» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/03/2019 - ඉරිදා ලංකාදීප
රජයේ රැකියා ප්‍රතික්ෂේප කරන පරපුරක් බිහි කළ යුතුය

ඉන්දියාවේ මහාරාශ්ඨ මහ ලේකම් කාර්යාල අවන්හලේ වේටර් තනතුරු සඳහා හත්දාහක් අයැදුම් කර ඇති බව පසුගිය දා අනාවරණය විය. ඇබෑර්තු ගණන දහ තුනකි. ඉල්ලූම් පත් එවූ අය අතර සෑහෙන පිරිසක් උපාධිධාරීහුය. මෙම ප‍්‍රවෘත්තිය ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබුණි. ඕනෑම ඇබෑර්තුවකට ලක්ෂ ගණනින් අයැදුම්පත් ලැබේ. භෝජනාගාර සේවක වෘත්තිය විශාල වැටුපක් ලැබිය හැකි වෘත්තියක් නොවේ. සමාජ පිලිගැනීම ද අඩුය. හතරවැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගැනීම ප‍්‍රමාණවත්ය. අයැදුම් පත් වලින් පෙන්වන පාඩම වැදගත්ය. උපාධිධාරීන්ට රැකියාවක් සොයා ගැනීම බලවත් ප‍්‍රශ්නයකි. උපාධිධාරීන් භෝජනාගාර යේ සේවයට කැමැතිවීම එහි ප‍්‍රතිඵලයකි.

රැකියා හිඟය ඉන්දියාවේ ප‍්‍රාන්ත ගණනාවක දරුණු අර්බුදයක් වී තිබේ. මහා රාශ්ඨ ප‍්‍රාන්තය එයින් එකකි. ප‍්‍රකට බොලිවුඞ් සිනමා කර්මාන්තය එහි තිබේ. ඉන්දියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානය සේ සැලකෙයි. අනෙක් ප‍්‍රාන්ත වල ද ස්වභාවය එයට නොවෙනස්ය. ඉන්දියානු දුම්රිය සේවයේ පොදු සේවක තනතුරු හැට තුන් දහසක් සම්පූර්ණ කරන්නට අයැදුම් පත් කැඳ වූ විට ලැබී ඇති ඉල්ලූම් පත් ගණන මිලියන දහ නමයකි. නව දිල්ලි නගරය තුළ රස්සාවක් සොයා ගැනීම ඉතා දුෂ්කර වී ඇත. නොබෝදා හින්දුස්ථාන ටයිස්ම් පත‍්‍රය වාර්තා කර තිබුණ පරිදි 2017 අවුරුද්දේ දී සියයට 3.4 ක ප‍්‍රතිශතයක පැවැති විරැකියාව 2019 වසර උදා වන විට සියයට 6.1 ක් තෙක් ඉහළ නැග තිබේ. ඉන්දියානුවෝ මිලියන තිස් එකක් රැකියා සොයමින් සිටී. එය මෙරට ජනගහනයට වඩා වැඩි ප‍්‍රමාණයකි. අවුරුද්දකට දස ලක්ෂය බැගින් සපයන බව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සිය මැතිවණ පොරොන්දුවක් වශයෙන් කියා සිටියේය. හෙතෙම එය උපයන්නට අසමත් වී තිබේ. ආණ්ඩුවේ රැකියාවක් ලබා ගැනීම කෙසේවත් සාක්ෂාත් කරගත නොහැකි සිහිනයක් වී ඇත. අඩුම තරමින් මහාරාශ්ඨ ආණ්ඩුවේ මහ ලේකම් කන්තෝරුවේ වේටර් තනතුරක් හෝ ලබා ගැනීමට වෙහෙසවීම එහි ප‍්‍රතිඵලයකි.

ජාතික කොන්ග‍්‍රස් පක්ෂය මහාරාශ්ඨ ප‍්‍රාන්තයේ විරුද්ධ පක්ෂ බලවේගයකි. තරුණ පෙලට රැකියා ලබා දීමට අපොහොසත්වීම ගැන පක්ෂයේ නායකයෝ දෝෂාරෝපනය කරති. අලූත් කර්මාන්ත නැත. ඉදිකිරීම් නතර වී තිබේ. සුළු ව්‍යාපාරයක් හෝ නැති අතර ඉතාම අවාසනාවන්ත අර්බුදයක් බව ඔවුහු පෙන්වා දෙයි. ජනතාව බලවත් පීඩාවක බව කියා ඇත. නමුත් බලයේ සිටින බී.ජේ.පී. දේශපාලනඥයන්ට අනුව තරුණන්ට කැමැති තැනකින් රස්සාවක් හොයා ගැනීමට බාධාවක් නැත. වේටර්වරයෙකු වෙන්නට කැමැතිනම් උපාධිය එයට අවහිරයක් විය යුතු නැති බව ඉඟි කර ඇත. පසුගිය කාලයේ විශාල රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ඇති කරන්නට වත්මන් රජයට හැකි වූ බව ඔවුන්ගේ අවධාරණය වී තිබේ.

පාසල් අධ්‍යාපනය හමාර කර සමාජයට එන තරුණන්නට ලැබෙන උත්තරය කොතැනත් එකය. ඉන්දියාවේ පමණක් නොව ශී‍්‍ර ලංකාවේ ද ආණ්ඩු පක්ෂය ඇති තරම් රස්සා පවතින බව කියයි. පවතින රැකියා වලට තරුණ පෙල අයැදුම් කරන්නේ නැත. ඇඟළුම් ඇතුළු කර්මාන්ත අංශ්‍යන්හි දහස් ගණනින් ඇබෑර්තු තිබේ. ඒවායේ වැඩ කරන්නට කැමැති නැති පිරිස් බහුලය. වෘත්තීය වශයෙන් අඩු ප‍්‍රමිති මට්ටමක රැකියා සඳහා වෙනත් රටවලින් ශ‍්‍රමිකයන් පැමිණීමේ අවදානමක් ද මතු වී තිබේ. ඉන්දියාවෙන්, චීනයෙන් හෝ වෙනත් රටකින් පැමිණ වලංගු වීසා රහිතව මෙරට විවිධ වෘත්තීන්හි යෙදෙන පිරිස සුළු පටු නොවේ. එම වාතාවරණය එසේ තිබිය දී උසස් පෙල සමත් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ ලක්ෂ ගණනක් අලූත් රැකියා ඉල්ලමින් සිටිති. උපාධිධාරීන් හතලිස් දහසකට රැකියා නැති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. තරුණන් රැකියා ඉල්ලා විරෝධතා පළ කරන්නට පටන්ගෙන ඇති අතර ආර්ථිකයේ වේගය අඩාලවීම හා රජයේ ආයතන වලට බඳවා ගත හැකි පිරිස ඉක්මවා සේවයට එකතු කරගැනීම හේතු කරගෙන රැකියා සම්බන්ධයෙන් සෑහෙන ගැටළුවක් රට තුළ මෝදු වෙමින් තිබේ.

අධ්‍යාපන අවස්ථා හමාරකරන සියළු තරුණ තරුණියන්ට ආණ්ඩුවේ රැකියා අවස්ථා ඇති කිරීම පහසු නැත. රජයේ රැකියා කරන ප‍්‍රමාණය මිලියන 1.4 ඉක්මවා ඇත. මෙම පිරිසට වැටුප් ගෙවීම ප‍්‍රශ්නයකි. නිෂ්පාදනයක් රහිත සේවා වෘත්තීන්ට බඳවා ගැනීම් වැඩිවන විට එම පිරිසට වැටුප් වෙනුවෙන් ජනතාවගේ බදු ආදායම වැය කරන්නට සිදුවී තිබේ. රජයේ ආදායම ණය වාරික ගෙවීම හා රජයේ සේවක වැටුප් ගෙවීමට ද ප‍්‍රමාණවත් නැති තරමට පත්ව ඇති බව අනාවරණය වන බරපතල කරුණකි. තව තවත් බදු වැඩි කර රජයේ ආදායම නැංවිය හැකි අතර රජයේ සේවයට බඳවා ගැනීම් වැඩි කරන්නට එයින් අවස්ථාව පාදා ගත හැකිය. නමුත් මෙරට ජනතාව දැන් අයකරන ආණ්ඩුවේ බදු වලින් පවා හෙම්බත් වී සිටී. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වලට අයකරන බදු ගෙවා ගත නොහැකි, එයින් ජීවන වියදම දරා ගත නොහැකි සමාජයක් මෙරට සිටී. එය ආණ්ුඩවේ අවධානයට ලක් විය යුතු වැදගත් කරුණකි.

සෑම පුද්ගලයෙකුටම රජයේ රස්සාවක් ලබාදීමට පුලූවන් කමක් නැත. නමුත් සෑම පුරවැසියෙකුටම ආදායම් මාර්ගයක් සකස්කර දෙන වගකීම ආණ්ඩුවට තිබේ. එය අත් හැරදැමිය නොහැකි ඉතා වැදගත් කාරණයකි. ව්‍යාපාරයක්, ව්‍යවසායයක්, සේවාවක් හෝ කර්මාන්තයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ කෘෂි අංශය වේගයෙන් පිරිහීමට ලක්ව ඇත. තරුණ පෙල ගොවිතැනට කැමැති නැත. නමුත් ලෝකය පුරා ආහාර වලට විශාල වෙළඳ පොලක් නිර්මාණය වී තිබේ. අඩු ඉඩම් ප‍්‍රමාණයක ඉහළ තාක්ෂණයෙන් යුතු වගා ක‍්‍රම මගින් නිපදවීම පැතිරී තිබේ. සුදුසු පරිසර පද්ධති තුළ මඩ ගාගන්නේ නැති ගොවිපොල කළමණාකරනය රට තුළ දුර්ලභය. ඒවා වෙනුවෙන් ඇති අවස්ථා මතුකරන්නට පියවර ගන්නේ නැත. තරුණන් ගේ දක්ෂතා එම පැති වලට යොමු කරන වැඩපිලිවෙලක් අවශ්‍යය.

උසස් අධ්‍යාපනය හෝ උපාධිය ලැබීම ලෝකය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කරගන්නා මට්ටමකි. වර්තමානයේ දැනුම සොයා ගැනීමට බාධාවක් නැත. තාක්ෂණය උපයෝගී කරගත හැකිය. අලූත් දැනුම අනුව අලූත් යමක් කරන්නට හැකියාව තිබේ. ශ‍්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ ව්‍යුහය අනුව අලූතින් යමක් කරන්නට විශාල බාධා හා අභියෝග ප‍්‍රමාණයක් ජයගත යුතුය. යමක් කරන්නට හදන තරුණයෙකුට අවහිර කරන නිලධාරීහු අප‍්‍රමාණව සිටී. පලාත් පාලන ආයතනයේ සිට පලාත් සභා හා ජාතික මටට්මින් අවසර ගෙන තමන්ගේ අලූත් ආයෝජනය කරන්නට වැය කළ යුතු කාලය හා මහන්සිය ගැන හිතන විට පාරට බැස උද්ඝෝෂණ කිරීම පහසුය. ආණ්ඩුවේ කන්තෝරුවක වේටර් තනතුරකට හෝ පත්වීමක් ගැනීමට කැමැතිය.

රට තුළ ආකල්ප වෙනසක් ඇති විය යුතුව තිබේ. විශේෂයෙන් ආණ්ඩුව හා ආණ්ඩුවේ නිලධාරීන් හිතන හා ක‍්‍රියාකරන ආකාරය වෙනස් කළ යුතුය. අලූත් දේ ඇති කරන්නට ඉඩ දිය යුතුය. ජනතාවට ආර්ථික නිදහසක් අවශ්‍ය වී තිබේ. යමක් කරන්නට අවසර ගත යුතු ඇයි? යමක් නොකර සිටීම දෙඩුවමකට හේතුවක් කරන ක‍්‍රමයක් අපට අවශ්‍යය. ආණ්ඩුවේ රැකියා අඩු, පුද්ගලික අංශයේ ආයෝජන දුර්වල හා අලූතින් යමක් කරන්නට ඉඩක් නැති පසුබිම තුළ තී‍්‍ර විලර් එකක් මිල දී ගෙන කුලියට වැඩ කිරීම හැර අනෙකක් ඉතිරිවී නැත. එය නිෂ්පාදනයක් නොවේ. මෙරට තරුණ පෙළ අතරින් සෑහෙන පිරිසක් එහි නියැලී සිටිති. ඉන්දියානු සමාජයේ අර්බුදයක් වී ඇති රැකියා ගැටළුව තරමට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නය වර්ධනය වී නැත. නමුත් එය අර්බුදයක් විය හැකි සීමාව කරා ළ`ගා වෙමින් තිබේ. සුදුසු හෝරාවේ දී නිසි විසදුම් ඇති කිරීම ආණ්ඩුවේ වගකීමකි.