» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/02/2020 - ඉරිදා ලංකාදීප
අවදානම හා අභියෝග මැද ඉදිරියට යන බංගලාදේශය

බංගලාදේශය යන වචනය සමග මැවෙන චිත‍්‍රය අදුරුය. ඉතිහාසයට අනුව පැවැත්ම දුෂ්කර රටකි. කුඩා රටක මිලියන එකසිය අසූවකට වැඩි ජනගහනයක් ජීවත්වන අතර එය ලෝකයේ ජනාකීර්ණත්වයෙන් අධික රටවල් අතරින් එකකි. පළමුවෙන් බටහිරට යටත් වූ බංගලා දේශය පිහිටි ප‍්‍රදේශය 1947 වසරේ දී නිදහස ලැබූ නමුත් එය නැගෙනහිර පකිස්තානයේ කොටසක් වශයෙන් තිබුණි. වෙනම රටක් වශයෙන් නැගී සිටින අදිටන ඇතිව එරට වැසියෝ දිගින් දිගටම අරගල කළහ. බංගලාදේශය මහත් වෑයමෙන් අත්පත්කරගත් ස්වාධීනත්වයේ ධජය දැන් ඉහළට එසවෙමින් තිබේ. ලෝක අවධානය කුඩා රට වෙත යොමු වී ඇති අතර තාක්ෂණික හා ආර්ථික වශයෙන් පිබිදෙන බංගලාදේශය විස්මිත සංවර්ධනයක පවතින බව දක්වන්නට විචාරකයෝ පෙළැඹී සිටිති.

පසුගිය දා අනාවරණය වූ තොරතුරු අනුව බංගලාදේශය නිපදවූ කාර්මික රොබෝවරු දොලොස් දෙනෙකු කොරියාවට අපනයනය කර තිබේ. එරට නිපදවන නැව් හතරක් ඉන්දියාවට අලෙවි කර ඇත. එහි කම්හල්වල නිපදවන ශීතකරනවලට ලෝකයේ නන් දෙසින් සෑහෙන ඉල්ලූමක් තිබේ. නිතර ස්වභාවික විපත් සිදුවන, කර්කශ ජීවිත ගත කරන ජනී ජනයාගේ ලක්ෂණ වර්තමානයෙන් ගිලිහී යමින් පවතී. එය දැවැන්ත උත්සාහයක හා කැපවීමක ප‍්‍රතිඵලයකි. බංගලාදේශ වැසියෝ දක්වන ආකාරයට ඔවුන්ගේ අරමුණක් කෙරෙහි යොමු කළේ නිර්මාතෘ වශයෙන් සලකන බංගාබන්ධු මුජිබර් රහමන්ය. නිදහස් හා යුක්තිගරුක රටක් වශයෙන් නගා සිටුවන්නට ඔහු දරන ලද ප‍්‍රයත්නයෙහි ප‍්‍රතිඵල ලැබෙමින් තිබේ. මෑත භාගය තුළ සිදුවූ පරිවර්තනය ඉතා ප‍්‍රබෝධමත් තත්ත්වයක් වශයෙන් සැලකේ.

බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ බංගලාදේශය පකිස්තානයේ අණසකට යටත්ව සිටි අතර මුජිබර් රහමන් ගේ නායකත්වයෙන් ගෙන ගිය සටන් සමග ස්වාධීනත්වය උදෙසා ඉදිරියට ගියේය. වෙනම රටක් කරා යන සිවිල් යුද තත්ත්වය මාස නමයක් තිස්සේ පැවැති අතර මිලියන තුනක පමණ ජන කොටසක් මෙහි දී ජීවිතක්ෂයට පත් වූ බව දැක්වෙයි. පකිස්තාන ආරක්ෂණ අංශ නොකඩවා ප‍්‍රහාර එල්ල කරන නමුත් එයට නොබියව මුහුණ දුන් මුජිබර් රහමන් ඇතුළු පිරිස ජීවිත පරිත්‍යාගයෙන් පෙරමුණට ගොස් තිබේ. නිදහස ලබා ගත් නමුත් එතැන් සිට 1990 දක්වා හමුදා පාලනයකට අවනතව සිටියේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට එකතු වූ බංගලාදේශය අතිශය කටුක තත්ත්ව පසු කළේය. ස්වභාවික විපත් එහි මුල් තැන ගෙන තිබේ. සුලි කුණාටු හා ගංවතුර තර්ජන බහුලව තිබුණි. ජාත්‍යන්තර වාර්තා දක්වන අන්දමට 1980 සිට 2008 දක්වා ස්වභාවික විපත් 219 ක් වාර්තා වී ඇත. අහිමි වූ ජන කොටස ලක්ෂ පහ ඉක්මවයි. භාහ්ම පුත‍්‍ර හා මේඝා යන ප‍්‍රධාන ගංගා ඇතුළු ලොකු කුඩා ගංගා 310 ක් සහිත බංගලාදේශය අධික වැසි, නායයෑම්, කුණාටු හා සුලි සුලං හෙයින් නිතර විපතට පත් වූහ. එහෙයින් ජන ජීවිතය අකාර්යක්ෂම තැනක පැවැති අතර එතැනින් ගැලවෙන්නට මහත් වෑයමක් දරමින් සිටියේය. අලූත් වාර්තා අනුව මැද ආදායම් මට්ටම පැන සංවර්ධිත යුගයකට ඇතුළුවන වරම බංගලාදේශය අත්පත් කරගෙන තිබේ.

බංගලාදේශයට ගොස් එහි ආයෝජනය කරන ලාංකේය සමාගම් ගණනාවක් ඇත. ආයෝජකයෝ සෑහෙන පිරිසකි. ඩකා අගනුවර බලා කොළඹින් පිටත්වන ගුවන් යානාවල ලාංකිකයෝ සිටිති. සෑහෙන පිරිසකට එහි ගොස් වැඩිදුර අධ්‍යාපනය ලබන අරමුණ ඇත. අධ්‍යයන කටයුතු ආරම්භ කරන හා අවසන් කරන කාලසීමාවල දී විශේෂයෙන් වෙන්කරගත් යානාවලින් මෙරට සිට එහි යන එන තැනට වාතාවරණය දියුණු වී තිබේ. බංගලාදේශයේ ඇගළුම් කර්මාන්තය වඩා වේගයෙන් ප‍්‍රචලිත වූ අතර ඉතා දිළිදු තැනක සිටි සමහර දෙනෙකු කම්හලෙන් දිනපතා ආහාරයට දෙන පාන් සහ කිරි තේ වෙනුවෙන් වැඩට පැමිණි කාලවකවානුවක් තිබුණ බව සිහිපත් කරති.

අලූත් වාර්තා පෙන්වා දෙන පරිදි වසර 2030 වන විට එරට වැසියන්ගෙන් සියයට 48 ක් නාගරික ප‍්‍රදේශවල ජීවත්වනු ඇත. දැනටමත් මිලියන තිහකට වඩා වැඩිපිරිසක් මැදි ආදායමක් සහිතය. ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව අනුව වෙළද පොල සකස් වී තිබේ. නිදහස් වෘත්තීය අවස්ථාවල නිරත තොරතුරු තාක්ෂණික නියමුවෝ ලක්ෂ හයක් බංගලාදේශයට සිටී. ආණ්ඩුවේ රස්සා ඉල්ලන්නේ නැති එම පිරිස වඩාත් නවෝත්පාදක තාක්ෂණික අංශය වෙතට නතු වී සිටිති. කෘතිම බුද්ධිය, ඉංජිනේරු, රථවාහන නිෂ්පාදන, සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවල ආයෝජනයට ලොව පුරා ප‍්‍රමුඛ ආයෝජකයෝ සූදානමක සිටිති. මෙම පිරිස් තරුණ ශ‍්‍රම බලකාය සතු තාක්ෂණික හැකියාව හා ඩිජිටල් සම්බන්ධතා වලින් සන්නද්ධව සිටින අයුරු අවධානයට ගනිති. මිලියන 110 ක වැඩ කරන අන්තර් ජාල ගිණුම් බංගලාදේශයෙන් වාර්තාවෙයි. තවත් වසර පහකින් එරට සම්පූර්ණ ජනගහනයෙන් සියයට හතලිස් එකක් ජංගම දුරකතන වලින් අන්තර් ජාල කටයුතු වල නිරත වනු ඇත.

බංගලාදේශයේ ආර්ථික වර්ධනය සියයට 8.1 ක් වශයෙන් පසුගිය වසරේ සටහන්ය. 2009 සිට සලකන විට වර්ධනය සියයට 188 ගුණයකි. එරට කෘෂි අංශය සහනාධාරවලින් තොරය. සම්පූර්ණයෙන්ම සහන ඉවත් කර ඇති අතර කරගකාරී උසස් නිෂ්පාදන රාමුවකට යොමු වී තිබේ. ලෝකයේ හතරවැනි විශාලතම වී නිෂ්පාදකයා වන අතර දෙවැනි විශාලතම හණ නිෂ්පාදකයාය. ලොකයේ රටවල් අතරින් හතරවැනි විශාලතම අඹ නිපදවන්නා වන අතර එලවලූ නිපදවීම අතින් පස්වැනි තැන දිනා ගෙන තිබේ. අභ්‍යන්තර ධීවර කර්මාන්තයෙන් ලබන අස්වැන්න අතින් හතරවැනි තැන ගැනීම තවත් පැත්තකි. මේවා මෙසේ තිබිය දී සාමාන්‍ය ජනතාවට තාක්ෂණ පහසුකම් වැඩි දියුණු කරන අතර මුදල් හුවමාරුවක් නැති රටක තත්ත්වයට වේගයෙන් පත්වෙමින් තිබේ. පසුගිය වසරේ ඇමරිකන් ඩොලර් මිලියන 260 ක ගනුදෙනු අන්තර් ජාල විද්‍යුත් සේවා (e - commerce) මගින් සිදුකර ඇත. ආයෝජනය සදහා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සියයක් පිහිටුවා ඇති අතර එරටට එන ආයෝජන අදහස් ඇති ප‍්‍රකට ව්‍යවසායකයන්ට උපරිම අවස්ථා සම්පාදනය කර තිබේ.

බංගලාදේශයේ ස්වභාවය පිලිබද මෙම හරස්කඩ ශ‍්‍රී ලාංකික අප සියළු දෙනාට අධ්‍යයනය කළ යුතු අවස්ථාවක් උදා කරයි. යටත් විජිතයක සිට නිදහස ලැබූ නමුත් නැගෙනහිර පකිස්තානයෙන් ගැලවෙන්නට තවත් යුද්ධයක පැටළිණ. ස්වභාවික විපත් වලින් ගැලවීමක් නොතිබුණි. එහෙත් ජනී ජනයා වැඩ කළහ. තාක්ෂණයෙන් ප‍්‍රයෝජන ගත්හ. දේශපාලන කැළඹිලි, ජාත්‍යන්තර අතපෙවීම්, දුප්පත්කම යනා දී සියළු අභියෝග අවස්ථාවක් කරගත්හ. ඒවා ඉතාමත් වැදගත් පාඩම් වශයෙන් සැලකිය යුතුය.

බංගලාදේශය සමත්වන්නට හා ශ‍්‍රී ලංකාව දිගින් දිගටම ප‍්‍රයත්න දරන රටක් වශයෙන් පවතින්නට හේතුව කුමක්ද? කෘෂි අංශයට සහනාධාර නැති තැනට පත් කර ලෝකයේ හතරවැනි වී නිෂ්පාදකයා වන විට ලැබිය හැකි අන් වාසියක් තිබේද? එලවලූ, පලතුරු වවන ඒවා අලෙවි කරන තැනට කෘෂි අංශය දියුණු කළේ කෙසේද? ලෝකයේ වඩාත් දියුණු තාක්ෂණය සහිත අනෙක් පලාත්වල ආදර්ශවලට වඩා දකුණු ආසියාවේ කුඩා රටක පසුබිම ගැන සොයා බැලීම සුදුසුය. ආණ්ඩු බලයට පත් කරන ජනී ජනයා රටක් ගොඩනගන ප‍්‍රතිපත්ති හදන්නට කලින් තමන්ගේ අතට ලැබෙන වාසි ගැන කල්පනා කරති. සහනාධාර නොලැබුණහොත් උරණ වන අතර ඊළග ඡන්දය දින්නනට නම් පොරොන්දු ඉටු කළ යුතුය. මේ දිනවල වී අස්වැන්න ලැබෙන අතර තව නොබෝ දිනකින් මිල පහත වැටෙනු ඇත. උපරිම සහන එනම් වාරි ජලය, පොහොර සහනාධාර යනාදිය සපයා කරන වී නිෂ්පාදනය ද විකුණා ගත නොහැකි තැනට පත්වන විට කෘෂි අංශය නවීකරණය ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. ලක්ෂ ගණනක් තරුණන් නිදහස් තොරතුරු තාක්ෂණිකයන් වන විට මෙරට ලක්ෂ තුනක් තරුණ තරුණියෝ තී‍්‍රවිලර් එකක වැඩ කිරීම රස්සාව කරගෙන සිටිති. උපාධිධාරීහු රජයේ රුකියා දෙන තෙක් විරෝධතා පවත්වති. කෘෂිකර්මයට සහන පමණක් නොව උපාධිධාරීන්ට නිෂ්පාදනයක් රහිත තැන් වල වෘත්තීය අවස්ථා සපයන්නේ ද ජනතාව ගෙවන බදු වලින් බව කල්පනා නොකරන්නේ මන්ද? මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන මැති ඇමැතිවරු අමාත්‍යංශ වලට හා යාන වාහන වලට කරන බරපතල වියදම් හෙළිදරව්වෙමින් තිබේ. පාලකයෝ කැපකිරීමක් නොකරන රටක ජනතාවගෙන් අපේක්ෂා කිරීම නුසුදුසුය. පවතින රාමුවෙන් ගැලවෙනු සදහා විශාල කැළඹීමක් කළ යුතුව තිබේ. ඉහළ සිට පහලටම දැනෙන සේ කරන වෙනස්කම් රට නගා සිටුවනු ඇත.