» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/09/2019 - ඉරිදා ලංකාදීප
පුද්ගල තොරතුරු සොයන ‘බිග් ඬේටා’ බලය පැතිරෙයි

ඇමරිකානු ජනාධිපතිවරණය හා බි‍්‍රක්සිට් ජනමත විචාරණයට ප‍්‍රවේශ වූ ප‍්‍රකට කේම්බි‍්‍රජ් ඇනලිටිකා නමැති සමාගම සිය ව්‍යාපාර නතර කර තිබේ. 2013 වසරේ දී බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් හි පිහිටවූ මෙම සමාගම තොරතුරු තාක්ෂණය භාවිතා කර ප‍්‍රජාව විශ්ලේෂණය කරන ව්‍යාපෘති කි‍්‍රියාවට නැංවීය. නිව්යෝක් හා වොෂින්ටන් දක්වා ද එහි ශාඛා විහිදී තිබුණි. මෙම සමාගමේ ව්‍යුහය අනුව ජනතා අදහස් සම්බන්ධ දත්ත එකතු කළේය. දත්ත සම්බන්ධ තැරුව්කාරයන් සේ ක‍්‍රියා කළ අතර පසුව ඒවා විශ්ලේෂණය කර අවශ්‍ය පුද්ගලයන්ට බෙදා හැරියේය. එය ඇත්ත වශයෙන්ම ඉතා උපායශීලී සන්නිවේදන ව්‍යාපාරයක් විය. කිසිම පුරවැසියෙකුගේ කැමැත්තකින් තොරව ඔහු හෝ ඇය හිතන පතන හා තීරණ ගන්නා ආකාරය ගැන කරුණු එකතු කිරීම සදාචාර විරෝධී බව පොදු පිලිගැනීමයි. එහෙත් නෛතික රාමුව අභිබවා යමින් තොරතුරු එකතු කෙරේ. ඒවායේ විශ්ලේෂණ තුළින් අනාවරණය වන තොරතුරු දේශපාලන හා ප‍්‍රසිද්ධ ව්‍යාපාර වලට හොද ඉල්ලමකි. ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ඩොනල්ඞ් ට‍්‍රම්ප් බිග් ඬේටා විශ්ලේෂණ යහමින් භාවිතා කරන ලද බව අද වන විට අනාවරණය වී තිබේ. ජනතාවගේ මතය වටහා ගෙන එවාට ගැලපෙන පරිදි හැසිරෙන්නට ට‍්‍රම්ප් සමත් වූ අතර එය විශාල දේශපාලන පෙරැළියකට පදනමක් විය.

ජාත්‍යන්තර සමාජ පැවැත්ම බරපතල අර්බුදයකට තල්ලූ කරන්නට තොරතුරු තාක්ෂණයේ බලයට හැකි වී තිබේ. බිග් ඬේටා එහි අසමසම අවස්ථාවකි. ඇමරිකානු ජනාධිපතිවරණය සමයේ මෙකී දත්ත විශ්ලේෂණ උපාය ගැන යම් යම් අනාවරණ සිදුවූ අතර ප‍්‍රකට සී.එන්.එන්. මාධ්‍ය ජාලය ‘‘ජනමනස කියැවීමේ ට‍්‍රම්ප් ගේ ඒකකය වශයෙන්‘‘ එය හදුන්වන ලදී. ඇමරිකානු ජනාධිපතිවරණයේ ‘‘රහස් ආයුධයක්’’ සේ නම් කරන්නට ද පෙළැඹී තිබේ. මෙම තොරතුරු එකතු කිරීමේ සමාගම පසුව කරන ලද අනාවරණයක දී ප‍්‍රසිද්ධියේ කියා සිටි කරුණකට අනුව සාමාන්‍යයෙන් එක පුද්ගලයෙකු ගේ ලක්ෂණ පන්දහසක් අනාවරණය කරගත හැකිය. මේවා එකතු කරන්නේ ඔහු හෝ ඇය සමාජ මාධ්‍ය භාවිතා කරන ස්වභාවය අනුවය. පැරණි ව්‍යුහය තුළ යමෙකු අදහසක් පළ කළහොත් පමණක් තොරතුරක් වශයෙන් එකතුකර ගත හැකි වූ නමුත් අද වන විට සමාජ මාධ්‍ය භාවිතා කරන සියළු දෙනා නිරායාසයෙන්ම තමන් දරන මතය, හැසිරෙන ආකාරය, තීන්දු ගන්නා ස්වභාවය ප‍්‍රදර්ශනය කරමින් සිටිති. ඒවා දත්ත බවට පත් වෙයි. නොදැනුවත්වම එය සිදුවෙයි.

ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග‍්‍රෑම්, වට්ස් ඇප් යනාදිය සමාජ මාධ්‍ය අතර ඉතා ඉහළ ජනප‍්‍රියත්වයක් ලබා තිබේ. ගූගල් සෙවුම් යන්ත‍්‍ර යටතේ ඒවා පරිහරණය කරන්නෝ ස්ව කැමැත්තෙන්ම තමන් ගැන තොරතුරු දක්වති. හුදෙක් පුද්ගලික විස්තර වන එම කරුණු පිටස්තරට අනාවරනය වරදක් විය නොහැකි යැයි සිතන නමුත් අද වන විට මෙම තොරතුරු එකතු කිරීම විශාල ව්‍යාපාරයක් වී තිබේ. නම, ගම, වයස, අධ්‍යාපන මටට්ම, විවාහක අවිවාහක බව හෝ දරුවන් ගණන යනා දී වශයෙන් සියළු දේ ලෙහෙසියෙන් ලැබේ. ඒවා මතු පිටින් දැකගත හැකි දත්ත වශයෙන් සැලකේ. සමාජ මාධ්‍ය අඩවි වල පළ කරන තොරතුරු කියවන පිරිස් එයට අමතර විශ්ලේෂණයක නිරත වෙති. පුද්ගලයා ගේ දේශපාලන පක්ෂය අනුමාන කළ හැකිය. ප්‍රතිපත්ති අතරින් ආර්ථිකය, සංස්කෘතිය හෝ පරිසරය ගැන ආශාවක් දක්වන්නේ ද යන්න අනාවරණය කරගත හැකි වී තිබේ. යම් යම් අදහස් පළකිරීම් විශ්ලේෂණය කරන විට ඔහුගේ හෝ ඇයගේ ආකල්ප ගැන වැටහීමක් ලබා ගත හැකි අතර ඒවා ක‍්‍රමානුකූලව ගොනු කරන විට පුද්ගලයන් සම්බන්ධව ගැලපෙන දත්ත ගොනුවක් සකස් කරගත හැකිවෙයි. දියුණු තාක්ෂණික ඇප් මගින් මේවා පහසුවෙන් වෙන් කරගැනීමට අවස්ථාව තිබේ. ඒවා දත්ත බවට පත් වනු ඇත.

යම් මතයක් වෙනුවෙන් කැමැති පිරිස වෙන් කරගෙන ඔවුන් වෙනුවෙන් යවන පණිවුඩ ඉතා ඉලක්කගත සාර්ථක සන්නිවේදනයක් බවට පත් වෙයි. ඇමරිකානු ජනාධිපතිවරණයේ දී රහස්‍ය ආයුධයක් සේ භාවිතා කරන ලද දත්ත ගොනු කිරීම මගින් සොයා ගත් මිලියන සංඛ්‍යාත පුද්ගලයන්ටට ඔවුන් රුචි කරන අදහස් දිගින් දිගටම යොමු කරන්නට ට‍්‍රම්ප් ඡන්ද ව්‍යාපාරයට හැකි විය. එමගින් සම්ප‍්‍රදායික දේශපාලන ව්‍යාපාර පරාජය කළේය. මතු පිටින් පෙනෙන්නට නැති එම පෙළඹවීම බාහිරට මැන ගත නොහැකිය. යුරෝපා සංවිධානයෙන් ඉවත් විය යුතුය යන තද ස්ථාවරය බි‍්‍රතාන්‍ය තුළ තහවුරු කරනු සදහා ද තෝරාගත් පුද්ගල කණ්ඩායම් ඉලක්ක කරගෙන විශාල සන්නිවේදන ජාලා කි‍්‍රයාත්මක වූබව බව අද වන විට අනාවරණය වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කොන්සර්වටිව් පක්ෂය තුල පවා අර්බුද හදා තිබේ. සම්ප‍්‍රදායික බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂය තුළ තවත් වමට බර අන්තවාදී අදහස් මතු වී ඇත. බි‍්‍රක්සිට් යනුවෙන් පක්ෂයක් පවා නිර්මාණයවී ඇති අතර එහි එකම අරමුණ යුරෝපා හවුලෙන් ඉවත්වීමේ ක‍්‍රියාවලිය පමණකි. එවැනි පක්ෂ වලට පවා අවස්ථාව පෑදෙන හේතුව බිග්ඬේටා තාක්ෂණය බව දැක්විය යුතුය.

කිසියම් තීන්දුවක් වෙනුවෙන් වැදගත්වන තීරණාත්මක ජන කොටස තෝරාගෙන ඔවුන්ට නිශ්චිත පණිවුඩයක් යොමු කිරීමට ඇති දක්ෂතාව බිග්ඬේටා හි ලක්ෂණයකි. දේශපාලනයේ පමණක් නොව ව්‍යාපාර වල දී ද එය භාවිතා කෙරේ. සිංගප්පූරුව බස් නැවතුම් වල මගීන් අඩු වැඩි අවස්ථා අනුව යෙදවිය යුතු පොදු ප‍්‍රවාහන සේවා සොයා බැලීමට එම ස්ථාන වලසිටින මගීන්ගේ ජංගම දුරකතන බාවිතා කිරීම ප‍්‍රයෝජනයට ගැනේ. මෙරට පවා ඇතැම් සුපිරි වෙළද සැල් ඔවුන්ගේ විවිධ ස්ථාන වල ඇති අලෙවිහල් වලට නිතර යන එන පිරිස, නිතර මිල දී ගන්නා භාණ්ඩ වර්ග, ඒවා මිල දී ගන්නා කාලවකවානු දත්ත වලට හසු කර ගනී. පාරිභෝගිකයාගේ කැමැත්ත හා හැසිරීම අනුව වෙළද පොල සකස් කරයි. එය විශාල ආයෝජනයක් වන අතර එම ආයෝජනයට වඩා ප‍්‍රතිලාභ අත්පත් කරගැනීමට සමාගම් සමත්ව තිබේ. නූතන තාක්ෂණ යුගයේ දී සිදුවන දේ තේරුම් ගැනීමට එය ප‍්‍රමාණවත්ය.

කර්මාන්ත යුගයේ දී ඛනිජ තෙල් වටිනාම සම්පත බවට පත් වූ ආකාරයට තොරතුරු තාක්ෂණ යුගයේ දී තෙල් වලට එදා තිබුණ තැන දත්ත වලට ලැබී ඇති බව විචාරකයෝ දක්වා තිබේ. නමුත් සාමාන්‍ය ජනතාව හිතන පතන ආකාරය, ඔවුන්ගේ ආකල්ප කිසිම අවසරයකින් තොරව දත්ත බවට හැරවීම සුදුසු දැයි ප‍්‍රශ්න කරන දැවැන්ත ව්‍යාපාර ලෝකය පුරා පැන නැගී තිබේ. ඒවාට විරුද්ධව නීති පැනවිය යුතු බවට විවාදයක් ඇත. ඇමරිකානු ජනාධිපතිවරණයේ බිග්ඬේටා දත්ත විශ්ලේෂණය කළ කේම්බි‍්‍රජ් ඇනලිටිකා සමාගමට එරෙහි විය යුතු බවට මතයක් නැගිණ. පසුව එම සමාගම කියා සිටියේ විවෘතව ඇති තොරතුරු විශ්ලේෂණය හැර අන් යමක් නොකළ බවය. මෙම තොරතුරු හෙළිදරව් කිරීම ගැන ෆේස්බුක් හා ඉන්ස්ටග‍්‍රෑම් බිහිකළ මාක් සුකර්බර්ග් පවා විවේචනයට ගොදුරු වී සිටියි. ඔහුට අනුව ප‍්‍රාථමික අවධියේ දී මෙවැනි විකෘති හැසිරවීම් ගැන හිතන්නට නැති බව නිසැකය. නමුත් දත්ත විකාශනය වන ආකාරය අනුව බිග්ඬේටා යනු දැවැන්ත දත්ත හැසිරවීමකි. අනුන්ගේ තොරතුරු එකතු කර ඒවා අලෙවි කර විශාල ව්‍යාපාර ගොඩනගන තත්ත්වයකි.

පුද්ගලික තොරතුරු එකතුකරන්නට බාහිර පුද්ගලයෙකුට ඇති අවස්ථාව නීති විරෝධීය. එය ගැන විවාදයක් නැත. අපගේ පුද්ගලික අදහස් හෝ කැමැත්ත අපට සගවා එකතු කරගෙන ඒවා තවත් පාර්ශවයකට විකිණීම තවත් ගැටළු සහගතය. නමුත් අද එය සිදුවෙමින් තිබේ. අපට නොපෙනෙන නමුත් අප සියළු දෙනා ලැයිස්තුගත වෙමින් තිබේ. කෑම වේලකට ගොස් හෝටලයක පින්තූරයක් ෆේස් බුක් එකට යොමු කරන වින්දනයක් ලබන අහිංසක සිද්ධියක් පිටුපස පවා විශාල බිග්ඬේටා ජාලයකට කරුණු එකතු කෙරේ. මේවායින් ඈත් විය නොහැකිය. ජංගම දුරකතන භාවිතය, කෙඩිට් කාඞ් ගනුදෙනු මෙවැනි දේ මගින් පවා තමන් නොදැනුවත්වම දත්ත බවට පත්වෙයි. එයින් වැලකෙන්නට නූතන ව්‍යුහය අනුව පුලූවන්කමක් නැත. නමුත් තමන් ගොදුරුවන බව දැන ක‍්‍රියා කිරීම ඉතා වැදගත්ය. අනාගතයේ දී දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් පවා මෙම බිග් ඬේටා තොරතුරු භාවිතාකරනු ඇති අතර එමගින් ජනමතය සම්බන්ධ සිදුවන තීරණාත්මක විකෘති අපට ඉවසන්නට සිදුවීම වැලැක්විය නොහැකිය.