ඉන්දියාවේ ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි පසුගිය වසරේ නවදිල්ලි නගරයේ පැවැති කෘෂි ප‍්‍රදර්ශනයක් විවෘත කරන අවස්ථාවකට සහභාගී විය. එය හින්දුස්ථාන් ටයිම්ස් සඟරාවේ විස්තර කරන ලද අතර ඉන්දියාවේ කෘෂිකර්මය ගැන කතා කරන ලද ජනාධිපතිවරයා කාන්තාරයේ මැද පවතින ඊශ‍්‍රායලය කෘෂි භෝග නිපැයුමෙන් ඉදිරියට පැමිණියේ කෙසේදැයි ප‍්‍රශ්න කරන්නට මැලි වී නැත. සීමිත වතුර සම්පත උපයෝගී කරගෙන වගා කරන අන්දම ගැන ඊශ‍්‍රායලයෙන් සෑහෙන්න ඉගෙන ගත යුතු බව හෙතෙම කියා තිබේ. වතුර බින්දුවක් බැගින් පැලයකට සපයා අපිටවඩා අස්වැන්නක් ගන්නේ කෙසේද යන්න අවධානයට ලක් කරන ලද්දේය. ඊශ‍්‍රායලය අර්බුදය තමන්ගේ වාසියට හරවාගෙන තිබේ. වතුර කළමණාකරණය ඉතාම ඉහළින් කරන අතර නවෝත්පාදනය හෙයින් තාක්ෂණයෙන් ඉහළ අලූත්ම සොයාගැනීම් වලට පෙළැඹී ඇති බව මුකර්ජී මහතා ඉන්දීය ප‍්‍රජාවට ප‍්‍රකාශ කළේය.
කෘෂිකර්ම අංශය ඊශ‍්‍රායලයේ ඉතාම දියුණු ක්ෂේත‍්‍රයකි. අලූත් එලවලූ හා පලතුරු අපනයනය එරට ප‍්‍රධාන විනිමය උත්පාදන අංශයකි. කෘෂි ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනය උදෙසා කරන අලූත් සොයාගැනීම් ලෝකයට හදුන්වාදීමෙන් බලවත් මෙහෙවරක් කරන බව පිලිගත යුතුය. ඊශ‍්‍රායලයේ භූමි ප‍්‍රමාණයෙන් හරි අඩක් කාන්තාර ප‍්‍රදේශයි. කාලගුණය හා ජල සම්පත කෙසේවත් කෘෂිකර්මයට පහසුකම් සපයන්නේ නැත. එරට බිම් ප‍්‍රමාණයෙන් සියයට විස්සක් පමණ ප‍්‍රමාණයක් ගොවිතැනට යම් ප‍්‍රමාණයකට සුදුසු පස් සහිත භූමියකි. නමුත් එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5 ක් කෘෂිකර්මයෙන් ආවරණය කරන අතර එරට අපනයන ආදායමෙන් සියයට 3.6 ක් උපයන්නේ කෘෂි නිපැයුම් වලින්ය. රටට උවමනා කරන ආහාර වලින් සියයට අනූපහක් නිපදවාගන්නේ එරටින්මය. පුදුමයට කාරණය එරට ශ‍්‍රම බලකායෙන් සියයට 3.7 ක් වන සුළු කොටසක් පමණක් කෘෂිකර්මයෙහි නිරත වීම බව සඳහන් කළ යුතුය.
දොඩම් කුලයේ පලතුරු අපනයනයට ඊශ‍්‍රායලය ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. දොඩම්, ගේ‍්‍රෆ් ෆෲට්, ටැන්ජරීන් හා හයිබී‍්‍රඞ් තාක්ෂණයෙන් වැඩි දියුණු කරන ලද දොඩම් විශේෂ ඒ අතරය. පලතුරු වර්ග හතලිහක් පමණ වගා කිරීම ගැන එරට කැපී පෙනෙන වාර්තා ඇත. අලිපේර, කෙසෙල්, ඇපල්, චෙරි, මිදි සහ ස්ට්‍රෝබෙරි යනුවෙන් මෙම ලේඛනය සඳහන් කරන විට මේවා කාන්තාරයක වගා කරන්නේ කෙසේදැයි පුදුම විය නොහැකිය. වාර්තා දක්වන පරිදි 1973 දී එරට කෘෂි විද්‍යාඥයන් කාන්තාරයෙහි වගාකළ හැකි තක්කාලි ප‍්‍රබේධ සොයා ගෙන තිබේ. එය එරට කෘෂි අංශයෙහි හැරවුම් ලක්ෂ්‍යයක් විය. ජාන තාක්ෂණයෙන් නව ප‍්‍රබේධ හදනවා පමණක් නොව කාන්තාර පරිසරයක බෝග වවන්නේ කෙසේ ද යන්න ගැන ද ඊශ‍්‍රායල ජාතිකයෝ සොයා ගත්හ. එයට පසුබිම වූයේ යුද පරිසරයයි. යුද බිමට අවශ්‍ය අලූත් දේ සොයන අතරවාරයේ ඒවායේ ප‍්‍රයෝජන කෘෂිකර්මයට හැරවූහ. සෙවන දැල් එයින් විශේෂිතය. ආරක්ෂිත ගෘහ තැනීමේ කාත්ෂණයට ද ඔවුහු දක්ෂය. කාන්තාරයේ සටන් කරන විට හෙවන වෙනුවෙන් නිපදවාගත් දැල් වල ශක්තිමත් හා කල්පවත්නා තාක්ෂණය කෘෂි අංශයෙහි ලා මැනැවින් ගැලපුණේය. එපමණක් නොව බිංදු වශයෙන් ජලය සම්පාදනය කරමින් වගා කිරීම ද ඔවුහු කරගෙන ගියහ. ශාකයට අවශ්‍ය තරමට කෙලින්ම මුල් පද්ධතියට බිංදු ජලය සපයන අතර එමගින්ම කෙලින්ම දියර පොහොර සැපයීමෙන් කෘෂි අංශයේ ඵලදාව ආරක්ෂා කරගත්තේය. ජලය හා පොහොර නාස්තිය අවම කර එය නිෂ්පාදන පිරිවැය සීමා කරන තත්ත්වයට ගෙන ආවේය. එලවලූ පලතුරු පමණක් නොව සුන්දර මල් වගාව ද ඊශ‍්‍රායලයේ ගොවීහු වගා කරති. කාන්තාරයේ ආරක්ෂිත ගෘහ වල වගා කරන ටියුලිප්, රෝස හා ලිලී මල් වැවෙන්නේ සීතල දේශගුණයක දැයි සැක පහළ වන තරම් බව ජාත්‍යන්තර විශේෂඥ වාර්තා පෙන්වා දෙයි.
ඊශ‍්‍රායල ආණ්ඩුව කෘෂි ප‍්‍රබෝධය වෙනුවෙන් කරන්නේ කුමක්ද? පුද්ගලික ව්‍යවසායකයන් මහා පරිමානයෙන් වගාකරන විට පාලකයන් ඒ වෙනුවෙන් ප‍්‍රතිපත්ති සම්පාදනය කරයි. වගාකළ යුතු ඉඩම් ප‍්‍රමාණය හා වතුර සම්පාදනය කෝටා ක‍්‍රමයකින් සීමාකරයි. අධි නිපැයුමක් නොවන අතර කිරි, මස්, එලවලූ, පලතුරු හා මල් වැනි දේ වෙළද පොලට උවමනා තරමට වඩා නිපදවා අපතේ යවන්නට ඇති ඉඩ එයින් ඇවිරෙයි. නිෂ්පාදන පිරිවැය කපා හරින, නිෂ්පාදනන වැඩි දියුණු කරන ක‍්‍රම කෙරෙහි වගාකරුවන් පොළඹවන්නට ඊශ‍්‍රායල ආණ්ඩුව නීති සම්පාදනය කර තිබේ. එයින් කෘෂි තරගකාරීත්වය ඇතිකරන අතර ලෝක වෙළඳ පොල හොඳම නිෂ්පාදන අඩුම මිලට සපයන්නට හැකියාව ලැබී ඇති බව සඳහන් කරන්නට අවශ්‍යය. අලූත් තාක්ෂණය සොයා ගන්නා ඊශ‍්‍රායල ජාතිකයෝ අවුරුදු තුනකට වතාවක් පවත්වන ප‍්‍රදර්ශනයකින් ඒවා ජාත්‍යන්තරයට නිදහස් කරති. තමන් සොයාගත් දේ වෙනත් වගාකරුවන්ට දෙන අතර ඒ වෙනුනේ අලූත් එයටත් වඩා වැඩි දියුණු දේවල් සොයා ගන්නට තරගයක් පවත්වා ගන්නේ එවැනි ක‍්‍රම වලින්ය. යුද බිමේ තරගය, උද්යෝගය හා එකිනෙකා පරයා නැගී සිටින අභියෝයග ගොවිතැනට ගෙන එන්නට ඊශ‍්‍රායලය පෙරමුණ ගෙන ඇත.
ඉන්දීය ජනාධිපතිවරයා තමන්ගේ රටවැසියන්ට පෙන්වා දුන්නේ මෙම වෙනස ගැනය. අති විශාල ඉඩම් ප‍්‍රමාණයක් සහ අති විශාල ජනගහනයක් ඇති රටකට කළ නොහැක්කේ මොනවාද? රට පුරා ඇති ගංගා වලින් ජලය සම්පාදනයට පහසුකම තිබේ. කාබනික පොහොර අවශ්‍ය තරම් ලබා ගැනීමේ බාධාවක් නැත. ඊශ‍්‍රායලයට තර්ජනයක් විය හැකි නමුත් ඉන්දියාව එයට සමත්ව නැත. ඉන්දියාව එවැනි පශ්චාත්තාපයක පසුවන විට ශී‍්‍ර ලංකාවේ කෘෂිකර්මය පවතින්නේ කොතැනකද? අස්වනු නෙලා අටු කොටු පුරවාගෙන මහත් සන්තෝෂයෙන් භාග්‍යවන්ත මාසයේ දී උත්සව කරන බව අගවන මෙකල මෙම තත්ත්වය සමාලෝචනය කිරීම ඉතාම කාලෝචිතය. අප‍්‍රියෙල් මාසයේ දී කෘෂි නිෂ්පාදනය අලූත් යුගයකට හැරවීමට ඇති හැකියාව ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය.
අදටත් ශ‍්‍රී ලංකාවේ වගාකරන බව භෝග වල අවශ්‍යතා ගැන දත්ත නැත. පසුගිය දිනවල එලවලූ විකුණාගත නොහැකි බව වගා කරන ගොවියෝ මැසිවිලි නැගූහ. නමුත් මාස කිහිපයකට කලින් පාරිභෝගිකයන් විශාල අපහසුතාවයකට පත්වූයේ එලවලූ හිඟකම නිසා මිල වැඩි වූ හෙයින්ය. පලතුරු නාස්තිය ගැන කතා කිරීම පලක් නැත. ආහාර නිෂ්පාදනය කෙරෙහි ප‍්‍රමාණවත් අවධානයක් නැත. අපනයන කෘෂි බෝග වශයෙන් තේ, රබර් හා පොල් වැනි අංශ අර්බුදයකය. ඒවායේ නිෂ්පාදන මිල වැඩි අතර ශ‍්‍රම හිඟයක් තිබේ. නිපැයුම මිල සම්බන්ධ කාර්යක්ෂමතාවයක් නැති හෙයින් පාරිභෝගිකයා අපහසුතාවය පත්කර ඇති අතර එහි වන්දිය ගෙවන්නේ මෙරට ආර්ථිකයයි. මෙම තත්ත්වය වෙනස් කරන්නට තාක්ෂණික පහසුකම් රටට නැත. දීර්ඝ කාලීන අත්දැකීම් ඇති නිලධාරීන් හා පරියේෂකයන් ඉන්නා නමුත් ඔවුහු ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් යමක් කරන්නේ නැත. මෙරට සම්ප‍්‍රදායික දොඩම්, ගස්ලබු, අඹ සහ කෙසෙල් ඇතුළු පලතුරු විශේෂ අභාවයට ගොස් තිබේ. ආනයනික එලවලූ හා පලතුරු මෙරට සාමන්‍ය වෙළඳ පොලවල පමණක් නොව සංචාරක කර්මාන්තයට ද භාවිතා වෙයි. වියලි දණ්ඩක් පවා පැලවෙන යහපත් පාරිසරික සාධක ඇතැයි අභිමානයට පත් රටක මෙම තත්ත්වය කොපමණ කනස්සල්ලට හේතුවක්ද?
ශ‍්‍රී ලංකාවේ වගා කළ හැකි ඉඩම් විශාල ප‍්‍රමාණයක් තිබේ. නමුත් මෙම ඉඩම් වල වැඩිම අයිතිය ඇත්තේ ආණ්ඩුවටය. ඉඩම් වලින් සියයට අසූවක් පමණ හිමි ආණ්ඩුව ඒවා නිසි කළමණාකාරීත්වයක් නොකරයි. වගාකරන ගොවියාට ඉඩම් නැත. එය මෙරට ගොවිතැනෙහි තවත් ප‍්‍රශ්නයකි. කුඩා ඉඩම් හිමියන් තමන්ට පමණක් නිපදවන හෙයින් ඒවායේ නිෂ්පාදන පිරිවැය ඉහළ තත්ත්වයක පවතී. ඉඩම් බෙදා දී ගොවියන්ට එලවලූ මල් හෝ පලතුරු වගාකරන්නට යොමු කළහොත් අපනයන කෘෂිකර්මයෙහි මහා පරිවර්තනයක් කරන්නටහැකියාව තිබේ. ඉන්දියානු ජනාධිපතිවරයා කියන්නේ එයයි. ශ‍්‍රී ලංකාව මහා පරිමාන ආයෝජන ගැන අවධානය යොමු කරන අතරවාරයේ දී කෘෂි අංශයෙහි නවෝත්පාදනයක් ගැන හිතන්නට අවශ්‍යය. කාන්තාරයක් ගොවි බිමක් කළ හැකි ව තිබේ නම් ශී‍්‍ර ලංකාවේ පස, ජලය සහ කාලගුණය රටට කළ හැකි වෙනස කෙබදුදැයි අවධානය යොමු කරන්නට භාග්‍යවන්ත මාසය හැර වෙනත් සුදුසු කාලයක් අපට නැත.
|