» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/03/2018 - ඉරිදා ලංකාදීප
ගිණි ඇවිලවීම වලකනු සඳහා - වෙබ් අඩවි පාලනය කළ යුතු බව එහි නිර්මාතෘ කියයි

අන්තර් ජාලය සොයා ගෙන වසර විසි නමයක් ගත වී තිබේ. එය සොයා ගත් ශ‍්‍රීමත් ටිම් බර්නස් ලී තමන් සොයා ගත් දේ ගැන විවෘත ලිපියක් අද ජීවත්වන සමාජයට ලියා තිබේ. ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා මහාචාර්යවරයා වන හෙතෙම 1989 මාර්තු මාසයේ දී අන්තර් ජාලය ගැන මුලික අදහස ලියැවිල්ලකින් ඉදිරිපත් කළේය. එය එපමණ අවධානයට නොගැණුන නමුත් 1990 සැප්තැම්බර් මාසය වන විට එය ක‍්‍රියාත්මක කරන්නට අනුමැතිය ලබාගත හැකි විය. හැට දෙහැවිරිදි බි‍්‍රතාන්‍ය ජාතික ටිම් ලියන ලිපිය අනුව මෑත කාලය තුළ අන්තර් ජාලය හා සමාජ මාධ්‍ය භාවිතාව අනිසි පරිහරණයකට යොමු වී තිබේ. එය කිසියම් පාලනයට යොමු කිරීම අවශ්‍යය.

‘‘අන්තර් ජාල හා සමාජ මාධ්‍ය සේවා සපයන ආයතන අතර එක්තරා ආකාරයකින් සමාජය අවුලවන ඒවා නියාමනය කළ යුතු අතර අනෙක් පැත්තෙන් අධිපතිවාදී සමාගම් ව්‍යුහයක් ඇතිවීම පාලනය කිරීම අවශ්‍ය’’ බව කියා සිටී. ‘‘සමාගම් විශාල ප‍්‍රමාණයක් පැවතීම තරගකාරීව සේවා සපයන්නට හේතුවන අතර එම තරගය තුළින් සමාජයට වැඩි වාසියක් ලැබිය යුතු බව’’ මහාචාර්ය ටිම් බර්නස් සිය ලිපියෙන් සඳහන් කර තිබේ.

‘‘මෑත කාලය තුළ සමාජ මාධ්‍ය ජාලා අතර පැතිරෙන ස්වභාවය අනුව ට්විටර් හා ෆේස්බුක් ව්‍යාජ ගිණුම් තිබේ. සමාජය තුළ තිගැස්මක් ඇති කරන්නට ඒවා සමත් වී ඇත. මැතිවරණ වලට අභ්‍යන්තර පිරිස් මැදිහත් වීමෙන් ප‍්‍රතිඵල වලට බලපෑමක් වී තිබේ. අපරාධ හා පුද්ගලික තොරතුරු පැහැර ගැනීමට අන්තර්ජාලය ලක්වන බව’’ ඔහුගේ අදහසයි. ‘‘වෙබ්, බ්ලොග් ඇතුළු සමාජ මාධ්‍ය බලවත් මෙවලම් වන අතර ඒවා ජනතාවට හොඳ වේදිකාවක් බව ද’’ නිර්මාතෘවරයා කියයි.

2018 වසර ලබන විට ලෝක ජනගහනයෙන් හරි අඩක් අන්තර් ජාලයට එනම් ඔන් ලයින් ප‍්‍රවේශ වී සිටී. මහාචාර්යවරයාට අනුව මෙම හරි අඩක කොටස තුළ ඔබ නොසිටින්නට හේතු කිහිපයක් තිබේ. ‘‘කාන්තාවකවීම, දුප්පත්කම, සන්නිවේදන පහසුකම් නැති දුර බැහැර ජීවත්වීම හෝ අඩු ආදායම් ලබන රටක් විය හැකි බව එහි දැක්වෙයි. අන්තර් ජාල පැතිරීම වලකන මෙම සඳහන් කරන ලද බාධක ඉවත් නොවුනහොත් ලෝක ජනගහනයේ අවසාන බිලියනයක කොටස ඔන් ලයින් සම්බන්ධවීම වසර 2042 දක්වා ප‍්‍රමාද වියහැකි බව’’ ඔහුගේ තක්සේරුවයි.

වසර දෙකකට කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික මානව අයිතිවාසිකම් සංශෝධනය කළේය. එයට අනුව අන්තර් ජාල පහසුකම් ලැබීම රටක පුරවැසියන්ගේ මූලික අයිතියකි. පිරිසිදු ජලය, වාසස්ථානයක්, ආහාර, විදුලිය ඇතුළු අනෙක් මූලික අවශ්‍යතා අතරට අන්තර් ජාල ප‍්‍රවේශ අයිතිය එකතුවීම විශේෂත්වයක් සේ සැලකිය යුතුය. එසේ නමුත් ලෝකයේ නොයෙක් තැන් වල අන්තර් ජාලයට ප‍්‍රවේශවීමට බරපතල බාධක ඇත. විශාල ගාස්තු එක හේතුවකි. මලාවි රාජ්‍යයේ ගිගා බයිට් එකක මිල මාසික ආදායමෙන් සියයට විස්සක් බව සඳහන්ය. සිම්බාබ්වේ හි එය සියයට හතලිස් පහකි. ශ‍්‍රී ලංකාවේ අන්තර් ජාල භාවිතාව පිරිවැය අධික කාර්යයක් බව මෙහි දී සඳහන් කළ යුතුය. පරිහරණය කරන පාරිභෝගිකයන්ගෙන් පමණක් නොව සමාගම් වලින් ද නොසෑහෙන බදු අය කරන අතර එය ආණ්ඩුවේ ආදායමෙන් විශාල කොටසකි. ජනතාවට නොමිලේ වයිෆයි දෙන බව දේශපාලනඥයන් ප‍්‍රකාශ කරන නමුත් ටෙලිෆෝන් වලට අය කරන ගාස්තුව රට වැසියන්ට ඔරොත්තු දෙන එකක් නොවේ.

වසර විසි නමයකට පසු අන්තර් ජාලය පවතින ව්‍යුහය සමාලෝචනය කරන මහාචාර්ය ටිම් බර්නර්ස් සිය විවෘත ලිපියෙන් ‘‘ආණ්ඩු, දේශපාලනඥයන් සහ අන්තර් ජාල සේවා සපයන ආයතනවල ඒකාධිකාරය තුරන් කරන නියාමනයක් ඇති කිරීම අවශ්‍ය බව’’ අවධාරණය කරන බව ද මෙහි දී සඳහන් කරන්නට අවශ්‍යය.

අන්තර් ජාලයේ වැදගත් කම ගැන ජනතාවට අවබෝධයක් තිබේ. එකිනෙකා සමග සම්බන්ධවන හිතවත්කම් ඇතිකරගන්නා ඉතාම දියුණු මෙවලමක් සේ එය භාවිතාවට ගැනී ඇත. ශ‍්‍රී ලංකාවේ මිලියන හයක පමණ ජන කොටසක් නිති පතා සමාජ මාධ්‍ය පරිහරණය කරයි. ජනගනයෙන් සියයට විසි හයක් පමණ අන්තර් ජාලට සම්බන්ධය. විශේෂයෙන් තරුණ පිරිසක් එයට එකතු වී තිබේ. එදිනෙදා විස්තර දැනගැනීමට පමණක් නොව, සංචාරක, ව්‍යාපාර විදේශ වෙළඳාම හා විදේශ රැකියා යන ක්ෂේත‍්‍ර වලට සමාජ මාධ්‍ය පිටිවහලක් වී ඇත. දුරකථන වියදම් අඩු කර අන්තර් ජාල දත්ත උපයෝගී කරගෙන කරන සන්නිවේදනයට නැඹුරු වී ඇත.

අන්තර් ජාලයේ නිර්මාතෘවරයා සමාජ අභිවෘද්ධිය සඳහා ඒකාධිකාරය තුරන් කරන අතරමැදි ව්‍යාජ පරිහරණය කරන අය ඉවත් කරන කිසියම් මැදිහත්වීමක් අවශ්‍ය බව කියා ඇති වකවානුවේ දී මහනුවර දිස්ත‍්‍රික්කයේ සිද්ධියක් පදනම් කරගෙන මෙරට සමාජ මාධ්‍ය දින ගණනාවක් අවහිර කළේය. එය රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කරන ලද අවස්ථාවකි. ජාත්‍යන්තරව ද අවධානයට ලක් විය. තෝරාගත් මූලාශ‍්‍ර අනුව කිසියම් සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් පිරිසක් පමණක් වෛරී අදහස් පැතිරවීම වලක්වන ක‍්‍රියාමාර්ග ගතහැකිව තිබුණි. සමාජ මාධ්‍ය ජාලා පරිපාලනය කරන අංශ සමග සාකච්ඡා කර තෝරා ගත් පැති වාරණය කිරීම සුදුසුම ක‍්‍රමවේදයයි. එසේ නොකරන ලද ආණ්ඩුව සහමුලින්ම සමාජ මාධ්‍ය අවහිර කළේය. තාක්ෂණය ගැන දන්නා පිරිස එකී වාරණය අභිබවා සමාජ මාධ්‍ය පරිහරණය කරන්නට සමත් විය. සමාජ මාධ්‍ය භාවිතා කර යහපත් අදහස් පළ කරන පිරිසට ද මෙම වාරණයෙන් අවහිර කරන අතරවාරයේ අසත්‍ය තොරතුරු හා කටකතා පැතිරීම වලක්වනු නොහැකි වූ බව දැක්විය යුතුය.

සමාජ මාධ්‍ය ගැන ආන්දෝලනය මෙසේ තිබිය දී බි‍්‍රතාන්‍ය නගරාධිපති සාදික් ඛාන් මුස්ලිම් විරෝධී ට්වීටර් පණිවුඩ ගැන නොබෝදා සඳහනක් කළේය. සමාජ මාධ්‍ය පාලනය කිරීමේ අවශ්‍යතාවය හෙතෙම තදින් අවධාරණය කළේය. අන්තවාය පතුරවන අදහස් වලට වැට බැඳිය යුතු බව හෙතෙම කියා සිටියේය. ලන්ඩන් නගරාධිපතිවරයා පමණක් නොව ලෝකයේ නොයෙක් මධ්‍යස්ථ ජන නායකයන් ජාති, ආගම් හා වෙනත් ප‍්‍රශ්න මතු කරගෙන වෛරී අදහස් මතු කිරීම ගැන විරුද්ධත්වය දක්වයි. ශ‍්‍රී ලංකාව ද එය නොවෙනස්ය.

සමාජ මාධ්‍ය වලින් සිදුවන අයහපත පාලනය කර ජන ජීවිතයේ පැවැත්මට එය ඉවහල් කරගැනීමට පියවර ගැනීම වගකීමකි. ප‍්‍රවේශ බාධා පැනවීම පමණක් නොව විශාල බදු පනවා පරිහරණය දුරස් කිරීමද යුතුකමක් නොවේ. මෙරට දුරකථන සේවා සම්පාදන සමාගම් වලට අනුව රජයේ බදු බර දරාගෙන එකී සමාගම් පවත්වාගෙන යයි. ලාභාංශ අඩු හෙයින් අලූත් තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය කිරීමට බාධා මතු වී ඇත. ලෝකයේ නවීන සොයා ගැනීම් අනුව රියැදුරෙකු රහිත වාහන ධාවනය, පියාඹන වාහන හෝ ගුවනින් භාණ්ඩ ප‍්‍රවාහනය කරන ඩ්‍රෝනා ඇතුළු සෑහෙන විප්ලවීය දේ ලෝකයේ සිදුවෙමින් පවතී. ඒවායෙහි පැවැත්ම වෙනුවෙන් 5G තාක්ෂණය අවශ්‍යය. එයට විශාල ආයෝජනයක් අවශ්‍ය වන අතර ආණ්ඩුවේ බදු එයට අවහිරයක් වී තිබේ. තාක්ෂණය සහ එයින් සමාජයට ගත හැකි ප‍්‍රයෝජනය ගැන පාලකයන්ට අවබෝධයක් නැත. අද සංචාරක ව්‍යාපාරයේ සිට බඩු භාණ්ඩ වෙළඳාම දක්වා සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධ වී තිබේ. ඒවා අවහිර කිරීම ආර්ථිකය අඩාල කිරීමකි. අද දේශපාලනඥයන්ට මෙම ස්වභාවය ගැන කිසිම අවබෝධයක් නැත සමාජ මාධ්‍ය පාලනය කරන්නට අවශ්‍ය නම් සුදුසුම ව්‍යුහය කුමක්දැයි තොරාබේරාගෙන නැත. එයින් ස්වභාවය ව්‍යාකූල වී තිබේ. තහනම ජන සමාජය තුළ විශාල පීඩනයක් ඇති කරන්නට සමත්ව ඇති අතර එය ඔස්සේ ගැටළු ගණනාවක් නිර්මාණය වී ඇති බව පෙනේ. මෙරට නායකයන් නිර්භීතව තීරණ ගැනීම සඳහා ඉදිරිපත් නොවුනහොත් සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමේ ප‍්‍රයත්නය දීර්ඝ කාලීනව බලපාන අර්බුදයක් ඇති කරනු වැලැක්විය නොහැකිය.