» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/02/2019 - ඉරිදා ලංකාදීප
රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණයේ පස් වැනි පරම්පරාව

පස් වැනි පරම්පරාවේ තොරතුරු සන්නිවේදනයේ අලූත් පැති ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව අධ්‍යයනය කරමින් සිටී. ලෝකයේ රටවල් සෑහෙන ප‍්‍රමාණයක් තවමත් හතර වැනි පරම්පරාවේ රැහැන් රහිත දුරකතන සන්නිවේදනයෙහි පවතී. පස් වැනි පරම්පරාවේ තාක්ෂණය ඉතා දියුණුය. දත්ත සම්පේ‍්‍රෂණය වේගවත්ය. ඉක්මනින් සෙසු උපාංග සමග සන්නිවේදන හැකියාව ඇති කරගනී. නවතම පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදයේ වේගය හා නිවරැදි භාවය ගැන එක ජනප‍්‍රිය උදාහරණයක් තිබේ. එයට අනුව මහා මාර්ගයේ වර්ණ සංඥා ආලෝකය ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් බලාසිටින වාහනයක් දක්වයි. එහි රියැදුරා රතු වෙනස් වී කොළ පැහැය වැටෙන තෙක් තිරිංග තද කරගෙන බලා සිටී. කොළ පැහැති සංඥාව ලැබුණ වහා තීරණයක් ගැනීමට සුළු ප‍්‍රමාදයක් ඇති විය හැකිය. පස් වැනි පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදන යුගයේ වාහනය කෙලින්ම සංඥා වර්ණය වෙනස් වන වහා ස්වයංක‍්‍රීයව ගමන ආරම්භ කරයි. සංඥා පද්ධතිය හා වාහනයේ මෙමරි පත සමග සම්බන්ධ වෙයි. අවට ඇති අනෙක් වාහන වල ගමන් වේගය හා දිසාව ගැන සන්නිවේදනයක් ඇති කරගන්නා අතර අනතුරකින් තොරව වේගයෙන් ධාවනය කරන්න හැකියාව ලැබේ. එය මිනිස් හිතක ක‍්‍රියාවලිය අභිබවා යන තත්ත්වයකි.

පස් වැනි පරම්පරාවේ දුරකථන තාක්ෂණයේ වෙනස කුමක්ද? සාමාන්‍යයෙන් හතරවැනි පරම්පරාවේ තොරතුරු තාක්ෂණය තත්ත්පරයකට මෙගා බයිට් 16.9 ක වේගයක් සපයයි. පස් වැනි පරම්පරාව එය ගිගා බයිට් එකක වේගයක් තෙක් හරවනු ඇත. ලෝකය පුරා පිරිසිදු, අවදානමක් රහිත හා තිරසර සමාජයක් බිහි කරන බව දැක්වෙයි. ඇමරිකාව, චීනය හා දකුණු කොරියාව දැනට පස් වැනි පරම්පරාවේ තාක්ෂණය භාවිතා කරයි. එය වෙනුවෙන් විශාල ආයෝජනයක් අවශ්‍යය. තොරතුරු දක්වන අන්දමට ඇමරිකාවේ හතර වැනි පරම්පරාවේ සන්නිවේදනය වෙනුවෙන් දුරකථන කුළුණු තුන් ලක්ෂ විසි පන්දහසක් භාවිතා කෙරේ. පස් වැනි පරම්පරාවේ සන්නිවේදනය උදෙසා කුළුණු ලක්ෂ අටක් අවශ්‍ය වනු ඇත. බාධාවකින් තොරව එකිනෙක මෙවලම් යා කරනු සඳහා පවතින නීති රීති වෙනස් කරන්නට සිදුවෙයි. එය විශාල පරිවර්තනයකි. මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගැනීමෙන් පසු, ඒ වන තෙක් තිබුණ සන්නිවේදනය වෙනස් කරමින් ලෝකය පුරා සිදුවූ විප්ලවය හා සමාන වෙනසක් පස් වැනි පරම්පරාවේ රැුහැන් රහිත සන්නිවේදනය මගින් විය හැකි බව දැනට තක්සේරු කර තිබේ.

පස් වැනි පරම්පරාවේ රැහැන් රහිත දුරකතන තාක්ෂණය මගින් ඇතිකරන අලූත් ව්‍යුහය තක්සේරු කිරීම අපහසු තරම් විශාල බව ක්ෂේත‍්‍රයේ විශේෂඥයන්ගේ අදහසයි. එය නව සොයා ගැනීම් වෙනුවෙන් අවස්ථා සම්පාදනය කරනු ඇත. ආර්ථික වර්ධනය මගින් ලෝකයේ සෑම රටකම ආර්ථික දියුණුවක් අපේක්ෂා කෙරේ. පැරණි රැකියා අහෝසි වනු ඇති අතර අලූත් රැකියා අවස්ථා බිහිවෙයි. මෙම තාක්ෂණය සමග රියැදුරු රහිත වාහන ධාවනය යතාර්ථයක් වනු ඇත. අවශ්‍ය තැන තෝරාගෙන ඉතාම නිවැරදි භාණ්ඩ හා සේවා ප‍්‍රවාහනය කළ හැකි වෙයි. කර්මාන්ත ශාලා වල රොබෝවරු සේවය කරනු ඇත. අධික තදබදය තුරන් කරනු ඇති අතර නාස්තිය අවම කරනු ඇති බව සඳහන්ය. ලෝක බැංකුව දක්වන අන්දමට පස් වැනි පරම්පරාවේ තොරතුරු තාක්ෂණය ජාත්‍යන්තර ආර්ථිකයේ වර්ධනය සියයට 1.3 කින් වර්ධනය කරනු ඇත. දැනට ලෝකයේ අන්තර් ජාල සම්බන්ධතා සහිත පිරිස සියයට හතලිහක් පමණ වෙතැයි සැලකේ. තවත් මිලියන 327 ක ජන කොටසක් අන්තර් ජාලයට සම්බන්ධ කළ හැකිවුවහොත් ලෝකයේ නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනයකින් පමණ ඉහළ යනු ඇති අතර එය කාර්යක්ෂමතාවයේ ප‍්‍රතිඵලයකි. කර්මාන්ත, ආහාර නිෂ්පාදනය හා බෙදාහැරීම, සෞඛ්‍ය හා සනීපාරක්ෂක අංශ, මගී ප‍්‍රවාහනය හා අධ්‍යාපනයේ සිදුවන පෙරැළිය ලෝකයේ පවතින රාමුව විශාල වෙනසකට ලක් කරනු ඇත. වෛද්‍යවරයෙකු, රෝගියා ප‍්‍රවාහනය කරන ගිලන් රථය හා එහි සිටින රෝගියාගේ තත්ත්වය එකවර සම්බන්ධ වුවහොත් එය සෑහෙන වෙනසක් ඇති කරන තත්ත්වයකි. ජීවිත ආරක්ෂා කරන අතර රෝගියා ගේ පරීක්ෂණ අතරමග දී සිදුවන හෙයින් රෝහලට එන අවස්ථාවේ දී රෝහල් කාර්ය මණ්ඩලය සූදානම්ය.

පස් වැනි පරම්පරාවේ රැහැන් රහිත තාක්ෂණයෙන් ජන සමාජයකට ලැබිය හැකි අවස්ථා ගැන තොරතුරු ඉදිරිපත් කළ හැකිය. අලූත් වෙනස්කම් හෙයින් ඇති වන ස්මාට් සමාජය ගැන හිතන්නට පුලූවන්කමක් තිබේ. පස් වැනි පරම්පරාවේ වේගවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ අවස්ථා අහිමි සමාජය සමග බිහිවිය හැකි අලූත් දුප්පත් භාවය ගැන ද අමතක කළ යුතු නැත. මෙකී තාක්ෂණයේ අවස්ථා වෙනුවෙන් ආයෝජනය කළ නොහැකි රටවල් දුප්පත් රටවල් ගනයට එකතු විය හැකිය. ස්මාට් සමාජ ව්‍යුහයට ඇතුළු විය නොහැකි ජන කොටස් දුප්පතුන් වශයෙන් ගැනෙන්නට ඉඩ තිබේ. එය බලවත් අසාධාරණයකි.

ශ‍්‍රී ලංකාවේ පස් වැනි පරම්පරාව රැහැන් රහිත දුරකතන තාක්ෂණය සම්බන්ධයෙන් නිල සැලැස්මක් අවශ්‍යය. අලූතින් සාකච්ඡා කර වැඩ පිලිවෙලක් සකස්කරගත යුතුය. තාක්ෂණය සමග එකතුවන යුගයේ දී කල් නොහැර තීරණ ගැනීම අවශ්‍යය. මෙරට තොරතුරු සන්නිවේදනය පස් වැනි පරම්පරාව එලිපත්තේ සිටී. රජයට අයත් සන්නිවේදන සමාගම් හා පුද්ගලික අංශයේ සමාගම් අලූත් වෙනස්කම් වෙනුවෙන් ආයෝජනය කළ යුතුව තිබේ. පහසු නැත. ශ‍්‍රී ලංකාවේ හතරවැනි පරම්පරාවේ සන්නිවේදනය වෙනුවෙන් ඇති කුළුණු වෙනුවට රට පුරා ආවරණය වන අලූත් සම්පේ‍්‍රෂණ පද්ධතියක් බිහි කරන්නට සිදුවෙයි. ඇමරිකාවේ කුළුණු ප‍්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය ප‍්‍රමාණය මුලින් දක්වා ඇත. මෙරට එවැනි ප‍්‍රතිශතයකින් අලූතින් ආයෝජනය කිරීම පහසු නැත. දුරකතන සමාගම් පෙන්වා දෙන අන්දමට අවම මෙහෙයුම් සහිතව ආයතන පවත්වාගෙන යෑමට සිදුවී තිබේ. රජය සන්නිවේදන අංශයට විශාල බදු පනවා ඇත. කතා කාලය හා වෙනත් වටිනාකම එකතු කළ සේවා වෙනුවෙන් සියයට 49.6 ක පමණ බද්දක් ගෙවන්නට සිදුවෙයි. පාරිභෝගිකයාගෙන් අය කර එය ගෙවන අතර සමාගම් අතර තරගකාරීත්වය හෙයින් ගාස්තු නැංවීම අපහසුය.

සන්නිවේදන කුළුණු වලට මෙම වසරේ සිට අලූත් බද්දක් ගෙවන්නට සිදුවෙයි. එය මෙරට සන්නිවේදන අංශ වලට පැනවෙන බදු ප‍්‍රමාණය තවත් වැඩි කරන තීරණයකි. සමාගම ගෙවන මෙම බද්ද අනුව ව්‍යාපාර කරගෙන යාමට බාධා ඇති වෙයි. ව්‍යාපාර වල ලාභය අවම වන අවස්ථාවක අලූත් ආයෝජන කෙරෙහි නැඹුරුව පහත වැටේ. සීමිත වෙළඳ පොලක් සහිත මෙරට සන්නිවේදන ක්ෂේත‍්‍රයේ අධික බදු එහි ප‍්‍රගතිය අඩ පන කරනු ඇත.

අලූත් ආයෝජන රහිතව පස් වැනි පරම්පරාවේ තොරතුරු තාක්ෂණය කරා ගමන් කළ නොහැකිය. ලෝකයේ අනෙක් රටවල් නිෂ්පාදනය, ප‍්‍රවාහනය ඇතුළු සමස්ථ ක‍්‍රියාකාරකම වෙනුවෙන් අසීමිත සම්බන්ධතා ඇති කරගෙන වඩා කාර්යක්ෂමතාවයක් කරා යොමුවන අතර ශ‍්‍රී ලංකාවේ තත්ත්වය දුර්වල වීම නරක තත්ත්වයකි. එය මුලින් ද සඳහනන් කළ පරිදි දුප්පත්කමට අලූතින් එකතුවන වාතාවරණයක් විය හැකිය. මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයෝ අලූතින් හිතන්නට අවශ්‍යය. පවතින රාමුව වෙනස් කරන නවීණ පැති අධ්‍යයනය කළ යුතුය. පස් වැනි පරම්පරාවේ තොරතුරු සන්නිවේදනයෙන් ලබාගත හැකි අවස්ථා මගින් කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ගැන යොමු විය යුතුය. සන්නිවේදන අංශ වලින් අය කරන බදු වෙනුවට එමගින් අත්වන ප‍්‍රතිලාභ ජනතාවට ලැබෙන ක‍්‍රම ගැන පරීක්ෂාකාරීවීම සුදුසුය. වර්තමානයේ ජනගහයට වැඩි දුරකතන සම්බන්ධතා ප‍්‍රමාණයක් භාවිතයේ පවතින බව වාර්තා පෙන්වයි. මේවායෙන් වැඩි කොටසක් ස්මාට් සමාජ යුගයක් වෙනුවෙන් සම්බන්ධතා ඇති කරගෙන නැත. හුදෙක් සමාජ මාධ්‍ය සම්බන්ධතා පමණකි. මෙම පැති වෙනස් කිරීම වෙනුවෙන් තීරණ ගැනීම අවශ්‍ය බව ලෝකයේ සිදුවන පරිවර්තනය පෙන්වා දෙයි.