පිලිපීනය පැසිපික් සාගරයේ පිහිටි දර්ශණීය රටකි. දූපත් 7,641 කින් සමන්විතය. ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ රටක් වශයෙන් සොබා දහමට ඇලූම් කරන ලෝක වාසීහු අතර ප‍්‍රචලිතය. කෙසේ වෙතත් ස්වභාවික විපත් බහුල කලාපයක පිලිපීනය පිහිටා තිබේ. නිතර ආපදා සිදුවෙයි. පිලිපීනය දෙස ජගත් ප‍්‍රජාව ගේ අවධානය නිතර යොමුවෙයි. මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කරනු සදහා ජනාධිපති රොඩිරිගෝ ඩූටර්ටේ අනුගමනය කරන තද නීති මෑත භාගය තුළ වඩා ආන්දෝලනයක් ඇති කළේය. හෙතෙම දැව සංහාරයට දැඩි ද`ඩුවම් පැනවීය. යාන්ත‍්‍රික වඩු කියත් තහනම් කළේය. පිලිපීනය පරිසරය ආරක්ෂා කරනු ස`දහා අලූතින් පනවා ඇති නීති අන්තර් ජාතික අවධානයට ලක්ව තිබේ. එයට අනුව එරට සිසුන් සිය උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගීවීමට කලින් පැල දහයක් සිටුවා හදා වඩා සත්කාර කළ යුතුය.
පැල දහයක් සිටුවිය යුතු මෙම අලූත් නීතිය පාරිසරික අවශ්‍යතාවයන් වෙනුවෙන් උපාධිධරයන්ගේ උරුමයක් වශයෙන් නම් කර තිබේ. එය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ඇත. සෙනෙට් මණ්ඩලයට අවශ්‍ය කටයුතු වෙනුවෙන් යොමු කර තිබේ. කාලගුණ විපර්යාස වලින් ලෝකයට සිදුවන විපත් අවම කරගැනීම හා අනාගත පරපුර වෙනුවෙන් හරිත රටක් බිහිකරගැනීම උදෙසා මෙකී පණත ඉතා වැදගත් වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. පාසලට ඇතුලත් වන දරුවන්ගේ අපේක්ෂාව හොඳ අධ්‍යාපනයක් ලැබීමය. සමාජ වගකීමක් සහිත පුරවැසියන් වශයෙන් රටට කළ යුතු කැපවීම ගැන අවබෝධයක් ලබා දීම පැල සිටුවීමේ නීතියෙහි අරමුණකි. මෙම නීතිය බලපවත්වන විට එක පරම්පරාවක් තුළ අඩුම වශයෙන් ගස් බිලියන 525 ක් පිලිපීනය පුරා වැඩෙන අතර එය පාසලෙන් බැහැර වන අවධියේ සිට විශ්ව විද්‍යාල ජීවිතය දක්වා කාලය තුළ රටට කරන විශාල සේවයක් වනු ඇත.
පිලිපීනය මෙම අලූත් සංකල්පයට ඇතුළු වූයේ ඇයි? වන විනාශය එරට බරපතල ප‍්‍රශ්නයකි. සියවස ආරම්භයේ සිට අද දක්වා කාලය තුළ වනාන්තර ප‍්‍රමාණය ප‍්‍රතිශතයක් වශයෙන් සියයට හැත්තෑවක සිට සියයට විස්ස දක්වා පහත වැටී ඇත. 1934 සිට 1988 දක්වා කාලය තුළ කැලෑ ඉඩම් අක්කර මිලියන 24.2 ක් විනාශ කර ඇති බව අනාවරණය වෙයි. පොල් ඉඩම් අති විශාල ප‍්‍රමාණයක් කපා දමා දැව වශයෙන් ප‍්‍රයෝජනයට ගෙන ඇත. 2012 වසරේ දී පිලිපීනය පහසුවෙන් දැව කපා බිම හෙලන චේන් ෂෝ නමැති යාන්ත‍්‍රික කියත් තහනම් කළේය. ඒවා ගෙන්වීම අමතර කොටස් සැපයීම අලූත් ප‍්‍රතිපාදන වලින් සම්පූර්ණයෙන්ම නීතියෙන් තහනම් කර තිබේ. එක්තරා කාලයක පිලිපීනයේ ප‍්‍රධාන නගරයක මීටර් හතරක් දිග දැවැන්ත ආසනයක් තනි දැව කොටයකින් සකස් කර ප‍්‍රදර්ශනයට තබා තිබුණ අතර එය සංචාරක ආකර්ශනය දිනා ගත් ස්ථානයක් විය. අද වන විට එවැනි විශාල ගස් දැකගත නොහැකිය. වන සතුන්ට පවා ගැවසෙන ස්ථාන අහිමි වී ඇති බව වාර්තා පෙන්වයි. වනාන්තර ආරක්ෂා කරගැනීම සදහා දැව කැපීම, ප‍්‍රවාහනය තහනම් කරන ලද අතර එයට සමාන්තරව උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට පැල දහයක් සිටුවිය යුතු බවට නව නීති සම්පාදනය කරන ලද බව පෙන්වා දිය යුතුව තිබේ.
ශ‍්‍රී ලංකාව මෙවැනි පැති ගැන හිතන්නට අවශ්‍යය. මිහිදු මහ රහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කරන්නේ අද වැනි පොසොන් දවසකය. දඩ කෙළියේ යෙදුන දේවානම්පියතිස්ස රජ තුමා ගෙන් නගන ලද පැනය ඉතා ප‍්‍රකටය. පරිසරය ආශ‍්‍රිතව විමසන ලද ප‍්‍රශ්න වලින් ධර්මාවබෝධයක පිහිටිය හැකි ද යන්න තේරුම් ගෙන ඇති බව පැහැදිලිය. වෘක්ෂයක් පෙන්වා එය කුමක්දැයි විමසූ මහ රහතන් වහන්සේ එයට ලැබුණ පිලිතුර අනුව මෙම අඹ ගස හැර තවත් අඹ ගස් තිබේදැයි දේවානම් පියතිස්ස රජතුමාගෙන් විමසා ඇත. මෙම අඹ ගසත් තවත් අඹ ගස් හැර තවත් ඒවා ඇත්දැයි ප‍්‍රශ්න කර ඇති අතර ගස් ඇති නමුත් ඒවා අඹ නොවන බවට ලද පිලිතුර බුද්ධි පරීක්ෂණයකි. අද රටට අහන්නට ප‍්‍රශ්නයක් තිබේ. අප සියළු දෙනාටම නිරතවන්නට කාර්යයක් තිබේ. මෙම ගස් හැර තවත් ගස් වැවිය යුතුය. එය අනාගත පරපුර වෙනුවෙන් කරන මහඟු ආයෝජනයකි.
ශ‍්‍රී ලංකාව වන ගහනය අතින් ඉතා හොඳ තැනක සිටියේය. ඉතිහාසයේ තොරතුරු එය සනාථ කරයි. සංවර්ධනය වෙනුවෙන් පමණක් නොව ජනතා අවශ්‍යතා වෙනුවෙන් ද මහාපරිමානයෙන් වනාන්තර හෙළි පෙහෙළි වී තිබේ. දැව සංහාර සිදුවන බව මාධ්‍ය නිතර වාර්තා කරන ප‍්‍රවෘත්ති අතර ඇත. ආරක්ෂා කරන වනාන්තර වල පවා දැව ජාවාරම් සිදුවෙයි. මේවා නතර කරන්නට නිතර මෙහෙයුම් කරන නමුත් සාර්ථක නැත. පිලිපීනය ඇතුළු රටවල් අනුගමනය කරමින් යාන්ත‍්‍රික කියත් ගැන අවධානය යොමු කරන්නේ එහි ප‍්‍රතිඵලයක් අනුවය. කියත් ලියාපදිංචි කරන ලද පමණින් වනාත්තර ආරක්ෂා වෙන්නේ නැත. දස ලක්ෂ පැල සිටුවන නමුත් වන ගහනය වර්ධනය නොවන බව ද එයට සමාන අදහසකි. පසුගිය වසර තිහ හතලිහ තිස්සේ පැල රෝපනය කර ඇත. දේශපාලන ව්‍යාපෘති වශයෙන් මහා මාර්ග දෙපස සහ තෝරාගත් ස්ථානවල සිටුවන ලද ආර්ථික වටිනාකමක් සහිත පැලවල ප‍්‍රමාණය ගණන් බැලීම පවා අපහසුය. සෑහෙන කාලයක් හා ධනයක් වැය කරන්නට ඇත. නමුත් මෙම පැල රැකබලා ගත්තේ නැත. ප‍්‍රචාරයට සිටුවන පැල අවධානයෙන් පරෙස්සම් නොකළ හෙයින් වියැලී මැරී ගොස් තිබේ. ඇත්ත කතාව එයයි. පැල සිටුවන නිලධාරීහු ඒවා ගැන ඉන්පසු බලන්නේ නැත. නැවතත් මතු වසරක පරිසර දිනය යෙදෙන දා පැල සිටුවීමට යුහුසුළු වෙති. අවම වශයෙන් ඉකුත් සිංහල හා දෙමල අවුරුද්ද කාලයේ නැකතට පැලයක් සිටවන ව්‍යාපෘතියක් ක්‍රියාවට නැගිණ. මෙම පැලය ආරක්ෂා සහිතව වැඩෙනවාදැයි සොයා බලන්නට අපට වගකීමක් තිබේ. සිටුවීම හා සමානව පැලගැන පසු විපරම අවශ්‍යය.
වනාන්තරය ලෝක පාරිසරික තත්ත්ව වෙනුවෙන් විශාල මෙහෙවරක නිරතය. ගස් කපා හෙළි පෙහෙලි කරන ලද ප‍්‍රදේශ හෙයින් රට පුරා ජල උල්පත් සිඳීයාම, නාය යෑම් හා පස් සෝදායාම වැනි අහිතකර තත්ත්ව වලට හේතු වී ඇති බව මෙරටින් නිතර වාර්තා වෙයි. යාන්ත‍්‍රික කියත් ලියාපදිංචි කර, නොබෝදා ආන්දෝලනයක් ඇති කරන ලද පරිදි වඩු කර්මාන්තය නීතියෙන් තහනම් කිරීමෙන් සමාජය තුළ යම් කැළඹීම් ඇති කළ හැකිය. නමුත් ජනතාවට යමක් ඒත්තු ගන්වන්නට නම් දුරදිග සලකා බලා ප‍්‍රායෝගික පියවර ගැනීම උචිතය.
අප‍්‍රිකාවේ දකුණු පැත්තේ පිහිටි මලාවි රාජ්‍යය නැවත වන වගාව කෙරෙහි අවතීර්ණ වීම ද මෙහි දී සදහන් කළ හැකි කාරණයකි. සංවර්ධනය හෙයින් 2001 වසරේ සිට එරට වන වගාවෙන් සියයට දහයක් පමණ හානි කර තිබේ. ඉක්මනින් කැලෑව වගා කිරීමට ඔවුහු උණ ගස් තෝරා ගෙන තිබේ. ගංගා, ඇල මාර්ගවල පමණක් නොව එළිකරන ලද කැලෑ ඉඩම් වල ද උණ පැල සිටුවීම අරඹා ඇත. වසර 2030 වන විට අක්කර මිලියන එකොලහක් වනාන්තර නැවත වගා කිරීම සැලැස්මයි. උණ ගස් තෝරා ගන්නේ ඇයි? ඒවා ඉක්මනින් වැඬේ. වසර සිය ගණනක් එක දිගට ගස් කපා ගනිමින් පවා උණ පදුර නඩත්තු කළ හැකිය. උණ ගස් වලින් කාබන්ඩයොක්සයිඞ් අවශෝෂණය කර වායු ගෝලයට සිදුකරන වාසිය කිසිදු අඩුවක් නැති බව අනාවරණය වෙයි.
පැල සිටුවන මෙරට අප සියළු දෙනා අතරින් උණ පැලයක් සිටුවා ඇති පිරිස අතලොස්සක් බව නිසැකය. ගංගා ඉවුරු ආශ‍්‍රිතව උණ පැල වගාකරන බව ප‍්‍රකාශ වූ නමුත් එහි ප‍්‍රගතියක් දැක ගත නොහැකිය. උණ ගස සෑහෙන ආර්ථික වටිනාකමක් ඇති විවිධ ප‍්‍රයෝජන ලබාගත හැකි ශාඛයකි. මෙරට ගංගා, ඇල මාර්ග ආශ‍්‍රිතව හා වැව් අවට කලාපයේ උණ පැල සිටුවිය නොහැකි මන්ද? එයින් ඉවුරු ආරක්ෂා වෙයි. අනෙක් පැලවර්ග මෙන් විශේෂ අවධානයකින්, නඩත්තුවකින් තොරව පදුරු වශයෙන් වේගයෙන් වර්ධනය වන අතර ඉක්මනින් ආදායමක් ද ලබා ගත හැකිය. උණ වගා කිරීමෙන් ලැබෙන වාසි මලාවි රාජ්‍යයෙන් අවධානයට ගත් තවත් අප‍්‍රිකානු රටවල් ගණනාවක් එහි නැඹුරු වී තිබේ. පරිසරය ගැන තියුණු අවධානයක් ඇති, එහි වෙනස්කම් වලින් පීඩා විඳින රටක් වශයෙන් නැවත වන වගාව කෙරෙහි සෑම පුරවැසියෙකුම උනන්දු විය යුතුය. තමන්ගේ ඉඩමක පමණක් නොව ජීවත්වන ප‍්‍රදේශයේ ගංගා හෝ ඇල මාර්ග දෙපස උණ පැලයක් සිටුවුවහොත් එය වැඩදායකය.
|