» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/09/2018 - ඉරිදා ලංකාදීප
බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණය ගැන සමාජ කතිකාවතක් අවශ්‍යය

බන්ධනාගාරය මෙරට ජන සමාජයේ එක්තරා ආකාරයක කැඩපතක් බව සදහන් කළ හැකිය. එයින් පෙනෙන්නේ අපගේ පිළිබිඹුවයි. බන්ධනාගාර ගතව සිටින්නේ ජනසමාජයේ එක් කොටසකි. ආගම දහම ගැන ගැඹුරු වැටහීමක් සහිත දීර්ඝ සංස්කෘතියක් සහිත මිනිසුන් වෙසෙන රටක බන්ධනාගාර කුමටද? නමුත් රට පුරා තැනින් තැන බන්ධනාගාර තිබේ. ඒවායේ තදබදයක් තිබේ. පහසුකම් අඩු අතර ඒවායේ පිරී සිටින සැකකරුවන්, දඬුම් ලබන්නන් ඉතා අසරණ ජීවිත ගත කරති. එය අවාසනාවකි. වරින්වර පුපුරා යන්නේ එහි අභ්‍යන්තරය විය නොහැකිද?

ඕනෑම රටක බන්ධනාගාරය ගැටලූ සහගත තැනකි. අධිකරණයෙන් නියම කරන දඬුවම පරිදි ආරක්ෂා සහිතව සිරකරුවන් රඳවා තබා ගැනීම පහසු එකක් නොවේ. සමාජයෙන් ඈත්වන විට සිරකරුවන්ට විශාල පීඩනයක් ඇතිවෙයි. ආත්ම ගෞරවය හා මානුෂිකත්වය ගැන ගැටළු මතුවෙයි. ඒවා සීමා ඉක්මවන විට සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීහු අතර ගැටුම් ඇතිවෙයි. ජීවිත කාලයෙන් දීර්ඝ කොටසක් වැරදිකරුවන් සමග ජීවත්වීම නිසා බන්ධනාගාර සේවයේ නිරත පිරිස ගේ ජීවිත අමිහිරිය. සමාජය නිලධාරීන් ගැන බලන දෘෂ්ඨීකෝණය සාධාරණ නැත. බි‍්‍රතාන්‍ය යුගයේ පටන් පවතින මෙරට බන්ධනාගාර පද්ධතියේ සේවය කරන නිලධාරීන්ගේ ද, සිරකරුවන්ගේ ද ප‍්‍රශ්න දෙස සානුකම්පිත විය යුතුය. එහි ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යය. බාහිර මැදිහත්වීම් සීමාකර දඬුවම ක‍්‍රියාත්මක වන ආකාරය මානුෂික විය යුතු අතර සිරගෙදරින් නිදහස් වී නැවත සමාජ ගතවන පිරිස යහපත් පුරවැසියන් බවට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍යය. ජනතාවගේ බදු වලින් නඩත්තු කරන බන්ධනාගාර පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කළ යුතු අතර එතැන ජීවිතාවබෝධය ඇති කරන තැනක් විනා සමාජය කෙරෙහි වෛරය බෝකරන මිනිසුන් කණ්ඩායමක් බිහි කළ යුතු නැත.

මෙම ස්වභාවය තේරුම් ගන්නේ කෙසේද? නොබෝදා ඇමරිකානු බන්ධනාගාර පද්ධතියේ දැවැන්ත විරොධතාවයක් පැන නැගිණ. එය 2016 වසරේ පැවැති එරට දැවැන්ත බන්ධනාගාර විරෝධතාවයේ තවත් පියවරකි. එහි දී සිරකරුවෝ තමන්ට පවරා තිබුණ වැඩ වලින් ඉවත් වූහ. ඉල්ලීම් දහයක් ඉදිරිපත් කළහ. අසාධාරණ සැලකිලි අත්හරින සේ බල කරන ලද අතර එම යෝජනා ඉදිරිපත් කරමින් සිරකරුවෝ ආහාර වර්ජනය කළහ. ගැටුම් ඇති කරගත් අතර සිරකරුවන් තුවාල කරගත් අවස්ථා විය. ‘‘නූතන වහලූන් වශයෙන් ජීවත්වීම අවමානයක්.’’ ඇමරිකානු බන්ධකාගාරවල සිටි සිරකරුවෝ කියා සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. බරපතල වැඩ පවරා ඇති සිරකරුවන්ගෙන් ගන්නා සේවය වෙනුවෙන් කරන සුළු ගෙවීම කෙසේවත් ප‍්‍රමාණවත් නැති බව මෙම විරෝධතාවයේ දී සංවිධානගත වූ සිරකරුවන් කියා සිටි අතර තමන්ට සපයන ආහාර ප‍්‍රමාණය යාන්තම් පන නල ආරක්ෂා කරගැනීමට සීමා කිරීම ගැන බලවත් විරෝධය මතු කරන ලද බව ද වාර්තා වල සඳහන්ය.

ලෝක ජනගහනයෙන් සියයට පහක් පමණ ඇමරිකානු ජනගහනය වන නමුත් ලෝකයේ සිරකරුවන් ප‍්‍රමාණයෙන් සියයට විසි පහක් ඇමරිකානුවන් බව එරට වාර්තා වල දැක්වෙයි. මිලියන 2.3 ක පිරිසකි. එරට තත්ත්ව වාර්තා අනුව සෑම සියදෙනෙකගෙන් අයෙකු බන්ධනාගාර ගත ව ඇත. මෙම පිරිස නඩත්තු කිරීම පහසු කාර්යයක් නොවේ. 2010 වසරේ දී ඇමරිකානු ආණ්ඩුව බන්ධනාගරය ද පුද්ගලික අංශයට පැවැරීය. සුළු වැරදි සහිත සිරකරුවන් බලා ගැනීම පුද්ගලික අංශයේ ආයතන වලට භාරකරනලද අතර එහි වියදම් ඇමරිකානු ආණ්ඩුව පියැවීය. සිරකරුවන් නිරත සේවාව වලින් උපයන ධනයෙන් කොටසක් ද එහි නඩත්තුවට වෙන් කරන ලද බව දැක්වෙයි. සමස්ථ සිරකරුවන්ගෙන් තුනෙන් එකක පිරිසක් පුද්ගලික අංශයේ සිරගෙවල් වල පාලනයට භාර දුන් අතර ඉතිරි කොටස ඇමරිකානු ආණ්ඩුව හා ප‍්‍රාන්ත මට්ටමින් ඇති සිරගෙවල් වල රඳවා තැබීය. මෙම ව්‍යුහය තුළ සංකීර්ණ පීඩා වලට මුහුණ දෙන සිරකරුවන් සිය අවශ්‍යතා සම්බන්ධයෙන් දිගටම විරෝධතා පළ කරමින් සිටි බව නිරීක්ෂණය කළ හැකිය.

ඇමරිකානු සිරකරුවන් සඳහන් කරන පරිදි හිරගෙදර නූතන වහල් කඳවුරක්ද? මෙරට බන්ධනාගාරයේ ස්වභාවය ගැන මුලින් දක්වන ලදී. එහි අභ්‍යන්තරය හෙළිදරව් කරන අවස්ථා ගණනාවක් මෑත කාලය තුළ වාර්තා විය. එකක් නොබෝදා කාන්තා රැඳවියන් වහලය මත නැගී කරන ලද විරෝධතාවයයි. කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් සැකකරුවන් සේ රක්ෂිත බන්ධනාගාර වල සිටී. නඩු පැවරීම ප‍්‍රමාද වී තිබේ. බන්ධනාගාර වල පවතින තත්ත්වය බාහිර සමාජයේ පසුබිමට වඩා වෙනස්ය. මූලික පහසුකම් රහිත බව අනාවරණය කළ කාන්තා රැඳවියෝ ඔවුන්ට යුක්තිය ඉශ්ඨ කරන සේ බල කරන්නේ අඩුම තරමින් ප‍්‍රමාණවත් වැසිකිලි පහසුකම් ලබාදෙන සේ බල කරමින් බව දැක්වීම අවශ්‍යය.

ශ‍්‍රී ලංකාවේ නීතිය අනුව සැකකරුවෝ අත්අඩංගුවට ගන්නා අතර අධිකරණ ක‍්‍රියාමාර්ග වලට යොමු කෙරේ. ඇතැම් පිරිස නඩු විභාග අවසන් වන තෙක් බන්ධනාගාර ගත කරන අතර අධිකරණය සෑහීමකට පත්වන අවස්ථාවේ දී ඇප ලබාගත හැකිය. අධිකරණයේ දඬුවම් නියම කරන ලද පිරිස ස්ථිර බන්ධනාගාර ගත කෙරේ. සිරකරුවන් හා සැකකරුවන් දෙකොට්ටාශයම එකම තැනෙකය. මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෝ අත් අඩංගුවට ගෙන රඳවන්නේ ද බන්ධනාගාරයේ මය. ධනය හා බලය ඇති මැර කල්ලි ද ඒ අතරය. එවිට මතුවන ප‍්‍රශ්ණ සංකීර්ණ එකකි. බලය ඇති පිරිස බන්ධනාගාර ගත වූ වහා රෝග ව්‍යාධි පෙන්වා රෝහල් ගත වෙති. අඩුම තරමින් බන්ධනාගාර රෝහලට හෝ ඇතුල් වන බව පෙනේ. දේශපාලන බලය නැති, ධනය වියදම් කරන්නට අසමත් අසරණ ජනතාව බන්ධනාගාර ගතවන අවස්ථාවේ දී එහි පවතින රාමුවට කොටුවීම හැර විකල්පයක් නැත. දවසකට දෙකකට හෝ බන්ධනාගාර ගතවන ඕනෑම අයෙකු එයින් නික්මෙන්නේ මානසික ව්‍යාධියකට ගොදුරුවූවකු ලෙසය. මේ ක‍්‍රමය වෙනස් කළ හැක්කේ කෙසේද? ඇමරිකානු බන්ධනාගාරයේ පවතින නූතන වහල් ස්වභාවය ශ‍්‍රී ලංකාවේ ද පවතිනවා ද නැද්ද යන්න ගැන සොයා බැලීම සුදුසුය.

ශ‍්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද විද්වත් කමුටුවක් එහි වාර්තාව රජයට බාර දී තිබේ. මැති ඇමැතිවරු නොයෙක් අධ්‍යයනය කරති. ලෝකයේ නොයෙක් රටවල බන්ධනාගාර වල තත්ත්වය අධ්‍යයනය කරන්නට හා අත්දැකීම් ලබන්නට බන්ධනාගාර නිලධාරීන්ට අවස්ථාව ලබා දී තිබේ. මේවායෙන් යහපත් වෙනසක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සුදුසුය. ඇමරිකාවේ බන්ධනාගාර වල තත්ත්වය ද නරක නම් ශී‍්‍ර ලංකාවේ බන්ධනාගාර පවතින ව්‍යුහයට වඩා වෙනස්කළ යුතුද යන්න සාධාරණ තර්කයක් නොවේ. වරදක් කරන ලද නමුත් මනුෂ්‍යයන් සේ සැලකීම අවශ්‍යය. වරද අවබෝධ කරගෙන නැවත නිදහස් මිනිසෙකු සේ සමාජයට ප‍්‍රවේශවීමට සුදුසු වාතාවරණයක් බන්ධනාගාරය තුළ පැවැතිය යුතුය.

අලූත් බන්ධනාගාර ඉදිකරන්නට හැකිය. සිරකරුවන්ගේ ආරක්ෂාවට නිලධාරීන් වැඩි කළ හැකිය. වැරදි කළ පුද්ගලයෙකු රඳවන්නට වැය කරන මුදල එයින් ඉහළ යනු ඇති අතර වන්දිය ගෙවන්නේ සමස්ථ සමාජයයි. සුළු වැරදි කර ලිහිල් දඬුවම් ලබන අය වෙන් කර ඔවුන් සමාජයට ප‍්‍රයෝජනයක් ඇති කාර්යයක යෙදවීම සුදුසුය. තදින් නිතිය ක‍්‍රියාත්මක කරන අතර යුක්තිය ඉක්මනින් පසිඳලිය යුතුය. චරිත ශෝධනයක් සිදුවන්නේ එවිටය. බන්ධනාගාරය වැරදි අවබෝධකර දී නිවැරදි මගට පත්කරන තැනක් විනා වෛරක්කාරයක් බිහි නොකිරිම වග බලාගැනීම අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය එපමණ පහසුකම් ඇති තැනක් නොවන බව තේරුම් ගත හැකිය. බලය ඇති පුද්ගලයන් බන්ධනාගාර ගත වූ වහා නොයෙක් හේතු පදනම් කරගෙන එතැනින් ඈත් වනනේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මෙම ස්වභාවය කිසියම් පරිවර්තනයකට යොමු කරන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම සමාජ යුතුකමකි.