» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/02/2018 - ඉරිදා ලංකාදීප
දේශපාලන පක්ෂ තමන්ගේ අනාගතය ගැන කල්පනා කළ යුතුය

පක්ෂ දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක ලක්ෂණයකි. විවිධ ප‍්‍රතිපත්ති අනුව පක්ෂ නිර්මාණය වන අතර ඒවායේ නායකයෝ සිය දර්ශනය හා එය ක‍්‍රියාත්මක කරන වැඩ පිලිවෙල ජනතාව හමුවේ තබා ජනතා කැමැත්ත දිනා ගනිති. පක්ෂයක අනන්‍යතාව සහ නායකත්ව දක්ෂතා මැතිවරණක දී ඉදිරියට පැමිණෙයි. ලෝකයේ පවතින දේශපාලන පක්ෂ ගැන ‘ද ගාඩියන් ’ පුවත්පත පසුගිය කාලයේ වැදගත් අනාවරණයක් කර තිබිණ. එම හෙළිදරව්ව අනුව ඕනෑම දේශපාලන පක්ෂයක සාමාන්‍ය ආයු කාලය වසර හතලිස් තුනකට සීමා වෙයි. රටවල් විසි එකක දේශපාලන පක්ෂ විශාල ප‍්‍රමාණයක් අලලා කරන ලද සමීක්ෂණයක් පදනම් කරගෙන එම පුවත් පත මෙකී අදහස ඇතුලත් කර වාර්තාවක් පළ කරයි.

දේශපාලන පක්ෂ පරම්පරා ගණන් පවතින ඒවා නොවේ. නිති පතා අලූත් අදහස්, අලූත් වැඩ පිලවෙල අනුව නව පක්ෂ බිහිවෙයි. ජනතාව ඒවා වටා ආකර්ශණය වෙති. අලූත් බලවේග නිර්මාණය කරන අතර ඒවායෙන් ඇතිකරන උද්දීපනය ජනතාව තුළ මහත් බලාපොරොත්තු ඇති කරන බව පෙනේ. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු ක‍්‍රමයට දහ තුන්වැනි සියවස දක්වා ඉතිහාසයක් ඇත. කම්කරු පක්ෂය 1900 දී බිහිවී ඇත. 1925 දී ප්ලයිඞ් කම්රි යනුවෙන් පක්ෂයක් බි‍්‍රතාන්‍යයේ පිහිටුවා තිබේ. එයින් වසර තුනකට පසු ස්කොටිෂ් නැෂනල් පක්ෂය ස්ථාපිත වී ඇත. මෙකී පක්ෂ ‘‘ඩයිනොසර් යුගයේ’‘ ඒවා බව විචාරකයෝ කියති. එයට හේතුව පරණි සම්ප‍්‍රදායික පක්ෂ අභිබවා අලූත් පක්ෂ අලූත් මතවාද අනුව ඉදිරියට පැමිණීමය.

ප‍්‍රංශයේ එන් මාර්ච් පක්ෂය පිහිටුවා වසර දෙකකි. 2016 දී පක්ෂය හදුන්වාදෙන එහි නායක එමානුවෙල් මැක්‍රොන් මාස දොහලක් ගත වනවිට ජනාධිපති ධුරයට පත්වෙයි. 1900 සිට දේශපාලන පක්ෂ 15 ක් ප‍්‍රංශයේ ස්ථාපිත කර ඇත. මැක්‍රොන් එම පක්ෂ අතර විශිෂ්ඨ ජයග‍්‍රහණ ලැයිස්තුවේ දෙවැනි තැන අත්පත් කරගන්නට සමත්විය. ඉතාලියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 2007 පිහිටුවන අතර 2013 දී බලයට පත් විය. අලූත් පක්ෂය ගැන ඉතාලි වැසියන් තුළ උන්නදුවක් ඇති වූ බව පර්යේෂණය පෙන්වයි. මෙම ස්වභාවය දේශපාලන පැවැත්ම සම්බන්ධයෙන් අලූත් පැති මතු කර තිබේ.

1950 සිට රටවල් විසි එකක දේශපාලන පක්ෂ ගැන කළ අධ්‍යයනය අනුව පැරණි යල් පැන ගිය පක්ෂ පැවැත්මෙන් ඉවත් වී තිබේ. පසුගිය මැතිවරණය අවසන් වන විට ප‍්‍රංශය හා ඉතාලිය යන රටවල පැරණි ප‍්‍රබල දේශපාලන පක්ෂ නමයක් පැත්තකට විසි වී ඇති බව අනාවරණය වී ඇත. බි‍්‍රතාන්‍ය ක‍්‍රමය අනුව අලූත් පක්ෂ වලට අවතීර්ණ වීමට සම්ප‍්‍රදායෙන් බාධා පවතින අතර විප්ලව නොතිබීම හෙයින් බි‍්‍රතාන්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂ එකතු වීම අඩුය. නමුත් ලෝකයේ වෙනත් රටවල් වල එසේ නොවේ යැයි පෙන්වන මෙම සමීක්ෂණය කිසියම් දේශපාලන පක්ෂයක් අවුරුදු හතලිස් තුනකට වඩා සාමාන්‍යයෙන් පවතින්නේ නැති බව අවධාරණය කරයි. නමුත් මෙම සමීක්ෂණයට ගණන් ගැනුණ රටවල් වලින් තුනෙන් දෙකක දී එම රටවල් වල පැරණි පක්ෂ අවුරුදු විස්සකින් අභාවයට ගොස් තිබේ. එය විශේෂත්වයකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උසස් ගුණාංග අනුව පාලන ක‍්‍රමය සකස් කරගෙන ඇති ශ‍්‍රී ලංකාවට ද මෙම සමීක්ෂණයෙහි ප‍්‍රතිඵලය වලංගු වන බව සඳහන් කළ යුතුය. මැතිවරණ කොමසාරිස්වරයාගේ ලියා පදිංචි දේශපාලන පක්ෂ ලැයිස්තුව අනුව ඉතාම පැරණි පක්ෂ විශාල ප‍්‍රමාණයක් පවතී. ඇතැම් පක්ෂ සාමාජිකයන් ප‍්‍රමාණය අතලොස්සකට සීමා වී ඇත. ඡන්දයක් ඉල්ලන්නට සූදානමක් නැත. අලූත් පරම්පරාව මෙම පක්ෂ ගැන, ඒවායේ නායකයන් හෝ ප‍්‍රතිපත්ති ගැන වැඩි යමක් නොදන්නා තරමට ශේෂ වෙමින් පවතී. මෙරට පැරණි පක්ෂ අභාවයට යන බවට එය එක උදාහරණයකි. ඇතැම් පක්ෂ නිදහස ලැබීමටත් පෙර සිට පවතින ඒවාය. ආන්දෝලනයක් ඇති කර පක්ෂ සංවත්සර පවත්වයි. ඉතිහාසය ගැන අභිමානයෙන් කතා කරයි. ජනතාව පක්ෂයක් වටා එකතු කරගැනීමට නම් එහි දර්ශනය වැදගත්ය. ප‍්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

වර්තමානයෙහි මෙරට දේශපාලන පක්ෂ බිහිවෙන අන්දමද අවධානයට ලක් කිරීම සුදුසුය. පක්ෂ බිහිවෙන්නේ පක්ෂ නායකයාට කලින් සිටි පක්ෂය සමග පවතින ප‍්‍රශ්නයක් පදනම් කරගෙනය. පුද්ගල චරිත කේන්ද්‍ර කරගෙනය. පැරණි පමණක් නොව අලූත් පක්ෂ පවා තමන්ගේ ප‍්‍රතිපත්ති හෝ දර්ශනය ගැන වෙහෙසෙන්නේ නැත. විශාල අවධානයක් යොමු කරන්නේ පුද්ගල ප‍්‍රතිරූපය ගැනය. මෙරට පක්ෂ සෑහෙන ප‍්‍රමාණයක් අතර ප‍්‍රතිපත්ති වෙනස්කම් නැත. අනාගතය ගැන විශාල දර්ශනයක් සමාජයට ඉදිරිපත් කරන්නට අසමත්ය. සෑම දේශපාලන පක්ෂයක්ම එක වගේ යැයි කියන්නේ ඒ අනුවය. දූෂණය හා වංචාව තුරන් කිරීම සෑම දේශපාලන පක්ෂයකම තේමාව වී ඇති අතර සංවර්ධනය ඇති කරන බව පුන පුනා ප‍්‍රකාශ කරන බව නිරීක්ෂණය කළ හැකිය. අනාගතය ගොඩනගන්නට මෙම පක්ෂ වලට හැකියාවක් තිබේද?

අලූත් පක්ෂයක් ගැන වාර්තා වන වහා ජනතාව එයට එකතු වන අතර පුරවැසියන් සොයන්නේ පක්ෂයේ අනන්‍යතාවය හා දර්ශනය ගැනය. පටු අරමුණු සහ අවස්ථාවාදී අරමුණු පදනම් කරගෙන මෑතක දී බිහිවූ දේශපාලන පක්ෂ ගණනාවක් ඉතාම වේගයෙන් අත්පත් කරගත් ජනතා ආකර්ශණය ඉතාම ඉක්මනින් අහිමි කරගත්තේය. අවධානයට ගත යුතු පැත්ත එයයි.

ජාත්‍යන්තරයේ පවතින තරගකාරී වේගවත් ස්වභාවයට අනුව ඉදිරි ගමනක් අරමුණු කරගෙන මෙරට දේශපාලනය පදනම් විය යුතුය. දරුවන්ගේ අනාගතය භාර දිය හැකි දර්ශයනක් සහිත නායකයන් අවශ්‍යය. පැරණි පක්ෂ තමන් ඉටු කරන ලද කාර්යය ගැන ආඩම්බර වන අතර අනාගතයේ දී පැවැත්මක් නැති බව තේරුම් ගත යුතු අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් වල දේශපාලනයේ දී මැනවින් විදහා දැක්වෙන කාරණයක් බව අවධානයට ගත යුතුය. අලූත් දේශපාලන පක්ෂ වලට ද පණිඩුවයක් තිබේ. ජනතාව තම පක්ෂය තෝරා ගැනීමේ දී අන්‍ය පක්ෂ වලට වඩා දක්වන වෙනස්කම කුමක්ද යන්න පැහැදිලි කිරීමට සමත් විය යුතුය. එකී අවශ්‍යතාව සිය ජනතාවට පැහැදිලි කරන්නට සමත් වූ පක්ෂ ඉතාම ඉක්මනින් ජනතාව අතරට යන බව තේරුම් ගැනීම සඳහා ප‍්‍රංශය කදිම සාක්ෂියකි. නොවැදගත් වන පක්ෂ වලට අත්පත් වන ඉරණම ගැන විශ්ව විද්‍යාල පර්යේෂණයක් ඇසුරෙන් ‘‘ද ගාඩියන්’’ පළ කර ඇති වාර්තාව අනාවරණය කර තිබේ.