» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/06/2018 - ඉරිදා ලංකාදීප
විශ්ව විද්‍යාල ස්වාධීන අධ්‍යාපන ආයතන බවට පත්වෙමින් තිබේ

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන රට තුළ විශාල අවධානයක් තිබේ. විශ්ව විද්‍යාල රාමුව ආරක්ෂා කරගැනීම සම්බන්ධව අරගලයක් ඇත. නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ සටනක් වශයෙන් එය අර්ථ දැක්වෙන බව නිරීක්ෂණය කළ හැකිය. අධ්‍යාපනය ලබන අවස්ථා පුළුල් කළ යුතු බව ජාත්‍යන්තර අවධානයයි. එයට අනුගමනය කළ හැකි ප‍්‍රතිපත්ති සම්බන්ධව ලෝකයේ නොයෙක් රටවල් අලූතින් හිතන්නට පටන්ගෙන ඇත. ඉන්දියාව පෙරමුණ ගෙන ඇති බව වාර්තාවන අතර විශ්ව විද්‍යාල පරිපාලනය ස්වාධීන කිරීම එහි එක යෝජනාවකි.

ඉන්දියාවේ විශ්ව විද්‍යාල හැටක් සම්පූර්ණ ස්වාධීන පාලනයකට අවසර ලැබෙන යෝජනාවක් අවධානයට ගැනී තිබේ. පසුගියදා හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කර තිබුණි. අලූත් සංකල්පය අනුව එම විශ්ව විද්‍යාල පරිපාලන කටයුතු එම විශ්ව විද්‍යාලයටම පැවරෙනු ඇත. සිසු සිසුවියන්ට උපාධි පාඨමාලා සඳහා කෙලින්ම අයැදුම් කරන්නට සිදුවෙයි. විෂය නිර්දේශ එම විශ්ව විද්‍යාලයේ තනි කැමැත්තට සකස් කරනු ඇත. ආචාර්ය මහාචාර්යවරු ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය පත් කරගැනීමේ අවස්ථාව ද ලැබේ. ලෝකයේ වෙනත් විශ්ව විද්‍යාල සමග සම්බන්ධ වීමෙන් ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනයට ද නිදහස් අවස්ථාවක් ලැබේ. මෙකී අංශ ඇතුළු ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ විශ්ව විද්‍යාල පාලන අධිකාරියෙන් මිදී ස්වාධීන තීරණ ගැනීමට මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ කළ යුතුව තිබේ. ඉන්දියාවේ විශ්ව විද්‍යාල වල ප‍්‍රමිති සොයා බලන විශේෂ ආයතනයක නිර්දේශය අවශ්‍යය. ඉහළම මටට්මක අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන බව එම ආයතනය සහතික කළ යුතුය.

ඉන්දියානු විශ්ව විද්‍යාල පද්ධතියට විශ්ව විද්‍යාල අටසිය අසූ ගණනක් ඇත. මධ්‍යම විශ්ව විද්‍යාල 47 කි. ඒවා පසුගිය වසරේ සම්මත කරන ලද පණතකට අනුව වර්ගීකරණය කර තිබේ. එයට අමතරව රාජ්‍ය විශ්ව විද්‍යාල 367 ක් හා පුද්ගලික විශ්ව විද්‍යාල 282 ක් පවතින බව එරටින් ලැබෙන වාර්තා දක්වයි. 1957 දී සකස් කරන ලද විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පිහිටුවීමේ පණත මගින් මේවා පාලනය කෙරේ. ඉතාම විශිෂ්ඨ භාවයකින් සමන්විත ඉන්දියානු විශ්ව විද්‍යාල 130 ක් තෝරා ගැනෙන්නේ මෙම ප‍්‍රමාණයට අමතරවය. එයින් විසි අටක් තමිල්නාඩුවේ පිහිටා ඇත. මෙම විශිෂ්ඨ භාවයෙන් යුතු විශ්ව විද්‍යාල මුලින් සඳහන් කළ ස්වාධීනත්වය අත්පත් කරගැනීමට සුදුසු අධ්‍යාපන ආයතන වශයෙන් සඳහන් කළ හැකිය. ’’ඉන්දියන් ඉන්ස්ටිටියුට් ඔෆ් සයන්ස්’ ඒ අතරින් ප‍්‍රධාන වන අතර එකී විශ්ව විද්‍යාලයේ උසස් ස්වභාවය අනුව එම වරම හිමිකරගෙන ඇත්තේ 1958 වැනි පැරණි, ඉතිහාසගත කාල වකවානුවක බව දැක්වෙයි.

ඉන්දියාවේ විශ්ව විද්‍යාල වලට රාජ්‍ය අනුග‍්‍රහය ලැබේ. ප‍්‍රාන්ත මට්ටමින් පවත්වාගෙන යන විශ්ව විද්‍යාල වල වියදම ආවරණය කරන්නේ එම ප‍්‍රාන්ත වල අධ්‍යාපන ප‍්‍රතිපාදන වලින්ය. පුද්ගලික අංශයේ විශ්ව විද්‍යාල වලට විවිධ සමාජ පදනම් අනුග‍්‍රහය දක්වන අතර වැඩි පිරිවැයක් පාඨමාලා ගාස්තු වලින් ආවරණය කර ගැනේ.

මේ අතර පැවැත්මේ විශිෂ්ඨ භාවය සලකා ස්වාධීනත්වය පිරිනමන්නට ඉන්දියානු රජය ගෙන ඇති තීරණය කෙරෙහි එරට ජන සමාජයේ එක්තරා මටට්මක විරෝධයක් ද තිබේ. සාමාන්‍යයෙන් මධ්‍යම ආණ්ඩුවෙන් හෝ ප‍්‍රාන්ත ආණ්ඩුවෙන් එම විශ්ව විද්‍යාල පාලනය කිරීමට ලබා දෙන වියදම් අඩු කිරීමට මෙම තීරණයෙන් පියවර ගෙන ඇති බව එක චෝදනාවකි. විශ්ව විද්‍යාල වල ඉගැන්වීමේ කටයුතු ස්වාධීන කිරීමෙන් ගාස්තු අය කිරීමේ පාලනයෙන් නිදහස් වන අතර එය තම දරුවන්ට බලපාන අසාධාරණයක් යැයි විවිධ පාර්ශව තර්ක කරන බව පෙනේ. පාලනයකින් තොර පාඨමාලා ගාස්තු හා බඳවා ගැනීමේ ක‍්‍රමවේදය මෙම ඉහළම පැලැන්තියේ විශ්ව විද්‍යාල වලට ලැබීමෙන් සමාජයේ එක්තරා කොටසකට ඒවාට ඇතුළු විය නොහැකි බව ද නගන විරෝධතා වලට ඇතුලත්ය.

විවේචන පවතින නමුත් ස්වාධීන විශ්ව විද්‍යාල මගින් ඉන්දියාවේ උසස් අධ්‍යාපනය තරගකාරී හා ඉහළම ප‍්‍රමිති කරා ගමන් කරනු ඇතැයි විශ්වාස කෙරේ. ලෝකයේ ඕනෑම විශ්ව විද්‍යාලයක් සමග සම්බන්ධතා පවත්වා ගනිමින්, ඉහළම අධ්‍යාපනඥයන් ගේ සේවය ලබා ගැනීමට හැකිවන අතර එමගින් ලෝකයේ පිලිගත් ඉහළම උපාධි සහතිකයක් පිරිනමන්නට හැකි බව ප‍්‍රකාශ වී තිබේ. ඉන්දියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්දියා එයට හොඳම උදාහරණයකි. එහි උපාධිය ලෝකයේ ඉහළම පිලිගැනීමක් සහිත වන අතර ලෝකයට තොරතුරු තාක්ෂණඥයන් පිරිසක් බිහි කරන්නට සමත්ව තිබේ. තද ප‍්‍රමිති සහිතව ඉහළම ගුණාත්මක මටට්මකින් එම ආයතනයේ ඉගැන්වීම් කරන බව පිලිගෙන හමාරය. ස්වාධීන පරිපාලනය ලැබුණ විශ්ව විද්‍යාල අතර තරගයක් තුළින් තව තවත් ඉහළ මට්ටමකට ඉන්දියාවේ උසස් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය වනු ඇති බව එරට ජන සමාජය තුළ විශ්වාසයක් ඇත.

ඉන්දියාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ස්වභාවය මෙරට විශ්ව විද්‍යාල වල පවතින දැඩි පාලන ව්‍යුහය ගැන අවධානය යොමු කරන්නට හොඳ නිමිත්තකි. දේශපාලනඥයන් සහ ප‍්‍රතිපාදන කොමිසම කරන දැඩි පාලනය විශ්ව විද්‍යාලයේ පැවැතිය යුතු ශාස්තී‍්‍රය පසුබිම අභියෝගයට ලක් කරන බව නොරහසකි. සුළු පරිපාලන කාරණා වලට පවා තීරණගත නොහැකිව විශ්ව විද්‍යාල පද්ධති දීර්ඝ කාලීනව පීඩා කරන අවස්ථා තිබේ. විෂය වෙනස් කිරීම, අලූත් සංකල්ප අනුව කටයුතු කිරීම බරපතල ගැටළු ඇති කරන්නට හේතු වී තිබේ. විශිෂ්ඨ අත්දැකීම් සහිත ඉතාම දක්ෂ ආචාර්ය මහාචාර්යවරු ගතානුගතික රාමු වල කොටුවීම එහි ප‍්‍රතිඵලයකි. නිසි ප‍්‍රයෝජන නොගන්නා හෙයින් රට හැර යන බුද්ධිමතුන් වාර්තා වීම ද මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ ඇති දුබලතාවයකි.

ඉන්දියාව විශ්ව විද්‍යාල ස්වාධීන ඒකක වශයෙන් වැඩි දියුණු කරන්නට මහන්සිවෙන නමුත් ශ‍්‍රී ලංකාවේ ජන සමාජය හා විශ්ව විද්‍යාල අතර සම්බන්ධතාවය දුරස්ථ එකකි. විශ්ව විද්‍යාලයක දැනුම් පරිසරය පුළුල් කිරීමට බාහිර ප‍්‍රතිපාදන ප‍්‍රයෝජනයට නොගැනේ. සම්බන්ධතා සහිත විද්වතෙකු ආරාධිත දේශන මාලාවකට අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත් වුවහොත් එයට ඉඩක් ලැබෙන්නේ නැති තරම්ය. ව්‍යාපෘති යෝජනා තැනින් තැනට අනුමැතිය සඳහා යැවෙන අතර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ට ප‍්‍රයෝජනවත් වන සේ බාහිර ආචාර්ය මහාචාර්යවරුන් කැඳවීම සීමා සහිත වී ඇත. ලෝකයේ වෙනත් විශ්ව විද්‍යාලයක් සමග සම්බන්ධතා වැඩි දියුණු කරගෙන දැනුම හුවමාරු කරගැනීමට අවස්ථාව ඇති නමුත් ඒවා ද බලධාරීන්ගේ පාලනයට යටත් කර තිබේ. විශ්ව විද්‍යාලය යන අර්ථයෙන්ම ඥාන ගවේශනය ගැන අදහසක් ලැබෙන නමුත් නූතන යුගයට නොගැලපෙන නීති හා විධි විධාන හෙයින් මේවා තවත් පාසල් වර්ගයක් බවට පත්ව තිබේ.

ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය සඳහා පත්කිරීම් දේශපාලන තනතුරු වී තිබේ. ඒවා වෙනස් කරන්නට අවශ්‍යය. නිර්දේශපාලනික කළ යුතුය. විශ්ව විද්‍යාල පරිපාලනය කරන උසස් මෙහෙයුම් පද්ධතියක් අවශ්‍යය. අණ පනත් අලූතින් සකස් කළ යුතුව තිබේ. විශ්ව විද්‍යාල ස්වාධීන කිරීම සුදුසු නමුත් එයට කලින් කළ යුතු වෙනස්කම් ගණනාවක් තිබේ. ඒවා ගැන ද අවධානය යොමු කළ යුතුය.

උපාධි සහතිකයක වටිනාකම තීරණය කරන්නේ රටක තත්ත්වය හෝ බලසම්පන්නන භාවය නොවේ. දියුණුවෙමින් පවතින රටවල ඇතැම් විශ්ව විද්‍යාල වල සහතිකයට ලෝකයේ ඉහළම පිලිගැනීමක් ඇත. වටිනාකම ලැබෙන්නේ විශ්ව විද්‍යාලයේ පසුබිම අනුවය. ශ‍්‍රී ලංකාවේ ඇතැම් විශ්ව විද්‍යාලයකට ද එවැනි පිළිගැනීම සහිත බව මෙහි දී සඳහන් කළ යුතුය. නමුත් පවතින ක‍්‍රමය වෙනස් නොකළහොත් බුද්ධිමත් තරුණ ප‍්‍රජාවට ඉදිරියට එන්නට අවස්ථාවක් නැත. ගතානුගතික විෂය පථයට සීමාවෙන්නට සිදුවෙයි. අසල්වැසි ඉන්දියාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ සිදුවන වෙනස්කම් සාකච්ඡාවට ලක් කිරීම සුදුසුය.