» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/09/2017 - ඉරිදා ලංකාදීප
සනීපාරක්ෂාව ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද?

බජොන් ලොම්බ‍්‍රර්ග් කොපන්හේගන් විශ්ව විද්‍යාලයේ බාහිර මහාවාර්යවරයෙකු වන ඩෙන්මාර්ක් ජාතිකයෙකි. ප‍්‍රකට ලේඛකයෙකු ද වෙයි. ඔහු පසුගිය වසරේ දී ‘‘The world opinion page’’ වෙත ලියන ලද සංකල්පීය රචනාවක් ආන්දෝලනයට ලක්ව තිබේ. එය අප සමාජයට ද බෙහෙවින් වැදගත්ය. මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ වැසිකිලි ගැනය. මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ සහ ඇමරිකාවේ ප‍්‍රකට ව්‍යවසායකයෙකු වන බිල් ගේට්ස් හා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි යන දෙදෙනා ආමන්ත‍්‍රණය කර ඇති වර්තමානයට ඉතා ගැලපෙන මාතෘකාවක් බව බජොන් පෙන්වා දෙයි. මළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක‍්‍රමවේදය විප්ලවීය පරිවර්තනයකට ලක් වෙමින් පවතින බව අනාවරණය කරන හෙතෙම එය මගින් සිදුවන කාර්යය ගැන ගැඹුරු සන්නිවේදනයක නිරත වෙයි.

2011 වසරේ දී බිල් සහ මෙලින්ඩා පදනම මළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක‍්‍රමවේදය ජාත්‍යන්තර අභියෝගයක් සේ සලකන ලද අතර එය කෙරෙහි අලූත් ආකාරයකට සලකා බලා නව නිර්මාණාත්මක විසªම් ඉදිරිපත් කරන පර්යේෂනයන්ට ආධාර පිරිනමන වැඩසටහනක් ආරම්භ කළේය. එහි පරමාර්ථය ඉතාම ප‍්‍රායෝගික එකකි. එනම් මිනිස් මළ අපද්‍රව්‍ය බලශක්තිය, පොහොර හෝ අවසානයේ දී එයින් පෙරා සකස්කරන ලද ජලය එදිනෙදා අවශ්‍යතා ස`දහා උපයෝගී කරගත හැකි අතර අවශ්‍යනම් පිපාසයේ දී පානය කරන්නට ද හැකි තරමට පිරිසිදුය. බිල් සහ මෙලින්ඩා පදනම කරන ලද මූල්‍ය ප‍්‍රධාන ප‍්‍රයෝජනයට ගෙන බි‍්‍රතාන්‍යයේ කාන්ෆීල්ඞ් විශ්ව විද්‍යාලය වැඩි දියුණු කරන ලද විසි එක්වැනි සියවසේ වැසිකිලියක දී නැනෝ තාක්ෂණය උපයෝගීකරගෙන පෙරා සකස් කරන ලද අති පිරිසිදු වතුර වීදුරුවක් පානය කරන බිල් ගේට්ස් ගේ පින්තූරයක් පසුගිය කාලයේ ලෝකය පුරා ප‍්‍රචාරය විය. නවීන සොයාගැනීම් මගින් සම්ප‍්‍රදායික මළාපවාහනය විප්ලවීය වෙනසක් කරන්නට සමත් වූ බව හෙතෙම එමගින් පෙන්වා දෙන්නට උත්සාහ කළේය.

පසුගිය වසර විසි පහ තුළ දී ලෝකය පුරා වෙසෙන ජනගහනයෙන් බිලියන දෙකක හොඳ සනීපාරක්ෂක පහසුකම් ලබා ගන්නට සමත්ව ඇත. බිලියන 2.5 ක පමණ පිරිසක් නිසි වැසිකිලි පරිහරණයක් නැති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දී තිබේ. පුදුමයට කාරණය නම් එයින් හරි අඩක් දියුණු යැයි කියන රටවල වීමය. ඉතාම නවීන තොරතුරු තාක්ෂණ යුගයකට අවතීර්ණ වී පරිගණකය සහ රොබෝ තාක්ෂණය ජන ජීවිතය පහසු කරන පසුබිමක් තුළ පවා ලෝක ජනගහනයෙන් අති විශාල ප‍්‍රමාණයක් වැසිකිලි භාවිතය ගැන ගැටළු බව සඳහන් වන්නේ නම් එය නිසැක ප‍්‍රශ්නයකි. බිල් හා මෙලින්ඩා පදනම ආධාර කරන්නේ එහි අලූත් පැති සොයා බලා නවෝත්පාදක විසදුම් වෙනුවෙන් බව පැහැදිලිය. ලෝකයේ නොයෙක් රටවල් සහ කොයෙක් සංවිධාන මෙම වැසිකිලිය ගැන නිර්මාණාත්මක අවධානය යොමු කරන අවස්ථාවේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මහත්මා ගාන්ධි ගේ සංවත්සර සමරුවට සහභාගී වෙමින් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කළේය. එයට අනුව පන්සලක ගොඩනැගිල්ලක් තනනවාට වඩා වැසිකිලියක් තැනීම ඉතා වැදගත්ය. එකී ප‍්‍රකාශය කරන ඉන්දීය අගමැතිවරයා 2019 වන විට ඉන්දියාවේ සනීපාරක්ෂාව සම්බන්ධ ඉතාම සුබවාදී රටක් බවට පත්කරන බව දක්වා තිබේ. මිලියන ගණනින් වැසිකිලි තනමින් අඩුම තරමින් සෑම පාසලකටම එක සනීපාරක්ෂක පද්ධතියක් ඉදිකරන බව ඉන්දීය අගමැතිවරයා ප‍්‍රකාශ කරන අතර එය එරට සෞඛ්‍ය ගැටළු අවම කරනු ඇත. පන්සලක ගොඩනැගිල්ලකට වඩා වැසිකිලි ගොඩනැගිල්ලක් තැනීම වැදගත් යැයි හෙතෙම කියන්නේ ඇයි? ලෝකයේ බිලියනයක පමණ ජනගහනයක් තවමත් මළ පහ විවෘත පරිසරයට කරන අතර එයින් මිලියන 600 ක් ඉන්දියාවේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වසරක් පාසා එරට දරුවන් ලක්ෂ දෙකක් පමණ මිය යන්නට හේතු වන්නේ පණු රෝග හා මළ පහ ආශී‍්‍රතව ඇතිවන ආසාදන හෙයින් බව ඔප්පු වී තිබේ. පණු රෝගී තත්ත්ව හෙයින් වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට හතලිස් තුනක් ද රක්තහීනතාවයෙන් පෙලෙති. ඉන්දියාව පමණක් නොවේ විශාල ජනගහනයක් සහිත චීනය පවා පසුගිය වසර කිහිපය තුළ විශේෂයෙන් සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය කරන නගර වල වැසිකිලි පද්ධති ඉදිකිරීම හා පවතින පද්ධති නවීකරණය අලූත් අවධානයකින් කරගෙන ගිය බව කොපන්හේගන් විශ්ව විද්‍යාලයේ බාහිර මහාවාර්ය බජොන් ලොම්බ‍්‍රර්ග් සිය ලේඛනයෙන් පෙන්වා දී තිබේ. වැසිකිලි සම්බන්ධ ප‍්‍රශ්න චීනයට ද තදින් දැනෙන බවට එය හොඳ උදාහරණයකි.

මහජන සෞඛ්‍ය නිසි අන්දමින් පාලනය කරගත නොහැකිවීම ආර්ථිකයට ද ගැටළුවකි. සංවර්ධනයට බාධාවකි. දුර්වල සනීපාරක්ෂක පහසුකම් නොයෙක් රෝග වලට හේතු වන අතර අවසානයේ දී ප‍්‍රතිකාර පිරිවැය හා අකල් මරණ ඕනෑම ආර්ථිකයකට විශාල පීඩනයක් ඇති කරයි. 2006 වසරේ දත්ත උපුටා දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය දුර්වල සනීපාරක්ෂඛ පහසුකම් හෙයින් ලෝකය තුළ සිදුවන ධන හානිය ඇමරිකානු ඩොලර් බිලියන 260 ක් පමණ වන බව දක්වයි. වර්තමානය වන විට එය යම් ප‍්‍රමාණයකින් අඩු විය හැකි නමුත් තවමත් සැලකිය යුතු තත්ත්වයක් බව නිසැකය. බිල් හා මෙලින්ඩා පදනම වැසිකිලි තාක්ෂණය විප්ලවීය එකක් බවට පත්කරන පර්යේෂණ වෙනුවෙන් පොළඹවන්නේ එහෙයින්ය.

නිසි මළාපවාහන පද්ධති සකස් කිරීම ආර්ථික වශයෙන් වාසිදායක එකක් බව කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙන බව මහාවාර්ය බජොන් ලොම්බ‍්‍රර්ග් පෙන්වා දෙයි. එව ආයෝජනය කරන සෑම ඇමරිකානු ඩොලර් එකකටම තුනක් ප‍්‍රතිලාභ අත්පත් කරදෙන බව හෙතෙම කියයි. ඇමරිකානු ඩොලර් බිලියන තිස් තුනක් ආයෝජනය කර බිලියන තුනකට වැසිකිලි පහසුකම් දෙය හැකි අතර එයින් ජාත්‍යන්තරයට තුන් ගුණයක ආර්ථික ප‍්‍රතිලාභ අත්පත් කරගත හැකි බව දැක්වෙයි. මෙය වාසියක් සේ සලකන්නේ සෞඛ්‍ය පිරිවැය අඩුවීමට සාපේක්ෂවය.

මෙකී වාසිය මෙපමණ ප‍්‍රබල නම් දියුණු හෝ දියුණු වෙමින් පවතින රටවල් වැසිකිලි පද්ධති දියුණු කර පොදු ජනතාව නගා සිටුවන්නේ නැත්තේ මන්ද? බිල් හා මෙලින්ඩා පදනම ප‍්‍රශ්න කරන්නේ එයයි. ඉන්දීය අගමැතිවරයා අවධාරණය කරන්නේ එහි පසුබිමයි.

ශ‍්‍රී ලංකාවට ද එය අදාලය. වැසිකිලි සහ සනීපාරක්ෂක පහසුකම් අතින් යහපත් තැනක සිටින බව මත පිටින් පෙනෙන නමුත් ඇත්ත එය නොවේ. පුද්ගලික නිවාස වල සනීපාරක්ෂක පහසුකම් පවතින අනුපාතය උසස් විය හැකි නමුත් පොදු පහසුකම් ඉතාමත් දුර්වලය. අගනුවර හෝ ප‍්‍රධාන නගරවල සැරිසරන ලක්ෂ සංඛ්‍යාත ජනතාව ගේ වැසිකිලි හෝ කැසිකිලි භාවිතය ගැන අවබෝධයක් අප සියළු දෙනාටම ඇත. නගරවල පොදු වැසිලිකිලි පහසුකම් නැති තරම්ය. එය කොපමණ දුබලතාවයක්ද? පලාත් පාලන ආයතන වලට මෙකී තත්ත්වය සලකා බලා නිසි පියවර ගත හැකිය. නමුත් එවැනි දේ වෙනුවෙන් යොදවන්නට පිරිවැය නැත. පිරිවැය හිඟ හෙයින් පොදු පහසුකම් සීමිත වන විට එයින් රටට සිදුවන ආර්ථික බලපෑමක් තිබේ. ආයෝජනය කරන ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක වාසි ලැබෙන බව පර්යේෂකයන් පෙන්වා දී ඇති නමුත් එය අවබෝධ කරගන්නට වගකිවයුතු අංශ සූදානම් නැත. නිවසින් පිටත් වී පොදු ස්ථානවල ගැවසෙන ජනී ජනතාව ගැන හිතන්නට තරම් දියුණු ආකල්ප අපට නැත. ඉදිරි වසර කිහිපය තුළ ලක්ෂ ගණනින් සංචාරකයන් ගෙන්වා ගන්නට සැලසුම් කරන නමුත් අලූතින් යන එන අය වෙනුවෙන් මෙම පහසුකම් ඇති කළ යුතු බව නොසිතන්නේ මන්ද?

සනීපාරක්ෂාව දකුණු ආසියාවට තර්ජනයක් බවට තොරතුරු අනාවරණය වන ප‍්‍රබල කරුණකි. දකුණු ආසියානු රටවල සනීපාරක්ෂාව පිලිබඳ සම්මේලනය පසුගියදා කොළඹ දී හමුවූ අතර මෙහි ජාතික ලේකම් කාර්යාලය මෙරට පිහිටුවීමට තීරණය කර තිබේ. සාක් රටවල සනීපාරක්ෂක ආධාරක කටයුතු වෙනුවෙන් සැලසුම් මෙහි සකස්කරනු ඇතැයි අදහස් පළවේ. එය ඉතාම වැදගත්ය. දියුණු රටවල් වල පවා වැසිකිලි භාවිතය හා එයින් ඇතිවන තත්ත්ව ගැන පර්යේෂණ වාර්තා පෙන්වන ඉලක්කම් එපමණ යහපත් නැත. ශ‍්‍රී ලංකාව මෙම ස්වභාවය ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. විසි එක්වන සියවසේ මලාපවාහන පද්ධති සහ ඒවායේ තාක්ෂණය වෙනස්වන අන්දම ගැන හිතන විට දුර දක්නා ප‍්‍රතිපත්ති ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය.