» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/12/2017 - ඉරිදා ලංකාදීප
රණවිරුවන් රැකබලාගැනීම හා සහාය වෙනුවෙන් හොඳ සැලසුම්

සෑම වර්ෂයකම ඇමරිකානු හමුදා සේනාංක සඳහා එක් ලක්ෂ හැත්තෑ පන් දහසක් පමණ තරුණ සොල්දාදුවන් බඳවා ගන්නා බව සඳහන්ය. පුහුණුව අවසන් කිරීමෙන් පසු ඇමරිකානු මෙහෙයුම් වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් බිමට යනු පිණිස මෙම පිරිස යුහුසුළුය. සෙබළුන් ගේ චිත්ත ශක්තිය නංවන සැලසුම් ක‍්‍රියාත්මකව තිබීම ඉතාමත් උද්යෝගයකින් සේනාංක වෙත පෙල ගැසීමට හේතුව වී තිබේ. රණවිරුවන් රැකබලාගැනීම හා ඔවුන් ගෙන් යැපෙන්නන් වෙනුවෙන් සකස්කර ඇති ආරක්ෂිත ස්වභාවය ඉහළ පිලිගැනීමකට ලක්ව ඇත. ලෝකයේ නොයෙක් රටවල හමුදා අංශ ඉතාම ඉහළ පුහුණුව, අවි ආයුධ සම්පාදනය ගොඩනැගිලි හා ආරක්ෂක වියදම් ගැන සැලකිල්ල යොමු කරන නමුත් ඇමරිකානු හමුදා එයට අමතරව විශේෂයෙන් සෙබළුන්ගේ ආත්ම ගෞරවය ඇතිකරන වැඩ පිලිවෙල කෙරෙහි අවධානය යොමු කර ඇති බව දැක්වෙයි.

ඇමරිකානු රජය සිය රණ විරුවන් කෙරෙහි දක්වන විශේෂිත අවධානය කුමක්ද? පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය එය සාකච්ඡා කර තිබිණ. ඇමරිකානු ජනාධිපතිවරයෙකුව සිටි ඒබ‍්‍රහම් ලින්කන් ඔහු ජාතිය අමතමින් කරන ලද දෙවන කතාවේ දී සංග‍්‍රාම භූමියේ දී කැපවන සෙබළුන් වෙනුවෙන් කළ හැකි එකම ජාතික යුතුකම ඔවුන් හා යැපෙන්නන් රැකබලා ගැනීම බව දක්වන ලද අතර එම ප‍්‍රකාශය ඇමරිකානුවන්ගේ මුළු හදවතින්ම ආරක්ෂා කරන සම්මුතියක් බවට පත්ව ඇති බව දැක්වෙයි. රට වෙනුවෙන් කරන සේවය අවසන් කිරීමෙන් පසු සෙබළුන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පසුපස යමින් අනාගත ජීවිතය සුරක්ෂිත කරගැනීමට මහන්සිවීම අවශ්‍ය නැත. සංග‍්‍රාම සේවය අවසන් වන අවස්ථාවේ සිට ඔවුන් ගේ දුක සැප සොයා බැලීමට රණ විරු දෙපාර්තමේන්තුවක් ක‍්‍රියාත්මක වෙයි. එය කොපමණ විශාල ප‍්‍රයත්නයක් ද යත් රණවිරු සේවාවේ අරමුදල ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ආරක්ෂක සහ බුද්ධි කාර්යාංශ වියදම් වෙනුවෙන් අයවැය මගින් වෙන් කරන මුදල ඉක්මවන එකකි.

මෙකී ධනයෙන් කරන්නේ මොනවාද? විශ‍්‍රාමික සෙබළුන්ගේ හෝ රණවිරු පවුල් වල වැන්දඹුවන්, දරු දැරියන් ඇතුළු යැපෙන්නන් ගේ සුබසාධනයයි. සෞඛ්‍ය, ආර්ථික ආධාර හෝ අර්බුද හමුවේ සහාය ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගනී. වැඩිපුරම භාවිතාවන්නේ සෞඛ්‍ය පහසුකම බව ඇමරිකානු තොරතුරු හෙළි කරයි. රණ විරු සෞඛ්‍ය සේවාව මිලියන විසි එකක් වන පිරිසකට ප‍්‍රතිලාභ අත්පත් කරදෙයි. හුදෙක් යුද බිමේ දී සිදුවන තුවාල හෝ ආපදා පමණක් නොව ජීවත්ව සිටිනතාක් සියළු රෝග ප‍්‍රතිකාර වෙනුවෙන් රණවිරු රෝහල් වල දෙරටු විවෘතය. ඇමරිකානු රණවිරු සේවාව රෝහල් 144ක්, සායන 800 ක්, මානසික සෞඛ්‍ය සායන 300 ක් පවත්වාගෙන යන අතර ඒ වෙනුවෙන් වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය වශයෙන් ලක්ෂ තුනක පිරිසක් සේවයේ නිරතය. එය කොපමණ සමාජනුබද්ධ වැඩ පිලිවෙලක් ද යත් ඇමරිකාවේ සේවය කරන වෛද්‍යවරුන්ගෙන් හරි අඩක් සහ හෙදියන්ගෙන් තුනෙන් දෙකක් ඔවුන්ගේ රාජකාරි ජීවිතයේ කිසියම් කාලයක මෙම රණවිරු රෝහල් වල සේවය කරති. එපමණක් නොව මෙම වෛද්‍ය කාර්ය මණ්ඩලය අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් සෑම වර්ෂයකම සෙබළුන් සඳහා වූ වෛද්‍ය විද්‍යාත්මක නව පර්යේෂණ වෙනුවෙන් වියදම් කරයි.

රට වෙනුවෙන් කැප වන ජීවිත යහපත් කරන්නේ කෙසේද යන්න ගැන ඇමරිකානු බලධාරීහු ඉතාම පරීක්ෂාවෙන් සොයා බලයි. සෞඛ්‍ය පහසුව පමණක් නොවේ. යම් ආකාරයකින් ආර්ථික ගැටළු හෝ විසඳාගත නොහැකි පුද්ගලික ප‍්‍රශ්න වලට පවා මැදිහත්වන බව විදේශ කටයුතු නමැති ඇමරිකානු සඟරාව නොබෝදා විශේෂ ලිපියක් මගින් හෙළිදරව් කළේය. එපමණක් නොවේ. රණ විරුවන් සුළු කර්මාන්ත හෝ කොන්ත‍්‍රාත් කරන අවස්ථාවල එම අයවලූන් ඇමරිකානු රජයට සම්බන්ධ කොන්ත‍්‍රාත් වලට සම්බන්ධ වෙන්නට උත්සාහ කරන්නේ නම් ප‍්‍රමුඛතාවය ලැබෙන බව ද එහි අනාවරණය කරයි. රට වෙනුවෙන් ජීවිතය නොතකා සේවයට කැපවන සෙබළුන්ගේ ධෛර්ය නංවනු සඳහා එවැනි ප‍්‍රයත්න මගින් පියවර ගෙන තිබේ. ජීවිත රක්ෂණ යෝජනා ක‍්‍රම හදුන්වා දී ඇත. නිවාස ඉදිකරගැනීමට ණය සැපයේ. ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුවට අනුබද්ධව රණවිරු සේවක අයිතිවාසිකම් සොයා බලන ඒකකයක් ඇති අතර සක‍්‍රීය සේවයෙන් පසු සාමාන්‍ය ජීවිතයට ඇතුළු වන අයවලූන් කොතැනක හෝ වැඩ කරන්නේ නම් ඒ අයගේ අයිතිවාසිකම් නිසි පරිදි ආරක්ෂා වේ දැයි සොයා බැලීම එහි වගකීම වී ඇත. සුළු වෙළඳ ව්‍යාපාරයක් හෝ සේවා අංශයක් කරන්නේ නම් ඒව සාර්ථක කරගන්නට ද අනුබලය සපයන බව වාර්තා කර තිබේ. මෙයින් පෙන්වන්නේ ඉතා පුළුල් හා සංකීර්ණ වැඩ පිලිවෙලක් ක‍්‍රියාත්මක වන බවය. ඇමරිකානු හමුදා සේනාංක වල සේවයේ නිරත පිරිස විශාලය. යුද ගුවන් හා නාවික අංශ වලට අමතරව පොලිස්, වෙරලාරක්ෂක හා සේවා සේනාංක ගණනාවකි. මෙම සියළු දෙනා වෙනුවෙන් එකිනෙකට වෙනස් අවානයක් යොමු කිරීම කෙසේවත් පහසු නැත.

පසුගිය වසරේ පමණක් ඇමරිකානු රණවිරු දෙපාර්තමේන්තුව නිසි අවශ්‍යතා සහිත පාර්ශව සොයා බලා ඒ අයගේ සුබසාධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන හැත්තෑ හතක ගෙවීම් කර ඇත. මිලියන පහක පිරිසක් එයින් ආවරණය ලබා තිබෙන බව දැක්වෙයි. වෙන් කර බැලීමේ දී අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන දහ හතරක් වෙන් කර ඇති බව සඳහන්ය.

පවුලේ සාමාජිකයන්ගේන් ඉවත්ව දුෂ්කර යුද බිමේ ගත කර ආපසු එන හෝ නොඑන පිරිසගේ ජීවිත අවදානමකය. පැමිණිය හොත් අනේක විධ ගැටළු විය හැකිය. මත්පැන් භාවිතය ඒ අතරින් ප‍්‍රධානය. පීඩනය පහකර බාහිර තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට පමණක් නොව මත් ද්‍රව්‍ය නිවරණය කර යළි සමාජ ගත කරන්නට ද ඇමරිකානු රණ විරු සේවාව වෘත්තීය දක්ෂතා පෙන්නුම් කරන බව මෙම විදේශ කටයුතු ජාත්‍යන්තර සඟරාවේ ලිපිය පෙන්වා දී තිබේ.

ඇමරිකානු රණ විරු සේවාවේ අනන්‍යතා වෙනුවෙන් දිගින් දිගටම කරුණු දැක්වීම වෙනුවට ශ‍්‍රී ලංකාවේ රණවිරුවන් වෙනුවෙන් කරන කාර්ය භාරය අවධානයට ගත යුතුය. ශ‍්‍රී ලංකාව දශක තුනක දීර්ඝ කාලීන යුද්ධය නියැලී සිටියේය. එය මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් සමග කරන ලද යුද්ධයකි. දකුණේ කැරළි දෙකකට මුහුණ දුන්නේය. සෙබළුන් රට වෙනුවෙන් ඉදිරියට ගිය අතර ජන ජීවිතය ආරක්ෂාකර සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කැප වෙන්නට පොලිසිය හා ති‍්‍රිවිධ හමුදාව කි‍්‍රයා කරන ලද බව අමතක කළ යුතු නැත. යුද කාලයෙන් පසු සාමකාමී සහ සංහිඳීයා කාලපරිච්ඡේදය තුළ යුද බිමට ගිය මෙරට තරුණ පිරිස වෙත එකම අවධානයක සිටිය යුතුය.

ආණ්ඩු අනුව වෙනස් නොවන, රණ විරුවන් කෙරෙහි වෘත්තීය අන්දමට බලපවත්වන වැඩ සටහන් ගැන සොයා බැලීමට අප සියළු දෙනාටම වගකීමක් හා යුතුකමක් ඇත. ඒවා හුදෙක් රාජ්‍ය අයවැය මගින් මුදල් වෙන් කරන එකක් විය යුතු නැත. සමාජයේ සැම ජන කොටසකටම තමන්ගේ රණවිරුවාගේ අභිමානය හා ගෞරවය වෙනුවෙන් යමක් කළ හැකි පරිදි නිසි රාමුවක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍යය. අද පවතින වැඩ පිලිවෙල නැවත සමාලෝචනය කළ යුතුය. රණවිරුවන් මහා මාර්ගයට පැමිණ විරෝධතා කරන දේශපාලන අතරමැදි චරිත බවට පත් විය යුතු නැත. ප‍්‍රශ්න අවධාරණය කරනු සඳහා විරෝධතා වලට සහභාගී වීම නුසුදුසුය. රණ විරුවන් වෙනුවෙන් සමාජය තුළ කැපවීමක් අවශ්‍යය. පුද්ගලික අංශය ද එයට දායක කරගත හැකිය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ජවය එකතු වූ විට රණ විරුවන් ගේ අවශ්‍යතා සොයා බැලීම අපහසු එකක් නොවේ. රට වෙනුවෙන් යුද බිමට ගිය රණ විරුවන් වෙනුවෙන් පමණක් නොව අනාගතයේ ශ‍්‍රී ලංකාවේ සේවයට එකතු වන සෑම සෙබලෙකු තුළම ආත්ම විශ්වාසය, චිත්ත ධෛර්ය ඇතිකරන අන්දමේ ස්වාධීන වැඩ පිලිවෙලක් රටට අවශ්‍යය. ඇමරිකානු රණවිරු සේවාව අධ්‍යයනය කරන විට එහි උවමනාව පැහැදිලිව පෙනේ.