» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/06/2017 - ඉරිදා ලංකාදීප
කෘෂි අංශයෙහි වෙනත් පැති ගැන අවධානයක්

ලෝකය ආර්ථික වශයෙන් දියුණු වන විට නොයෙක් පරිවර්තන සිදුවෙයි. නොයෙක් රටවල පුරවැසියන් වෙනදාට වඩා වැඩි ආදායමක් ලබන විට අත්‍යවශ්‍ය දේ වලට බැහැර නොයෙක් අවශ්‍යතා වෙනුවෙන් වියදම් කරන්නට නැඹුරු වන බව පර්යේෂකයන් පෙන්වා දෙන කාරණයකි. ආවේනික ලක්ෂණ සහ සංස්කෘති අනුව මෙම වියදම් වෙනස් වන බව පෙනේ. සතුට දක්වන්නට පමණක් නොව ශෝකය වෙනුවෙන් ද සජීවී මල් භාවිතා කරන්නට හුරු වීම එයින් එක පැත්තකි. ලෝකයේ දියුණු රටවල පොහොසත් සමාජය එදිනෙදා විවිධ උත්සව වෙනුවෙන් මල් උපයෝගී කරගන්නා අතර ඒ වෙනුවෙන් ලෝකයේ දැවැන්ත මල් වෙළඳ පොල නෙදර්ලන්තයේ පිහිටා තිබේ. දිනපතාම කුලියට ගත් ගුවන් යානා විශාල ප‍්‍රමාණයක් ලෝකයේ නොයෙක් තැන් වලින් එකතු කරගත් මල් තොග නෙදර්ලන්තයේ තොග වෙළද පොලට රැගෙන එයි. එතැන දී නිසි ලෙස වෙළඳාම් කරන මල් ලෝකයේ නොයෙක් රටවලට ප‍්‍රති අපනයනය කරන අතර ද ගාඩියන් සඟරාව පසුගිය දා විශේෂ හෙළිදරව්වක් කරමින් මෙකී මල් වෙන්දේසි කරන තැන පාපන්දු ක‍්‍රීඩාංගන දහසයක් තරම් විශාල බිමක් වන අතර එය සම්පූර්ණයෙන්ම වීදුරු කාමර වලින් පිරි රාත‍්‍රී කාලයේ ද දිවා ආලෝකයට සමාන එළියක් ලැබෙන අන්දමට සකස් කර ඇති තැනක් බව දක්වා ඇත.

ආර්ථික පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ගෘහ අලංකාර මල් පැල සහ උත්සව සඳහා කැපූ මල් අලෙවිය වේගයෙන් වර්ධනය වෙන ව්‍යවසායයක් බවය. මෙයින් වසර හැටකට කලින් ලෝකයේ මල් වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන තුනකට සීමා වී තිබුණි. පසුගිය අවුරුද්දේ දී එය ඇමරිකානු ඩොලර් බිලියන 125 ඉක්මවා ගිය අතර අතර ඉදිරි කාලය තුළ සියයට 5.2 ක පමණ වර්ධනයක් දක්වනු ඇතැයි දැක්වෙයි. මල් වවන්නට පෙළඹෙන්නේ ඕලන්දය, නෙදර්ලන්තය වැනි රටවල්ය. නමුත් එය ආසියානු අප‍්‍රිකානු කලාපයට ව්‍යාප්ත වී ඇත. වියලි කර්කෂ ප‍්‍රදේශයක් වශයෙන් පැවැති එසේම නීති විරෝධී මත්ද්‍රව්‍ය වගා කරමින් සිටි අප‍්‍රිකාවේ රටවල් ගණනාවක් වර්තමානයේ එකී වගා බිම් මල් වගාකරන දර්ශණීය තැන් බවට පත් කරගෙන ඇත. ඉක්වදෝරය, කොලොම්බියාව හා කේන්යාව යන රටවල් තුනක මල් වෙළඳාම ලෝකයේ සමස්ථ මල් අලෙවියෙන් සියයට හතලිස් හතරක කොටසක් අත්පත් කරගෙන ඇති අතර නෙදර්ලන්තය වැනි රටවල අයිතිකාර බව වේගයෙන් පිරිහෙමින් තිබේ.

ඉක්වදෝරය කැපූ මල් අපනයනය කරන ලේඛනයේ තුන්වැනි තැන සිටී. 1991 වසරේ දී අප‍්‍රිකානු කලාපය වෙනුවෙන් විශේෂ සහන වැඩ පිලිවෙලක් ඇමරිකාව දියත් කරන ලද අතර බොලිවියා, කොළොම්බියා, ඉක්වදෝර් හා පේ? යන රටවල මත් ද්‍රව්‍ය වගාව දුර්මුඛ කර මල් වවන්නට හැකි වන සේ දිරිගැන්වීමක් කළේය. එයින් පසු යුරෝපා ප‍්‍රජාව මෙම මල් අපනයනය වෙනුවෙන් විශේෂ සහන ප‍්‍රකාශයට පත් කරන ලද බව දැක්වෙයි.

වසර දහයකට කලින් ඕලන්ද සමාගමක් කැපූ මල් ව්‍යාපාරයක් සදහා තෝරා ගන්නේ ඉතියෝපියාවය. ඒ වන විට කෙන්යාවේ සාර්ථක ලෙස මල් වගා කරන මෙම සමාගම ඉතියෝපියාව තෝරා ගන්නේ බදු අඩු, රාජ්‍ය බැංකු ණය ලබාගත හැකි සහ නොයෙක් දිරිගැන්වීම් ඒ වෙනුවෙන් ලැබුණ හෙයින්ය. සමාගම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන දහයක් බව අප‍්‍රිකානු ව්‍යාපාර සඟරාවක් පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී අනාවරණය කළේය. වසර දහයක ඇවෑමෙන් අප‍්‍රිකානු රටවල් අතර විශාල වශයෙන් කැපූ මල් අපනයනය කරන්නන්ගේ ලේඛනයේ දෙවැනි තැන දිනාගන්නට ඉතියෝපියාව සමත්ව සිටී. එය විශේෂ සිද්ධියකි.

චීනයේ යුනාන් ප‍්‍රාන්තයේ ගොවියන් මල් වගා කරන්නට පටන්ගෙන තිබේ. පසුගිය අවුරුදු දහය ඇතුලත චීනයෙන් අපනයනය කරන මල් වලින් සියයට පනහක් නිපදවන්නේ යුනාන් ප‍්‍රාන්තයේ ගොවියන්ය. එම කාලය තුළ හෙක්ටයාර් 1,000 ක සිට හෙක්ටයාර් 16,000 දක්වා මල් වගා කරන ගොවි බිම් ප‍්‍රමාණය ඉහළ ගොස් තිබේ. එයින් දුගී භාවයේ සිටි පවුල් දස දහස් ගණනක් ඉසුරුමත් තත්ත්වයට පත්ව ඇතැයි දැක්වෙයි. චීනයේ ගුවැන්ෂෝ ප‍්‍රාන්තය ද ඒ ආකාරයට මල් වගාකරන්නට අලූතින් පදනම සකසා ගත් ප‍්‍රාන්තයකි.

ශ‍්‍රී ලංකාව මෙවැනි අලූත් පැති දෙස අවධානය යොමු කරන්නට අවශ්‍යය. මෑත වසර කිඑිපය තුළ කෘෂි අංශය යම් පසුබෑමකට ලක්ව තිබේ. තේ, රබර් සහ සුළු අපනයන බෝග වැනි සම්ප‍්‍රදායික අපනයනවලට වඩා වෙනස් තැන් කෙරෙහි වගාකරුවන් නැඹුරු කළහොත් රටට අවශ්‍ය විනිමය උපයා ගැනීමට අලූත් මාර්ග විවෘත වෙයි. ශ‍්‍රම හිඟය අද රට තුළ කෘෂි අංශය පසු බෑමකට ලක්කරන ප‍්‍රබල කාරණයක් බවට පත්ව ඇත. නමුත් මල් හා විසිතුරු පැල වගාව විශාල ශ‍්‍රමයක් අවශ්‍ය නැත. ගෘහස්ථ වශයෙන් හොඳ ප‍්‍රමිතියකට වගා කළහොත් ඒවා කණ්ඩායම් වශයෙන් ගොනුකර හොඳ අපනයන සැලැස්මක් සකස් කරගන්නට බැරි කමක් නැත. අප‍්‍රිකානු කලාපයේ රටවල් වලට එය කළ හැකි වූයේ නම් ශ‍්‍රී ලංකාවට එය සැලසුම් කළ නොහැකි මන්ද? නමුත් කේන්යානු අත්දැකීම පෙන්වන අන්දමට යම් ආකාරයක දිරිගැන්වීමක් අවශ්‍යය.

මල් වගා කරන්නට උනන්දු වන තරුණ කණ්ඩායමක් බිහි කරන විට ඉඩම් අහිමිවීම එහි ප‍්‍රබල ගැටළුවකි. වගා නොකරන ඉඩම් විශාල වශයෙන් පවතින අතර මේවා ප‍්‍රයෝජනයට ගත යුතුබව අවුරුදු කිහිපයක්ම අය වැය ලේඛන වල දක්වා තිබේ. මෙරට ඉඩම්වලින් සියයට 85 ක් අයිතිය ආණ්ඩුව සතුය. මෙම ඉඩම් තෝරාගත් විශේෂ උණන්දුවක් ඇති පිරිස් වෙත බෙදා දී මල් වගා තාක්ෂණ දැනුම ලබාදීම සුදුසුය. දැනට තාක්ෂණය සම්පදනය කරන එවැනි වැඩ පිලිවෙල ඇත. නමුත් මෙම ක්ෂේත‍්‍රය සියුම් හා තරගකාරී එකකි. මෙරට මල් ප‍්‍රබේධ හා පැල බෝ කිරීම එපමණකට සිදු නොවේ. ඒ වෙනුවෙන් ආයෝජනය කරන්නට ව්‍යවසායකයන් දිරිමත් නැත. එයට හේතුව තායිලන්තය වැනි රටවලින් පටක රෝපිත පැල ආනයනය පහසු කාර්යයක් බවට පත්ව තිබීමය. ශ‍්‍රී ලංකාව මල් අපනයනය කරන කාර්යය වෙනුවෙන් අවධානය යොමු කරන්නේ නම් පළමුවෙන් කළ යුතුව ඇති කාර්යයක් තිබේ. එනම් තායිලන්තයේ මල් පැල නිෂ්පාදනය හා තරගයක් දෙන මට්ටමට රට තුළ පැල හදා වඩා ගැනීම දියුණු කරන ඉලක්කයක් සූදානම් කිරීමයි. එය පහසු එකක් නොවේ. කළ නොහැකි දෙයක් නොවන බව අප‍්‍රිකානු කලාපය දක්වන බව නිතර සිහිපත් කළ යුතුය. ඉඩම් සම්පාදනය කර සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසයකයන් සේ නගා සිටුවන්නට විශේෂ ණය හා බදු පහසුකම් එක්තරා කාලයක් වෙනුවෙන් සම්පාදනය කළ යුතුය. අවශ්‍ය කරන පොහොර සහ රසායනික යෙදවුම් බාධාවකින් තොරව සැපයීම අවශ්‍යය. රටේ අපනයන විවිධාංගීකරණ සැලැස්මට මල් වගාව ද එකතු කළ හැකිය.

මල් පැල හා කැපූ මල් හා පත‍්‍ර අපනයනය විශේෂ අවධානයකින් කළ යුතුය. එයට ගුවන් ප‍්‍රවාහනය වැදගත්ය. මල් එකතු කරන හා වෙන්දේසි කරන රටවල් කරා ඉක්මනින් මල් තොග යොමු කරන්නට ප‍්‍රවාහන පහසුකම් සැපයිය නොහැකි නම් මල් වගාව පමණක් දියුණු කිරීම ගැටළු ඇතිකරයි. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවාවේ භාණ්ඩ ප‍්‍රවාහනය මිල අධික බව මෙරට අපනයන කරුවන් සඳහන් කරන කාරණයකි. වේගයෙන් අඩු පිරිවැයකින් මල් හෝ කැපූ පත‍්‍ර ගැනුම් කරුවන් වෙත ප‍්‍රවාහනය කළ නොහැකි නම් වෙළඳ පොල ජයගන්නට හැකියාවක් නැත. අද වන විට මල් වෙළඳාම අන්තර්ජාලය කරා අවතීර්ණ වී තිබේ. ඇනවුම් කරන්නේ ඔන් ලයින් ක‍්‍රමයටය. එවැනි ඇනවුම් වලට විශාල තොග අයත් නොවන අතර කුඩා ප‍්‍රමාණ වලින් විශාල වශයෙන් සිදුවෙයි. එවැනි ඇනවුම් බලාගැනීමට නම් තාක්ෂණය සහ වේගවත් සැපයුම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එයින් පෙන්වන්නේ යම් ආකාරයක පරිවතනයකින් තොරව කැපූ මල් අපනයන කෂේත‍්‍රයේ තැනක් අත්පත් කර ගැනීම අපහසු බවය. මල් අපනයනය සලකාබලා යම් යම් ප‍්‍රතිසංස්කරණ කළහොත් ඒවා සෙසු අපනයන භෝග වෙනුවෙන් ද අපනයන අවස්ථා සම්පාදනය කරනු ඇති අතර අවසානයේ දී එය මෙරට විනිමය උත්පාදනයට ඇතිකරන්නේ විශාල පිටුවහලකි.