මෙම කොමිසම කරන ලද නිර්දේශ සලකා බැලූ ඇමරිකාවේ ආරක්ෂක අංශ එරට නීතිය හා විධිවිධාන බලවත් සමාලෝචනයකට ලක් කළේය. එෆ්.බී.අයි. ආයතනයේ ක‍්‍රියා පටිපාටිය කාලානුරූපව වෙනස් කිරීම ඒ අතර කැපී පෙනෙන බව සඳහන් කළ යුතුය.

ත‍්‍රස්තවාදයේ නවතම මුහුණුවර, එහි ක‍්‍රියාකාරීත්වය ගැන විවිධ ආකාරයෙන් පරීක්ෂාකාරීව සිටින ඇමරිකාවේ එෆ්.බී.අයි. ආයතනය කුමන්ත‍්‍රණ චෝදනා එල්ල කරමින් රට තුළ ඇතිකරන යම් ආකාරයක ආන්දෝලනයක් ඇත්නම් එය දේශීය අන්තවාදයක් ඇති කරන අතර එකී මුහුණුවර ද ‘‘ත‍්‍රස්තවාදයක්’’ බව අලූතින්ම අර්ථදක්වා තිබේ. පසුගිය මැයි තිස්වැනි දා නිකුත්කරන ලද වාර්තාවක එය දැක්වෙයි. ඇමරිකානු ආරක්ෂක අංශ කියන මෙම ‘කුමන්ත‍්‍රණ’ යැයි කිසියම් ආකාරයකින් නගන ආන්දෝලනය එක්තරා ත‍්‍රස්තවාදයක් බව ලෝකයේ කවර හෝ තැනක නිල ආරක්ෂක අංශයක් කියන්නේ පළමු වතාවටය. එය අවධානයට ගැනීම වැදගත්ය. දේශීය හෝ විජාතික ‘‘කුමන්ත‍්‍රණයක්’’ බව කියා නගන අභූත චෝදනා සමග පැන නැගෙන නූතන ප‍්‍රවණතා වේගයෙන් පැතිරෙන අතර එය සමාජ බෙදීම් හා ගැටීම් වලට මුල් වන බව එෆ්.බී.අයි. අධ්‍යයනය පෙන්වා දෙයි. පුද්ගලයෙකු හෝ සංවිධානයක් වශයෙන් කිසියම් දෙයක් බලවත් කුමන්ත‍්‍රණයක් බව කියා ඇති කරන ආන්දෝලනය අපරාධ හෝ ප‍්‍රචණ්ඩත්වය ඇති කරන වැරදි ගනයට වැටෙන අතර ජනතාව කිසිසේත් නොසිතන ආකාරයේ සිද්ධි බලවත් කුමන්ත‍්‍රණ සේ හදුන්වමින් දැවැන්ත මත ඇති කිරීමක් 2020 ඇමරිකානු ජනාධිපතිවරණ කාලයේ දී සිදුවිය හැකි බව ද පෙන්වා දී තිබේ.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනයට කුමන්ත‍්‍රණ යන වචනය අලූත් දෙයක් නොවේ. ඕනෑම දෙයක් කුමන්ත‍්‍රණයක් වශයෙන් අර්ථ දක්වන අතර විජාතික කුමන්ත‍්‍රණ වශයෙන් ද හªන්වන්නට පසුබට නොවෙති. අද වනවිට පවතින සමාජ ගෝලීයකරණය රටවල් අතර අලූත් සබඳතා තරකර තිබේ. දේශ සීමා රහිත සමාජ නිර්මාණය කර ඇත. ආර්ථික ගිවිසුම් සහ සමාජ අවබෝධාත්මක ප‍්‍රතිපාදන ඇති කරගැනීම ඉතා විශාල වශයෙන් සිදුවෙයි. ආණ්ඩුවක ක‍්‍රියාකාරකම වැරදි කෝණයකින් හුවා දක්වා එය විජාතික කුමන්ත‍්‍රණයක් යැයි අර්ථ දැක්වීම පහසුය. බහු ජාතික කුමන්ත‍්‍රණ යනුවෙන් වෙළඳාම ගැන චෝදනා කරන අතර දේශපාලන සම්බන්ධතා පවා මහා පරිමාන ආර්ථික හා සමාජ කුමන්ත‍්‍රණ වශයෙන් ආන්දෝලනයක් ඇති කරති. මේවායෙන් කරන්නේ පවතින ආණ්ඩුව කරන කියන දේ සම්බන්ධයෙන් විශාල සැකයක්, අවිශ්වාසයක් ඇති කිරීම බව දැක්විය යුතුය. විපක්ෂ දේශපාලනඥයන් නගන කුමන්ත‍්‍රණ චෝදනා වලට මාධ්‍යයේ විශාල තැනක් ලැබෙන අතර එය සත්‍ය යටපත් කරයි. විශේෂයෙන් සමාජ මාධ්‍යවලට එය ඉල්ලමක් වී තිබේ. නොයෙක් ආකාරයෙන් අර්ථ දක්වමින් නගන කුමන්ත‍්‍රණ චෝදනා සත්‍ය යටපත් කරන අතර ඇත්ත පෙන්වීමට ගන්නා ප‍්‍රයත්නය පවා අසරණ කරවයි.

ලෝකයේ ආණ්ඩු අතර සම්බන්ධතා වලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ඇමරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධයක් තිබුණ කාල වකවානුවේ රටවල් දෙපැත්තට බෙදී තිබුණ අතර ක`දවුරු දෙක හදුනාගත හැකිව තිබුණි. මෙම කඳවුරු දෙකටම එපමණ සමීප නොවූ රටවල් නොබැඳී රටවල් වශයෙන් සංවිධානය වී සිටි බව ද සිහිපත් කළ යුතුය. සෝවියට් දේශය බිඳවැටී කඳවුරු වෙනස් වූ පසු සම්බන්ධතා ඒක පාර්ශවීයවීම ලෝකයේ පැවැත්ම අද පවතින තත්ත්වය කරා යොමු කළේය. දේශපාලනයේ දී රටවල් වල අතපෙවීම් ප‍්‍රබල වී ඇත. ආණ්ඩු බිඳ දැමීමට හා අලූත් බලවේග නිර්මාණය කිරීමට ජාත්‍යන්තරය තුළ සිදුවන මෙහෙයුම් ගැන නොයෙක් අදහස් තිබේ. ඇමරිකානු ජනාධිපතිවරණය අවස්ථාවේ දී රුසියානු මැදිහත්වීම මෑත කාලයේ මතුවූ එවැනි බරපතල අවස්ථාවකි. මේවා කුමන්ත‍්‍රණ වශයෙන් නිරීක්ෂණයවීම එක පැත්තකින් බලන විට වරදක් නොවේ. කෙසේ වෙතත් හැම සිද්ධියක්ම කුමන්ත‍්‍රණයක් නොවන අතර අස්ථානයේ බිය ගැන්වීම, කුමන්ත‍්‍රණ චෝදනා එල්ල කර ජනතාව කුපිත කිරීම එක්තරා ආකාරයක ත‍්‍රස්තවාදයක් බව ඇමරිකානු ආරක්ෂක අංශ කරන සඳහන සැලකිල්ලට ගැනීම වටී.

කුමන්ත‍්‍රණ චෝදනා වල ඇත්ත නැත්ත හªනා ගැනීම වැදගත්ය. අස්ථාන චෝදනා හා ජනතාව තුළ අනෙක් මතයක් මවා කරන අදහස් මැවීම අන්තවාදය ඇති කිරීමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කරන බලපෑමක් බව පිලිගත යුතුය. කුමන්ත‍්‍රණය ත‍්‍රස්තවාදයක් වශයෙන් හªන්වන්නට උත්සුකවීම කෙසේ වෙතත් මතු කරන සිද්ධි වල පසුබිම අධ්‍යයනය කර සත්‍ය අවබෝධ කරගන්නට හැකි සමාජයක් නිර්මාණය කරගැනීම පුලූල් වගකීමකි. සෑම චෝදනාවක්ම, ප‍්‍රතිචෝදනාවක්ම කරුණු සහිතව විමසා බැලීමට ජනතාව හුරු විය යුතුය. තලියේ කිඹුලන් දැකීම නුසුදුසුය. කුමන්ත‍්‍රණය ත‍්‍රස්තවාදයක් නම් පරාජය කිරීමට ජනතාව බුද්ධිමත් විය යුතුය.